21/06/2024
🔥මොකට නම් මෙච්චර විහාර දාගැබ් හදනවාද ?
🔥බුදු රජාණන් වහන්සේ මේවා අනුදැන වදාලාද ?
🔥අහස උසට මාලිගා හදනවට වැඩිය ප්‍රතිපත්තිය පුරන එක නෙමේද බෞද්ධයා කරන්න ඕනි..?
මේ කාලයේ බොහෝ දෙනෙක්ට තියෙන කාලීන ප්‍රශ්නයකට මිලිදු රාජ් ප්‍රශ්ණය නම් වූ උතුම් ග්‍රන්ථ රත්නයේ නාගසේන මහ රහතන් වහන්සේ විසින් මැනවින් පිලිතුරු තෝර දී තිබේ.
මෙහි දී මිලිදු රජු නම් ඉතා වීමංසනසීලී කුසලතාවයෙන් යුතු ඉතා නැණවත් ග්‍රීක රජෙක් විසින් අසන ලද ප්‍රශ්න වලට නාගසේන නම් ඉතා නැණවත් මහ රහතන් වහන්සේ නමක් විසින් ඉතා මැනවින් පිලිතුරු දෙන ගැබුරු සංවාදාත්මක දහම් පිලිසදරක් මෙහිදී විවර වෙයි. මෙය එසේ අසන ලද එක් ප්‍රශ්නයකි.
---🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷---
☸️නිෂ්පපඤ්ච බව හෙවත් කෙලෙස් නොහැදෙන ස්වභාව ගැන ප්‍රශ්නය☸️
"ස්වාමීනී, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලද්දේ ය.
'මහණෙනි, කෙලෙස් නොහැදෙන ස්වභාවයෙහි සිත් අලවා වාසය කරව්. කෙලෙස් නොහැදෙන ස්වභාවයට ඇලුම් කරව් යනුවෙනි.
ස්වාමීනී, කෙලෙස් නොහැදෙන ස්වභාවය යනු කුමක් ද?"
" මහ රජාණෙනි, සෝවාන් ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුතුය. සකදාගාමී ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුතුය. අනාගාමී ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුතුය. අරහත් ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුතුය.”
ඉදින් ස්වාමීනී. නාගසේනයන් වහන්ස, සෝවාන් ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුක්ත නම්, සකදාගාමී ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුක්ත නම්, අනාගාමී ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුක්ත නම්, අරහත් ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුක්ත නම් මේ භික්ෂූහු කුමක් පිණිස සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුත ධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය හදාරත් ද? අරුත් විචාරත් ද? කුමක් පිණිස අලුතින් වෙහෙර විහාර තනත්ද ? කුමක් පිණිස දානාදී පිංකම් කරත් ද? කුමක් පිණිස පුද පූජා පවත්වත් ද? ඒවා බුදුරජුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ නොවේද ? *
" මහ රජාණෙනි. යම් මේ භික්ෂූහු සුත්ත. ගෙය්ය. චෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය හදාරත් ද, අලුතින් වෙහෙර විහාරයන් කරත් ද, දානාදී පිංකම් කරත් ද, පුද පූජා පවත්වත් ද, ඒ සියලු භික්ෂූන් ඒවා කරන්නේ එක ම දෙයක් අරමුණු කොට ය. එනම් සම්පූර්ණයෙන් ම කෙලෙස් නොහැදෙන ස්වභාවයට පත්වීම අරමුණු කොට ය.
මහ රජාණෙනි, යම් භික්ෂූහු පෙර ආත්ම භාවයන්හි දී රැස් කරන ලද ලොව්තුරු වාසනාවෙන් යුක්ත ව, ස්වභාවයෙන් ම පිරිසිදුව සිටිත් ද, ඔවුහු එක චිත්තක්ෂණයකින් කෙලෙස් සම්පූර්ණයෙන් ම නොහැදෙන ස්වභාවය වූ නිෂ්ප්‍රපංචභාවය හෙවත් අරහත්වයට පත්වෙති.
මහරජාණෙනි, යම් ඒ භික්ෂූහු කෙලෙස් කසට බහුල ව සිටිත් ද, ඔවුහු මෙවැනි ප්‍රයෝග උපක්‍රමයන් නිසාවෙන් කෙලෙස් නොහැදෙන ස්වභාවයට පත්වෙති. මහරජාණෙනි, එක් පුරුෂයෙක් කලින් ම යහපත් ලෙස වැට ගසා ඇති සාරවත් කුඹුරක බිජු වපුරයි. තමන්ගේ බල වීර්යයෙන් යුතුව සැප සේ අස්වනු නෙළා ගනියි. මහරජාණෙනි, තවත් පුරුෂයෙක් සිටියි. ඔහු කුඹුරක වී වපුරයි. නමුත් කුඹුර වටා වැට කඩුලු සැදීම පිණිස මහත් වෙහෙසක් ගනියි. වනයට ගොස් ලී දඬු, අතු ඉති සිඳ ගෙනවුත් වැට ගසයි. බොහෝ වෙහෙස ගෙන අස්වනු නෙළයි. ඔහුට එහි වැටකඩුලු සැකසීම සඳහා යම් වෙහෙසක් ගත යුත්තේ ද, ඒ අස්වැන්න සඳහාමය.
මහරජාණෙනි, එසෙයින් ම යම් භික්ෂූහු පෙර ආත්ම භාවයන්හි දී රැස් කරන ලද ලොව්තුරු වාසනාවෙන් යුක්ත ව, ස්වභාවයෙන්ම පිරිසිදුව සිටිත් ද, ඔවුහු එක චිත්තක්ෂණයකින් කෙලෙස් සම්පූර්ණයෙන් ම නොහැදෙන ස්වභාවය වූ නිෂ්ප්‍ර පංවභාවය හෙවත් අරහත්වයට පත්වෙති. කලින් ම වැට කඩුලු තනා තිබූ කුඹුරෙහි බිජු වපුරා අස්වනු නෙළා ගන්නා පුරුෂයා මෙනි.
මහ රජාණෙනි, යම් මේ භික්ෂූහු වනාහී බොහෝ කෙලෙස් කසට ඇත්තාහු වෙත් ද, ඔවුහු ඉහත කී ප්‍රයෝග උපක්‍රමයන් කිරීම නිසා ක්‍රමයෙන් අරහත්වයට පත්වෙති. ඉතා වෙහෙස ගෙන අලුතෙන් වැට කඩුලු සකසා මහත් වූ වෑයමකින් අස්වනු නෙ ගන්නා දෙවැනි පුරුෂයා මෙනි.
මහරජාණෙනි, සුවිශාල අඹ රුකක් මුඳුනෙහි රන්වත් පැහැයෙන් යුතු, මධුර වූ, මහත් වූ අඹ ඵලයක් ඇත්තේ ය. එකල්හි අහසින් යන්නා වූ ඍද්ධියකින් යුතු පුරුෂයෙක් අහසින් ම ඇවිත් එම අඹ ඵලය ඉතා පහසුවෙන් රැගෙන යන්නේ ය. එසේ මහ රජාණෙනි. යමෙකුට එබඳු වූ ඍද්ධියක් නැද්ද, ඔහුට ද අමු ඵලය ගැන අසන්නට ලැබෙයි. එවිට ඔහු වනයට ගොස් ඉතා වෙහෙස ගෙන ලී දඬු කපා, වැල් කපා ගෙනවුත් හිණි මහත් බඳියි. එය රැගෙන අඹ රුක වෙතට යයි. ඒ හිණිමගෙයි උපකාරයෙන් අඹ රුකට නැඟ අඹ ඵලය නෙළා ගනියි. මහරජාණෙනි, ඔහුට හිණිමඟක් සෙවීම පිළිබඳ ව යම් වෙහෙසක් ඇද්ද, ඒ සියලු වෙහෙස අඹ ඵලය නෙළීම උදෙසා ය.
මහ රජාණෙනි, එසෙයින් ම යම් භික්ෂූහු පෙර ආත්ම භාවයන්හි දී රැස් කරන ලද ලොව්තුරු වාසනාවෙන් යුක්ත ව, ස්වභාවයෙන්ම පිරිසිදුව සිටිත් ද, ඔවුහු එක චිත්තක්ෂණයකින් කෙලෙස් සම්පූර්ණයෙන් ම නොහැදෙන ස්වභාවය වූ නිෂ්ප පංච හෙවත් අරහත්වයට පත්වෙති. ඍද්ධියෙන් අහසින් පැමිණ මධුර වූ අඹ ඵලය රැගෙන යන පුරුෂයා මෙනි.
මහ රජාණෙනි, යම් මේ භික්ෂූහු වනාහී බොහෝ කෙලෙස් කසට ඇත්තාහු වෙත් ද, ඔවුහු ඉහත කී ප්‍රයෝග උපක්‍රමයන් කිරීම නිසා ක්‍රමයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරති. ඉතා වෙහෙස ගෙන හිණිමඟ තනා එය උපකාරයෙන් අඹ ගසට ගොඩ වි ඵලය රැගෙන යන පුරුෂයා මෙනි.
මහ රජාණෙනි. එක් බල සම්පන්න පුරුෂයෙක් විශේෂ කටයුත්තක් යෙදී ඇති කල්හී තම ස්වාමියා වෙත තනිව ම යයි. අදාළ කටයුත්ත සුවසේ සපුරා ගනියි. එහෙත් ධනය ඇති තව කෙනෙක් ධනය වියදම් කොට පිරිස් රැස් කොට ඒ පිරිස් ලවා ලබා ගන්නා උපකාරයෙන් අදාළ කටයුත්ත කරයි. එහිලා ඔහුට යම් පිරිස් සෙවීමක් ඇද්ද, ඒ අදාළ කටයුත්ත කරගැනීම පිණිස ය.
මහරජාණෙනි, එසෙයින් ම යම් භික්ෂූහු පෙර ආත්මභාවයන්හි දී රැස් කරන ලද ලොව්තුරු වාසනාවෙන් යුක්ත ව, ස්වභාවයෙන් ම පිරිසිදුව සිටිත් ද, ඔවුහු එක චිත්තක්ෂණයකින් කෙලෙස් සම්පූර්ණයෙන් ම නොහැදෙන ස්වභාවය වූ නිෂ්ප්‍රපංචභාවය හෙවත් අරහත්වයට පත්වෙති. තනිව ම අදාළ කටයුත්ත සපුරා ගන්නා පුරුෂයා මෙනි.
මහරජාණෙනි, යම් මේ භික්ෂූහු වනාහී බොහෝ කෙලෙස් කසට ඇත්තාහු වෙත් ද, ඔවුහු ඉහත කී ප්‍රයෝග උපක්‍රමයන් කිරීම නිසා ක්‍රමයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරති. පිරිස් රැස් කොට ඔවුන්ගේ උපකාරයෙන් අදාළ කටයුත්ත සපුරා ගන්නා පුරුෂයා මෙනි.
මහ රජාණෙනි, ධර්මය හැදෑරීමෙහි බොහෝ උපකාර ඇත්තේ ය. අරුත් විමසීමෙහි ත් බොහෝ උපකාර ඇත්තේ ය. අලුතින් වෙහෙර විහාර ඉදිකිරීමෙහි ත් බොහෝ උපකාර ඇත්තේ ය. දානාදී පිංකම්වල ත් බොහෝ උපකාර ඇත්තේය. පුද පූජාවන් ගේ ත් බොහෝ උපකාර ඇත්තේ ය. ඒ ඒ දෙය කළ යුතු තන්හිදී ඒවා බොහෝ සෙයින් උපකාරී වෙයි.
මහරජාණෙනි, එය මෙබඳු දෙයකි. රජතුමා ඇසුරු කරන, මැනැවින් රාජ්‍ය සේවයෙහි යෙදෙන පුරුෂයෙක් සිටියි. ඔහු අමාත්‍යවරුන්, භට පිරිස්, යෝධයන්, බල ප්‍රධානීන්, දොරටුපාලයන්, පරිවාර ජනයන් මැනැවින් ඇසුරු කරයි. ඒ පුරුෂයා හට කරගත යුතු කටයුත්තක් ඇති කල්හී ඒ සියලු දෙනා බොහෝ සෙයින් උපකාරී වෙති.
එසෙයින් ම මහරජාණෙනි, ධර්මය හැදෑරීමෙහි බොහෝ උපකාර ඇත්තේ ය. අරුත් විමසීමෙහි ත් බොහෝ උපකාර ඇත්තේ ය. අලුතින් වෙහෙර විහාර ඉදිකිරිමෙහි ත් බොහෝ උපකාර ඇත්තේ ය. දානාදී පිංකම්වල ත් බොහෝ උපකාර ඇත්තේය. පුද පූජාවන් ගේ ත් බොහෝ උපකාර ඇත්තේ ය. ඒ ඒ දෙය කළ යුතු තන්හිදී ඒවා බොහෝ සෙයින් උපකාරී වෙයි.
ඉදින් මහ රජාණෙනි, උපදින කොට ම සියලු මිනිස්සු පිරිසිදු වූවාහු වෙත් නම්, අනුශාසනයකින් කළ යුතු දෙයක් නැත්තේය.
මහරජාණෙනි, ධර්ම ශ්‍රවණයෙන් කළ යුතු දෙයක් ඇත්තේමය. මහ රජාණෙනි, අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සීමාවක් කළ නොහැකි අසංඛ්‍යෙය කල්ප ගණනින් රැස් කරන ලද මහා කුසල මූලයන්ගෙන් යුක්ත වූවාහු ප්‍රඥා පාරමිතාවෙහි කෙළ පැමිණි සේක. එබඳු වූ මහෝත්තමයන් වහන්සේ පවා සද්ධර්ම ශ්‍රවණයෙන් තොර ව ආශ්‍රවක්ෂයය නම් වූ අරහත්වයට පැමිණෙන්නට අසමර්ථ වූ සේක. එහෙයින් ම මහ රජාණෙනි, සද්ධර්ම ශ්‍රවණය බොහෝ උපකාරී වෙයි. එමෙන් ම ධර්මය හැදෑරීම ත්, අරුත් විමසීම ත් බොහෝ උපකාරී වෙයි. එහෙයින් ධර්මය හැදෑරීම, අරුත් විමසීම ආදිය කෙලෙස් නොහැදෙන ස්වභාවය ඇති කරදෙන ධර්මයෝ ය."
"ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මේ ප්‍රශ්නය ඉතා මැනවින් සිතා බලා විසඳන ලද්දේ ය. මම එය මේ අයුරින් ම පිළිගනිමි."
🪷නිෂ්ප්‍රපංච බව හෙවත් කෙලෙස් නොහැදෙන බව ගැන පළමු වෙනි ප්‍රශ්නය යි.🪷