01/06/2026
දවසේ සුපුවත 2026 ජුනි 01
ශු. මාක් 12: 1 – 12
1 ජේසුස් වහන්සේ ඔවුන්ට තවදුරටත් උපමා මඟින් කතා කරමින් මෙසේ වදාළ සේක: ”එක් මිනිසෙක් මිදි වත්තක් වගා කොට, එය වටා වැටක් බැඳ, මිදි යන්ත්‍රයට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, ගොවීන්ට අඳයට දී පිට රට ගියේ ය. 2 ඔහු මිදි වත්තේ පලදාවෙන් සිය කොටස අඳකාරයන්ගෙන් ගන්නා පිණිස අස්වැන්න වාරයේ දී ගොවීන් වෙත දාසයෙකු යැවී ය. 3 ඔව්හු දාසයා අල්ලා තළා පෙළා, ඔහු හිස් අතින් හැරියෝ ය. 4 යළිත් ඔහු වෙන දාසයෙකු ඔවුන් වෙත යැවී ය. ඔව්හු ඔහුගේ හිස තුවාළ කොට ඔහුට නින්දා අපහාස ද කළහ. 5 ඔහු තවත් කෙනෙකු යැවී ය. ඔව්හු ඔහු ද මැරූ හ; තවත් බොහෝ දෙනෙකුන්ට එසේ ම කළහ. සමහරු තැළුම් කෑ හ; සෙසු අය මැරුම් කෑ හ. 6 ඔහුට තව එක් කෙනෙක්, එනම්, ප්‍රේමාන්විත පුත්‍ර රත්නයක් සිටියේ ය. ‘ඔවුන් මාගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’යි කියා, අවසාන වශයෙන් ඔහු ද ඔවුන් වෙත යැවී ය. 7 එහෙත්, ඒ ගොවීහු තමන් අතර කතා වී, ‘මේ උරුමක්කාරයා ය. එන්න, මොහු මරමු. එවිට උරුමය අප සතු වන්නේ ය’ කියා 8 ඔහු අල්ලා, මරා, මිදි වත්තෙන් බැහැරට ඇද දැමූ හ. 9 ඉතින් මිදි වතු හිමියා කුමක් කරනු ඇද් ද? ඔහු ඇවිත් ඒ ගොවීන් නසා දමා මිදි වත්ත අන් අයට පවරනු ඇත. 10 මේ ශුද්ධ ලියවිලි පදයවත් ඔබ කියවා, නැද් ද?
‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම කොණේ මුල් ගල වී ඇත;
11 මෙය සමිඳුන්ගේ ම ක්‍රියාවකි, අප ඇස් හමුයෙහි එය විස්මයජනක ය.’ ”
12 මේ උපමාව තමන්ට විරුද්ධ ව එල්ල කළ බව තේරුම්ගත් ඔව්හු උන් වහන්සේ අල්ලන්නට තැත් කළහ. එහෙත්, ජනකායට බිය වූයෙන් ඔව්හු උන් වහන්සේ අත්හැර යන්න ගියහ.
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!