Namo Buddhaya.lk

Namo Buddhaya.lk යේ කේචි බුද්ධං සරණං ගතාසේ
නතේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේවකායං පරිපූරෙස්සන්ති..!🙏
(6)

තමන් කැමති දේ දුන්නොත්,  කැමති දේ ලැබෙනවා.. ඒක තමයි බුද්ධ භාෂිතය. ඒ බුද්ධ භාෂිතය අභිබවා යන්න එපා..======================...
30/04/2026

තමන් කැමති දේ දුන්නොත්, කැමති දේ ලැබෙනවා.. ඒක තමයි බුද්ධ භාෂිතය.
ඒ බුද්ධ භාෂිතය අභිබවා යන්න එපා..

===================================
🔸මනාපදායී ලභතේ මනාපං
අග්ගස්ස දාතා ලභතේ පුනග්ගං,
වරස්ස දාතා වරලාභි හෝති
සෙට්ඨන්දදෝ සෙට්ඨමුපේති ඨානං

🔹කැමති දේ දෙන තැනැත්තා කැමති දේ ලබන්නේ ය. අග්‍ර දේ දෙන තැනැත්තා යළි අග්‍ර වූ දේ ලබන්නේ ය. උතුම් දේ දෙන තැනැත්තා උතුම් දෙයට හිමිකරුවෙක් වන්නේ ය. ශ්‍රේෂ්ඨ වූ දේ දෙන තැනැත්තා ශ්‍රේෂ්ඨ වූ තැනට පත්වන්නේ ය.

🔸යෝ අග්ගදායී වරදායී සෙට්ඨදායී ච යෝ නරෝ,
දීඝායු යසවා හෝති යත්ථ යත්ථූපපජ්ජතී”ති

🔹යමෙක් අග්‍ර දේ දෙන්නේ ද, උතුම් දේ දෙන්නේ ද, ශ්‍රේෂ්ඨ වූ දේ දෙන්නේ ද, ඒ මනුෂ්‍ය තෙමේ යම් යම් තැනක උපදියි නම් දීර්ඝායුෂ ඇත්තේ යස පිරිවර ඇත්තේ වෙයි.

මනාපදායි සූත්‍රය - අංගුත්තර නිකාය

30/04/2026
මේවා ඓතිහාසික චායාරූප..මීට කලිනුත් බෝධීන් වහන්සේලා වඩම්මන්න ඇති...හැබැයි රාජ්‍ය ගෞරව සහිතව, රාජ්‍ය නායකයා අතින් උත්වශ්‍ර...
28/04/2026

මේවා ඓතිහාසික චායාරූප..
මීට කලිනුත් බෝධීන් වහන්සේලා වඩම්මන්න ඇති...
හැබැයි රාජ්‍ය ගෞරව සහිතව, රාජ්‍ය නායකයා අතින් උත්වශ්‍රීයෙන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ නමක් ඇමරිකාව වගේ අන්‍යාගමික රටකට වැඩමවීම ඒ හැම එකකටම වඩා සුවිශේෂයි..

එදා සංඝමිත්තා අරහත් තෙරණිය ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංක්දිවට වැඩම කරද්දි කරවටක් මුහුදට බැස, ඉමහත් ගෞරවයෙන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිලිගත්තාද...
මෙදා එවැනි ගෞරවයක් සහිතව අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටින් වැඩම වන්නට සමුදුන් වගයි..!
මා දන්නා ඉතිහාසයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට මෙවැනි රාජ්‍ය ගෞරවයක් ලැබුන බවක් නොදනී..අහෝ! අසිරියක්මැයි..

ජය ශ්‍රී මහා බෝධින්න් වහන්සේ තව දුරටත් ගෝත්‍රික වන්දනාවක සංඛේතයක් නොවනු ඇත..
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට කරන වන්දනාව තව දුරටත් ගසකට කරන ගෝත්‍රික වන්දනාවක් නොවනු ඇත..

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ යනු මේ ලෝකේ බෞද්ධයන්ට වන්දනා කරන්නට ඇති උතුම්ම වස්ථුවක් බවත්, මේ ලෝකේ ගසකට කරන වන්දනාවක් ශ්‍රේෂ්ඨ වෙනවා නං, ඒ එකම වන්දනාව ජයශ්‍රී මහා බෝ සමිඳුන්ට කරන වන්දනාව බව ලෝකයා මෙන්ම ශ්‍රී ලංකා වාසින්ද දැනු ගනු ඇත..

මේ රට තවදුරටත් බෞද්ධ රටක් නොවන බව ලෝකයේ කිසිවෙකුටවත් පැවසීමට නොහැකි වනු ඇත.. ලංකාද්වීපය ගෞතම බුද්ධ සාසනයේ මුදුන් මල්කඩ බවත්, ලංකාවේ බෞද්ධයන් ශ්‍රේෂ්ඨ දහමක හිමිකරුවන් බවත් ලෝකයාම දැනු ගනු ඇත..

එද වසවත් මරුන්ගේ සියලු අභියෝග හමුවේ නොසැලි සිටි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට සෙවණ සලසා දුන්,..
සතියක් අභිනීල නෙතු සඟලෙන් පිදුම් ලද..
අපගේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්ස..
මිත්‍යාදුෂ්ඨික බල ඇති රටක සම්බුද්ධ ආඥාව පතුරවන්න අවසරයි ඔබ වහන්සේට!!!
සුව සේම වඩිනු මැන!! ගෞතම බුදු සසුන ඇති තෙක් ලෝ සත්වයාට පින් කෙතක් ව සුවසේ වැඩ හිදිනු මැන..!!!

ව්ජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට රාජ්‍ය ගෞරයෙන් පූජා පැවැත්වූ අතිගරු ජනාධිපතිතමන්ට බොහෝ කාලයක් ගෞතම බුදු සසුන බබලවන්නට ආයූ බෝ වේවා!!!

Copied Post - Rangana Ruwanpura

සාම පාද චාරිකාවේ වඩින පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහ්සේ ඇතුලු මහා සඟරුවන කැළණිය රාජමාහා විහාරය බලා වඩිනා අතර තුර... ඒ ආර්‍ය ම...
27/04/2026

සාම පාද චාරිකාවේ වඩින පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහ්සේ ඇතුලු මහා සඟරුවන කැළණිය රාජමාහා විහාරය බලා වඩිනා අතර තුර...

ඒ ආර්‍ය මහා සංඝරත්නයට නමස්කාර වේවා..!🙏❤🌹

Walk for Peace

සමහර බෞද්ධයෝම හිතනවා, "ජාතක කතා" බුදුරජාණන් වහන්සේ දේශනා නොකල බවත්,ඒවා බුද්ධ සාසනයට අයිති නැති බවත්, ඒවා හුදෙක් සාහිත්‍ය...
26/04/2026

සමහර බෞද්ධයෝම හිතනවා, "ජාතක කතා" බුදුරජාණන් වහන්සේ දේශනා නොකල බවත්,
ඒවා බුද්ධ සාසනයට අයිති නැති බවත්, ඒවා හුදෙක් සාහිත්‍ය කතා පමණක් බවත්...

"ජාතක කතා" වල ඇත්තේ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න පෙර බෝසතාණන් වහන්සේව කියූ කේරූ දේවල් බව සැබෑව...
ඒත් "ජාතක කතා" යනු බුදු මුවින් දේශනා කල බුද්ධ භාෂිතයක්මයි...

මේ බුද්ධ සාසනය අයිති බුදුරජාණන් වහන්සේටයි...ඒ නිසා බුදුරජාණ වහන්සේ විසින් මේ බුද්ද සාසනය විවිධ අයුරින් විස්තර කරනවා..
ඒ අනුව මේ බුද්ධ සාසනය බ්‍රහ්මචරිය, සද්ධර්මය, ශාස්තෘ ශාසනය ආදී වශයෙන් හඳුන්වනවා..

ඒ වගේම මේ බුද්ධ සාසනය "නවාංග ශාස්තෘ ශාසනය" යන නමිනුත් හඳුන්වනවා..
ඒ එය අංග නවයකින් යුක්ත නිසා..
සියලු බෞද්ධයන් මේ නවාංග ශාස්තෲ සාසනය කුමක්ද කියා දැනසිටිය යුතුයි...මේ අංග නමයෙන් යුත් බුද්ධ සාසනයේ එකක් තමයි "ජාතක කතා" කියන්නේ..

මේ නවාංග ශ්‍රාස්තෲ සාසනයේ අංග නමය තමයි...
1️⃣සුත්ත,
2️⃣ගෙය්‍ය,
3️⃣වෙය්‍යාකරණ,
4️⃣ගාථා,
5️⃣උදාන,
6️⃣ඉතිවුත්තක,
7️⃣ ජාතක,
8️⃣අබ්භූතධම්ම,
9️⃣වේදල්ල

මොනාද බුද්ධ සාසනයේ මේ අංග නවයෙන් කියවෙන්නේ..

1️⃣සුත්ත -
සුත්ත යනු බුදුරජාණන් වහන්සේ විසින් කරන සූත්‍ර දේශනායි..කරණීය මෙත්ත සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය, රතන සූත්‍රය, ආදී දේශනා වලට ‘දේශනාව‘ යන අර්ථය ඇතිව තමයි, සූත්‍රය යන නම භාවිතා වන්නේ.
ඒ වගේම විනය පිඨකයත් මේ සූත්‍ර කියන කොටසට අයත්..

2️⃣ගෙය්‍ය -
යනු හඳුන්වන්නේ සමහර සූත්‍ර දේශනා වලදී, ඒ දේශනාව දේශනා කරන අතරතුර දී හෝ දේශනාව අවසානයේදී ගාථා වලින් යම් යම් දහම් කරුණු සම්පිණ්ඩනය කර ඉදිරිපත් කළ ඒවාටයි. මේ ගාථාවලින් කරන ලද දේශනා තමයි භාග්‍යවතුන් වහන්සේ ‘ගෙය්‍ය’ නමින් වදාරා තිබෙන්නේ.. කසිභාරද්වාජ සූත්‍රය වගේ සූත්‍ර මෙයට අයත්..

3️⃣වෙය්‍යාකරණ-
වෙය්‍යාකරණ කියා කියන්නේ යම් කිසි දහම් කරුණක් මාතෘකා කරගෙන, ඒ දහම් කරුණ සවිස්තරව ඉදිරිපත් කිරීම යි. අභිධර්ම පිඨකයත් මේ කොටසට අයත්..
ඒ වගේම අනන්ත ලක්ඛන සූත්‍රය, බහ්‍රමජාල සූත්‍රය වගේ සූත්‍රත් මීට අයත්..

4️⃣ගාථා-
ගාථා යනු බුදුරජාණන් වහන්සේ දේශනාවක් සම්පූර්ණයෙන්ම ගාථා වලින් දේශනා කිරීමයි..
"ධම්ම පදය" - "ථේර ථේරී" ගාථාද මේ කොටසට අයත්.

5️⃣උදාන-
සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ යම් යම් ප්‍රසාදජනක හෝ සංවේග ජනක කරුණු නිමිතිකරගෙන උන්වහන්සේගේ හදවතෙහි පැන නගින හැඟීම් දහම් කරුණක් වශයෙන් මුවින් පිටකරනවා...
ඛුද්ධක නිකායේ "උදාන පාළි" ආදීය මේ කොටසට අයත්..

6️⃣ඉතිවුත්තක-
ඉතිවුත්තක යනු "බුදුරජාණන් වහන්සේ මෙසේ වදලා සේක" (වුත්තං හේතං භගවතා).. යනුවෙන් ආරම්භ වන දේශනායි..
ඛුද්දක නිකායේ "ඉතිවුත්තක පාළිය" මේ කොටසට අයත්...භාග්‍යවතුන් වහන්සේගේ දවසේ මේ ඉතිවුත්තක ඛුජ්ජුත්තරා උපාසිකාව විසින් දරාගෙන මතක තබාගෙන තිබෙනවා.

7️⃣ජාතක-
ජාතක යනුවෙන් හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අතීත ජීවන තොරතුරු ඇතුළත් කතා යි..එම තොරතුරු සූත්‍ර දේශනාවල; බුද්ධ දේශනාවල දහම් කරුණු හා සම්මිශ්‍රව දේශනා කොට තිබෙනවා.

8️⃣අබ්භූත ධම්ම-
බුදු කෙනකුගේ ජීවිතය තුළ සහ ලෝකය තුළ තිබෙන ආශ්චර්ය අද්භූත දේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් හෙළිදරව් කරනවා..
ශාස්තෘ ශාසනයට අයත් ‘අද්භූත ධම්ම’ යනුවෙන් සඳහන් වන්නේ, ඒවා යි.

9️⃣වේදල්ල-
වේදල්ල යනු, ප්‍රශ්නෝත්තර වශයෙන්; සාකච්ඡාවෙන් සිදු වන දහම් කරුණු විමසීමක්.
චුල්ල වේදල්ල සූත්‍රය,මහා වේදල්ල සූත්‍රය, සක්ක ප්‍රඥ්හ සූත්‍රය ආදිය මෙයට ඇතුලත්..

භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ කොටස් නවයෙන් යුත් ශාස්තෘ ශාසනය බොහෝ කලක් පැවතීමට නම් එය දැන සිටීම අතිශයින්ම වැදගත් බව..එසේ නම් ජාතක කතා ද බුද්ධ සාසනයේ පැවතීම පිණිස දැන ඉගෙන ගත යුතුමය..

බුදුරජාණන් වහන්සේ දුතිය සද්ධම්ම සම්මෝස සුත්‍රයේ මෙසේ වදාලා..

===================================
මහණෙනි, මෙහිලා භික්ෂූහු සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසන ධර්මය ඉගෙන නොගනිති. මහණෙනි, සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින පළමු කරුණ මෙය යි...
====================================

එසේ නම්,බුද්ධ සාසනය බොහෝ කලක පැවතීම පිනිස මේ ජාතක කතා ආදියෙන් යුත් නවාංග ශාස්තෲ සාසනයම අවශ්‍යයයි...කිසි විටකත් "ජාතක කතා" බැහර කල නොහැකියි..

🐕 ආලෝකා අපට සිහිපත් කරවන ඝෝෂක සිටුතුමාගේ අතීත ජීවිත කතාව 👇➡️ දුර්භික්ෂය සහ දරුවා අතහැරීම අල්ලකප්ප රටේ ඇතිවූ දැඩි සාගතය න...
26/04/2026

🐕 ආලෝකා අපට සිහිපත් කරවන ඝෝෂක සිටුතුමාගේ අතීත ජීවිත කතාව 👇

➡️ දුර්භික්ෂය සහ දරුවා අතහැරීම
අල්ලකප්ප රටේ ඇතිවූ දැඩි සාගතය නිසා ජීවත් වීමට නොහැකි වූ 'කෝතුහලික' නම් මිනිසෙක්, තම බිරිඳ සහ කුඩා පුතු සමඟින් "කොසඹෑ නුවරට ගොස් ජීවත් වෙමු"යි සිතා ගමන් ආරම්භ කළේය. මඟදී ඔවුන් සතු වූ ආහාර අවසන් වී දැඩි කුසගින්නෙන් පීඩා විඳි අතර, දරුවා වඩාගෙන යාමට තරම්වත් ඔවුන්ට ශක්තියක් නොතිබුණි. එවිට ස්වාමිපුරුෂයා බිරිඳට මෙසේ කීවේය: "සොඳුරිය, අපි ජීවත් වුණොත් ආයෙත් දරුවෙක් ලබන්න පුළුවන්. ඒ නිසා මේ දරුවා අතහැරලා යමු."

නමුත් මවකගේ හදවත මොළොක්ය. ඇය එයට දැඩිව විරුද්ධ වෙමින්, ජීවත්ව සිටින තම දරුවා අතහැර යාමට නොහැකි බව කීවාය. පසුව දෙදෙනා මාරුවෙන් මාරුවට දරුවා වඩාගෙන යාමට තීරණය කළහ. පියාගේ වාරයේදී දරුවා වඩාගෙන යන විට කුසගින්න නිසා ඔහුට දැඩි වේදනාවක් දැනුණි. ඔහු නැවත නැවතත් දරුවා අතහැර යාමට යෝජනා කළත් බිරිඳ එය ප්‍රතික්ෂේප කළාය. කුසගින්නෙන් සහ වෙහෙසින් හෙම්බත් වී සිටි දරුවා පියාගේ අතේම නින්දට වැටුණි. දරුවා නිදාගෙන සිටින බව දුටු පියා, මවට ඉදිරියෙන් යාමට සලස්වා එක් පඳුරක් යට දරුවා තබා ආවේය. මව ආපසු හැරී බලන විට දරුවා නොදැක ඒ ගැන විමසූ විට ඔහු සත්‍යය පැවසීය. ඇය හඬා වැටෙමින් දරුවා නොමැතිව තමාට ජීවත් විය නොහැකි බව පවසා ඔහුව නැවත රැගෙන එන ලෙස බල කළාය. ඔහු නැවත ගොස් දරුවා ගෙන ආවත්, ඒ වන විටත් දරුවා මියගොස් තිබුණි.

මේ පඳුර යට දරුවා අතහැර දැමීමේ පාපකර්මය නිසා ඔහුට සංසාරයේ අවස්ථා හතකදීම මෙලෙස අතහැර දැමීම් වලට ලක්වීමට සිදුවිය. "පව්කම් සුළුකොට නොතැකිය යුතුය" යන්න මෙයින් පැහැදිලි වේ.

➡️ සුනඛයෙකු වී ඉපදීම
ඉදිරියට ගමන් කළ ඔවුන් එක් ගොපලු නිවසකට ළඟා විය. එදින ගොපල්ලාගේ නිවසේ උත්සවයක් වූ අතර, ඔහු නිතර දන් දෙන පසේබුදුරජාණන් වහන්සේට දන් දී ඉතිරි වූ ගිතෙල් මිශ්‍ර කිරිබත් ඔවුන් දෙදෙනාට ද ලබා දුන්නේය. බිරිඳ ස්වාමියාට අනුකම්පා කර තමාට වඩා වැඩි ප්‍රමාණයක් ඔහුට කෑමට දී තමා ස්වල්පයක් අනුභව කළාය. කෝතුහලික ආහාර ගන්නා අතරේ ගොපල්ලා විසින් එම නිවසෙහි සිටින බැල්ලියට ද ගිතෙල් මිශ්‍ර කිරිබත් දෙනු දැක ‘දිනපතා මෙබඳු වූ ප්‍රණීත බොජුන් අනුභව කරන්නට ලැබෙන, අනේ මේ බැල්ලිය අපට වඩා කෙතරම් වාසනාවන්ත ද!’ යි සිතීය. අධික ලෙස ආහාර ගත් ඔහු එය දිරවාගත නොහැකිව එදින රාත්‍රියේම මියගොස් ඒ බැල්ලියගේ කුසෙහි ම ඉපදුණි.

ඔහුගේ බිරිඳ ඒ නිවසේම වැඩකාරියක ලෙස නැවතී, තමාට ලැබෙන සහල් වලින් බත් පිස පසේබුදුරජාණන් වහන්සේට පූජා කරමින් පින් රැස් කර ගත්තාය. කාලයත් සමඟ බැල්ලියට එක් බලු පැටවෙකු ලැබුණු අතර ගොපල්ලා ඌට එක් එළදෙනකගේ කිරි දී ඇති දැඩි කළේය. පසේබුදුරජාණන් වහන්සේ දන් වළඳද්දී දිනපතාම මේ බලු පැටවාට බත් පිඬක් දුන් අතර, ඒ නිසා බලු පැටවා උන්වහන්සේට දැඩි ලෙස ආදරය කළේය. ගොපල්ලා පසේබුදුරජාණන් වහන්සේ දානය සඳහා වඩමවාගෙන ඒමට යන විට වනසතුන් එළවීමට ගස්වලට හා බිමට කෙවිටකින් ගසමින් හඬ නගන ආකාරය ඔහු සමග යන මේ බලු පැටවා ද බලා සිටියේය.

➡️ බලු පැටවාගේ ස්නේහය සහ මරණය
දිනක් ගොපල්ලා පසේබුදුරජාණන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනී, මාහට පැමිණීමට නොහැකි දවසට මම මේ සුනඛයාව එවමි. ඔහු සමග වැඩම කරනු මැනව.” එතැන් පටන් තමාට යාමට නොහැකි දවසට “පුතේ යන්න. ආර්යයන් වහන්සේව වැඩම කරවාගෙන එන්න” යැයි කී කල්හි එම සුනඛයා ඉතා සතුටින් නිවසින් පිටත් ව පෙර ගොපල්ලා හඬ නැගූ තැන්වලදී තුන් වරක් බුරා වන සතුන් පලවා හැර පසේබුදුරජුන් වැඩසිටි වනගත කුටිය වෙත යයි. පසේබුදුන් සමග නැවත පැමිණෙද්දී ද එසේ ම වන සතුන් පලවා හරිනු පිණිස බුරමින් ඉදිරියෙන් එයි.

පසේබුදුරජාණෝ වරින් වර සුනඛයාව පරීක්ෂා කරනු පිණිස වෙනත් මාර්ගයක යයි. එවිට සුනඛයා මාර්ගය හරහට සිට‍ගෙන බුරා නැවත නිවැරදි මගට පසේබුදුරදුන්ව යොමු කරයි. තවත් දිනෙක එසේ වළක්වද්දීත් පසේබුදුන් වැරදි මාර්ගයේ ඉදිරියටම වැඩම කරයි. එවිට සුනඛයා උන්වහන්සේගේ සිවුරුකොණ සපා ඇදගෙන ගොස් නැවත නිවැරදි මගට යොමු කරයි. මෙසේ ඔහු පසේබුදුරජුන් කෙරෙහි බලවත් ස්නේහකින් යුතුව සිටියේය.

කලකට පසු පසේබුදුරජාණන් වහන්සේ සිවුරු මැසීම සඳහා වෙනත් ප්‍රදේශයකට යාමට අහසට පැන නැගුණි. අහසින් වඩින උන්වහන්සේ දෙස බලා සිටි බලු පැටවාට ඇතිවූ දැඩි ශෝකය නිසා උගේ හදවත පැළී මිය ගියේය. තිරිසන් සතුන්ගේ සිත ඉතා සෘජුය. මිනිසුන් වංක නැත. මේ සෘජු සිතින් මියගිය බලු පැටවා තව්තිසා දෙව්ලොව අගනුවර 'ඝෝෂක' නම් දෙව්පුතකුව ඉපදුණි. ඔහුගේ කටහඬ යොදුන් ගණනාවක් දුරට ඇසෙන තරම් බලවත් වූයේ වනසතුන්ගෙන් ආරක්ෂාව සපයනු පිණිස බුරමින් පසේබුදුරජාණන් වහන්සේ කෙරෙහි දැක්වූ සෙනෙහසේ ප්‍රතිඵලයක් ලෙසිනි.

➡️ මිනිස් ලොව ඉපදීම සහ මරණ පරීක්ෂණ 7
නමුත් ඔහු වැඩි කලක් දෙව්ලොව නොසිටියේය. පින සහ ආයුෂ ගෙවී යාමෙන් ඔහු කොසඹෑ නුවර ගණිකාවකගේ කුසෙහි ඉපදුණි. ඇයට අවශ්‍ය වූයේ ගැහැණු දරුවෙකු බැවින් ඇය මේ පිරිමි දරුවාව කුණු ගොඩකට වීසි කර දැමුවාය. නමුත් කපුටන් හෝ බල්ලන් ඔහුට හානියක් කළේ නැත. එය පසේබුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔහු දැක්වූ ආදරයේ ආනිශංසයයි. එක් මිනිසෙක් මේ දරුවා දැක ආදරයෙන් තම නිවසට රැගෙන ගියේය.

මේ අතර කොසඹෑ නුවර සිටුතුමාට අසන්නට ලැබුණේ අද දින උපදින දරුවෙකු අනාගතයේ නගරයේ ප්‍රධාන සිටුතුමා වන බවයි. තම බිරිඳ ද ගැබිනියකව සිටි බැවින්, ඔහු කහවනු දහසක් දී මේ දරුවාව මිලදී ගත්තේය. ඒ, තම බිරිඳට ගැහැණු දරුවෙකු ලැබුණොත් මේ දරුවාට විවාහ කර දීමටත්, පිරිමි දරුවෙකු ලැබුණොත් මේ දරුවාව මරා දැමීමටත් සිතාගෙන ය. දින කිහිපයකට පසු සිටුතුමාගේ බිරිඳ පිරිමි දරුවෙකු බිහි කළාය. එතැන් පටන් සිටුතුමා ඝෝෂක දරුවාව මරා දැමීමට අවස්ථා 6 කදීම විවිධ උපායයන් යෙදූ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ විය.

▶️ගව මඩුවේදී: ගවයන්ට පෑගී මිය යාමට ගව ගාලේ දොරකඩ තැබුවද, නායක ගවයා දරුවාට ඉහළින් සිටගෙන ඔහුව ආරක්ෂා කළේය.
▶️කරත්ත පාරේදී: ගැල් සිය ගණනකට පෑගීමට පාරේ තැබුවද, ගවයන් දරුවා සිටි තැනින් ඉදිරියට යාම ප්‍රතික්ෂේප කළහ.
▶️සුසාන භූමියේදී: සතුන්ට කෑමට සොහොනේ තැබුවද, එළු දෙනක් පැමිණ දරුවාට කිරි දී ආරක්ෂා කළාය.
▶️කන්දෙන් පහළට දැමීම: කඳු මුදුනකින් පහළට විසි කළද, දරුවා උණ පඳුරක් මතට නිරුපද්‍රිතව වැටුණි.
▶️කුඹල්කරුගේ පෝරණුව: සිටුතුමා ඝෝෂකව කුඹල්කරුවෙකු වෙත යැව්වේ උදුනට දමා මරා දැමීමටයි. නමුත් මඟදී සිටුතුමාගේම සැබෑ පුත්‍රයා ඝෝෂකගෙන් පණිවිඩය ඉල්ලාගෙන ගොස් කුඹල්කරු අතින් මරණයට පත්විය. (නිදොස් අයට වරදක් කරන්නාටම එහි විපාක ලැබෙන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කර ඇත).

➡️ ලිපිය වෙනස් වීම සහ විවාහය
සිටුතුමා අවසාන වශයෙන් ඝෝෂකගේ ඇඳුමේ ලිපියක් සඟවා, ඔහුව දුර බැහැර ගමක සිටින තම කළමනාකරු වෙත යැව්වේය. ඒ ලිපියේ ලියා තිබුණේ "මේ දරුවාව මරා වළකට දමන්න" කියාය. ඝෝෂකට අකුරු කියවීමට නොහැකි විය. මඟදී ඔහු තම පියාගේ මිතුරෙකු වූ ප්‍රාදේශීය සිටුවරයෙකුගේ නිවසේ නවාතැන් ගත්තේය.

එම සිටුවරයාගේ දියණිය (පෙර භවයේ ඝෝෂකගේ බිරිඳ වූ කාලි) ඝෝෂකව දුටු විගස ඔහුට පෙම් බැන්දාය. පෙර භවයේ බැඳීමක් ඇති වූ විට එය දියට දැමූ නෙළුමක් මෙන් විකසිත වේ. ඇය ඔහු නිදා සිටියදී ඇඳුමේ තිබූ ලිපිය කියවා බලා, එය ඉරා දමා වෙනත් ලිපියක් ලියා එහි තැබුවාය. එහි ලියා තිබුණේ "මාගේ පුත් ඝෝෂකව මේ ප්‍රාදේශීය සිටුවරයාගේ දියණියට විවාහ කර දී, මහල් දෙකක නිවසක් සාදා දී මට පණිවිඩයක් එවන්න" කියාය. කළමනාකරු ලිපිය කියවා ඒ ආකාරයෙන්ම සියලු දේ ඉටු කළේය.

➡️ සිටුතුමාගේ මරණය සහ ඝෝෂක සිටු තනතුර ලැබීම
තමා කළ සියලු සැලසුම් කණපිට පෙරළී ඇති බව ඇසූ සිටුතුමාට දැඩි ශෝකයක් සහ කෝපයක් ඇති වී රෝගාතුර විය. ඔහුට අවශ්‍ය වූයේ මිය යාමට පෙර තම සියලු දේපළ ඝෝෂකට නොදෙන බවට ප්‍රකාශ කිරීමටයි. නමුත් ඝෝෂකගේ බිරිඳ ඉතා සූක්ෂම ලෙස කටයුතු කරමින්, සිටුතුමා අවසන් හුස්ම හෙළන මොහොතේ ඔහුට කතා කිරීමට නොහැකි වන සේ ඇඟ මතට පැන හඬා වැටුණාය. සිටුතුමා මිය ගියේය.

උදේන රජතුමා නව සිටුවරයා ලෙස ඝෝෂකව කැඳවීය. රජ මාළිගාවට යන විට මිදුලේ තිබූ දිය වලවල් උඩින් පැන ගිය ඝෝෂක, නැවත එන විට ඉතා සංසුන්ව ගියේය. රජතුමා ඒ ගැන විමසූ විට ඔහු මෙසේ කීවේය: "දේවයන් වහන්ස, මා එන විට සාමාන්‍ය තරුණයෙක්. නමුත් දැන් ඔබතුමා මට සිටු තනතුරක් ලබා දෙන බව කීවා. ඒ නිසා මම ඊට ගැළපෙන සේ සංසුන්ව හැසිරිය යුතුයි." මෙයින් පැහැදුණු රජතුමා ඔහුට නගරයේ ප්‍රධාන සිටු තනතුර ලබා දුන්නේය.

දිනක් ඝෝෂක සිටුතුමා රියෙන් යන විට ඔහුගේ බිරිඳ සිනාසුණාය. ඒ ඇයිදැයි විමසූ විට, සිටුතුමා විසින් ඔහුව මරන්නට කළ සැලසුම් 7ම සහ ඇය ලිපිය වෙනස් කර ඔහුව බේරාගත් අයුරු ඇය හෙළි කළාය. ඝෝෂක එය විශ්වාස නොකළ අතර, පසුව මෙහෙකාරියගෙන් ඇසූ විට ඇය ද සියල්ල සත්‍ය බව තහවුරු කළාය.

තමා කොතරම් භයානක මරණ වලින් බේරී ඇත්දැයි වටහා ගත් ඝෝෂක සිටුතුමා, තම ජීවිතයේ වටිනාකම තේරුම් ගෙන එතැන් පටන් දිනපතා කහවනු දහසක් වියදම් කරමින් දුගී මගීන්ට මහා දානයක් දීම ආරම්භ කළේය.

පසු කලෙක ඝෝෂක සිටුතුමා විසින් තම දියණි තනතුරේ තබා පෝෂණය කරනු ලැබූ, මියගිය භද්‍රවතී නම් තම මිත්‍ර සිටුවරයාගේ දියණිය වූ සාමාවතී කුමරිය උදේන රජුගේ අගමෙහෙසිය බවට පත්වූවාය. තම මිත්‍ර සිටුවරුන් දෙදෙනෙකු සමග බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූ මෙම ඝෝෂක සිටුතුමා කොසඹෑ නුවර ඝෝෂිතාරාමය ද බුදුසසුනට පිදීය.



මේ තුන්ලොවෙහි අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් නිමකල අසහාය නිර්මාණය නම් අපගේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේයි..බුදුරජාණ...
25/04/2026

මේ තුන්ලොවෙහි අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් නිමකල අසහාය නිර්මාණය නම් අපගේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේයි..

බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් වැඩිම ප්‍රමාණයක් වෙන් කලේ මේ ලංකාද්වීපයේ අප වෙනුවෙනුයි..
ඒ ධාතුන් වහන්සේලා අපට ලැබුනු විදියත් හරි විශ්මිතයි...

නාග ලෝකයේ නා රජවරුන් බොහෝ ආදරයෙන් රැකපු ධාතුන් වහන්සේලා මනුස්ස ලෝකෙට ගෙන එන එක හිතන තරං ලේසි වුනේ නෑ...මේ ඉර්ධිමත් නාගයෝ එහෙම් ලේසියෙන් ධාතුන් වහන්සේලා දෙන්න කැමති වුනේ නෑ..

නාග ලෝකේ අපූරූ නාගයෝ ගැන විස්තරේ මෙතන තියෙනවා බලන්න..
https://www.facebook.com/share/p/1Hq7DL5nvE/

නා ලොවෙන් ධාතුන් වහන්සේලා ගේන්න සසරේ පෙරුම් පුරපු අපූරූ කෙනෙක් මේ බුද්ධ සාසනයේ හිටියා..

🚩 පෙරුං පුරා ආ සංසාරේ..

අපගේ භාග්‍යවතුන් වහන්සේ ලෝකයට යහපත පිණිස චාරිකාවේ වඩිද්දී ගංගා නම් ගඟ අසල ගමකටත් වැඩියා...

මේ ගමේ හිටියා "නන්දුත්තර" කියලා තරුණයෙක්..
මේ තරුණයා අප භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් ආරාධනා කරලා ශ්‍රද්ධාවෙන් දන් පැන් පූජා කරගත්තා...

ඒ ගමේ පිරිසටත් ධර්මය කියලා අපගේ ශාස්තෘන් වහන්සේ සංඝයා සමඟ "ප්‍රයාග" නම් නැව්තොටින් ගංගා නදියේ යන නැවකට භික්ෂු සංඝයාත් සමඟ වැඩම කළා...
මේ "නන්දුත්තර" තරුණයත් භාග්‍යවතුන් වහන්සේ එතෙර කරන්න මේ නැවට නැග්ගා..

🚩 මහා පනාද රජ්ජුරුවගේ දිය යට මාළිගාව...

මේ නැවේ ෂඞ් අභිඥාලාභී මහා ඉර්ධිමත් අපගේ "භද්දජී" මහරහතන් වහන්සේ වැඩසිටියා..
භද්දජී මහරහතන් වහන්සේ අසූමහා ශ්‍රාවකයෙක් ද වෙනවා..

උන්වහන්සේ නැවෙන් වඩිද්දී ගඟ මැද දිය සුලියක් දැකලා භික්ෂූන්ට මෙහෙම පැවසුවා...

“මං කලින් ආත්මෙක "මහා පනාද" නමින් රජවෙලා ඉන්දෙද්දී වාසය කළ රනින් කළ ප්‍රාසාදය මෙතැන තමයි තිබුනේ.. ඒ කාලේ මගේ ඒ ප්‍රාසාදය යොදුන් විසි පහක් උසින් යුක්තයි..."
බලන්න...මේ ගංගාවේ ජලය ප්‍රාසාදය තියෙන තැනට ඇවිත් සුළියක් වගේ කරකැවිලා පහළට යනවා” කියල කිව්වා..

මේ කතාව නැවේ හිටපු ඉර්ධිබල නැති සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා විශ්වාස කළේ නෑ...ඉතින් උන්වහන්සේලා ඒ කථාව ශාස්තෘන් වහන්සේට කිව්වා...

ශාස්තෘන් වහන්සේ භද්දජී මහරහතන් වහන්සේ ඇමතුවා..

පින්වත් “භද්දජී, ඔබ භික්ෂූන් තුළ ඇති වූ සැකය දුරු කරන්ට කාලයයි...කියා වදාළා.

එතකොට "භද්දජී" මහරහතන් වහන්සේ තමන් බ්‍රහ්මලෝකය දක්වා තම සිතේ බලය පැවැත්විය හැකි බව පෙන්වීම පිණිස,..
ඉර්ධිබලයෙන් අහසට පැන නැංගා... තල් ගස් හතක් පමණ උසින් හිටගත්තා..

තමන් සිටින තැනම සිට අත දිගු කොට බ්‍රහ්ම ලෝකයේ තිබෙන "සළුමිණි" සෑය මනු ලොවට ගෙනැවිත් ජනතාවට පේන්ට සළස්වා ආයෙමත් එතැනින්ම තිබ්බා...

ඊට පස්සේ ඉර්ධිබලයෙන් ගංගා නම් නදිය මතට වැඩියා..පයේ මහපොට ඇඟිල්ලෙන් ඒ මහා පනාද ප්‍රාසාදයේ කොන පටලවාගෙන ගංගාවෙන් තුන් යොදුනක් උඩට ඔසොවලා ජනයාට පෙන්වලා නැව්ත් ගං පතුලෙම තිබ්බා..

🚩 පිං කොට, පැතූ පැතුම..

මේ අසිරිමත් සිදුවීම ගං ඉවුරේ සිටි මිනිස්සු සාදු කාර දෙමින් බලා සිටියා...
නැවේ හිටපු අර "නන්දුත්තර" තරුණයත් මේ සිද්ධිය දැකලා භද්දජි මහරහතන් වහන්සේගේ ඉරිධි බලය ගැන හරි සතුටු හිතුනා...

මේ සතුටත් එක්ක නන්දුත්තරට හරි අපූරු සිතිවිල්ලක් පහල වුනා..

අනේ! ‘මටත් මේ විදිහට ඉර්ධි බලයෙන් ධාතූන් වහන්සේලා උඩට වඩම්මන්ට ඇත්නම්’ කියලා..

මේ අදහස හිතේ තියාගෙන "නන්දුත්තර" ආර්‍ය මහා සංඝරත්නය උදෙසා දන් පැන් පූජා කලා..පිං කර ගත්තා...

"නන්දුත්තර" තරුණයා මැරිලා ගිහින් අනුරාධපුර යුගයේ මේ ලංකාද්වීපයේ ඉපදුනා..
ඔහු නිසි වයසෙදි පැවිදි වුනා.. ගෞතම බුද්ධ සාසනයේ "සෝණුත්තර" නමින් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුනා..
උන් වහන්සේ ෂඩ් අභිඥාලාභි රහතන් වහන්සේ නමක්..

🚩 සසරේ පැතුම ඉටුවෙන කාලය ආවා..

අග්‍ර උතුමන් කෙරෙහි දන් පැන් දීලා කරන ප්‍රාර්ථනාවන් ඒ විදියටම ඉෂ්ඨ වෙනවා...
එදා නන්දුත්තර තරුණයා කල ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්න ඔන්න දැන් කාලේ හරි..

ඒ වෙනකොට උන් වහන්සේට උපසම්පදාවෙන් වසර 16යි.. දුටුගැමුණු රජතුමා ස්වර්ණමාලි මහා සැය හදන කාලේ..

ඒ වෙනකොට මහා සැයේ ධාතු ගර්භය හදලා ඉවරයි..දැන් අවශ්‍යව තිබුනේ ධාතුන් වහන්සේලා විතරයි..."හෙට" තමයි ධාතු නිදානෝත්ස්වය..

දුටුගැමුණු රජතුමා මහා රහතන් වහන්සේලාට ගිහින් කිව්වා..

“ස්වාමීනී, මං ධාතු ගර්භයේ කටයුතු කොට අවසන් කළා.. හෙට ධාතු නිධානය කරන්ට ඕනෑ...
ධාතූන් වහන්සේලා පිළිබඳව ඔබවහන්සේලා දන්නා සේක්වා!”

මහ රහතන් වහන්සේලා බැලුවා ධාතුන් වහන්සේලා රැගෙන එන්න පින තියෙන්නේ කාටද කියලා..
උන් වහන්සේලා දැක්කා සසරේ කෙනෙක් පතාගෙන එනවා කියලා.. ඒ අපේ නන්දුත්තර තරුණයා නොහොත් සෝණුත්තර මහ රහතන් වහන්සේයි...

ඔන්න බලන්න අග්‍ර උතුමන් කෙරෙහි දන් පැන් දීලා කරන ප්‍රාර්ථනාවන් ඒ විදියටම ඉෂ්ඨ වෙන්නයි යන්නේ..

මහා තෙරුන් වහන්සේලා සෝණුත්තට තෙරුන්ට කතා කරලා විස්තරේ කිව්වා..

උන් වහන්සේ ඇහුවා..
‘ස්වාමීනී, මං ධාතූන් වහන්සේලා වඩම්මන්නේ කොහෙන්ද?’ කියලා..

සංඝයා සෝණුත්තර තෙරුන්ට ඒ ධාතූන් වහන්සේලාගේ ඒ අසිරිමත් කථාව කිව්වා...

🚩 නාගයන්ට ධාතු ලැබුන හැටි...

“අප භාග්‍යවතුන් වහන්සේ එදා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් වනයේදී පිරිනිවන් පෑම පිණිස සැතැපී සිටියදී ධාතූන් වහන්සේලාගෙනුත් ලොවට යහපත සැළසීම ගැන සක් දෙවිඳුන් හට මෙසේ වදාළා...

""දේවේන්ද්‍රයෙනි, මාගේ ශාරීරික ධාතු ද්‍රෝණ අටක් ලැබෙනවා ඇති... එයින් එක් ද්‍රෝණයක් රාම ගමෙහි කෝලියවරුන්ට ලැබෙනවා ඇති.

එතැනින් නාගලෝකයට ගෙනිහින් නාගයින් විසින් නාගලෝකයේදී ඒ ධාතූන්ට පුද සත්කාර කරනවා..
නා ලොවින්, අනාගතයේ ලංකාද්වීපයේ ස්වර්ණමාලී නමින් හැදෙන මහා ස්ථූපයේ නිධන්ගත වෙනවා ඇති’""

මගේ බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාන්න කලින් අපිට වන්දනා කරන්න ධාතුන් වහන්සේලා වෙන්කලා..අහො! අප කෙතරම් නං වාසනාවන්තද...

බුදුරජාණන් වහන්සේගේ සක්දෙවිඳුට කියපු මේ කතාව අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැනගෙන හිටියා..

උන් වහන්සේ අනාගතය ධර්මාශෝක රජතුමා ස්ථූප 84,000ක් කරවන බව දැකලා, රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා හැර අනෙක් සියලු ධාතුන් වහන්සේලා ගෙන අජාසත් රජුගේ අනුග්‍රහයෙන් එක සෑයක් හැදුවා..

ධර්මාශෝක රජතුමා ස්ථූප 84,000 කරවද්දි, රාම ගාමයේ ධාතුන් වහන්සේලාත් රැගෙන එන්න අණ කලත්, රහතන් වහන්සේලා විසින් එය වළක්වා, රජුට දැනුම් දුන්නා, ඒ ධාතුන් වහන්සේලා අනාගතයේ ලංකාද්වීපයේ මහා සෑයට වෙන්කොට ඇති බව...

රාම ගාමයේ ස්ථූපය හදලා තිබුනේ ගංගාවක් අයිනේ...කාලයක් ගියාට පස්සේ ආපු සැඩ වතුර පාරකින් ස්ථූපය කැඩිලා ගංගාවට ගහගෙන ගියා..

ඒ ධාතූන් වහන්සේලා තැන්පත් කරඬුව,
මහා මුහුදට ගිහින් ජලය දෙබෑ කරගෙන අහසට මතුවෙලා නොයෙක් මැණික් පිරීගිය වේදිකාවක රැස් විහිදුවමින් වැඩසිටියා..

ඒ කරඬුව දැකපු නාගයෝ මාංජේරිකා නාග භවනයේ ඉන්න "මහාකාල" නැමැති නාගරාජයා වෙත ගිහින් දැනුම් දුන්නා..
මහාකාල නාගරාජයා දස කෝටි දහසක නා පිරිවරත් සමඟ එතැනට ගිහින් මහත් ආදරයෙන් පූජාවන් පවත්වමින් තමන්ගේ භවනට ඒ ධාතු කරඬුව වැඩමවාගෙන ආවා...

සත්රුවනින් ස්ථූපයක් කරවා ඒ තුළ ධාතුන් වහන්සේලා වඩා හිඳෙව්වා. ඒ ස්ථූපයට උඩින් අලංකාර මණ්ඩපයක් මැව්වා...
මහත් ආදර ගෞරව යුක්තව නාගයන් සමඟ සැමදා පූජා පැවැත්තුවා..

මේ විස්තරේ මහා ථෙරවරු අපගේ සෝණුත්තර මහරහතන් වහන්සේට කියලා, මෙසේ වදාලා...

‘ඇවැත් සෝණුත්තරයෙනි, එතන ධාතු කරඬුවට ඉතා දැඩි ආරක්ෂාවක් තියෙනවා. ඔබ ගිහින් ඒ ධාතු කරඬුව මෙහි වඩමවා ගෙන එන්ට...
අපේ රජ්ජුරුවෝ හෙට මහා සෑයේ ධාතු නිධානය කරනවා නොවැ.’

‘එහෙමයි ස්වාමීනී’ කියලා උන් වහන්සේ නා ලොවට පිටත් වෙන්ට ඕනෑ කාලය බලමින් තමන් සිටි පිරිවෙනට වැඩියා.

දුටුගැමුණු රජ්ජුරුවෝ මහා සෑයේ ධාතු නිධානෝත්සවය සිදුවෙන්නේ හෙටයි! කියලා සියලු කටයුතු වලට කරුණු විධානය කරලා නගරයේ අඬබෙර ගැහුවා..

🚩අද තමයි ධාතු නිධානය.

දවස ගෙවිලා ධාතු නිදානෝත්ස්වය දවස උදා වුනා..
එදා පසලොස්වක පෝය දවසක්..
මුලු අනුරපුරයම මඟුල් ගෙයක් වගේ..
සක් දෙවිඳුත් විස්කම් දෙව්පුතු අමතා මුළු ලංකාව ම නොයෙක් අයුරින් අලංකාර කෙරෙව්වා..

ධාතු නිදානෝත්සවය තිබුනේ එදා හවස..
අපේ මහා රජතුමා සියලු රාජාභරණයෙන් සැරසුනා.

සියලු නාටක ස්ත්‍රීන් විසිනුත්, ආයුධ අතින් ගත් යෝධයන් විසිනුත්, ඇත් – අස් – රථ – පාබල යන මහා සිව්රඟ සේනා විසිනුත්,නොයෙක් ආභරණවලින් ඉතාම ලස්සනට සැරසීගෙන රජ්ජුරුවන් පිරිවරා ගත්තා..

අලංකාර ලෙස සරසපු අපගේ කඩොල් ඇතා සුදු සේසත යටින් රනින් කළ කරඬුව දරාගෙන සිටියා.

අනුරාධපුර නගරවාසී කාන්තාවෝ 1008 දෙනෙක් ඉතා අලංකාරව සැරසිලා පිපී ගිය මල් දැමූ පුන්කළස් අරගෙන හිටියා..
දඬුවැට පහන් ගත් තව ස්ත්‍රීන් 1008 ක් හිටියා

ඉතා අලංකාර ලෙස සැරසුණු දරුවන් එක්දහස් අටකුත්, නොයෙක් පැහැ ගත් ඉතා අලංකාර කොඩි අරගෙන පෙළගැසුනා..

අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ මහත් දිව්‍යානුභාවයෙන් යුතු තව්තිසාවේ නන්දන භවයට යන ශක්‍ර දේවේන්ද්‍රයා ගේ විලාසයෙන් අපමණ රාජ්‍ය ශ්‍රී විභූතියෙන් යුක්තව මහා සෑ මලුවට යන්නට පිටත් වුනා..

🚩මහා තෙරණුවෝ නා ලොවට වඩියි.

රජ්ජුරුවන්ගේ ගමනාරම්භයේදී නගරයේ මහා හඬ නංවන තූර්යනාද ශබ්ධය පිරිවෙනේ හිටපු අපගේ සෝණුත්තර රහතන් වහන්සේට ඇසුනා...

උන් වහන්සේ ඒ මොහොතේම ඉර්ධිබලයෙන් එතැනම පොළොවේ කිමිදි නාගභවනට වැඩම කොට, මහාකාල නාගරාජයා ඉදිරියේ පහළ වුනා..

මහාකාල නාරජ්ජුරුවෝ වාඩි වී හුන් අසුනින් නැගිටලා උන්වහන්සේට ආදරයෙන් වන්දනා කරලා ආසනයක වඩා හිඳෙව්වා..
නා රජු පුද සත්කාර දක්වලා නුඹ වහන්සේ කොයි රටෙන් ද වැඩියේ කියලා ඇහැව්වා..

“නාරජ්ජුරුවෙනි, මම ලංකාද්වීපයෙන් වැඩියෙ..ඔබ ළඟ වැඩහිඳින ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා ලංකාවේ ඉදිවෙන මහා සෑයේ නිධන් කරවනු පිණිස සක් දෙවිඳුන් සාක්ෂි කොට අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ම වෙන්කොටයි තියෙන්නේ.. ඒ නිසා ඒ ධාතූන් වහන්සේලා මා හට දුන මැනැව.”

එය ඇසූ මහාකාල නාරජ්ජුරුවෝ කලබල වුනා...
තමන් පණ වගේ ආදරය කරන ධාතුන් වහන්සේලා දෙන්න කැමති වුනේ නෑ..
ඒ නිසා මෙතැනින් වෙනත් තැනකට ධාතූන් වහන්සේලා වඩම්මන්ට ඕනෑ’ කියා සිතලා තමා අසල සිටි තම බෑණනුවන්ට ඉඟියකින් දැනුම් දුන්නා..

බෑනගේ නම "වාසුලදත්ත".. ඔහු නාරජ්ජුරුවන්ගේ ඉඟිය තේරුම් අරගෙන ඉක්මනින් ගිහින් ධාතු කරඬුව ගිල්ලා..

ඊටපස්සේ සිනේරු පර්වතය පාමුලට ගිහින් රවුමට කැරකිලා නිදාගත්තා...වාසුලදත්තගේ නාග බඳ යොදුන් තුන්සියයක් දිගයි..

තමන් අවට තමන් වගේම විශාල නාගයින් දහස් ගණන් මවලා ඔවුන්වත් නිදාගන්න සැලැස්සුවා.

🚩 ශ්‍රමණ නාගයා සහ සර්ප නාගයා අතර සටන..

දෙව්ලොව පුරා මේ සිද්ධිය පැතිරුනා.. ශ්‍රමණ නාගයාගෙයි, සර්ප නාගයාගෙයි යුද්ධය බලන්ට ඕනෑ කියලා බොහෝ දෙවියොත්, නාගයොත් මාංජෙරිකා නාගභවනට ආවා..

මහාකාල නාගරාජයා තම බෑණනුවන් ධාතූන් වහන්සේලා බැහැරට ගෙනගිය බව දැනගෙන..
"‘ස්වාමීනී, මං ළඟ ධාතූන් වහන්සේලා නෑ නොවැ" කියලා සෝණුත්තර තෙරුන්ට කිව්වා.

"නාරජ්ජුරුවෙනි, ඒ ධාතූන් අපටයි අයිතියි. ඒ නිසා දෙනු මැනැව’" කියා උන් වහන්සේ වදාළා.

එතකොට නාරජ්ජුරුවෝ තෙරුන් වහන්සේව ධාතු මන්දිරයට එක්කරගෙන ගියා..ගිහින් හිස් ධාතු මන්දිරය පෙන්නලා..

“ස්වාමීනී, බලනු මැන. නොයෙක් ආකාරයෙන්, නොයෙක් රන් රුවන්වලින් ඉතා සුන්දර ලෙස මනාකොට නිර්මාණය කරලා තියෙන මේ මන්දිරය..
ලංකාද්වීපයේ සියලු රන් රුවන් එකතු කළත් මෙහි පඩිපෙළ පාමුල ඇති සඳකඩපහණක් තරම්වත් වටිනාකමක් නෑ...

ඒ නිසා මහා සත්කාර ලැබෙන තැනකින් අල්ප සත්කාර ලැබෙන තැනකට ධාතූන් වහන්සේලා ගෙනියනවා කියන එක සුදුසු දෙයක් නොවේ.”""

තෙරුණ් වහන්සේ නා රජුට යලිත් මෙසේ වදලා..

“නාගරජ්ජුරුවෙනි, චතුරාර්ය සත්‍යාවබෝධය ඔබගේ නාගලෝකයේ තියෙන දෙයක් නොවේ..සත්‍යාවබෝධ කළ ජනයා ඉන්න තැනකට ධාතූන් වහන්සේලා වැඩමවාගෙන ගොස් පුද සත්කාර කිරීමයි සුදුසු වන්නේ...”

"ලෝකයට තථාගතයන් වහන්සේලා පහළ වන්නේ දෙවි මිනිසුන්ව සංසාර දුකින් මුදවන්ටයි.. බුදුරජාණන් වහන්සේගේ අදහස වූයේ ලංකාවේ ඉදිවන මහාසෑයේ මේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා නිධන් කරවීමයි.. ඒ නිසා නා රජුනේ!මා විසින් මේ ධාතුන් වහන්සේලා ගෙනියන්ට ඕනෑ ම යි.!

"නා රජුනේ! මහාසෑය කරවපු අපගේ මහා රජ්ජුරුවෝ අද ම ධාතු නිධානය කරන්ට සූදානමින් ඉන්නවා. ඒ නිසා ප්‍රමාද නොකොට ඉක්මනින් මට ධාතූන් වහන්සේලා දුන මැනැව.”

එතකොට මහාකාල නාරජ්ජුරුවෝ මෙහෙම කිව්වා...

“ස්වාමීනී, ඉදින් ධාතූන් වහන්සේලා තියෙන බව ඔබ දකිනවා නම්, අරගෙන වඩින්ට..අපට කමක් නෑ..”

එසේ නම් නා රජුනේ! ධාතුන් වහන්සේ රැගෙන වඩින්න්ද??

එහෙමයි! ස්වාමිනී, ධාතුන් වහන්සේ තියෙනවානං අරන් වඩින්න.."

සෝණුත්තරයන් වහන්සේ තුන් වතාවක් ම නාරජ්ජුරුවන් ලවා මෙසේ කියව ගත්තා...

🚩සසර පැතු පැතුම ඉටු වෙයි..!

එකෙණෙහිම තෙරුන් වහන්සේ එතැන සිටියදී ම ඉතා සියුම් අතක් මවලා නාරජුගේ බෑණා වන වාසුලදත්ත නාගයාගේ මුව තුළට යවා,
ධාතු කරඬුව අරගෙන...
‘නාරජ්ජුරුවෙනි, ඔහොම පොඩ්ඩක් සිටින්ට’
කියලා නා ලොවින් නික්මිලා තමන් සිටි පිරිවෙනේ පොළොවෙන් මතුවුනා...

මහාකාල නාරජ්ජුරුවෝ හිතුවා තෙරුණ් වහන්සේ කරඬුව නැතිව ආපහු වැඩියා කියලා...
තෙරුන් වහන්සේ රැවටුනා කියලා ඔහු සතුටු වෙලා
තම බෑණනුවන්ට ධාතු කරඬුව අරගෙන එන්ට කියලා නාගයින් අත පණිවිඩය යැව්වා..

වාසුලදත්ත නාගයා තමන්ගේ කුස තුළ කරඬුව නොදැක මහා හයියෙන් හඬාගෙන ගිහින් මහාකාල නාරජ්ජුරුවන්ට දැනුම් දුන්නා..

එතකොට මහාකාල නාරජ්ජුරුවෝ “අයියෝ! එහෙනම් ඒ භික්ෂුව රවට්ටලා තියෙන්නේ අපිව නොවැ!” කියලා වැළපෙන්ට පටන් ගත්තා...
ධාතූන් වහන්සේලා නැති වීමෙන් පීඩාවට පත් සියලු නාගයන් වැළපුනා..

‘ශ්‍රමණ නාගයාට ජය අත්වුනා’ කියලා එතැන රැස්වුන දෙවිවරු සතුටින් සාධුකාර දුන්නා..
ධාතූන් වහන්සේලාට පූජා පවත්වමින් සෝණුත්තර තෙරුන් සමඟම මහා සෑ පිංකමට පැමිණියා

🚩නාගයන්ටත් කොටසක් දෙයි..

මහාකාල නාගරාජයා මහ නාගයෝ පිරිවරා තෙරුන් වහන්සේ ළඟට හඬා වැළපීගෙන ආවා..

"අනේ ස්වාමීනී නාගයන් වන අපියි, ධාතුන් වහන්සේලා රැක ගත්තේ, ධාතු ලබන්නට අපට වාසනාවක් නැද්දෝ???"

ඔවුන් කෙරෙහි අනුකම්පා කළ තෙරුණ් වහන්සේ ධාතුන් වහන්සේලා ස්වල්පයක් ඔවුන්ට ලබා දුන්නා... එයින් සතුටට පත් වූ නාගයෝ නාලොවට නැවත ගිහින් බොහෝ වටිනා පූජාභාණ්ඩ ගෙනැවිත් දුන්නා...

🚩 අසිරිමත් ධාතු නිදානෝත්ස්වය

සක් දෙවිඳු මැණික් ආසනයකුයි, රන් කරඬුවකුයි අරගෙන දෙවියන් පිරිවරාගෙන පිංකමට පැමිණියා...

අපගේ සෝණුත්තර තෙරුන් වහන්සේ පොළොවෙන් මතු වූ තැන සක්දෙවිඳු විසින් විස්කම් දෙව්පුතු ලවා සුන්දර මැණික් මණ්ඩපයක් කරවා එහි මැණික් ආසනය තැන්පත් කළා.

සක්දෙවිඳු විසින් සෝණුත්තර තෙරුන් වහන්සේ වඩමවාගෙන ආ ධාතු කරඬුව උන්වහන්සේගේ අතින්ම ගෙන තමන් ගෙනා රන් කරඬුවේ තැන්පත් කරලා උතුම් ආසනයේ වඩා හිඳෙව්වා...

තමන් පණ සේ රැකබලා වන්දනා කල ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මහා සෑයේ තැන්පත් වෙනවා බලන්න මහාකාල නා රජු පිරිවර සමඟ ආවා..

නා රජුගේ හිතේ කිසි තරහක් තිබුනේ නෑ..
අනාගතයේ ගෞතම බුද්ධ සාසනය රකින්නේ ලංකාද්වීපයේ මිනිසුන් බව දන්නා මහාකාල නා රජු
සතුටින් බුදුගුණ සජ්ජායනා කලා..

අපගේ දුටුගැමුණි මහා රජතුමා මහා රහතන් වහන්සේලාද, බ්‍රහ්ම රාජයන්ද, දෙවිවරුන්ද පිරිවරා මහා සෑයේ උත්තම ශ්‍රී ධාතුන් වහන්සේලා තැන්පත් කලා..

එසැනින් මේ මහපොළව සතුටින් කම්පා වුනා..අපගේ මහා රජතුමා, තුන් වතාවක් ලංකාද්වීපය ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වඩ සිටින ස්වර්ආලි මහ සෑ රජාණන් වහන්සේට පූජා කලා..
🙏🙏🙏

අපට වන්දනා කරන්නට, සසරේ පෙරුම් පුරා ආ...
නා ලොවින්,ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගෙන ආ..අපගේ සෝණුත්තර මහ රහතන් වහන්සට නමස්කාර වේවා!!!

අප වෙනුවෙන් මහත් සෙනෙහසින් ධාතුන් වහන්සේලා රැකගත් මහාකාල නාග රාජයා ඇතුලු නාග පිරිසට පුණ්‍යාණුමෝදනා වේවා!!

මහාවංශය ඇසුරෙනි..

බෝධිසත්වරු මොන වගේද ඇත්ද?? කිසිම බෝසත් ගුණයක් නැතුව,ප්‍රඥාවක් නැතුව,සීලයක් නැතුව,  "මම බෝධිසත්වයෙක්" යැයි කියමින් රඟපාන ...
24/04/2026

බෝධිසත්වරු මොන වගේද ඇත්ද??
කිසිම බෝසත් ගුණයක් නැතුව,ප්‍රඥාවක් නැතුව,සීලයක් නැතුව, "මම බෝධිසත්වයෙක්" යැයි කියමින් රඟපාන හොරු ඉන්න මේ කාලේ.. ඒවට හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අහුවෙන අශ්‍රැතවත් බෞද්ධයන් ඉන්න මේ කාලේ..
ඇත්තම බෝධිසත්ව වරයෙක් බුද්ධ සාසනයක් මුණ ගැහුනම මොනවා කරාවීද? තමන් බෝධිසත්වයෙක් යැයි කියමින් තමන්ගේ දහමක් කියයිද??? බුද්ධ සාසනේ පැවිදි වෙලා සිල්ගුණ දම් වඩයි ද???

ඒ දවස් වල ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ රහතුන් පිරිවරා කෝසල ජනපදයේ චාරිකාවෙහි වඩිමින් හිටියා.. එහෙම වඩිමින් ඉන්න දවසක එක්තරා ස්ථානයකදි භාග්‍යවතුන් වහන්සේට සිනහා පහල වුනා..

භාගයවතුන් වහන්සේ හැම විටම සිනහා පහල කරන්නේ නෑ.. විශේෂ සිදුවීමක් ලෝකයා හමුවේ ගෙනහැර පෑම පිණිසයි භාග්‍යවතුන් වහන්සේ සිනහා පහල කරන්නේ..
ඒ සිනහා පහල කිරීමත් අතිශයින්ම විශ්මිත එකක්.. භාග්‍යවතුන් වහන්සේ සිනහා පහල කලාම, දන්ත ධාතූන් වහන්සේලාගෙන් පැන නගින්නා වූ ශ්වේත වර්ණ රෂ්මි දාරාවක් හිස වටේ තෙවතාවක් පැදකුණු කොට යළි දන්ත ධාතුන් වහන්සේලා වෙත පැමිණ අතුරුදහන් වෙනවා.. ඒ රශ්මි දහරාවෙන් තමයි අපගේ ආනන්ද ස්වාමින්වහන්සේ දැන ගන්නේ භාග්‍යවතුන් වහන්සේ සිනහා පහල කල බව..

භාගයවතුන් වහන්සේ සිනහා පහල කලාම ආනන්දයන් වහන්සේට මෙහෙම හිතුනා..

“භාග්‍යවතුන් වහන්සේට සිනහවක් පහළ වෙන එකට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? තථාගතයන් වහන්සේලා කරුණු රහිතව සිනහ පහළ නො කරන සේක.”

ඉතින් ආනන්දයන් වහන්සේ සිවුරු ඒකාංශ කොට පොරවා ගෙන, භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වන්දනා කොට, භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සිනහවක් පහළ කරන්නට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක් ද? තථාගතයන් වහන්සේලා කරුණු රහිතව සිනහ පහළ නො කරන සේක.”

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ආනන්දයන් වහන්සේට ඝටීකාර සහ ජෝතිපාලගේ අපූරු කතාව වදාලා..

ඉස්සර මෙම ප්‍රදේශයෙහි වේහලිංග නම් නියම්ගමක් තිබුනා. ඒ නියම්ගම ඉතාම සමෘද්ධ යි. දියුණු යි. බොහෝ ජනාකීර්ණ වෙලා තිබුනා. කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය වේහලිංග නියම්ගම ඇසුරු කොට වැඩවාසය කළා. ඒ කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණිස මෙතැන විහාරයක් තිබුනා.

ඒ වේහලිංග නියම්ගමේ ඝටීකාර නම් කුඹල්කරුවෙක් සිටියා. ඔහු තමයි කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අග්‍රඋපස්ථායක වුනේ. ඒ ඝටීකාර කුඹල්කරුවා හට "ජෝතිපාල" නම් වංශවත් ප්‍රිය සහායක වූ යහළු තරුණයෙක් සිටියා.

දවසක් ඝටීකාර කුඹල්කරුවා ජෝතිපාල තරුණයා ඇමතුවා.
“ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, එන්න. කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේව දකින්නට යෑම මංගල සම්මත කාරණයක්.”

මෙසේ පැවසූ විට, ජෝතිපාල තරුණයා ඝටීකාර කුඹල්කරුවාට මෙය පැවසුවා.
“ඝටීකාර මිත්‍රය, වැඩක් නැහැ. ඔය මුඩු ශ්‍රමණයන් වහන්සේලා දැකීමෙන් ඇති ඵලය කිම?”
තුන් වතාවක් ඇසුවත්, තුන් වතාවෙම ජෝතිපාල තරුණයා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න යෑම ජෝතිපාල තරුණයා ප්‍රතික්ෂේප කලා..

“එසේ වී නම්, ප්‍රිය මිත්‍ර ජෝතිපාල, ඇඟ උලන ලණුව ත් ගෙන අපි වතුර නාන්නට නදියට යමු..

“එසේය මිත්‍රය” කියා ජෝතිපාල තරුණයා ඝටීකාර කුඹල්කරුවාට පිළිතුරු දුන්නා. ඝටීකාර කුඹල්කරුවා සහ ජෝතිපාල තරුණයා ත් ඇඟ උලන ලණුව ත් ගෙන දිය නාන්නට නදියට ගියා.

එහිදී ත් ඝටීකාර කුඹල්කරුවා ජෝතිපාල තරුණයා ඇමතුවා. “ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටින ආරාමය මේ ළඟ ම යි තියෙන්නෙ. එන්න මිත්‍ර ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේව බැහැදකින්නට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේව දකින්නට යෑම මංගල සම්මත කාරණයක්” කියල..

ඒ වතාවෙත්, ජෝතිපාල තරුණයා ඝටීකාර කුඹල්කරුවාට මෙය පැවසුවා.
“ඝටීකාර මිත්‍රය, වැඩක් නැහැ. ඔය මුඩු ශ්‍රමණයන් වහන්සේලා දැකීමෙන් ඇති ඵලය කිම?”
එවරත් ඝටිකාර විසින් තුන් වතාවක් ඇසුවත්, තුන් වතාවෙම ජෝතිපාල ප්‍රතික්ෂේප කලා..

ඒ වෙලාවේ ඝටීකාර කුඹල්කරුවා ජෝතිපාල මාණවකයා ගේ ඉණ බැඳි වස්ත්‍රයෙන් ඇදලා අල්ලා ගෙන මෙසේ කිව්වා...

“ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටින ආරාමය මේ ළඟ ම යි තියෙන්නෙ. එන්න, ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේව දකින්නට යෑම මංගල සම්මත කාරණයක්” කියල

එතකොට ජෝතිපාල මාණවකයා ඔහු අල්ලා ගත් ඉණ බැඳ රෙදිකඩ ගසා අතහැර මෙය පැවසුවා.
“ඝටීකාර මිත්‍රය, වැඩක් නැහැ. ඔය මුඩු ශ්‍රමණයන් වහන්සේලා දැකීමෙන් ඇති ඵලය කිම?”

ඊලගට ඝටිකාර විසින් ගඟෙන් නා සිටි ජෝතිපාලගේ තෙත් වූ කෙස් වැටියෙන් ඇද
යලිත් භාගයවතුන් වහන්සේ මුණ ගැහෙන්න යන්න කැමැත්ත විමසුවා..

එතකොට ජෝතිපාල මාණවකයාට මෙය සිතුනා...
“භවත්නි, සැබැවින් ම ආශ්චර්යය යි! භවත්නි, සැබැවින් ම අද්භූත යි! යම් හෙයකින් ලාමක ජාතියෙහි උපන් ඝටීකාර කුඹල්කරුවා හිස සෝදා නහා සිටි අප ගේ කෙස් වැටිය ත් තද කොට ගන්නට තරම් සිතනවා නෙව. මොහු මේ යන්නට කතා කරන ගමන සාමාන්‍ය ගමනක් විය නො හැකියි”..

එහෙම හිතපු ජෝතිපාල ඝටීකාරට මෙසේ කිව්වා.
“ප්‍රිය මිත්‍ර ඝටීකාරය, මෙතෙක් දැ කළේ එයට නො වේද?”

“ප්‍රිය මිත්‍ර ජෝතිපාලය, මෙතෙක් දෑ කළේ එයට තමයි. එසේය, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නට යෑම සාධු සම්මතයි.”

“එසේ වී නම් ප්‍රිය මිත්‍ර ඝටීකාර, කෙස් වැටිය අත්හරින්න. අපි යමු.”

ඝටිකාරත්,ජෝතිපාලත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා..කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජෝතිපාලට ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාලා.. ධර්මය අහපු ජොතිපාලත් භාග්‍යවතුන් වහසේව පැදකුණු කොට වන්දනා කරලා සතුටු සිතින් පිටත් වුනා..

එසේ පිටත් වූ ජෝතිපාල තරුණයා ඝටීකාර කුඹල්කරුවාට මෙය පැවසුවා.

“ප්‍රිය මිත්‍ර ඝටීකාරයෙනි, සැබැවින් ම ඔබ මේ ශ්‍රී සද්ධර්මය අසනවා නො වේ ද? එසේ නමුත්, ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙන්නෙ නැත්තේ ඇයි??.”

මා ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, වයස්ගත වූ දෑස් අඳ දෙමාපියන්ව මා පෝෂණය කරන බව ඔබ නො දන්නවා ද?”

“එසේ වී නම් ප්‍රිය මිත්‍ර ඝටීකාරය, මං ගිහි ගෙය අත්හැරලා බුදුසසුනෙහි පැවිදි වෙනවා.”

ඊටපස්සේ ජෝතිපාල තරුණයා ගිහින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලඟ පැවිදි උපසම්පදාව ලැබුවා..

"ඔය මුඩු ශ්‍රමණයන් වහන්සේලා දැකීමෙන් ඇති ඵලය කිම?” යැයි ඇසූ.. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැවිදි උපසම්පදාව ලැබූ ජෝතිපල මානවකයා වෙන කවුරුත් නෙවෙයි...
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පසුව,මේ මහා බද්‍ර කල්පයෙහිම සම්බුද්ධත්වයට පත්වූ අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි..

අපගේ බෝසතාණන් වහන්සේට කාශ්‍යප බුදුරජාණන් මුණ ගැහෙන්න උපකාර කල ඝටීකාර අනාගාමි වුනා..දෙමව්පියන්ට සලකමින් දර්මයේ හැසිරුණ ඝටීකාර මරණින් මත්තේ සුද්ධාවාස බ්‍රහ්මලෝකේ උපන්නා...

කාලයක් ගත වුනා..ගෞතම බුද්ධ සාසනය උදාවුනා..සිද්ධාර්ථ ගෞතමයන් සම්බුද්ධත්වය පිණිස අභිනික්මන් කලා.. ඒ අසිරිමත් සිදුවීමෙන් දෙව්ලොවත්,බඹලොවත් ප්‍රීතියෙන් ඇළලී ගියා.. ඝටීකාර බ්‍රහ්මරාජයාටත් මේ ආරංචිය සැලවුනා..

අහෝ..! උතුම් සම්බුද්ධත්වය පතා අභිනික්මන් කරන්නා වූ අසිරිමත් මනුස්ස රත්නය මාගේ පෙර යහලු වූ ජෝතිපාලයන් නොවේද??

සැනෙකින් ඝටිකාර බ්‍රහ්මරාජායා සිවුරු පිරිකර ගෙන ඹබ ලොවින් නේරංජනා නදිය වෙත ආවා.. අපගේ මහා බෝසතාණන් වහන්සේ ට සම්බුද්ධත්වය පිණිස සිවුරු පිරිකර පූජා කලා..
බෝසතාණන් වහන්සේ පැලද සිටි වස්ත්‍ර ගෙන බඹලොව "සළුමිනි මහා සෑය" කරවූවා..

අපගේ මහා බෝසතාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත්වුනා..
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ව සිටි ඝටිකාර බ්‍රහ්මරාජයා, ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න පැමිණියා..

(ඝටීකාර)
"ස්වාමීනී,මං වේහලිංග ගමේ හිටපු ඝටීකාර.ඔබ වහන්සේ මගේ යහලුවෙක් වෙලා හිටියා.."

(භාග්‍යවතුන් වහන්සේ)
පින්වත් භාර්ගව,ඉස්සර වේහලිංග කියලා ගමක් තිබුනා තමයි. ඝටිකාර කියලා කුඹල්කරුවෙකුත් හිටියා..ඔහු මගේ යහලුවෙක් තමයි..

සංයුක්ත නිකායේ,දේවපුත්ත සංයුක්තයේ "ඝටීකාර සූත්‍රය" සංඝායනා කල රහතන් වහන්සේලා සූත්‍රය අවසානයේ අපුරූ යහලුවන් දෙදෙනෙකුගේ හමුවීම මෙසේ සජ්ජායනා කොට වදාලා..
====================================
ඒවමේතං පුරාණානං සහායානං අහු සංගමෝ
උභින්‌නං භාවිතත්‌තානං සරීරන්‌තිමධාරිනන්‌ති

“ඔන්න ඔහොමයි පැරණි යාළුවෝ දෙන්නා ආයෙ මුණගැහුනේ. ඒ දෙන්නම දියුණු කරපු සිත් ඇතිව, අන්තිම සිරුරු දරාගෙනයි හිටියේ.”
=====================================
ඝටීකාර සූත්‍රය ඇසුරෙනි..
https://tripitaka.online/sutta/499

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Namo Buddhaya.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Namo Buddhaya.lk:

Share