ශ්වේත අරලියා මෙහෙණි අරණ

Directions

ශ්වේත අරලියා මෙහෙණි අරණ මහා ප්‍රජාපතී..භද්දකච්චායනා කුලයේ උරුමකම පරම අර්ථයෙන්...

"මග හැර ගිය මිනිසුන්ට නැවත අවස්ථාව නොදී සිටීමට තරම්, තමන්ගේ හදවතට කාරුණික වන්න."මන්ද එවන් සාතිශය ආත්මාර්ථකාමී මිනිසුන් න...
07/10/2026

"මග හැර ගිය මිනිසුන්ට නැවත අවස්ථාව නොදී සිටීමට තරම්, තමන්ගේ හදවතට කාරුණික වන්න."

මන්ද එවන් සාතිශය ආත්මාර්ථකාමී මිනිසුන් නැවත දිවියට පැමිණියද ඔබව පාවිච්චි කළ පසු නැවත පලා යාම අරඹයි...

ද්වී පාර්ශ්වික සමීපතාවයකදී අනෙකාට පමණක් චෝද්ය මුඛයෙන් දොෂාරෝපණය කර තම පහසුව පමණක් සිතා පලා යන්න වුන් කිසිදා සත්පුරුෂයන් නොවෙයි...

ඔවුන්ට ඔබව අවැසි කළ පමණක් රැක බලා ගත් මතක සිහිකර විඳවිමට අවැසි නොවන්නේ මන්ද,ඔවුන්ට ඇවැසි කළ පමණක් ඔබට රැකවරණය දී ඇත්නම් එයද තමන්ගේ දෙයක් තමා වෙනුවෙන් තමාට ඇවැසි ලෙස භුක්ති විඳීමට තිබූ ආත්මාර්ථය මතම පමණයි...

මන්ද සැබෑ සෙනෙහස කරුණාව .. ගිලිහුණු පසුවත් රුකවරණ ගෙනදෙයි...ගිලිහිනු පසුවත් සාමකාමීයි..

දිවියේ නවපමු කාර්තු වෙනුවෙන් අඳුරු මතක් සහ වේදනා පමණක් තනිව දරන්නට පසුබිම් සකසා පලා ගිය අකාරුණික මිනිසුන් හට දෙවරක් තම හදෙහි ද්වාරය හැර නොදීම නම් "තම ආත්මයට(දිවියට)දිය හැකි උතුම්ම ගෞරවණීය බවයි".

නුවරඑළියේ ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ.

හිරු අවරගිරට ප්‍රේම බඳින සැන්දෑ සමයක් අභිමුව..කිසිම හැල් හොල්මනක් නැතිව ..නිරුත්තර වුණ, කඳුළු හංගන පුංචි අවිහිංසකාවියෙ.....
06/10/2026

හිරු අවරගිරට ප්‍රේම බඳින සැන්දෑ සමයක් අභිමුව..කිසිම හැල් හොල්මනක් නැතිව ..නිරුත්තර වුණ, කඳුළු හංගන පුංචි අවිහිංසකාවියෙ...ගොම්මන් අඳුරේම අඳුර රජයල ජීවිතේම අඳුරු කරගන්න හිතන්න එපා මගෙ දුව..

අතීත මතක් වලට කොනිති ගහන පපු ගැඹුර සුව වෙන්නම ඕන තප්පරයක් ගානෙම..සසර කියන්නේ පතන්නේ තරම් සුන්දර ඉසව්වක් නෙවෙයි මගෙ දුවේ..

පපුවෙම තියාන ආදරේ කරන, කරපු මිනිස්සු වෙනස් නොවී රැකගන්න අපට බෑ..හුස්ම ගන්නෙත් කොහොමද කියල හිතාගන්න බැරිව..මගෙ දුව තව මහ රැයවල් කීයක් ඔහොම අඬන්න හිතාන ඉන්නවා ද.. මගෙ දුව කොහොම දරාගනීවිද කියලාවත් නොහිතා.. වෙනස් වෙන මිනිස්සු... වැරදි කර කර ගෑණු කම් පාගන්න හදන මිනිස්සු..

එහෙම මිනිසුන් මගෙ දුවගේ ජීවිතේ ඉන්න ඕන අය නෙවෙයි, අසීමිත මානසික වද හිංසන දෙන මිනිසුන්වම ආය ආයම පතන්නේ තරම් කෙළෙස් වලට වහල් වෙන්න එපා මගෙ දුවේ...

පිළිගන්න ඕනවටත් වඩා ප්‍රත්‍යක්ෂම වුණ සාක්ෂි තියෙද්දීත් වැරදි බවට,මගෙ දුව තවත් වැඳ වැටෙන වනම්..සෙනහස හිඟා කනවා නම්..එතන තියෙන්නේ මගෙ දුවගේ මෝහයේ බලවත් කම.. තමන්ගෙ ජීවිතේ දවස් ගානේ විනාශ කරපු පුද්ගලයෙක් අත හැර ගන්න බෑ කියන්නේ..එතන තියෙන්නේ දැඩි ලෝභය, තෘෂ්ණාව...

මගෙ දුව ඒ රූපේ මගෙ කරගෙන ආදරේ කරපු නිසා,ඒ කටහඬ ආත්මයෙන් ගත්ත නිසා ඒ ස්පර්ශ පහසට තියන ඇල්ම ආශාව ..කාමුකත්වය නිසයි ඔය හිත වැලපෙන්නේ මගෙ දුවේ..ඒක තමයි පිළිගන්න ම අමාරුයි වුණත් සහසිකම ඇත්ත..

ඒකයි තමා දැඩිව බැඳුණු තැන නරක වුණත් අත ඇරගන්න වීර්යය නැත්තේ,හිතේ තියන බලවත් තෘෂ්ණාව නිසාමයි..

ඉතින් පුංචි සුරංගනාවියෙ..මේ අහන්න..

කෙළෙස් තමා සන්තකයේ පවත්වන්න ඔට්ටු වෙන්න එපා ,වෙහෙස තමන්ටමයි.. වෙනස් වෙලා යන ධර්මතා එක්ක ස්ථිර ගිවිසුම් ගහන්න අපි කාටවත්ම බෑ...

නරක නපුරු කෙනෙක් නිසා මගෙ පුංචි සුරංගනාවිගෙ ජීවිතේ අඳුරු වෙන්න දෙනව නම්,අර නරක පුද්ගලයා ට වහල් කම් කරන නරක කෙනෙක් ම වෙනව මගෙ දුවත්..

ස්ත්‍රීය ස්වභාවයෙන්ම බැඳෙන්නේ හැගීම් එක්ක නිසා වේදනායි බව මට තේරෙනවා මගෙ දුව, ඒත්..මගෙ දුව දැන් නැගිටින්න ඕන..

කාමරේ තනි වෙලා මූසල කමට මගෙ දුවව යට වෙන්න දෙන්න එපා.. ලස්සන ට ඉන්න.. පිළිවෙලට ඉන්න.. හොඳ ට නාගන්න.. පිරිසිදු වෙන්න.. උණුසුම් තේ එකක් බොන්න..

පහනක් දල්වලා, හඳුන්කූරු සුවඳ අතුරලා මොහොතකට සන්සුන් ව ඉඳගෙන ඔය තරු ඇස් දෙක පියානෝ, හොඳින් හුස්ම ගන්න... හුස්ම වාර කිහිපයකට පස්සේ ඇස් අරින්න.. එකක් හොඳට මතක් තියාගන්න රත්තරන් දුවේ..ඇස් අරින්න ඕන ජීවිතේ මම කොහොම හරි නැගිටිනවා කියන අධිෂ්ඨානයෙන්මයි..

දැන් ඔය ෆෝන් එකෙ තියන පණිවිඩ සේරම මකලා දාන්න අදාල පාර්ශවේ..හිත කැළ එන්න පුළුවන් කියල හිතෙන ෆොටෝ එකක්වත් තියාගන්න එපා.. ඒවත් මකලා දාන්න..

දැන් දවස් ගානක් මග ඇරපු අම්මා අප්පච්චි එක්ක කතාබහ කරන්න..ආස දෙයක් කරන්න.. ඇවිදින්න යන්න.. පුළුවන් තරම් කාර්ය බහුල වෙන්න.. කාලයත් එක්ක සුවපත් වෙන්න මගෙ දුවට අනිවාර්ය යෙන් ම පුළුවන්!

ධර්මයෙන් හැඩ කරලා ජීවිතේ දිව්‍ය විමානයක් කරගන්න කැප වෙන්න මගෙ දුව,වැරදුණ අතීතේ අනාගතයට පන්නරයක් කරගෙන වර්තමානයේ කැප වෙන්න සුන්දර ඉලක්ක වෙනුවෙන්...

ඉතින් නැගිට ගෙන ලස්සන ගමනක් යන්න ඔය පා දෙක ශක්තිමත් නම්,පියවර තියපු මොහෙතෙම මෙහෙණින් වහන්සේවත් දැනුවත් කරන්න..ඒක සැනසීම ට කාරණා වේවී..

සදා ජය පතමි... පින්සර සුරඟනන් ට!

නුවරඑළියේ ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ.

උගුර ලේ රසයි දිව රෑ මොර දීලා...පැතුවෙ තම සැපත නොම වීරිය දරලා...ස්වරය කර්කෂද රුකුමට හඬ නගලා...දුටුවේ කවුරුන්ද මෘදු හදවත ප...
06/10/2026

උගුර ලේ රසයි දිව රෑ මොර දීලා...
පැතුවෙ තම සැපත නොම වීරිය දරලා...
ස්වරය කර්කෂද රුකුමට හඬ නගලා...
දුටුවේ කවුරුන්ද මෘදු හදවත පැලිලා...

රහතුන් තනන්නට තම දිවි කැප කරලා...
නීච අධම නොමිනිසුන් පලවා හැරලා...
හෙළ දීපයේ දහමේ ධජ ඔසවා තබලා...
රැකුවේ සුවහසක් දනගෙ නිවනම එකලා...

මහසඟරුවන බුදු පුත් චීවර ගලවා...
අධම රජ වරුන් යුක්තිය බිම හෙළලා...
සොභහදම අසනවා නඩු කැට තියලා...
බැහැලා යනු හොඳයි මේ පින්බිම රැකලා...

කම්පා වේවී විශ්වය හද කුටිර තුළින්...
සංකා දේවී බොදු දන හදවත් කඳුළින්...
දරාගන්න බැරි නෑ හිමි සඳුට නිතින්...
සසුන රුකපු බුදු පුතු නුඹ තමයි නිතින්...

රළු වුණ ස්වරය පමණයි දුදනන් දුටුවේ...
වෙඬෙරු සදිසි හදවත කාටද දැනුනේ...
ලක් මව් තුරුලේ දහමයි පපුවේ ගැහුනේ...
සිහළුනි නිහඬ ඇයි යුතුකම කරපන් පුතුනේ..

නුවරඑළියේ ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ.

දෙවෙනි අම්මා  නුඹය...පුන් පොහෝ දිනක සඳ මඬලක් වගේ නුඹ දෝතට ආ වග මගේ අම්මගෙ දින පොතක ලියා තිබූ දින සටහන මා කියවූ බව මට මතක...
30/09/2026

දෙවෙනි අම්මා නුඹය...

පුන් පොහෝ දිනක සඳ මඬලක් වගේ නුඹ දෝතට ආ වග මගේ අම්මගෙ දින පොතක ලියා තිබූ දින සටහන මා කියවූ බව මට මතකය...

චූටිම දවස් වල ඉඳුල් කට ගෑමටත් පෙර නුඹේ බත් පතින් බත් කටක් මා මුවගට ගත් බවද... අම්මා පුංචි කාලේ කියූ බව මට මතකය.. අවුරුද්දක..ට එකාහාමරකට මට වැඩිමල් වුණු මේ මල් කැකුල.. මගෙ අම්මා ට ඇයවත් මමත් වඩා ගැනීමට අපහසු නිසා ඇයට අවුරුද්දක් එකහමාරක් වන විට පයින් ගමන් කරන්නට වුණ අවස්ථා වක "කකුල් දෙක සිදෙනවා අම්මා " කියමින් කඳුළු පුරපු දෙනෙත් ගැන කතාව මා උගෙන ගත්තේ මට අවුරුදු පහලොවක් පමණ වන විටය..

ඇය ගැන කොතනින් පටන් ගෙන කොතනින් ලියා නවතන්නටද කියා මට තවම සිතා ගනු නොහැකි වූවද.. මා වෙර ගත් සිතින් මෙලෙස අකුරු කරමි.. තක්ෂිලාවේ මගේ දඟකම් වලින් පිරුණු කන්ද උඩරට පුරවරයේ පුංචි සන්දියක මගේ වරදකට ගුරුතුමියක් ඇයට ගැසූ බව මට මතකය... වරද මගේ වූ බොහෝ තැන් වල කඳුළු ගැලුවේ ඇඟේ අවිහිංසක දෙනෙතෙනි...

රෝස මලක් වන් ඈට රෝස පාට තිළිණ ලැබෙන විට මා ඊර්ෂ්‍යා කම් පමණටත් වඩා ඈට කලෙමි...දක්නා දසුනින් පවා පුදසුනකට කැප වූ මලක් වූ ඇය කුඩා කල පටන් කාගෙත් සිත් ඇද බැඳ ගන්නා විට මා තරහින් ඈට කල පීඩා ගණනින් කීම ඉතා දුෂ්කරය...

ඈ පිලිවෙලට මැද සකසන සුදු ගවොමත්..සපත්තු දෙකත්..ටයි පටියත් පසුදා මා පාසලට ඇඳ පැළඳ යන විට ඈ..විදුහල්පති අසල තරවටු වලට මා වෙනුවෙන් ලක් වුනේ මා ටයි පටිය සොයා ගත නොහැකි ව ඇගේ ටයි පටිය දාගෙන පාසල් යන දිනවලය..

කඩචෝරු අරන් දෙන්නට යයි කියමින් පාසල් ඇරී ගෙදර එන විට ඇයව සූරා ඇයට කෙතරම් තාඩන පීඩන දී ඇද්දැයි මටද මතක නැත.. පුදුමය සියලු පීඩා දරා වාහන යන පැත්තෙන් මා අයිනට කරමින් මා අරක්ෂා කරගෙන මා නිවසට එක්කගෙන යෑම ඇය මග නොහැරීමය..

අම්මා අප්පච්චි ගෙන් මා වරදකට දඬුවම් ලබන සෑම විටම ඇය මැද්දට පැන මා වෙනුවෙන් ගුටි කෑ බව මට අමතක වන්නේම නැත..

නිදන ඇඳේදී පවා කුඩා කලෙක මගෙ ඇඟක ඇයගෙ අතක් හෝ බැරිවීමකින් වැදුණහොත් ඇය බිමට වැටෙන තුරු පයින් ගසා දුන් වද ගැන දන්නේ ම ආ පමණි... සෑම විට කඳුළු සලමින් දරා ගත්තා මිස පෙරලා මට හිරිහැර කල බවක් කිසිදා නොවීය..

කෙමන් යෞවනයට පා තබන විට ඇයත් මමත් බොහෝසෙයින් සමීප වන්නට වූ අතර..මා විසින් ඈට කල කරදර පීඩා නිමා වූයේ මට වසර පහලොවක් පමණ වන විටය..

හැකි සෑම පොහොයකටම සිල් සමාදන් වූ ඈ... දහමට බර නොවූ මගේ ජීවිතය මීට වසර හත අටකට පෙර මෙහෙණි අරණකට සම්මුඛ කලේ මගේ පලමු කල්‍යාණ මිතුරිය ලෙසින්ය...

මාගේඋතුම් සසුනක නෙක්ඛම්ම දිවිය ලැබීමට පලමු පියවර දැමුවේ ඇය ය... චරිතයෙන් පවා කිසිදා වැරදි ආදර්ශයක් නොදුන්.. වචන කල නොහැකි පිවිතුරු පිච්ච මලෙකය..

පැවිදි දිනයේ අවසන් වරට වැළඳ ගැනීමට මා අත දිගු කල විට ඇය දෑත් හකුලා ගත්තේ හඬන පපුවක දුක ගල් කරමින් බව මා පසුව තේරුම් ගත් කාරණාව විය..

උතුම් පැවිදි දිවිය ලැබූ දින පටන් ..අදටත් මවක් මෙන් බොහෝ දුක් පීඩා විඳ මා සියලු පහසුකම් සලසන්නේ ඇය ය..

මට තවම මතකය.. පැවිද්දට අලුත් දිනෙක මට අලුතින් මුහුණ දෙන්නට වූ දුෂ්කරතා හමුවේ..දිනෙක ඇයට ඇමතුමක් ගෙන මා අඬන විට... මා සිත සනසමින් ලැබූ උතුම් දිවිය තුළ මා ශක්තිමත් කලා මිසෙක..නැවත ගිහි ගෙදරට එන්නට කියා ඇය ඉනිමං නොබැන්ඳාය...

ඇගේ ගුණ ලියා අවසන් කිරීමට නොහැකිය...එතරම්ම ආදර්ශමත් සත්පුරුෂ කල්‍යාණ මිතුරියක් මට තවම සම්මුඛ වී නැත..

ඉඳින්... දරුවෙකුට අම්මා ගැන කියා අවසන් කිරීමට නොහැකි සේ... එක කුස උපන් සත්පුරුෂ මාගේ සංසාරික සහෝදරිය ගැන මට ලියා අවසන් කිරීමට තියා අකුරු කිරීමද ඉතා අපහසුය..

වසර දහයකට ආසන්න පැවිදි දිවිය තුළ ඇය ගැන ලියන එකම ලියමන මෙයය... ඈව වර්ණනා කිරීම ඈට හිංසනයක් බව නිතර නිතර පැවසුවද... හදවතක ගුණය විවර කරනු විනා වසා දැමීම සත්පුරුෂයකුට ඈල හැක්කක් නොවෙම්..

සසර නිවෙන්නට තවත් උපතක් වේනම්.. ඈ වැනි සහෝදරියක ලැබීම මා හට නිවෙන තුරු සුසුම් හෙලීමට තරම් ප්‍රමාණවත්වය..

ලොව සෑම සහෝදරියකටම ඈ වන් සහෝදරියක් ලැබිය යුතුමයය...එය මාගේ නිකසල පැතුමක් ය..

ඉඳින් මගේ පින්බරම මල නුඹ... පින්සර නුඹේ ජන්ම දිනයට මා රැස් කලා වූ සියලූම කුසල් හේතු වාසනා වීමෙන්.. නිවන් මග සැපවත් වේවා..යි..සුවපත් වේවා..යි පතමි....!!!

වැරදීමක්!ඇය දෙවෙනි අම්මා කීම හදවතට දරා ගැනීම බර වැඩිය..

ඇය මට මගේ අම්මා මය.. නිවනට පාර පෙන්නූ සත්පුරුෂ හදවතය..එක කුස උපන් මාගේ වැඩිමල් එකම සහෝදරියය...

වැටෙන හුස්මත්..තබන පියවරත් ධර්මයෙන්ම සුවපත් වේවා...!!!

තෙරුවන් සරණයි!පින්වත් නුඹට...

මා නුඹේ සහෝදරිය,
නුවරඑළියේ ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ.

27/09/2026

පැවිදි වෙන්න ඉන්න දූලට... සංයමයෙන් අහන්න..

"තම ජීවිතය ඇතුළතින්ම බිඳිලා තිබියදිත්, අවතැන් වෙලා තිබියදියදිත්, යමෙකු..ඔබ වෙනුවෙන් සෙනහස පුදන්නේ  නම්,පක්ෂපාතී නම්..කරු...
26/09/2026

"තම ජීවිතය ඇතුළතින්ම බිඳිලා තිබියදිත්, අවතැන් වෙලා තිබියදියදිත්, යමෙකු..ඔබ වෙනුවෙන් සෙනහස පුදන්නේ නම්,පක්ෂපාතී නම්..කරුණාවන්ත නම් .. සැබැවින්ම ඒ ඔබට කොන්දේසි විරහිතව ආදරණීය හදවතක් බැවින්..ඒ අතිශය සොඳුරු හදවත රැකගන්න...!"

නුවරඑළියේ ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ.

මගෙ දූ හරිම ලස්සනයි...මෙත් සිතින් ගැටලු විසඳන කොට... මගෙ දූ හරිම ලස්සනයි... කරුණාවෙන් හදවත් වලට පිහිට වෙනකොට... මගෙ දූ හ...
25/09/2026

මගෙ දූ හරිම ලස්සනයි...

මෙත් සිතින් ගැටලු විසඳන කොට... මගෙ දූ හරිම ලස්සනයි... කරුණාවෙන් හදවත් වලට පිහිට වෙනකොට... මගෙ දූ හරිම දුර්ලභයි මුදිතා සිතින් අන් සැපතට සොම්නස් වෙනකොට... මගෙ දූ හරිම ශක්තිමත් අනර්ථකාරී තැන් වලදි අගතිගාමී නොවී අවබෝධයෙන්ම උපේක්ෂා සහගත වෙනකොට...

ඉතින් මගෙ මැණික,හරිම ලස්සනයි.. අකුසල වලින් බේරිලා..සතරඹම විහරණ වඩනකොට...

නුවරඑළියේ ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ.

වස්සානේ වැහි හිරිකඩ මුළු හදවතම සිප ගන්න සීත සන්ධ්‍යා යාමයෙ හීන ඇහිදින සමනලියන් ට ස්නේහයෙන්...,ජීවිතේ කියන්නේ සරල රේඛීය ස...
23/09/2026

වස්සානේ වැහි හිරිකඩ මුළු හදවතම සිප ගන්න සීත සන්ධ්‍යා යාමයෙ හීන ඇහිදින සමනලියන් ට ස්නේහයෙන්...,

ජීවිතේ කියන්නේ සරල රේඛීය සුව පහසු ගමනක් නෙවෙයි මගෙ මැණික,

ඒක පල්ලම් බෑවුම්..කදුහෙල් ගිරි දුර්ග වන දුර්ග කටු පඳුරු ගහනය වුණ විෂම වූ මාවතක්... ඒ ඒ පරිසරයට අනුව නම්‍යශීලී වෙන්න තරම් ගුණය පුහුණු කරල නොතිබුණොතින් ප්‍රපාතයකට වැටිලා ඔය පුංචි අත පය බිඳෙන්න පුළුවන් රත්තරන් ටික...

හැමවෙලේම බලන්න ඕන ඒ ඒ පරිසර වල තියන විෂම තාව නිසා මගෙ මනස කොයිතරම් දූෂ්‍ය වෙනවද කියන එක වගේ..මේ ගමන් මග තුළ හරියට විවිධාකාර මිනිසුන්ගෙ හැසිරීම් ඉදිරියේ තමන්ගේ හිත ඇතුළ රාග ද්වේශ මෝහ වලින් ගිනිගන්නවද කියල..

මම කියන්නේ මැණික,වරද අනුන්ගේ වෙලා තමන්ට දඬුවම් කරනවා වගේ වැඩක්.. තව අයගේ අඩුපාඩු දරුණු නපුරු රළුකම් ඉදිරියේ අපි මෝර දීලා අඬනවා නම් වැලපෙනවා නම් නොකා නොබීම බිමට වැටිලා දුර්ලභ මනුෂ්‍ය ජීවිතය පිරිහෙන්න දීලා බලාගෙන ඉන්න එක..

ප්‍රඥාවන්තියක් වෙන්න මගේ දූ,බෝ මළුව අමදිනවා වගේ ක්ලේශ ධර්ම අමදින්න ඔය සිත් මළුව...බෝ මුල් දෝවනය කරනවා වගේ කුසල් ධර්ම වලින් දොවන්න ඔය පුංචි හද කුටිර...

පෙර භවයක තමන්ම ලෝහ ද්වේශ මෝහ වලින් කළ කී දෑ වල කර්ම විපාකය ඉදිරියේ ලෝකයට මෝර දීලා වැඩක් නෑ මගෙ දුවේ...කුසලයම වඩ වඩ පිරිත් පැන් ඉස ඉස මෙත් සිතින් අකුසල් එක්ක කුසලයෙන් සටන් කරන එකයි වෙන්න ඕන...

මම දන්නවා...ඔය තරු දෙනෙත් වලින් මේ සෙනහසින් ලියන ලියමන කියවනවා කියන්නෙම මගෙ දුව පින්වන්තියක්.. ඊටත් එහා ඒ පෙන්වන මග පේ වෙලා වඩනවා කියන්නෙම මගෙ රත්තරං දුව බුද්ධ දියණියක්...!

මෛත්‍රිය ට උදාහරණයක්...
කරුණාව ට ආදේශකයක්...
ප්‍රඥාවේ මැණිකක්...

ඉතින් මගෙ පැංචියේ දැන්ම පේ වෙන්න... සුන්දර ඉලක්ක වලට.. අපි හෙමින් පිය නගමු..

සෙනහසින්,

නුවරඑළියේ ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ.

වස්සානයට සෙනහසින්...කොහොමද මගෙ දූගේ කටයුතු.. තත්පර හරි ඉක්මනට ගෙවෙනවා..මගේ දුව.. ඒ නිසා කාලය නාස්ති කරන්න එපා හොඳද...මමත...
21/09/2026

වස්සානයට සෙනහසින්...

කොහොමද මගෙ දූගේ කටයුතු.. තත්පර හරි ඉක්මනට ගෙවෙනවා..මගේ දුව.. ඒ නිසා කාලය නාස්ති කරන්න එපා හොඳද...

මමත් ගිහ කල ල්සනම ලස්සන නව කතා පොත් කියවලා තියෙනවා... ගුරු ගීතය.., යහළු යෙහෙළි...,මළගිය ඇත්තො,ඇට මැස්සා,ගොළු හදවත.. වගේ සුන්දර පොත්.. ජීවිතය ලියලා තිබුණු හදවතකට මනුදම් කිඳා බස්සන අපූර්ව කෘති...

ඉතින් දහම් මග යන මගෙ පින්වත් දූ..ට කියවන්න හොඳ පොතක් කියන්න ද...රේරුකානේ චන්දිවිමල මාහිමිපාණන් වහන්සේ ගෙ ' බෞද්ධාගේ අත්පොත' අනිවාර්යයෙන් ම කියවන්න හොඳ ද..

කියවපු පොත් අතරේ හදවත සියුම් වේදනාවෙන් ඉකි ගහනකොට සුවපත් වෙන්න ඔසුවක් වගේ අපිව සසර තුළ නිවන තෙක් ආරක්ෂිත වෙන්න මූලිකම අඩිතාලම ඒ දහම් පොතේ තියෙනවා.. තවත් වටින පොතක් තමයි.. ශාසනාවතරණය' පොත...

මම කලින් ලිපියෙන් කීවා මේ පිංකම් මහත් ඵල මහානිශංස වන උතුම් වස් කාලය.. ඒ නිසා කොට්ටයක් පෙඟෙනකම්ම අඬන්න එපා පුංචි දුව... හදවත තුවාල කරන වේදනාවන්ට වඩා..බැඳීම් වලට වඩා හදවත ධර්මයට බඳවන්න..

හරී...ම සුවපත් ගමේ පන්සලේ බෝ මලුව අමදින්න.. පැනින් දෝවනය කරන්න... බණ මඩුව අමදින්න... පින්වත් ස්වාමීන් වහන්සේලාට සිව්පසයෙන් සංග්‍රහ කරන්න..

පිච්ච මල් ටිකක් නෙලලා පැන් දෝවලා භාග්‍යවතුන් වහන්සේ ට පූජා කරන්න... පහසුවෙන් අසුන්ගෙන මදකට දෑස් පියාගෙන බුදුරුව මනසින් හද කුටියට වඩම්මන්න... මුලදි ටිකක් ටිකක් හිත විසිරෙයි.. ඒත් ආයෙ ආයෙම බුදු රුව මවාගෙන එක බුදු ගුණයක් සිහි කරන්න...

හැබැයි හිත එකඟ කරන්න පහසුම දෙයක් තමයි සක්මන් 'භාවනාව මිනිත්තු කිහිපයක් සක්මන් භාවනාව වඩලා..අපිට බුදු ගුණ හෝ මෛත්‍රී භාවනාව ට..ඉදිරි භාවනාවන් වලට යන්න පුළුවන් නම්..හිත ඉක්මනින් එකඟ කර ගන්න පුළුවන්...

භාවනාවන් ගැන බෞද්ධයාගේ අත්පොත කියවලා දැනුම ලබා ගන්න පුළුවන් මගෙ දූ..ට.. වැදගත්ම දේ වැඩිය එපා එක විනාඩි දහයක් මගෙ දුව භාවනාව වඩලා බලන්න... දැනෙන සුවය... පුදුම සුවයක්.. අපෙන් කිසිවක් බලාපොරොත්තු නොවී අපට ලැබෙන නිරාමිස සුවයක්.. ඒ සුවය විඳලාම බලන්න කියනවාට වඩා දැනෙනකොටයි සුවපත් ම..

අන්න එතකොට ඔය පුංචි ඇස් නිතර නිතර රතු වෙන එක නතර වේවී.. අම්මා අප්පච්චි..ආදරණීයයන් එක්ක ඇතිවන තරහා හිත දුරු වේවී.. එදාට මගේ දුව දිනුම්.. ටික ටික හිත දියුණු කරනකොට මගේ දුවට තේරෙනවා සතුටින් හුස්ම ගන්න පුළුවන් කියාලා...

ඉතින්.. කරලා බලලා සොම්නසින් සුසුම් වැටුනාද කියලා මෙහෙණින් වහන්සේ ටත් කියනවා නේද... රත්තරන් දුවේ..?

මම දන්නවා..මගෙ දූ..පින්වන්තයි..වරදින්නේ නැහැ..ලිපිය කියවලා ඉවරලා නිදාගන්න කලින් අඩුම විනාඩි පහක් භාවනාව වඩලා සුවපත් වෙමු.. හොඳ ද..

මගෙ පින්වත් දූ..ට තිසරණ සරණයි!සිත ඒකාග්‍ර වේවා...!!!සමාධිමත් වේවා...!!!මා කල සියලු කුසල් හේතු වාසනා වේවා...!!!

මීට,
නුවරඑළියේ ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ .

"දුදනන්ගේ දුර්ගුණ දහසකට වඩා, සුදනන්ගේ නිහඬ බව අතිශය සාපරාධී බව පවසමින් නිහඬ වෙමි."නුවරඑළියේ ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ.
20/09/2026

"දුදනන්ගේ දුර්ගුණ දහසකට වඩා, සුදනන්ගේ නිහඬ බව අතිශය සාපරාධී බව පවසමින් නිහඬ වෙමි."

නුවරඑළියේ ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ.

Address

23 Deshamanya H K Dharmadasa Mawatha
Colombo
00200

Website

Alerts

Be the first to know and let us send you an email when ශ්වේත අරලියා මෙහෙණි අරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share