24/02/2026
ලාංකේය රදගුරු පරපුරේ නව වන රදගුරු වසම වන අනුරාධපුර රදගුරු වසම - 6 වන කොටස
අති උතුම් නෝබට් මාර්ෂල් අන්ද්‍රාදි (නි.ම.නි.) හිමිපාණෝ - ක්‍රි.ව. 2003 නොවැම්බර් මස 14 වන දින සිට ක්‍රි.ව. 2025 දෙසැම්බර් මස 14 වන දින දක්වා
1949 අගෝස්තු මස 30 වන දින මග්ගොන, දියලගොඩ ග්‍රාමයේදී දොන් ඇන්තනි අන්ද්‍රාදී සහ දෝන ඇනා මදප්පුලි යන දෙමාපියන්ට දාව උපත ලැබූ මෙතුමෝ කළමුල්ල ග්‍රාමයේ හැදී වැඩුණේය. සිය මූලික අධ්‍යාපනය කලමුල්ල රෝමානු කතෝලික විද්‍යාලයෙන් හදාරා පුදැදුරුතුමෙකු වීමේ පරම අභිලාෂයෙන් කොහුවල ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික දෙව්සත්හලට 1968 වසරේදී ඇතුළුවී ඔබ්ලෙට් නිර්මල මරිය නිකායට බැදී අම්පිටිය ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික දෙව්සත්හලට සහ අම්පිටිය ජාතික දෙව්සත්හලෙන් දර්ශනවාදය හැදෑරීමට 1970 වසරේදී පිවිසියේය. පසුව බණ්ඩාරවෙල ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික දෙව්සත්හලේ පුහුණුව 1973 සැප්තැම්බර් මස 03 වන දින ආරම්භ කළ මෙතුමෝ ,සිය පළමු වේදහාර 1974 සැප්තැම්බර් මස 08 වන දින ලබා දෙන ලදී. පසුව දේවධර්මය හැදෑරීම සදහා රෝමයේ ග්‍රෙගෝරියානු විශ්ව විදාලයට පිවිස 1975 ශාස්ත්‍රාධිපති උපාධිය ලබා ගන්නා ලදී.
1978 මාර්තු මස 03 වන දින ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික අවසාන වේදහාරදීම සිදුකල අතර, සිය තේවාචාර්ය ධූරය 1978 මැයි 04 රෝමයේ ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික ජාත්‍යන්තර දෙව්සත්හලේ අති උතුම් ඇලෙස්සන්දෝ ස්වචෝලි රදගුරු හිමිපාණන් අතින් සිදුවිය. සිය තේවාචාර්ය පුහුණුව නිකවැරටිය සහ ගල්ගමුව මීසම් වල සිදුකොට 1980 මැයි මස 10 වන දින, කලමුල්ල ජේසු බිළිදුන්ගේ දේවස්ථානයේදී එවක කොළඹ අගරදගුරු අති උතුම් නික්ලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් අතින් පූජකවරම් ලැබීය. අනුරාධපුර මීසම් සහයක පියතුමා (අනුරාධපුර හිටපු රදගුරු ස්වර්ගස්ථ අති උතුම් හෙන්රි ගුණවර්ධන හිමිපාණන් අනුරාධපුර සසුන් පදයේ (අනුපදවියේ ) පාලක පියතුමා ලෙස සිටි සමයේදී) ප්‍රථමයෙන් සේවා කොට අම්පිටිය ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික දෙව්සත්හල් පුහුණු ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ විය. පසුව ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික සාධාරණත්වය සහ සාමය පිළිබඳව කොමිසමේ ලේකම් ධූරයට 1985 පත්වී , සිය ආචාර්ය උපාධිය සදහා කැනඩාවෙහි ඔටාවා හි ශා. පාවුළු විශ්ව විද්‍යාලයට 1989 වසරේදී ඇතුළත්විය. පසුව 1995 මැයි මාසයේදී කැනඩාවේ ඔටාවා ශා. පාවුළු විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන, අම්පිටිය ඔබ්ලෙට් නිර්මල මරිය නිකායක දෙව්සත්හලේ පුහුණු ආචාර්ය මණ්ඩලයට පත්වී 1995-2003 වසර තෙක් සේවය කරන ලදී. මේ කාලයේදී මෙතුමෝ ජාතික දෙව්සත්හලේ දේවධර්මය පිළිබද කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර, 1997-2003 තෙක් අම්පිටිය ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික දෙව්සත්හලේ අධ්‍යක්ෂ ධුරය දරන ලදී. එලෙසම 1996-2003 තුළ අම්පිටිය ජාතික දෙව්සත්හලේ දේවධර්ම අංශාධිපති ලෙස කටයුතු කළ අතර, 2003 නොවැම්බර් මස 14 වන දින අති උතුම් දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමන් විසින් අනුරාධපුර නව රදගුරු හිමිපාණන් ලෙස පත් කරන ලදී. මෙතුමන්ගේ රදගුරු වරයේ නිල ආදර්ශ පාඨය වුයේ “ DEUS DEUS CHARITAS EST PAX VOBISCUM CAI ” හෙවත් “ දේව ජනතාව සමඟ වන්දනාකරුවෙකු වන්නට ” යනුයි. මෙතුමන්ගේ රාජගුරු අභිෂේකය 2004 ජනවාරි මස 10 වන දින අනුරාධපුර ශා. ජුසේ මුනිතුමන්ගේ ආසන දෙව්මැඳුරු පරිශ්‍රයේදී පැවතිණි. එය එවකට කොළොම්පුර අග්‍රරාජගුරු ප්‍රසාදි අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එතුමන්ට සහය දක්වන ලද්දේ එවකට මන්නාරම රාජගුරුප්‍රසාදි ලෙස සේවය කළ අති උතුම් රායප්පු ජෝශප් හිමිපාණන් සහ එවක හලාවත රාජගුරුප්‍රසාදිතුමන් ලෙස සේවය කළ අති උතුම් ප්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ය. එදින ම මෙතුමෝ පදවිප්‍රාප්ත වූහ.
මෙතුමන්ගේ සේවා සමය වසර විසි දෙකකි. සිය එඩේරික දූතික මෙහෙවර සාරධර්ම පෙරටු කරගෙන ගිය අතර, විශේෂයෙන් වාර්ගික අර්බුදය හමුවේ මෙතුමා මධ්‍යස්ථ පෙනී සිටින්නෙකු විය. විශේෂයෙන් උතුරේ රදගුරුතුමන්ලා සමඟ අත්වැල් බැඳ ගනිමින් ජනවාර්ගික උවදුරු හමුවේ සුහදත්වයේ සහ සහෝදරත්වයේ ක්‍රියාශීලී ප්‍රතිපත්තියක් මෙතුමා දියත් කරන ලදී. විශේෂයෙන් දමිළ ජනතාව වෙනුවෙන් මෙතුමා ක්‍රියා කළ අන්දමද කැපී පෙනෙයි. යුද්ධය ඉතා තීරණාත්මක පැවති සමයේදී පවා උතුරේ සහ දකුණේ ජනතාව සහෝදරත්වයේ ජනතාවක් ලෙස ඒකරාශි කිරීමට මෙතුමා ප්‍රබලව ක්‍රියාකළ රදගුරුතුමෙකි.
දිළිඳු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අතිමහත් කැපවීමකින් කටයුතු කළ අතර, දක්ෂ සිසුන් වේ නම් නාගරික පාසැල් වලට යාමට සහයෝගය දැක්වීය. මේ නිසාම නෙළුම් කුළුණ ප්‍රදේශයේ ශා. ජෝශප් ඉංග්‍රීසි ඇකඩමියක් ආරම්භ කිරීමද, සාවස්තිපුර ප්‍රදේශයේ ද නිර්මල මරිය නිකායේ දායකත්වයෙන් මැසනොඩ් විද්‍යාලය සහ දොන් බොස්කෝ සැලේසියානු නිකායේ දායකත්වයෙන් නොච්චියාගම දොන් බොස්කෝ විද්‍යාලය ද ආරම්භ වීම සුවිශේෂී වේ. අනුරාධපුර බන්ධනාගාරයේ වෙසෙන රැඳවියන් සමග සෑම වසරකම නත්තල් මංගල්‍යය සැමරීමද මෙතුමාගේ රදගුරු ජීවිතයේ ණය යුක්තියක් සේ මෙතුමා සැලකීය. රදගුරු වසමේ අනාගතය බඳුවූ අනුරාධපුර ශා. පීතර දෙව්සත්හලට යැදුම් ගෘහයක් සහ අංග සම්පූර්ණ බහුවිධ ගොඩනැගිල්ලක් ද නිර්මාණය විය. මේ කාලය තුළදී පදවියේ ආසන දෙව්මැදුර වන අනුරාධපුර ශා. ජුසේ මුනිතුමන්ගේ ආසන දෙව්මැදුර පුළුල් කොට දෙපස කොටස් නිර්මාණය කරන ලදී. පදවියේ රදගුරු මැදුර අංග සම්පූර්ණ වූ අතර, ඊට සමගාමීව තෙමහල් ගොඩනැගිල්ලක්ද නිර්මාණය විය. ඊට අමතරව කතෝලික පොත් කලක් වන ශා. ජෝශප් පොත්හල ද ඉදිවිය. ඒ සඳහා දායක වූයේ ගෞ. ඩේමියන් පෙරේරා පුජාප්‍රසාදීතුමා ය.
තවද මේ සමයේදී පදවිය, කාවන්තිස්සපුර, තිරප්පනේ , නොච්චියාගම , එප්පාවල , රණජයපුර, ගල්කිරියාගම , මින්නේරිය ,දියබෙදුම, අඹගස්වැව, විජයබාහුපුර, පොළොන්නරුව ... වැනි ස්ථාන වල අභිනව දෙව්මැදුරු ඉදිවූ අතර සෙඩෙක් ආයතනය මරදන්කඩවල ස්ථාපනය කරන ලදී. මීට අමතරව මැදවච්චිය දෙව්මැදුර අලුත්වැඩියා කොට රඹෑවේ අභිනව කන්‍යාරාමයක් ද පිහිටුවීය. නොච්චියාගම මීසමට ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර අප ස්වාමිදූගේ දියණියන්ගේ නිකාය ද, පදවියට දයාවේ අප ස්වාමිදූගේ යහපත් එඩේරාණන්ගේ සොයුරියෝ ද සපැමිණි අතර කැකිරාව, පලුගස්දමන සහ හිගුරක්ගොඩ යන දෙව්මැදුරු ප්‍රතිසංස්කරණය සිදුවුණි. 2009 වසරෙන් පසු කෝකිලායි ප්‍රදේශයේ පැවැති දෙව්මැදුරු තුනක් ( ශා. ආනා, ශා. සෙබස්තියන් සහ සින්දාත්‍රී මාතා ) නැවත වරක් යාපනය රදගුරු වසමට බාර කරන ලදී. මීට අමතරව කුඩාගම අභිනව දෙව්මැදුරක් ඉදිකිරීමට මුලපිරීම ද , පදවියේ කල්වාරි සිද්ධස්ථානය වන අලගොල්ලෑව සිද්ධස්ථානය සහ මාදුරු ඔය සිද්ධස්ථානය ද වැඩි දියුණු කොට පදවියේ දුතික මෙහෙවර සදහා පැවදි නිකායන් රාශියක් ස්ථාපනය කිරීම මේ කාලයේ දක්නට ලැබෙන තවත් සුවිශේෂී සිදුවීමකි. ක්‍රි.ව. 2025 දෙසැම්බර් මස 16 වන දින මෙතුමන් විශ්‍රාම ගනු ලැබීය.
සටහන - අසේල දසනායක