මඩකලපුව ජයන්තිපුර බෞද්ධ මධ්‍යස්ථානය 1956 වර්ෂයේදී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මඩකලපුව නගර සීමාවේ ජයන්තිපුරය නමින් සිංහල ගම්මානයක් ඇති කරන ලදී.ඒ සිංහල ගම්මානයේ ආගමික කටයුතු සඳහා බෞද්ධ මධ්‍යස්ථානය නමින් ආගමික සිද්ධස්ථානයක් ආරම්භ කරන ලදී.එහි ආරම්භක ස්වාමීන් වහන්සේ වූයේ තලාතුවේ වාචිස්සර නම් ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති බවට පත්වූයේ හඟුරන්කෙත ශ්‍රී සුමනජෝති මහා ස්වාමීන්ද්
රයාණන් වහන්සේය. උන්වහන්සේ වෙනුවෙන් විහාරස්ථානයේ කටයුතු කරනු ලැබුවේ උන්වහන්සේගේ ශිෂ්‍ය නමකි. මෙම කාල සීමාව තුල බෞද්ධ මධ්‍යස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් වී තිබුණි.
බෞද්ධ මධ්‍යස්ථාන පූජා භූමියෙහි ඉදි කර තිබූ ගොඩනැගිලි අතරට විහාර මන්දිරය, කාමර හයකින් යුත් සංඝාවාසය , අඩි 120ක් දිග අඩි 25ක් පළල ධර්ම ශාලාව , ඝණ්ටාර කුළුණ, චෛත්‍යය, විශාල ළිඳ ආදියෙන් සමන්විතව පැවතුණි. ජයන්තිපුරය සිංහල ගම්මානයට අමතරව පසු කාලයේදී විජයපුරය නමින් සිංහල ගම්මානයක්ද පැවතුනි. මෙම ගම්මාන දෙකෙහි සිංහල පවුල් සියයකට වඩා වැඩි පිරිසක් පදිංචි වී සිටියහ. බෞද්ධ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් ගොඩ නගන්නේ මෙම සිංහල බෞද්ධදායක පිරිසගේ දායකත්වෙයෙනි. විහාරස්ථනය, ළඳරු පාසල, දහම් පාසල, වේවැල් කර්මාන්තය, සර්වොදය ආදී සේවා සංවිධාන මඟින් ආගමික , සමාජීය සේවාවන් පවත්වාගෙන ගිය ප්‍රධාන ආගමික සිද්ධස්ථානයක් බවට පත් වී තිබුණි.
එහෙත් 1986 වර්ෂය වන විට නැගෙනහිර ප්‍රදේශය පුරා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කටයුතු උත්සන්න වී තිබුණි.ඒ හේතුවෙන් ජයන්තිපුර හා විජයපුර ගම්මාන වලටද බලපෑම් එල්ල විය. මේ හේතුවෙන් සිංහල වැසියන් ගෙවල් තුලදීම කපා කොටා මරා දැමූහ. මේ නිසා ඉතිරි සිංහල පවුල් තම ඉඩකඩම් ගේ දොර අත හැර පලා ගියහ.ඔවුන්ගේ ගේ දොර ඉඩකඩම් පැහැරගෙන පදිංචි වූහ.සමහර ඉඩම්, ගෙවල් ආදිය තර්ජනය කරමින් සුළු මුදලකට ලබා ගෙන පදිංචි වූහ. හේ හේතුවෙන් සිංහලයන්ගෙන් එම ගම්මාන හිස් විය.බෞද්ධ මධ්‍යස්ථාන විසින් භුක්ති විඳි ඉඩම් , හොර නොතාරිස්ලා මඟින් හොර ඔප්පු ලියා අත්පත් කර ගත්හ. විහාරස්ථානය සතු ගොඩනැඟිලි නටබුන් ඉතිරි නොවන සේ සම්පූර්ණයෙන් විසාශ කොට ක්‍රීඩා පිටියක් සේ යොදා ගත්හ.
මේ අයුරින් වසර 25කට අධික කාලයක් ගත විය. පැවති බෝධීන් වහස්සේ කපා දැමූහ. දැනට බෝධීන් වහන්සේ දළුලා වැඩී ඇත. 2010 වන විට පැවති සාමකාමී තත්වය සමඟ මා ඉතිරි ඉඩම් කොටස හමුදාවේ හා පොලිසියේ සහය ලබා ගෙන වැටවල් ගසා ඉදි කිරීම් ආරම්භ කලත් රජය හෝ වෙනත් කිසිවෙකුගෙන් ආධාර නොලැබිණි. විනාශ වූ ගොඩනැඟිලි වෙනුවෙන් කිසිදු වන්දියක්ද නොලැබුණි. නමුත් ඉදි කිරීම් කටයුතු කරගෙන ගියෙමි.
2011 වර්ෂයේ යෙදී තිබූ සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් අභිනවයෙන් ඉදි කල සංඝාවාසය එවකට රජයේ මැති ඇමතිවරුන් ලවා විවෘත කොට චෛත්‍යයක් ඉදි කිරීම සඳහා මුල් ගල්ද තැබීය. අද වනතුරු රජයේ හෝ වෙනත් කෙනෙකුගෙන් අවධානයක් නොලැබුණි. එහෙත් ඉදිරි කාලයේදී චෛත්‍යයයේ වැඩ ආරම්භ කිරීමට අදහස් කරගෙන සිටිමි. ඒ සඳහා සියළු දෙනාගේ ආධාර , අනුග්‍රහය බලාපොරොත්තු වෙමි.
දැනට නැගෙනහිර සංචාරය සඳහා පැමිණෙන අපගේ පහසුව සඳහා විශ්‍රාම ශාලාවක් ඉදි කර ඇත.
ඉතාමත් නිදහස් පරිසරයක පහසුකම් වලින් යුක්ත විශ්‍රාම ශාලාවේ නවාතැන් ගැනීමට බලාපොරොත්තු වන පිංවතුන් දු.ක. 065 2229229 හො 071 4423214 අංකයට කථා කර වේලාවක් වෙන්කර ගත හැක. විහාරස්ථාන ගොඩනැඟීම සඳහා කරනු ලබන ආධාර මඩකලපුව මහජන බැංකුවේ කාර්ය සාධක සමිතියේ අංක 075 200 17 00 45 352 ගිණුමට බැර කරන්න. (මඩකලපුව ජයන්තිපුර බෞද්ධ මධ්‍යස්ථාන කාර්ය සාධක සමිතිය)