29/06/2026
ශු. සභාවේ මුල් ගුරුවරු
සාන්ත සභා මාතාව ජුනි මස 29 වන දින අනිවාර්ය අනුස්මරණ මංගල්‍යයක් ලෙස ශු. පේදුරු හා පාවුළු අපෝතුළුවරුන්ගේ මංගල්‍යය සමරන්නීය. ස්වාමීන් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසු ශුද්ධාත්ම ක්‍රියාකාරිත්වය ඔස්සේ ක්‍රියා කරමින්, මුල් කිතුනු සභාවේ අඩිතාලම හා පදනම මෙතුමන්ලා විසින් දියත් කරන ලදී. සභාව නමැති දේව ජනතාව පෝෂණය කරමින් සභාව නමැති ක්‍රිස්තු ශරීරය ගොඩනැගීමෙහිලා මෙතුමන්ලාගේ දායකත්වය ඉතා අනර්ඝ වන්නේය. සභාව මෙතුමන්ලා උදෙසා ජනවන්දනා වසරේ මංගල්‍යයන් 02 ක් සමරනු ලැබේ.
ශු. පාවුළු අපෝස්තුළුතුමන්ගේ සිත් හැරීමේ මංගල්‍යය ජනවාරි මස 25 වන දින ද ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ ශුද්ධාසනයේ මංගල්‍යය පෙබරවාරි 22 වන දින සමරනු ලැබේ. ජුනි මස 29 වන දින සමරන්නේ එතුමන්ලා ප්‍රාණ පරිත්‍යාගී භාවයේ මංගල්‍යය වන අතර ක්‍රි.ව 68 දී රෝම අධිරාජ්‍යයාව හුන් නිරෝ අධිරාජ්‍යය විසින් මෙතුමන්ලාව මරා දමන ලදී. රෝම සභාවේ මුල් ගුරුවරු, එඬේරුන් ලෙස සැලකෙන ශු. පේදුරු හා පාවුළු අපෝස්තුළුවරුන්ගේ මංගල්‍යය විශ්ව සභාවටම අනිවාර්ය දිනයක් සේ සැලකෙයි. මුල් යුගයේ සිටම සභාව තුළ මෙම මංගල්‍යය සැමරිම දක්නට ලැබේ.
* ශු. ලියවිල්ල තුළ පේදුරු තුමා:-
ජේසු සමිඳුන්ගේ අග්‍ර ශ්‍රාවකයා වූද, මුල් කිතුනු සභාවේ නායකයා ලෙස සැලකෙන ශු. පේදුරු තුමා වනාහි වෘත්තියෙන් ගලීලයේ විසූ ධීවරයෙකි. එතුමාගේ මුල් නාමය “ සීමොන් වූ අතර ජේසු සමිදාණන්ගේ කැඳවීමට ප්‍රතිචාරය පා සියල්ල අතහැර මසුන් නොව මිනිසුන් දිනන්නන්'..' කරවීමේ ක්‍රිස්තු අනුශාසනාව තුළ පේදුරු තුමා ද සෙසු මුල් ශ්‍රාවකයන් සමඟ ඔවුන් වහන්සේ අනුගාමී වූහ. (ලූක් 5:1-11, මතෙව් 4:18-22)
" ඔබ පේදුරුය... මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි . මරණයේ බලය වුවද එය පරාජය කළ නොහැකිය . (මතෙව් 16:18 - 19), ඉහත සඳහන් ජේසු සමිඳුන්ගේ ප්‍රකාශනය තුළ පේදුරුතුමාගේ දූත කාර්යය පිළිබඳව මැනවින් සඳහන් කරන අතර ස්වාමින් වහන්සේගේ බැටළු රැළ පෝෂණය කිරීමේ මහඟු කාර්යය එතුමා පිට පැවරියේය. (ජොහාන් 21:15-19) ජේසු සමිදාණන් ප්‍රසිද්ධ දිවියේ විවිධ වූ ප්‍රාතිහාර්යයන්, දේශනා හා විවිධ වූ අත්දැකීම් වලට සෘජුවම දායකත්වය දැක්වීය. තවද ඇතැම් ස්ථාන වලදී මිනිස් දුබලකම මත ඇද වැටුණත් කරුණාබර දෙවිඳුන්ගේ ස්පර්ශය ලැබගෙන ස්වාමින් වහන්සේගේ දූත මෙහෙවරෙහි අඛණ්ඩව
විසීය. ස්වාමින් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව දේවමාතාවන් ද ශ්‍රාවකයන්ද සමඟ සේනාකුළු භෝජන ශාලාවේ වෙසෙමින් ශුද්ධාත්ම ආගමනය තෙක් අඛණ්ඩ යැදුමින් සාංඝික විය. ( ක්‍රියා1:12 - 14 ) ශුද්ධාත්ම ආගමනයෙන් පසුව සමිඳාණන්ගේ දහම දේශනා කරන්නටද සභාවට නායකත්වය දෙමින් එතුමාණෝ ක්‍රියා කළ ආකාරය දේව වචනයේ මැනවින් පිළිබිඹු වේ. නව ගිවිසුමේ එන පොදු ලිපි දෙකක් මෙතුමා විසින් රචිත හෝ මෙතුමා ගේ ඉගැන්වීම් අනුසාරයෙන් සකස්කර වූවක් ලෙස , සැලකෙන අතර විශ්වාසය, බලාපොරොත්තුව පෙරටුකරගත් කිතුනු පැවැත්ම මැනවින් පෙන්වා දී ඇත. ජෙරුසෙලමේ මුල් සභාවට එල්ල වූ පීඩන හමුවේ සභාව අන්තියෝකියේ ස්ථාපනය වූ අතර, පසුව තම නිල වාසස්ථානය ලෙස රෝමය පිහිටුවා පිහිටුවාගත් අතර එමගින් රෝමය ශු. සභාවේ ප්‍රථම හා එකම නිල වාසභවනය ලෙස සැලකේ. එහි ප්‍රථම රදගුරුතුමා පළමු පාප්තුමා ද එතුමාය. ක්‍රි.ව. 68 දී රෝම නගරයේ අධිරාජ්‍යයාගේ උද්‍යානය තිබූ ස්ථානයේ (වත්මන් වතිකාන බැසිලිකාව) දී එතුමාව යටිකුරු අතට කුරුසියේ ඇණ ගසා මරා දමන ලදී. දුබල මානව ක්‍රියාකාරකම් මැද වුවද දෙවිඳු පෙමින් සවිමත් වී ඇදහිල්ලට සාක්ෂි දැරූ ප්‍රබල මිනිසුන් දිනන්නා ලෙස සමස්ත සභාවම සදා එතුමාට ණය ගැතිය.
* ශු. පාවුළුතුමා
තාර්සිස් හිදී උපත ලබා ගමාලියෙල් රබ්බිවරයාණන් යටතේ ශිල්පය හදාරා විශේෂ කොට ජුදෙව් දහම නීතිය හා ව්‍යවස්ථ මාව පිළිබඳ ගැඹුරු ඥානයක් මෙතුමා කෙරේ විය. දේව වචනයට අනුව අපට මුලින්ම මෙතුමාව දක්නට ලැබෙන්නේ ශු. ස්තේවන් තුමාට ගල්ගැසීමේ සිදුවීම තුළය. ( ක්‍රියා 7:58) මුල් සභාව වෙත් සාවුල් හෙවත් පාවුළු නමින් පීඩා කරනු ලබන පුද්ගලයා මෙතුමාය. මෙතුමා සභාව වෙත පීඩා කළේ එමගින් ජුදෙව් දහම හා ව්‍යවස්ථාවටත් නීතියටත් පටහැනි ක්‍රියාවන් සිදු වීමේ අභිමතය පරිදිය. සභාවට පීඩා කළත් දමස්කයට යන ගමනේදී ජීවමාන ජේසු සමිඳාණන්ගේ ස්පර්ශය නතු වී “ සාවුල්, සාවුල් ඔබ මට පීඩා කරන්නේ මන්ද ? " ( ක්‍රියා 9:4) යන දේව අනාවරණයට නතුව සාවුල් පාවුලු බවට හැරී අන්ධව සිටි වහල් බැමි වලින් මිදී සැබෑ ක්‍රිස්තු අනුගාමිකයකු ලෙස ආලෝකයාණන් වූ කිතු සමිඳුන්ගේ සුබවදන අන්‍ය ජාතීන් කරා රැගෙන යෑමේ උදාරතර කාර්යය හා දූත මෙහෙවර මෙතුමා කෙරේ විය. ( ක්‍රියා 9:15-16) අන්‍ය ජාතීන්ගේ අපෝස්තුළුවරයා ලෙස සැලකෙන මෙතුමා සුළු ආසියාවේ සිට ග්‍රීසිය දක්වාත්. පසුව රෝමය දක්වාත් කටුක වූද දුෂ්කර වූද සේවාවන් හි නිරත වෙමින් අඛණ්ඩව ස්වාමින් වහන්සේගේ ධර්මය දේශනා කරමින් ද, ඒ ඒ පෙදෙස් වල
සභාවන් පිහිටුවමින්. ඒ ඒ සංස්කෘතින්ට මාංශගත වෙමින් සුබ වදන දේශනා කිරීම මෙතුමාගේ දිවිය තුළ කැපී පෙණුනු ලක්ෂණයකි. නව ගිවිසුමේ සඳහන් හසුන් පත් 13 ක් මෙතුමා විසින් රචනා කර ඇති අතර එමගින් ගැඹුරු දේව ධර්මයක් ද, සදාතනික නීතියද, සාරධාර්මික චින්තනයක් හා විශ්වාසය හා ප්‍රේමය මුල්කොටගත් සභාවේ භූමිකාවක් ද පිලිබඳව කරුණු ගෙනහැරපායි. විශේෂකොට ( 1 කොරෙන්ති 13/ 1- 10) සඳහන් ප්‍රේමය පිළිබඳ එතුමා දක්වන දේව ධර්මය ඉතා විශිෂ්ඨය.
තවද ශු. සභාවේ ව්‍යාප්තියට හා දැක්මට මෙතුමාගෙන් ඉටු වූ කාර්යය අප්‍රමාණය.
මේ නිසාම ජේසු සමිඳුන්ගේ සුබ වදන ජාතින් වෙත රැගෙන යමින් ඊට සාක්ෂි දැරූ නිසා ක්‍රි.ව. 68 දී රෝම නගරයෙන් පිටතදී මෙතුමාව හිස ගසා මරා දමනු ලැබීය. නොයෙකුත් පීඩා, බාධක කරදර මැද වුව ද නොසැලී ස්වාමින් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දැරූ තවත් ප්‍රබල චරිතයකි. සිය දිවි මඟ තුළ විශ්වාසයෙන් දෙවිඳු කෙරේ යොමවා ඔවුන් වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය මත යැපී පාවුළු තුමා මෙන් සුබ වදනේ සාක්ෂිකරුවකු ලෙස අපගේ ප්‍රසාද ස්නාපනීය කැඳවීමට ප්‍රතිචාර දැක්විය යුතු බව මේ මංගල්‍යය දින අපට ඇරයුම් කෙරේ.