14/06/2026
පාදුවාවේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්
කතෝලික සැදැහැවතුන් අතර පමණක් නොව අන්‍යාගමිකයන් අතරද අතිශය ජනප්‍රිය ශාන්තුවරයෙකු වන ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා, සිය කෙටි ජීවිත කාලය තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ සරල බව ලොවට කියා පෑ උතුම් චරිතයකි. එතුමන්ගේ ජීවන ගමන අප සැමට මහඟු ආදර්ශයකි.
මුල් අවධිය සහ දේව කැඳවීම
වර්ෂ 1195 අගෝස්තු 15 වැනිදා, එනම් දේවමාතාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය දිනයේදී පෘතුගාලයේ ලිස්බන් නුවර ධනවත් වංශවත් පවුලක කුළුඳුල් පුතු ලෙස එතුමා මෙලොව එළිය දුටුවේය. එතුමන්ගේ දෙමාපියන් වූයේ දොන් විසෙන්ති මාටින්ස් ඩි බුල්හෝම් සහ දෝන තෙරේසා පායිස් ටැවෙයිරා යුවළයි. උපතින් දින අටකට පසු ලිස්බන්හි ශාන්ත මරියා ආසන දෙව් මැදුරේදී ෆර්ඩිනන්ඩ් මාටින්ස් ඩි බුල්හෝම් යන නමින් බෞතීස්ම ලැබූ එතුමා, කුඩා කල පටන්ම දේවමාතාවන් කෙරෙහි ඉමහත් භක්තියකින් යුක්ත විය.
වයස අවුරුදු 15 දී අගුස්තීනු තාපසාරාමයට ඇතුළු වූ එතුමා, පුරා අට වසරක් යැදුමෙන් සහ ධ්‍යානයෙන් කල් ගත කරමින් දේවධර්මය හා ලතින් භාෂාව මැනවින් ප්‍රගුණ කළේය.
ෆ්‍රැන්සිස්කාන නිකායට එක්වීම
පූජකවරය ලැබීමෙන් පසු තාපසාරාමයේ ආගන්තුකයන් පිළිගැනීමේ වගකීම දැරූ එතුමන්ට, මොරොක්කෝවේ ධර්මදූත සේවය සඳහා යමින් සිටි ෆ්‍රැන්සිස්කාන නිකායික ධර්මදූතයන් පස් නමක් (පීටර්, බර්නාඩ්, අකුරසියෙන්, අජුස්ට්‍රස් හා ඔඩෝ) මුණගැසිණි. ඔවුන්ගේ දිළිඳු, සරල සහ චාම් දිවි පැවැත්ම එතුමන්ගේ සිත දැඩි ලෙස ආකර්ෂණය කළේය. පසුව මෙම ධර්මදූතයන් පස් නම මොරොක්කෝවේදී දස වද දී ඝාතනයට ලක් වූ බව ඇසීමත් සමග, එතුමා තුළ ෆ්‍රැන්සිස්කාන නිකායට ඇතුළත් වීමේ දැඩි ආශාවක් ජනිත විය.
සභා ශ්‍රේෂ්ඨයන්ගේ අවසරය ලබාගත් ෆර්ඩිනන්ඩ් පියතුමා, "අන්තෝනි" යන නව නාමය වැළඳගනිමින් ෆ්‍රැන්සිස්කාන නිකායට එක් විය.
ජීවන ගමනේ සුවිශේෂී සන්ධිස්ථාන
උපත
1195
පෘතුගාලයේ ලිස්බන් නුවරදී මෙලොව එළිය දැකීම.
පූජකවරය ලැබීම
1220
අගුස්තීනු තාපසාරාමයේ වසර අටක අධ්‍යයනයෙන් පසු පූජකවරය ලැබීම.
ස්වර්ගස්ථ වීම
1231 ජුනි 13
වයස අවුරුදු 36ක් වැනි කෙටි කලකින්, සත්‍යයට සහ ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දරමින් සග සුව දිනා ගැනීම. සිරුර රැගෙන යන විට දේවස්ථානවල සීනු ඉබේ නාද වූ බව පැවසේ.
සාන්තුවරයට එසවීම
1232 මැයි 30
එතුමන්ගේ මැදිහත්කමින් නිරන්තරයෙන් සිදු වූ ප්‍රාතිහාර්යයන් හේතුවෙන්, ස්වර්ගස්ථ වී වසරක් ගත වීමටත් පෙර IX වැනි ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමන් විසින් සාන්තුවරයට ඔසවනු ලැබීම. එදිනද දේවස්ථානවල සීනු ඉබේ නාද විය.
දිව ධාතුව විවෘත කිරීම
1263
පාදුවාහි බැසිලිකාවේ දේහය තැන්පත් කිරීමට දෙණ විවෘත කළ අවස්ථාවේදී එතුමන්ගේ "දිව ධාතුව" නොදිරා පැවති බව සොයා ගැනීම.
නොදිරන "දිව ධාතුව" සහ ආදර්ශය
නිරන්තරයෙන්ම දෙවිඳුන්ට ප්‍රශංසා කරමින් සත්‍යය කතා කිරීම හේතුවෙන් ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන් දෙවිඳුන්ගෙන් මෙම විශේෂ වරප්‍රසාදය (නොදිරන දිව) ලබාගත් බව ශුද්ධ වූ බොනවෙන්චර් තුමා ප්‍රකාශ කර ඇත. දේශනාවාදී පියතුමකු හා කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ එතුමා, අබ්බා පියාණන්ගේ මහා කරුණාව සතහට එළිදරව් කරනු පිණිස බොහෝ ප්‍රාතිහාර්යයන් සිදු කළේය.
අදත් ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ට කැපකළ දෙව්මැදුරු බැතිමත් ජනයාගෙන් පිරී ඉතිරී යන්නේ එතුමන්ගේ අමිල මැදිහත්කම සහ පිහිට නිසාවෙනි. මේ මංගල්‍යය සමරන මොහොතේ, පාදුවාවේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මධ්‍යස්ථ කමින් එතුමන්ගේ ජීවිතයේ පරමාදර්ශය වූ සරලකම සහ චාම් අල්පේච්ඡ දිවියක් ගත කරමින් දෙවියන් වහන්සේව අත්දකින්නටත්, අපගේ ජීවිත තුළින් ඒ වටිනාකම් පිළිඹිබු කරමින් සාක්ෂි දරන්නටත් අප සැමට වරම් ලැබේවායි යාච්ඤා කරමු.
ජේසු පිහිටයි!