08/12/2023
✴️ සංඝ භේදය කොට අවීචියෙහි උපන් දෙව්දත් තෙරණුවෝ ✴️
🎆 සංඝ භේදය
දෙව්දත් තෙර යනෙන අතක් නැතිව “මට බුදුරජහු මිස වෙන පිළිසරණෙක් නැතැ” යි සලකා භාග්‍යවතුන් වහන්සේ කරාම ගොස් විසී ය.
එසේ වෙසෙමිනුත් ස්වභාවයෙන් ම දුෂ්ට වූ හෙ තෙම “පිරිස් බලය ලබමි” යි සිතා සංඝ භේදය කරන අදහස් ඇත්තේ, සිය සවු වූ කෝකාලික, කටමෝරක තිස්ස. සමුද්දදත්ත යන භික්ෂූන් ද ථුල්ලනන්දා මෙහෙණිය ද හා සාකච්ඡා කොට භාග්‍යවතුන් වහන්සේ නො පණවතැ” යි තමා සැලකූ වස්තු පසක් ඉල්ලන්නට ඉටා ගත්තේ ය.
ඒ වර පස නම්:
“ජීවිතාන්තය තෙක් භික්ෂූන් ආරණ්‍යක ම විය යුතු යි.
ජීවිතාන්තය තෙක් භික්ෂූන් පිණ්ඩපාතික ම විය යුතු යි.
ජීවිතාන්තය තෙක් භික්ෂූන් පාංශුකූලික ම විය යුතු යි.
ජීවිතාන්තය තෙක් භික්ෂූන් වෘක්ෂමූලික ම විය යුතු යි.
ජීවිතාන්තය තෙක් භික්ෂූන් මත්ස්‍ය මාංශයෙන් මුළුමනින් ම වැළකිය යුතු යි” යන මොහු යි.
එක් දිනෙක දෙව්දත් භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් මෙ කී වස්තු පස පණවා වදාරන සේ ඉල්ලීමක් කෙළේ ය. එ විට භාග්‍යවතුන් වහන්සේ කැමැති කෙනෙක් ඒ ආරණ්‍යක වීම් ආදිය කෙරෙත්වා” යි ද “නො කැමැති කෙනෙකුන් ඒ නො කළාට වරදක් නැතැ” යි ද වදාරා දෙව්දත් තෙරුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂිප්ත කළ සේක.
තමා අදහස් කළ සංඝ භේදයට මඟ පෑදුණ බව සැලකූ දෙව්දත් තෙම මහත් සතුටට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සිය පිරිස හා පිටත් ව ගියේ, රජගහ පුර පිවිස තමන් වස්තු පසක් පණවන ලෙස ඉල්ලූ නමුත් බුදුරජාණන් වහන්සේ එය නො පිළිගත් බවත් නමුත් තමන් ඒ සමාදන් ව වසන බවත් කියා ඇවිද්දේ ය.
ඒ ඇසූ අනුවණ මිනිස්සු “මේ ශ්‍රමණවරු හෑල්ලු පැවතුම් ඇත්තෝ ය. ශ්‍රමණ ගෞතමයෝ සැප සේ කල් යවන්නෝ ය” යන ආදීන් කියා දෙව්දතුට ප්‍රශංසා කළහ. ඒ කථාව භික්ෂූහු අසා භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ දෙව්දතු කැඳවා “සංඝ භේදය කරන්නට තැත් කරන බව සැබෑ දැ?” යි ඇසූ සේක. “සැබෑව, වහන්සැ” යි හේ කීය. එ විට කල්පයක් නිරයෙහි පැසෙන බලවත් අකුශලයක් බව වදාරා එ බන්දක් නො කරන ලෙස අවවාද කළ සේක.
ඉන් නික්ම ගිය දෙව්දත් තෙම රජගහ පුර පිඬු පිණිස හැසිරෙන අනඳ තෙරුන් දැක සමීපයට ගොස් “ඇවැත් ආනන්දය, අද පටන් භාග්‍යවතුන් වහන්සේ ගෙන් වෙන් ව පොහොය කරන්නෙමි. සංඝ කර්ම කරනෙමි” යි කීයේ ය. පිණ්ඩපාතයෙන් පසු අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දෙව්දත් කී කාරණය දැන්වූහ.
එ විට භාග්‍යවතුන් වහන්සේ:
“සත්පුරුෂයා විසින් හොඳ දෑ පහසුවෙන් කළ හැකිය. පාපී පුද්ගලයා විසින් හොඳ දෑ කළ නො හැකිය. පාපියා විසින් පාපය සුව සේ කළ හැකිය. ආර්‍ය්‍යන් විසින් පාපය නොකළ හැකි යැ”යි වදාළ සේක.
නැවත දෙව්දත් තෙම එක් පොහෝ දිනෙක භික්ෂු සංඝයා මැද නැඟී සිට තමා භාග්‍යවතුන් වහන්සේ ගෙන් පංච වස්තූන් පණවන ලෙස ඉල්ලීම් කළ නමුදු එය උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ බවත් ඒ පංච වස්තූන් සමාදන් ව විසීමේ වටිනා කමත් දන්වා “මගේ මේ අදහසට එකමුතු තැනැත්තේ සලාක ගනීවා” යි කියා සලාක ගැන්වී ය. අළුත පැවිදි උපසපන් වූ පන්සියයක් පමණ වජ්ජිපුත්තක භික්ෂූහු දෙව්දතු ගේ වචනයට රැවටී ඔහුට පක්ෂ වූහ. දෙව්දත් තෙමේ ද ඒ පන්සියය ගෙන ගයා ශීර්ෂයෙහි අරමට ගියේ ය.
ඉක්බිති සැරියුත් මුගලන් දෙනම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඒ පවත් දැවූහ. ඒ භික්ෂූන් විනාශයට පැමිණෙන්නට පළමු කැඳවා ගෙනෙන ලෙස භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරුනට වදාළහ. දෑගසව්වෝ ද ගයා ශීර්ෂයට ගියහ. එ සමයෙහි දෙව්දත් තෙර මහා පිරිස් මැද බණ කියමින් හුන්නේ තමන් වෙත එන සැරියුත් මුගලන් දෙ නම දැක “මහණෙනි, බලවු. මගේ ධර්මය කොතරම් ස්වාඛ්‍යාත ද? ශ්‍රමණ ගෞතමයන් ගේ අග සවු සැරියුත් මුගලන් දෙදෙනාත් සතුටු ව මා වෙත එන්නෝ යැ” යි කී ය. එ විට කෝකාලික තෙම “සැරියුත් මුගලන් දෙ නම නො ඇදහිය යුතු යැ” යි කී ය. දෙව්දත් ඒ වචනය නො පිළිගත්තේ ය. ඉක්බිති දෙව්දත් තමා ගේ ආසනයට අඩක් මිටි ආසනයක් සැරියුත් තෙරුනට පෙන්වා එහි ඉඳ ගන්නට කීය. සැරියුත් තෙරණුවෝ එහි නො හිඳ අන් අස්නෙක ඉඳ ගත්හ. මුගලන් තෙරණුවෝ ද පසෙක අස්නෙක ඉඳ ගත්හ. දෙව්දත් රෑ බොහෝ වේලා බණ දෙසා තමා ගේ පිට රිදෙන බව කියා බණ කීම සැරියුත් තෙරුනට පැවැරී ය. සැරියුත් තෙරණුවෝ ආදේශනා ප්‍රාතිහාර්යයෙනුත් අනුශාසනා ප්‍රාතිහාර්යයෙනුත් බණ දෙසූහ. ඉන් පසු මුගලන් තෙරණුවෝ සෘද්‍ධිප්‍රාතිහාර්යයෙන් බණ වදාළහ. ඒ අසා පන්සියයක් පමණ ඒ වජ්ජිපුත්‍රක භික්ෂූහු සෝවාන් වූහ. ඉක්බිති දෑගසව්වෝ ඒ භික්ෂු පිරිස ගෙන අහසින් භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියහ. කුපිත වූ කෝකාලික තෙම දෑගසවන් ඒ භික්ෂූන් ගෙන ගිය බව කියා පරොස් බසින් දෙව්දතු පුබුදු වන්නේ, වැලමිටින් ඔහු ගේ ළය මැදට පහරක් දින. පිබිදුණු දෙව්දතුට එ තැන ම උණු ලේ වමන විය.
“වහන්ස, සැරියුත් තෙරණුවෝ තමන් දෙවෙනි කොට ගියෝ ය. දැන් මහ පිරිවර ඇති ව එන්නෝ හොබනෝ යැ” යි භික්ෂූහු කීහ. එය අරභයා බුදුරජාණන් වහන්සේ ලක්ඛණමිග ජාතකය වදාළ සේක.
දෙව්දතු දෑගසව්වන් දෙ පස හිඳුවා බුද්‍ධ ලීලායෙන් දම් දෙසමියි භාග්‍යවතුන් වහන්සේ ට සම ව ක්‍රියා කරන්නට තැත් කළ සැටිය භික්ෂූන් කී විට ද එ වැනි කථා ඇති වූ ඉන් පසු දිනවල ද භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජාතක කථාවන් වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ කලක් රජගහ පුර වාසය කොට ඉන් නික්ම සැවැත් පුර වැඩ. එහි ජේතවනාරාමයෙහි වුසූ සේක.
🎆 දෙව්දත් භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑම
දෙව්දත් තෙර නව මසක් ගිලන් ව වැස කෝකාලිකයා ළයට දුන් වැලමිටි පහරින් මරණය ළංවූ බව දැක පශ්චිම කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු කැමැතිව තමා එහි ගෙන යන්නැ යි සිය සව්වනට දැන්වී ය. “ඔබ ශක්තිමත් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේට සතුරු කම් කොට දැන් දුබල වූ විට උන් වහන්සේ දක්නට යනු කැමැත්තෝ ය. අපි ඔබ එහි ගෙන නො යන්නම්හ” යි ඔහු කීහ. එවිට දෙව්දත් තෙම තමා උන් වහන්සේ කෙරෙහි වෛරී ව සිටියත් උන් වහන්සේ තුළ නම් කෙසඟක් පමණවත් තමා කෙරෙහි අමනාපයක් නැතැයි කියා, තමා එහි බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන ලෙස නැවත නැවත ඉල්ලීය. ඔහු ගේ බලවත් ඉල්ලීම නිසා ඔහු ද දෙව්දත් තෙරහු ඇඳකින් ගෙන පිටත් වූහ. එසේ යන්නාහු සැවැත් පුර පැමිණියාහු ජේතවන පොකුණ සමීපයට වන්හ.
🎆 දෙව්දතු පොළවෙහි ගිලීම
ඔහු එහි පොකුණු තෙර ඇඳ තබා නාන්නට දියට බටහ. දෙව්දත් තෙර ද ඇඳෙන් නැඟිට දෙපා බිම තබා හුන්නේ ය. එ කෙණෙහි පොළොව පැළී ක්‍රමයෙන් දෙව්දත් එහි ගිලුණේ ය. බෙල්ල දක්වා ගිලී හනු ඇටය පොළොවෙහි සැපී සිටි කල්හි,
“මේ හනුකාස්ථීන් නිමිතිකොට ගෙන නො හොත් මේ කරුණු කොට, අග්‍ර පුද්ගල වූ දෙවියනට අධිදේව වූ පුරුෂදම්‍ය සාරථි වූ සමතැස් ඇති සිය පින් ලකුණු ඇති ඒ සර්වඥයන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගියෙම් වෙමි.” යි කියා බුදුන් සරණ ගියේ ය. හෙ තෙම පොළවෙහි ගිලී මැරී අවීචි නිරයෙහි උපන්නේ ය.
දෙව්දත් තෙරුන් පොළවෙහි ගිලුණු බව භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට සැළ කළහ. මේ කාරණය අරභයා එයින් පෙරත් දෙව්දතු තමන් වහන්සේට ද්‍රෝහී ව පොළොවෙහි ගිලුණු බව දැක්වීම් වශයෙන් ඡද්දන්ත ජාතකය ද ඒ ගැන කථා ඇති වූ තවත් අවස්ථාවල දී ක්ෂාන්තිවාදී ජාතකය හා චුල්ල ධම්මපාල ජාතකය ද, දෙව්දතු ගේ මරණයෙන් බොහෝ නුවර වැස්සන් සතුටුවන බව භික්ෂූන් දැන් වූ විට, පෙරත් ඔහු මළ කල මහ ජනයා සතුටු වූ බව දක්වමින් පිංගල ජාතකය ද වදාළ සේක.
“දෙව්දත් තෙර කොහේ උපන්නේ දැ?” යි භික්ෂූහු ඇසූහ. අවීචි නිරයේ උපන් බව වදාරා
“පව් කරන්නා මේ ලොව ද තැවේ. පරලොව ද තැවේ. “මා විසින් පව් කරන ලදැ”යි සිත සිතා මෙලොව දී තැවේ. දුගතියට ගොස් දුක් විපාක විඳිමින් බොහෝ සෙයින් තැවේ.” යැයි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුද අරභයා ඒ අවස්ථාවෙක දී,
🎆 දෙව්දතු ගේ අනාගතය
“දෙව්දත් මෙසේ අපරාධකාරයකු වුවත් පෙර බොහෝ කල් පැරුම් පිරුවෙකි යි” ද නිරයෙන් මිදී අවුත් පින් දහම් පුරා මතු කලෙක සට්ඨිස්සර නම් පසේ බුදු වන්නේ යැ” යි වදාළ සේක.
අතිපූජනීය බලංගොඩ ආන මෛත්‍රීය නාහිමි විසින් රචිත ගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.