06/01/2026
හිම මත තැබූ නොසැලෙන පියවර සහ මනසින් කය දිනූ විස්කම! ☸️🪷🙏
මනුෂ්‍යත්වය වෛරයෙන් සහ ගැටුම්වලින් පීඩා විඳින යුගයක, නිහඬව තබන පා සටහන් දහස් ගණන් වචනවලට වඩා බලවත් විය හැකිය.
2025 වසරේ ඔක්තෝබර් 26 වන දින, අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වර්ත් (Fort Worth) නගරයේ මාවත් දිගේ දිග හැරුණේ එවන් වූ අසිරිමත් දසුනකි.
ලෝක සාමය උදෙසා කැපවුණු බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්, සැතපුම් 2,300ක දැවැන්ත දුරක් ගෙවා වොෂින්ටන් ඩී.සී. වෙත ළඟා වීමේ අරමුණින් තම "සාම පාගමන (Peace Walk)" ආරම්භ කළහ.
මෙම ගමන හුදු පාගමනක් නොව, මිනිස් සිරුරේ දරාගැනීමේ සීමාවන් පරීක්ෂා කෙරෙන, මනස සහ සොබාදහම අතර පවතින ගැඹුරු බැඳීම විදහා දක්වන අධ්‍යාත්මික සංග්‍රාමයකි.
මෙම ගමනේ වඩාත්ම විශ්මයජනක ලක්ෂණය වන්නේ, අමෙරිකාවේ කටුක ශීත සෘතුව මධ්‍යයේ වුවද, මෙම භික්ෂූන් වහන්සේලා ශීත සෘතු පාවහන් (Winter Boots) පැළඳීමකින් තොරව ගමන් කිරීමයි.
ටෙක්සාස් හී වියළි පොළොවේ සිට වොෂින්ටනය දක්වා විහිදෙන මාර්ගය හිමෙන් වැසී, උෂ්ණත්වය සෙල්සියස් අංශක බින්දුවට වඩා බෙහෙවින් පහළ බසින විට, සාමාන්‍ය මිනිසෙකුට පාවහන් රහිතව තත්පර කිහිපයක් පවා වැලි කැටයක් මත සිට ගැනීම දුෂ්කරය.
එහෙත්, මෙම ශීතල පරාජය කරමින්, "අලෝක (Aloka)" නම් වූ සාම සුනඛයාද පෙරටු කරගෙන, උන්වහන්සේලා දිනකට සැතපුම් විස්සකට වඩා වැඩි දුරක් හිම සහ අයිස් මතින් පියවර තබති.
මෙය සැබවින්ම කළ හැකි දෙයක්ද යන සැකය ඕනෑම අයෙකුට ඇති වීම ස්වාභාවිකය.
විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, අධික ශීතලකදී පාවහන් රහිතව ඇවිදීම ශරීරයට මාරාන්තික විය හැකිය.
සාමාන්‍යයෙන් අපේ සිරුරේ අන්ත අවයව වන පතුල් සහ අත්ල ශීතලට නිරාවරණය වූ විට, රුධිර නාල හැකිලීම (Vasoconstriction) සිදුවේ.
මෙහි අරමුණ වන්නේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීමයි.
එහෙත්, රුධිරය ගලා යාම අඩුවීම නිසා පතුල්වල පටක මිදී ගොස් "Frostbite (මෙහි සිංහල වචනය දන්න අයෙක් කමෙන්ට් කරන්න)" ඇති විය හැකිය.
නමුත් මෙම භික්ෂූන් වහන්සේලා මෙම අභියෝගය ජය ගන්නේ වසර ගණනාවක ධ්‍යාන සහ විදර්ශනා භාවනා පුහුණුව මගිනි.
මෙහි ඇති විද්‍යාත්මක රහස පවතින්නේ "මනසින් කය පාලනය කිරීම (Autonomic Nervous System Control) තුළයි.
භාවනානුයෝගීව සිටින විට, සිරුරේ පරානුකම්පී ස්නායු පද්ධතිය (Parasympathetic Nervous System) සක්‍රීය වන අතර, එමගින් රුධිර පීඩනය සහ හෘද ස්පන්දනය පාලනය කරමින් ශරීරයේ උෂ්ණත්වය ස්ථාවරව තබා ගැනීමට උපකාරී වේ.
ටිබෙට් භික්ෂූන් අතර පවතින "Tummo" වැනි හුස්ම ගැනීමේ ක්‍රම මගින් සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සැබවින්ම ඉහළ නැංවිය හැකි බව විද්‍යාත්මකව තහවුරු වී ඇත.
එමෙන්ම, පතුල පොළොවේ ස්පර්ශ වන සෑම මොහොතකම ඇති වන වේදනාව, වේදනාවක් ලෙස නොව හුදු සංවේදනයක් ලෙස පමණක් දැකීමට හුරු කළ මනස, මොළය වෙත යවන වේදනා සංඥා අවහිර කිරීමට සමත් වේ.
මෙම ගමන පුරාවටම අලෝක සුනඛයා දෙන පණිවිඩයද සුවිශේෂී වේ.
මිනිසා සහ සත්වයා යන දෙකොට්ඨාසයටම සාමකාමී ලෝකයක ඇති අයිතිය අලෝක සංකේතවත් කරයි.
පෙබරවාරි 12 වන දින වොෂින්ටන් ඩී.සී. වෙත ළඟා වීමට නියමිත මෙම ගමනේ ආරම්භය, ලෝකයට කියා දෙන්නේ සැබෑ සාමය උදා කර ගත හැක්කේ බාහිර ලෝකය ජය ගැනීමෙන් නොව, තමාගේම මනස සහ ශරීරය ජය ගැනීමෙන් බවයි.
ටෙක්සාස් හී හිරු රශ්මියෙන් පටන් ගෙන, මාරාන්තික ශීතල හරහා ඇදී යන මෙම පා සටහන්, ලෝකයේ පවතින කෲරත්වය ඉදිරියේ තබන මහා අවිහිංසාවාදී ප්‍රකාශනයකි.
ටෙක්සාස් ප්‍රාන්තයේ සිට ඇරඹුණු මෙම ඓතිහාසික සාම පාගමන ප්‍රාන්ත කිහිපයක් පසු කරමින් වොෂින්ටන් ඩී.සී. දක්වා ගමන් කිරීමේදී, එය හුදු දුරක් ගෙවා යෑමක් පමණක් නොව, ඇමරිකානු ජන සමාජය තුළ ප්‍රබල ආධ්‍යාත්මික වෙනසක් ඇති කළ චාරිකාවක් බවට පත් විය.
හාමුදුරුවන් වහන්සේලා ඇතුළු පිරිස සෑම දිනකම අලුයම අවදි වී, තම දෛනික සැතපුම් ප්‍රමාණය සම්පූර්ණ කිරීම සඳහා හිමෙන් වැසුණු තාර පාරවල් මත පියවර තැබූහ.
සාමාන්‍යයෙන් ඇමරිකානු වැසියන් මෙවැනි දසුන්වලට පුරුදු වී නැතත්, හිම වැටෙන මාවත්වල සිවුරු දරාගත්, පාවහන් රහිතව, සන්සුන්ව ගමන් කරන මෙම කණ්ඩායම දුටු විට ඔවුන් තුළ ඇති වූයේ මහත් ගෞරවයකි.
බොහෝ පිරිස් තම නිවෙස්වලින් බැහැරට පැමිණ උන්වහන්සේලාට අවශ්‍ය උණුසුම් පාන වර්ග, ආහාර සහ ගිලන්පස පූජා කළහ.
ඇතැම් පිරිස් සාමය වෙනුවෙන් කෙරෙන මෙම කැපකිරීම දැක සංවේදී වී කඳුළු පිරුණු දෑසින් ඔවුන් දෙස බලා සිටි අතර, තවත් පිරිසක් සැතපුම් කිහිපයක් ඔවුන් සමඟ පයින් ගමන් කරමින් තම සහයෝගය පළ කළහ.
මෙම පාගමන අවසානයේදී වර්ෂ 2026 පෙබරවාරි 12 වන දින ඇමරිකාවේ හදවත බඳු වූ වොෂින්ටන් ඩී.සී. නගරය වෙත ළඟා වීමට නියමිතව ඇත.
වොෂින්ටනයට ළඟා වූ පසු, ඔවුන්ගේ අවසාන ඉලක්කය වන්නේ ජාතික ස්මාරකය (National Monuments) අසලදී ලෝක සාමය වෙනුවෙන් වූ තම නිහඬ පණිවිඩය මුදා හැරීමයි.
දේශපාලනික හෝ ආගමික භේදයකින් තොරව, ලෝකයේ පවතින සියලුම ගැටුම්වලට පිළිතුර "අවිහිංසාව" සහ "අභ්‍යන්තර සාමය" බව ඔවුන් එහිදී ලොවට ප්‍රකාශ කරනු ඇත.
දින 120ක මෙම අපිරිමිත කැපකිරීම තුළින් ඔවුන් ඔප්පු කිරිමට සූදානම් වෙන්නේ, මනස ශක්තිමත් නම් ඕනෑම බාහිර බාධකයක් හෝ ස්වභාවධර්මයේ රළු පීඩනයක් වුවද උපේක්ෂාවෙන් ජයගත හැකි බවයි!