28/05/2026
විහාර හා දේවාලගම් පනත සංශෝධනය කර 'ධර්මාධිකරණයක්' පිහිටුවීමට රජයේ සූදානම
මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින්, භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත 'ධර්මාධිකරණයක්' නැවත පිහිටුවීම සඳහා 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී අද (27) පස්වරුවේ පැවැත්වුණු රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
♦️පනත් සංශෝධනයේ පසුබිම සහ වත්මන් තත්ත්වය
මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම: විහාර හා දේවාලගම් පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කර සංඝයා වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පැවැති බලය නැවත ලබාදෙන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් මෙන්ම සෝභිත මාහිමිපාණන් වහන්සේ ද තමන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.
♦️කැබිනට් අනුමැතිය සහ නීතිමය පියවර
මෙම සංශෝධනය සඳහා අදාළ අමාත්‍යවරයා ඉදිරිපත් කළ සංකල්ප පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ එකඟතාවය හිමිව තිබේ. ඉන් අනතුරුව සකස් කළ සංශෝධන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික නීති සමඟ ගැටෙන්නේදැයි සොයා බැලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
♦️අවසන් එකඟතාවය
නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ සංශෝධන සම්බන්ධයෙන් මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ සහ අමරපුර යන මහා නිකායන්හි ලේඛාධිකාරී හිමිවරුන්, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා අතර පැවැති සාකච්ඡා සාර්ථක වී ඇති අතර, එහිදී සියලු පාර්ශ්වයන් අවසන් එකඟතාවකට පැමිණ තිබේ.
"අපි දැන් ඉන්නේ මෙහි අවසන් අදියරේ. සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන නීති සම්පාදනය කර දීමට රජය ඉතා ඉක්මනින්ම කටයුතු කරනවා."
-ජනාධිපති අනුර කුමාර දිසානායක-