06/10/2026
නමෝ බුද්ධාය...!
සද්ධ සුත්තං
සැදැහැවතා ගැන වදාළ දෙසුම
මහණෙනි, සැදැහැවත් කුල පුත්‍රයා කෙරෙහි ඇති මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, ලෝකයෙහි යම් ඒ ශාන්ත වූ සත්පුරුෂයෝ සිටිත් ද, ඔවුහු පළමු ව සැදැහැවත් කෙනාට ම අනුකම්පා කරති. ඒ අයුරින් ම ශ්‍රද්ධා රහිත වූවහුට නොවෙයි.
පැමිණෙන කල්හී සැදැහැවත් කෙනා වෙත ම පළමු ව පැමිණෙති. ඒ අයුරින් ශ්‍රද්ධා රහිත කෙනා වෙත නොවෙයි.
දන් පිළිගන්නා කල්හී සැදැහැවත් කෙනාගෙන් ම පළමු ව පිළිගනිති. ඒ අයුරින් ශ්‍රද්ධා රහිත කෙනාගෙන් නොවෙයි.
ධර්මය දේශනා කරන කල්හී සැදැහැවත් කෙනා හට ම පළමු ව දේශනා කරති. ඒ අයුරින් ශ්‍රද්ධා රහිතයාට නොවෙයි.
සැදැහැවත් තැනැත්තා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේ වෙයි.
මහණෙනි, මේ වනාහී සැදැහැවත් කුලපුත්‍රයා හට ලැබෙන ආනිශංස පස යි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. සිව්මංසලක මනා භූමිභාගයක පිහිටි මහා නුගරුකක් වෙයි ද, එය හාත්පස වසන බොහෝ පක්ෂීන් හට පිළිසරණ සදයි. එසෙයින් ම මහණෙනි, සැදැහැවත් කුලපුත්‍රයා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන බොහෝ ජනයා හට පිළිසරණ වෙයි.
(ගාථා)
1. ශාඛා, කොළ, දළු, ඵල ආදියෙන් යුතු මහත් කඳ ඇති, බැසගත් මුල් ඇති මහා වෘක්ෂයක් වෙයි ද, එය පක්ෂීන් හට බොහෝ උපකාර සළසයි.
2. සිත්කළු වූ ඒ වෘක්ෂය අහසෙහි සැරිසරන කුරුල්ලෝ සතුටින් ඇසුරු කරති. සෙවණ කැමැත්තහු එහි සෙවණට යති. ඵල කැමැත්තහු එහි ඵල අනුභව කරති.
3. ඒ අයුරින් ම සීල සම්පන්න වූ සැදැහැවත් පුරුෂ පුද්ගලයා යටහත් පැවතුම් ඇති ව, දැඩි නොවූයේ, කීකරු කමින් යුතුව, පිරිස හා සතුටින් වසන්නේ, මෘදු වූයේ ද,
4. එබඳු මිනිසා වීතරාගී වූ, වීතදෝසී වූ, වීතමෝහී වූ, ක්ෂීණාශ්‍රව වූ ලෝකයෙහි පින්කෙත වූ රහතන් වහන්සේලා ඇසුරු කරති.
5. ඒ රහත්හු සියළු දුක් නසාලන ධර්මය ඔහුට දේශනා කරති. හේ ඒ ධර්මය දැන මෙලොව දී ම ආශ්‍රව රහිත ව පිරිනිවී යයි.
සාදු! සාදු!! සාදු!!!
සද්ධ සූත්‍රය නිමා විය.