08/19/2018
අසිරිමත් රන්කොත් වෙහෙර මහා අරහන්තක වන්දනාව 2018 අගෝස්තු 18 දින ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සිව්දෙසින් වැඩමවා වදාළ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව රන්කොත් මහා වෙහෙර වහන්සේ අභියස දී පැවැත්වුණි. සූවිසි දහසක් නිකෙලෙස් මහරහතුන් වහන්සේලා මහත් හරසරින් පුද දෙමින් පැවැත් වූ මහා අරහන්තක වන්දනාව, උදෙසා පූජා කරනු ලැබූ සිරිපා හිමයෙන් ගෙනෙන ලද නොඉඳුල් සීතල පැනින් පිරුණු නැවුම් පැන් පාත්‍රා විසි හතර දහසක පූජාවත්, ගුවන් ගැබෙන් ඇදහැලුණු මහා පිච්ච මල් වරුසාවත්, අසූහාරදහසේ මහා පහන් ආලෝක පූජාවත්, ජයසංඛ පූජා, සුවඳ දුම් පූජා සහ අනේකවිද පූජෝපහාරයන් එහිදී පැවැත්වුණි.
පොළොන්නරුව සොළොස්මස්ථාන රාජමහා විහාරධිපති, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ධූරන්ධර, ශාස්ත්‍රපති අතිපූජ්‍ය වේඬරුවේ උපාලි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදයෙන්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන්, මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිදුවිය.
රැස් වූ සියලු පින් බඹලොව බ්‍රහ්ම රාජයින්ටත්, සදෙව්ලෝවාසී දෙව්වරුන්ටත්, නාලොව නාගයින්ටත් අපගේ ඉෂ්ටකාමී දෙවිවරුන්ටත් අනුමෝදන් වෙත්වා! එමෙන්ම මේ සියලු ධර්මදානමය පින්කම් සඳහා යෝධ සෙවණැල්ලක් වෙමින් අපහට නිති ආශිර්වාද කරනා අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්, වැඩමවා වදාළ සියලුම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සඟරුවනටත් අනගාරිකා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂක දරුවන්ටත්, මෙකී කටයුතු සඳහා නන් අයුරින් උපකාර කළ දෙස් විදෙස් හි වෙසෙනා සියලුම පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!