Medical Faculty Buddhist Brotherhood Association - Peradeniya

Medical Faculty Buddhist Brotherhood Association - Peradeniya Medical faculty buddhist brotherhood association is created by students of medical faculty, UoP.

*☸️ශ්‍රී දළදා වරුණ☸️*අති උතුම් දළදා වහන්සේ යනු ලාංකික බෞද්ධයන් විසින් පමණක් නොව ලෝකවාසී බෞද්ධයින් විසින් මහත් හරසරින් පි...
27/08/2026

*☸️ශ්‍රී දළදා වරුණ☸️*

අති උතුම් දළදා වහන්සේ යනු ලාංකික බෞද්ධයන් විසින් පමණක් නොව ලෝකවාසී බෞද්ධයින් විසින් මහත් හරසරින් පිළිගන්නා වූ පරම පූජනීය වස්තුවයි. එමනිසා දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසත් වැඩසිටින මාළිගය ගන්ධකුටිය ලෙසත් අතිශයින් සම්භාවනාවට පාත්‍ර වේ.

දළදා වහන්සේ වෙත පැමිණ වන්දනාමාන සිදු කිරීමත් පුද පූජා පැවැත්වීමත් තම තමන්ගේ ජීවිතයේ අනුස්මරණීය අවස්ථාවක් ලෙස බෞද්ධයෝ සලකති. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් කලක් ගියපසු ආමිස පුදපූජා පැවැත්වීම බෞද්ධයන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. බුදුරජුන් පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ශාරීරික ධාතු කොටස්වලට අයිතිවාසිකම් කියන්නට බොහෝ දෙනෙක් අරගල කළ බව මහාපරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. මගධ, විසාලා, කපිලවස්තු, අල්ලකප්ප, රාමගාම, පාවා, කුසිනාරා යන රජවරුන් අතර හා වේඨදීපක බමුණා අතර සමයේ බෙදී ගියේ ය. ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා බෙදීමට ගත් භාජනය ද පසුව පැමිණි මෞර්ය වංශිකයෝ රැගෙන ගියහ. එම ධාතු තැන්පත් කොට ඒ ඒ තැන්වල ස්තූප ඉදිකෙරිණ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ධාතු කොටස් හතකි. සතර දළදාව, ලලාට ධාතුව, අකු ධාතු හා ග්‍රීවා ධාතුව වශයෙනි. එයින් සතර දළදා වහන්සේගෙන් එක් දාඨාවක් තාවතිංසයෙහිද එක ධාතුන්වහන්සේ ගන්ධාර දේශයේ ද තවත් ධාතුන් වහන්සේ නමක් කාලිංග දේශයේ ද අනෙක් ධාතුන්වහන්සේ නා ලොව ද පිහිටි අතර අනෙක් දන්තධාතුන් තිස්හය ද, කේස ධාතුන් හා ලෝම ධාතුන් එක එක බැගින් දෙවියෝ ගෙන ගිය බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ.

ලක්දිව ලියවී ඇති දළදා සිරිත, දාඨාවංස, දළදා පූජාවලිය ආදී ධාතුවංසකතාවන්හි සඳහන් අන්දමට ඉහතින් සඳහන් කළ සතර දළදාවන්ගෙන් දෙකක්ම වර්තමානය වනවිට පිහිටා තිබෙන්නේ ලංකාද්වීපයෙහිය. නාලොව තිබූ දකුණු දළදා වහන්සේ කාවන්තිස්ස රජුගේ කාලයෙහි මහාදේව තෙරුන්ගේ ශිෂ්‍ය මිහිඳු නම් තෙර කෙනෙකුන් විසින් නාග භවනයෙන් ගෙනවුත් ගිරි අබා රජු විසින් තම මෙහෙසියගේ නමින් කරවන ලද සෝමවතී චෛත්‍ය රාජයාණන් තුළ තැන්පත් කර ඇත. මහනුවර දළදා මාළිගාවෙහි තැන්පත්ව ඇත්තේ ලක්දිව අනික් දළදා වහන්සේයි. මුලදී කාලිංග දේශයේ තැන්පත් කර තිබූ මෙම වම් සිරි දළදා වහන්සේ ගුහසීව රජ්ජුරුවන් හා පඬි රජු අතර ඇති වූ යුද්ධයේ දී දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් හේමමාලා හා දන්තකුමරුට භාර දී ඇත. ඒ දෙදෙනා විසින් 4 වන සියවසේ එනම් ක්‍රි.ව. 310 දී ලක්දිව රජකළ සිරිමේඝවර්ණ රජුගේ කාලයේ ලක්දිවට වැඩමවන ලදී. ලක්දිවට වැඩම කළ දා පටන් දළදා වහන්සේ උදෙසා විවිධ පුද පූජා පැවැත්වූ අතර දළදා පෙරහර ද ආරම්භ කොට එය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා චාරිත්‍ර ලේඛනයක් ද පිහිටුවා ඇත. එම චාරිත්‍ර ප්‍රකාරව පසුකාලවල සිටි රජවරු දළදා පෙරහර පවත්වා ඇත. එපමණක් නොව මෙය ලක්දිව වාර්ෂික රාජකීය උත්සවයක් බවට ද පත් කර ඇත. පස්වෙනි සියවසේ ලක්දිවට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂූන් වහන්සේ තමන් වහන්සේගේ දේශාටන වාර්තාවන්හි සියසින් දුටු දළදා පෙරහර පිළිබඳ දීර්ඝ විස්තරයක් කර ඇත.

අනුරාධපුර යුගයේ පටන් පැවති දළදා පෙරහර වරින් වර ඇති වූ ආක්‍රමණ කාලවලදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට නොහැකි වුවත් අනෙකුත් සමයන්හි දී දළදා වහන්සේ උදෙසා දර්ශනීය මාලිගා කරවා පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, යාපහුව ආදී යුගවල සිටි රජවරු හා භික්ෂූන් වහන්සේලා අඛණ්ඩව දළදා පෙරහර පවත්වා ඇති බව මූලාශ්‍ර ග්‍රන්ථයන්හි සඳහන් වේ. මෙසේ රාජධානියෙන් රාජධානියට වැඩම කළ දළදා වහන්සේ අන්තිමට වැඩම කරවන ලද්දේ මහනුවර රාජධානියටයි. ක්‍රි.ව. 1590 දී කොනප්පු බණ්ඩාර කන්ද උඩරට රාජ්‍යය පෘතුගීසීන්ගේ අනුග්‍රහය ඇතිව සිටි දොන් පිලිප් තෙමේ මරා විමලධර්මසූර්ය යනුවෙන් රජවිය. දෙල්ගමු රජමහ විහාරයේ කුරක්කන් ගලක සඟවා තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩමවා මුලින් දෙමහල් ප්‍රාසාදයක් හා නැවත තෙමහල් ප්‍රාසාදයක් බවට පත්කොට දළදා වහන්සේ එහි ස්ථාපනය කරන ලදී. අද දක්වාම ප්‍රතිසංස්කරණය වෙමින් පවත්නේ එම දළදා මන්දිරයයි.

කෝට්ටේ රාජධානි සමයේ ආරම්භ වූ විදේශීය ආක්‍රමණ සිංහල රාජාවලිය අවසන් වන තෙක්ම පැවතුණි. පෘතුගීසි, ඕලන්ද හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් රාජ්‍ය සංස්ථාව තුළ දළදා වහන්සේ සතුව පැවති බලපෑම අවබෝධ කරගෙන දළදා වහන්සේ පැහැර ගැනීමට හා විනාශ කිරීමට විවිධ උපක්‍රම යොදන ලදී. රාජ්‍ය උරුමය අපේක්ෂා කළ ඇතැම් රජවරුද දළදා වහන්සේ පැහැර ගැනීමට මාන බැලූහ.

මේ හේතු නිසා කෝට්ටේ රාජධානි සමයේ සිට සිංහල රාජාවලිය අවසානය තෙක් දළදා වහන්සේ උදෙසා පැවැත්වූ පූජා චාරිත්‍ර, ප්‍රදර්ශන හා පෙරහර ප්‍රසිද්ධියේ සිදු නොවූහ. එහෙත් ඒ ඒ කාලවල දී සැදැහැවත් රජවරු හා භික්ෂූන් වහන්සේලා රහසිගතව අවශ්‍ය කරන සියලු පූජාවන් පැවැත්වූහ. ක්‍රි.ව. 1818 දී දළදා පෙරහර නැවැත් වූ බව සඳහන් වුවත් මූලාශ්‍රාගත තොරතුරුවලට අනුව මාළිගා අභ්‍යන්තරය තුළ ඒ සියලු පූජා විධීන් හා පෙරහර ආදිය සිදුකළ බව වාර්තා වේ. එබැවින් දළදා වහන්සේ උදෙසා පැවැත්වූ පූජා චාරිත්‍ර හා පෙරහර අඛණ්ඩව සිදුකළ බව කිව හැකිය. ක්‍රි.ව. 1818 දී දළදා පෙරහර වීදි සංචාරය කිරීම තහනම් වූ අතර 1928 දී රැස් වූ ඉංග්‍රීසි පාලකයින් හා නිළමේවරුන්ගේ එකඟත්වයෙන් නැවත පෙරහර වීදි සංචාරය කරන්නට අවශ්‍ය කටයුතු යෙදීය.

දළදා වහන්සේ වැඩම කළ දිනයේ පටන් රාජ්‍යයේ රැකවරණ හා බහුමාන සිදුකරමින් රාජ්‍යයේ සංකේතය බවට පත් වූ දළදා වහන්සේගේ භාරකාරත්වය වෙනත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ භාරකාරත්වයට නිල වශයෙන් ලැබුණේ ඉංග්‍රීසි ආණ්ඩු සමයේ දී ය. එවකට ලංකා රාජ්‍යයේ සිටි වික්ටෝරියා රැජින විසින් මල්වතු අස්ගිරි හා දියවඩන නිලමේතුමන් වෙත භාරකාරත්වය පැවරූ බව සඳහන් වේ. එවක පටන් වර්තමානය දක්වා දළදා වහන්සේ උදෙසා පවත්වන දෛනිකව පැවතෙන අලුයම තේවාව, නව පෑ තේවාව හා සන්ධ්‍යා තේවාව හා සතිපතා පැවැත්වෙන නානුමුර මංගල්‍යයට අමතරව පැවැත්වෙන ප්‍රධාන මංගල්‍යයන් සතරකි.එනම්,

1. *අලුත් සහල් මංගල්‍යය*
2. *අවුරුදු මංගල්‍යය*
3. *කාර්තික මංගල්‍යය*
4. *පෙරහර මංගල්‍යය වශයෙනි*

ඇසළ පෙරහර ආරම්භ වූයේ ලාංකික ජනයාගෙන් වැඳුම් පිදුම් ලබන නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දෙවිවරුන්ට පුද පූජා පවත්වා දේව ප්‍රසාදයත් සුව සලසා ගැනීමත් සමෘද්ධිය ළඟා කර ගැනීමත් පරමාර්ථ කරගෙන මහනුවර, දෙවුන්දර, අලුත්නුවර, නවගමුව, රත්නපුරය, කතරගම ආදී නගර කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන වාර්ෂික උත්සවයකි. දළදා මාළිගාව කේන්ද්‍රකරගෙන පැවැත්වෙන පෙරහර වර්ග කිහිපයකි. වෙසක්, පොසොන් පොහෝ දිනයන්හි පැවැත්වෙන මාළිගාවේ පෙරහරත්, මල්වතු අස්ගිරිය උභය මහාවිහාර කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන උපසම්පදා මංගල්‍යයන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහර පහත් ඇසළ මාසයේ පැවැත්වෙන ඇසළ පෙරහරත් මීට අයත් වේ.

ඇසළ පෙරහරේ ආරම්භය පිළිබඳ විවිධ මතවාද පවතී. ලක්දිවට විජය ඇතුළු ආර්යයන්ගේ පැමිණීම සිදු වූ මොහොතේ ඔවුන් විසින් එකල දඹදිව පැවති ආෂාඪ නමින් හැඳින්වෙන උත්සවය ලක්දිවදී ද ආරම්භ කරන ලදී. පාලි භාෂාවෙන් ආසාඪ යනු ඇසළ මාසය හැඳින්වීම සඳහා යොදන වචනයයි. එබැවින් මෙය ඇසළ මාසය පදනම් කරගෙන පවත්වන ලදී. එසේම පුරාතනයෙහි පැවති සුරා සුර යුද්ධයේ දී සුරයන් විසින් අසුරයන් පරාජය කරන ලද්දේ ඇසළ මාසයේ අමාවක දිනයේදීය. ඒ අනුව අමාවක දිනයෙන් කප් සිටුවීම ආරම්භ කොට පසළොස්වක දිනයෙන් අවසන් වන පෙරහර සුරයන්ගේ එම ජයග්‍රහණය සිහි කරනු වස් පවත්වන බව තවත් මතයකි. වංකනාසික රජුගේ කාලයේ සොලීන් මෙරට පැමිණ සිරකරුවන් 12000ක්, පාත්‍ර ධාතුව සිව් දේවාලයන්ගෙන් රැගෙන ගිය රන් ආභරණ, පත්තිනි දෙවියන්ගේ රන් සලඹ ද රැගෙන ගිය බව ඇසූ ගජබා රජු ඉන්දියාවට ගොස් එහි ලක්දිව සිරකරුවන් ද ඉන්දියන් සිරකරුවන් 24000ක්ද අනෙකුත් සියලු භාණ්ඩ ද රැගෙන ලංකාවට පැමිණීම සිහි කරනු වස් ඇසළ පෙරහර පැවැත්වෙන බව තවත් මතයකි.






🍃*පින්බර නිකිනි පුන් පොහොය දිනයක් වේවා*🙏සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා චිර පැවැත්ම සඳහා මහත් සේවයක් සැලසුනු පොහොයක් වශයෙන් න...
27/08/2026

🍃*පින්බර නිකිනි පුන් පොහොය දිනයක් වේවා*🙏

සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා චිර පැවැත්ම සඳහා මහත් සේවයක් සැලසුනු පොහොයක් වශයෙන් නිකිණි පුර පසළොස්වක පොහොය සඳහන් කළ හැකිය. *මහාවග්ග පාලියේ වස්සුපනායිකක්ඛන්ධකයෙහි* සඳහන් වන අන්දමට භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් බුදුරදුන් විසින් පෙන්නා දී ඇත. එය පෙර වස හා පසු වස යනුවෙන් හැඳින්වේ. ඇසළ පුන් පෝදා භික්ෂූන් පොහොය කොට ඇසළ අව පෑළවිය දිනයේ වස් එළඹිය යුතුය. එය පෙර වස වශයෙන් දැක්වේ. නිකිණි පුන් පොහොය දා පෝය කොට නිකිණි අව පෑළවිය දා වස් එළඹීම පසු වස වශයෙන් සැලකේ.

ඉන්දියාවේ හේමන්ත, ගිම්හාන හා වස්සාන වශයෙන් ඉතා පැහැදිලිව සෘතු තුනක් දක්නට ලැබේ. ඒ අතුරෙන් වස්සාන සෘතුව ආරම්භ වීමත් සමඟ කුඩා පැළෑටි මෙන්ම ගස් වැල් ද දළු දා වැඩීම පටන් ගනී. ඒ කාලයෙහි දේශගුණයේ ඇති අයහපත් තත්ත්වය නිසාත්, ඒකීන්ද්‍රීය ජීවීන් වූ පැළෑටි මැඩගෙන ගමන් කිරීම සතුන් විනාශ කිරීමක් සේ ජෛන ආගමිකයන් ඇතුළු සමහර අය සැලකූ නිසාත්, හැකිතාක් ඇවිදීමෙන් තොරව වාසය කිරීමට බොහෝ අය පුරුදුව සිටියහ. එහෙත් මේ තත්ත්වය නොසලකා බෞද්ධ භික්ෂූන් ක්‍රියා කිරීම නිසා ජෛන ආගමික අනුගාමිකයෝ මහත් සේ චෝදනා කරන්නට වූහ. මේ පිළිබඳව සලකා බැලූ බුදුහු තම ශ්‍රාවකයන් වඩාත් පිළිවෙතට යොමු කිරීම සඳහා වස්සාන සෘතුවේ වස් එළඹීම කළයුතුයයි නියම කළහ.

බුද්ධ නියමය අනුව සෑම උපසම්පදා භික්ෂු නමක් ම ඇසළ අව පෑළවිය දිනයෙහි වස් එළඹිය යුතු ය. රෝගාබාධයක් හෝ වෙනත් හදිසි අපහසුතාවක් ඇති වූ කල්හි පමණක් නිකිණි පුර පසළොස්වක දින පොහොය සීමාවක දී විනය කර්ම කොට නිකිණි අව පෑළ දිනයෙහි පසු වස් එළඹිය යුතු වෙයි.

එසේ නො එළඹුන හොත් *‘න භික්ඛවෙ වස්සං න උපගන්තබ්බං යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්ඛටස්ස’* යනුවෙන් මහා වග්ග පාලියෙහි සඳහන් වන ආකාරයට වස් නො එළඹුන භික්ෂුවට දුකුළා නම් ඇවත සිදුවෙයි. නිකිණි පෝදා විනය කර්ම කොට වස් එළඹෙන භික්ෂූන්ට තෙමසක් ගතවීමෙන් පසු කඨීන චීවරයක් භාර ගැනීමට විනයෙන් ඉඩක් නැත.

නිකිණි මස සිදුවීම් අතර අතිවිශේෂ කාර්යය වශයෙන් සඳහන් කළ හැක්කේ ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වීමයි. බුද්ධ පරිනිර්වාණයත් සමගම සුභද්‍ර නම් මහලුව පැවිදි වූ භික්ෂු නමක් විසින් අපට විවිධ නීති පනවමින් සිටි මහල්ලා නැතිවුණා දැන් අපට රිසි පරිදි කටයුතු කළ හැකිය’ යි කළ අමනෝඥ කතාවෙන් සංවේගයට පත් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන ශාසන භාරධාරී මහා සංඝයා වහන්සේ බුදුරදුන් පන්සාළිස් වසක් දේශනා කොට වදාළ ධර්මය විසිරුණු මල් ගොඩක් සේ පවතින බැවින් එම ධර්මය නිර්මලව ආරක්ෂා කර ගැනීම උදෙසා සංගායනාවක් පැවැත්විය යුතුය’යි තීරණය කළහ. ඒ සඳහා පන්සියයක් රහතන් වහන්සේ සහභාගි කරවීමටත් රජගහනුවර ඒ සැමදෙන වස් විසීමටත් තීරණය කළහ. ප්‍රත්‍යය අපහසුතා නොවන්නට අනෙකුත් භික්ෂූන් රජගහ නුවරින් පිටත වස් එළඹීමටත් පියවර ගැනීම ඉතා වැදගත්ය. ඇසළ පොහෝ දින පටන් විහාර ආරාම පිළිසකර කරවා නිකිණි අව පෑළවිය දා ප්‍රථම සංගායනාව ආරම්භ කළ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම සංඝායනාව රජගහනුවර වේහාර පර්වතයෙහි සප්තපර්ණි ගුහාවෙහි සිදුකළ බව සමහර ග්‍රන්ථවල සඳහන් වෙයි. එය සත්‍යයෙන් තොර ප්‍රකාශයකි.

*”සීසං වේහාර සෙලස්ස*
*පස්සේ කාරෙසි මණ්ඩපං*
*සත්තපණ්ණි ගුහාද්වාරෙ*
*රම්මං දෙවසභොපමං”*

යනුවෙන් මහාවංශයෙහි තතිය පරිච්ඡේදයේත්, වෙනත් අටුවා ග්‍රන්ථයන්හිත් ඉතා පැහැදිලිව දක්වන අන්දමට සත්තපර්ණි ගුහාවෙහි නොව එය අභියස ඉතා විසිතුරුව සාදන ලද මණ්ඩපයක මෙම සංගායනාව සිදුකෙරුණි. මහාකාශ්‍යප මාහිමියෝ ප්‍රධානත්වය ඉසිලූ මෙම සංගායනාවෙහි ප්‍රධාන දායකත්වය දරන ලද්දේ අජාසත් රජතුමා විසිනි. රහත් භික්ෂූන් පන්සියයකගෙන් සංගායනාව කිරීමට බලාපොරොත්තුව සිටියත් ඒ සඳහා අත්‍යවශ්‍යයෙන් ම සිටිය යුතු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් ඒ උතුම් තත්ත්වය ලබා නොසිටීම මහත් ගැටලුවක් විය. හේතුව බුදුරදුන් දේශනා කොට වදාළ සියලු ධර්මය දැන මතක තබාගෙන සිටියේ ආනන්ද හිමියන් වීමයි.

දිනක් ගෝපක මොග්ගල්ලාන නමැති බමුණා අනඳ තෙරුන් වෙත පැමිණ ඔබ වහන්සේ බහුශ්‍රැතය යි ප්‍රසිද්ධයි. බුද්ධ දේශනාව කොපමණ දැන සිටි දැයි ප්‍රශ්න කළේ ය. එවිට උන්වහන්සේ දුන් පිළිතුර මෙසේය.

*”ද්වාසීතිං බුද්ධතො ගණ්හිං*
*ද්වේ සහස්සානි භික්ඛුනො*
*චතුරාසීති සහස්සානි*
*යෝමෙ ධම්මා පවත්තිනො”*

මෙම ගාථාවේ අදහස නම් *‘ධර්මස්ඛන්ධ දෙ අසූ දහසක් බුදුරදුන් වෙතින් ද තවත් දෙදහසක් සැරියුත් ආදී තෙරවරුන්ගෙන්ද දැන ප්‍රගුණ කොට සිටිමි’* යනුයි. මේ අනුව බුද්ධ දේශිත සූ අසූ දහසක් ධර්මස්ඛන්ධයම ධාරණය කොට ගෙන සිටි ශ්‍රාවකයන් වහන්සේ අනඳ හිමියෝ ය. එක් දිනක් බුදුහු දෙව්රම් වෙහෙර වැඩසිටිය දී භික්ෂූන් අමතා මහණෙනි, මාගේ ශාසනයෙහි බොහෝ ඇසූපිරූ තැන් ඇත්තා වූ ද, ස්මෘතිමත් වූ ද, ඥානගති ඇත්තාවූ ද, ධෘතිමත් වූ ද, උපස්ථායක වූ ද භික්ෂූන් අතුරෙන් මේ ආනන්ද තෙරුන් අග්‍රය’ යි දක්වා තනතුරු පසකින්ම අග්‍රස්ථානයේ තැබූහ. මෙවැනි උසස් විවිධ දක්ෂතාවෙන් යුත් උන්වහන්සේ ගැන අපේ ධර්මග්‍රන්ථ හඳුන්වනුයේ අනන්දො රතනාකරො යනුවෙන් ආනන්ද හිමියන් ධර්මය නමැති රත්නයට ආකාරයක් බවයි.

නිකිණි පුර පසළොස්වක පොහොය වන විට මහා කාශ්‍යප මාහිමියන් ප්‍රථම ධර්ම සංගීතිය සඳහා එක් නමක් අඩු පන්සියයක් මහරහතුන් තෝරාගෙන තිබුණි. ඉතිරි ආසනය සඳහා අනඳ හිමියන් බලාපොරොත්තු වූ නමුත් ඒ දක්වා රහත් බවට පත් නොවීම මහත් ප්‍රශ්නයක් විය. අනඳ මාහිමියන් මේ කරුණ පිළිබඳව ගැඹුරින් වටහාගෙන දැඩි උත්සාහයෙන් භාවනාවෙන් කල්ගත කළ නමුත් පොහොය උදාවී තිබියදීත් අභිලාසය ඉටුකර ගැනීමට අපහසු විය. ඒ නිකිණි පෝදා රාත්‍රියෙහි බොහෝ වේලාවක් සක්මන් භාවනාවේ යෙදී අලුයම වේලෙහි පා සෝදා මද වේලාවක් විවේක ගැනීමට සිතා දෙපා ඔසවා යහන මත කොට්ටයට හිස තබාගන්නට සැරසෙත්ම සියලු කෙලෙසුන් නසා උතුම් රහත් බවට පත්වූහ. සිව් ඉරියව්වෙන් තොරව මෙසේ නිකිණි පුර පසළොස්වක පොහොය දින අනඳ හිමියන් රහත් බවට පත්වීම නිසා ප්‍රථම ධර්ම සංගායනාව ඉතා සාර්ථකව ආරම්භ කිරීමට හැකි විය.




🍃 *"අයං වස්සාන කාලෝ"* 🍃*☸️වස් පිංකම 2026☸️*සවස ගිලන්පස බුද්ධ පූජාවඋතුම් වස්සාන කාලය නිමිති කරගෙන *වෛද්‍ය පීඨ බෞද්ධ සහෝදර...
24/08/2026

🍃 *"අයං වස්සාන කාලෝ"* 🍃

*☸️වස් පිංකම 2026☸️*
සවස ගිලන්පස බුද්ධ පූජාව

උතුම් වස්සාන කාලය නිමිති කරගෙන *වෛද්‍ය පීඨ බෞද්ධ සහෝදර සංගමය* විසින් සංවිධානය කරන ලද සවස ගිලන්පස බුද්ධ පූජාව *අගෝස්තු මස 13* වන දින *විශ්වවිද්‍යාලීය විහාරස්ථානයේදී* පැවැත්විණි.



*🍃"අයං වස්සාන කාලෝ"🍃**☸️ඇසළ පොහොය සදහම් ලිපිය☸️*බෞද්ධ විහාරස්ථානයක වාර්ෂිකව සිදු කරන පින්කම් අතරින් ඉතා වැදගත් පින්කමක් ...
29/07/2026

*🍃"අයං වස්සාන කාලෝ"🍃*

*☸️ඇසළ පොහොය සදහම් ලිපිය☸️*

බෞද්ධ විහාරස්ථානයක වාර්ෂිකව සිදු කරන පින්කම් අතරින් ඉතා වැදගත් පින්කමක් ලෙස කඨින පූජෝත්සවය සැලකිය හැකිය. එහිදී එම විහාරස්ථානයේ තුන් මාසයක් පුරා වස් වාසය කළ භික්ෂුවකට, වස් ආරාධනා කළ උපාසක උපාසිකාවන් විසින් පිළියෙල කරගත් කඨින චීවරය පූජා කිරීම සිදු කරන අතර එය ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු කරන ආගමික මෙන්ම සංස්කෘතික වැදගත්කමක්ද සහිත පින්කමකි.

🍃මෙම කඨින පූජෝත්සවය සඳහා මූලාරම්භය සනිටුහන් වන්නේ *ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයෙන්* වස් විසීම ආරම්භයෙනි.
වස් වාසය කිරීම උපසම්පදා වූ භික්ෂූන් වහන්සේලා විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ප්‍රධාන මෙන්ම ඉතා වැදගත් විනය කර්මයකි. නමුත් මෙය බුද්ධ ශාසනය ආරම්භයේ සිටම පැවතුණු අංගයක් නොවේ.

🍃වස් විසීම නියම කිරීමට පෙර භික්‍ෂූන් වහන්සේලා වර්ෂා කාලයේදී ද චාරිකාවේ වඩිනු දුටු අන්‍යාගමිකයන් හා සාමාන්‍ය ජනතාව එමගින් බොහෝ ප්‍රාණීන් විනාශ වන බවත්, අලුතින් පැළවෙන පැළෑටි විනාශ වන බවත් පෙන්වා දෙමින් චෝදනා කරන්නට වූහ. එලෙස ඇති වූ සමාජ මතයට ගරු කරමින් බුදුරජාණන් වහන්සේ වස්සානයෙහි චාරිකාවේ නොගොස් එක් තැනක වාසය කළ යුතු බව පවසමින් වස් වාසය කිරීම අනුදැන වදාළ සේක.

🍃 වස්සාන කාලය යනු වැසි කාලයයි. නිකිණි, බිනර, වප් සහ ඉල් යන මාස හතර වස්සාන ඍතුවට අයත් වේ. ගිම්හානයේ අවසන් දිනය ඇසළ මස පුර පසළොස්වක පොහොය දිනය වන අතර එදිනට පසුදින පෑළවිය වස්සානයේ පළමු දිනයයි. ඇසළ පොහෝ දින උපසම්පදා භික්ෂූන් වහන්සේලා සීලය පිරිසිදු කරගෙන උපෝසථ විනය කර්මය සිදු කරන අතර ඊට පසු දින එනම් ඇසළ අව පෑළවිය දින සෙනසුන පවිත්‍ර කරගෙන, වස් වසන ප්‍රදේශය සලකුණු කරගෙන වස් සමාදන්වීම සිදුකරනු ලබයි. එම විහාරස්ථානයේ වැඩවාසය කරන්නේ එක් භික්ෂූන් වහන්සේ නමක් නම් එම භික්ෂූන් වහන්සේ තනිවමද, භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වාසය කරයි නම් එම භික්ෂූන් වහන්සේලා සාමූහිකවද, ඉදිරි තුන් මාසය සඳහා වස් වාසය කරන බව අධිෂ්ඨාන කරගෙන වස් සමාදන් වීම සිදු කරනු ලබයි. මෙය පෙරවස් විසීම ලෙස හැඳින්වේ.

🍃කිසියම් අත්‍යවශ්‍ය හේතුවක් නිසා ඇසළ අප පෑළවිය දින වස් සමාදන්වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලාට නිකිණි මස පුර පසළොස්වක දින සිල් පිරිසිදු කරගෙන උපෝසථ කර්ම සිදුකර, නිකිණි අව පෑළවිය දින වස් සමාදන් විය හැකිය. නමුත් කඨින සිවුරු ලැබීමට සුදුසු වන්නේ පෙරවස් විසුව භික්ෂූන් වහන්සේ නමක් පමණි. එයට හේතුව කඨින චීවර පූජාව සිදුවන චීවර මාසය හෙවත් ඉල් මාසය වන විට වස් තුන් මාසය සම්පූර්ණ කළ හැකි වන්නේ පෙරවස් විසූ භික්ෂූන් වහන්සේ නමකට පමණක් වන නිසාවෙනි.

🍃කඨින පූජෝත්සවයට පදනම සැකසෙන්නේ දායක දායිකාවන් විසින් භික්‍ෂූන් වහන්සේට වස් වාසය කිරීම සඳහා ආරාධනා කිරීමෙනි. ඇසළ පුර පසළොස්වක පොහෝ දින සවස හෝ රාත්‍රී කාලයේ සිදුවන ආගමික වතාවත් වලින් පසු, පළමුව දායකයන් විසින් භික්‍ෂූන් වහන්සේලාට වැසි සළු සහ දැහැත් වට්ටි පූජා කිරීම සිදුකරනු ලබයි. ඉන්පසු වස් තුන් මාසය පුරා සිව්පසයෙන් උපස්ථාන කිරීමටත්, ආරාමය ආරක්ෂා කිරීමටත් පොරොන්දු වෙමින් භික්‍ෂූන් වහන්සේලාට වස් වාසය කිරීම සඳහා ආරාධනා කරයි. භික්‍ෂූන් වහන්සේලා විසින් ඉහත ආකාරයට අදාළ විහාරයේ වස් සමාදන් වන්නේ ඉන් පසුවයි. වස් ආරාධනා කිරීමක් සිදු වූවද, නොවූවද වස් සමාදන්වීමත්, වස් වාසය කිරීමත් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් සිදු කළ යුතු අනිවාර්ය විනය කර්මයකි.

🍃කෙසේ වුවද අත්‍යවශ්‍ය කරුණකදී වස් වාසය කරන විහාරස්ථානය හෝ අදාළ සීමාවෙන් බැහැරව ගොස් දින හතක් ඇතුළත නැවත අදාළ සීමාවට පැමිණීමට භික්ෂූන් වහන්සේලාට අවස්ථාව පවතී. එලෙස අවසර ලබාදුන් අවස්ථා ලෙස

🟠*දන් දීමක්, ධර්ම දේශනාවක් හෝ විහාරාරාම පූජාවක් සඳහා ආරාධනා ලැබීම*
🟠*උපාසක උපාසිකාවන් විසින් පෞද්ගලික ඉදිකිරීමක් විවෘත කිරීමට, ආවාහා විවාහ කටයුතු සඳහා ආශිර්වාද කිරීමට හෝ එවැනි අවස්ථාවල ධර්ම දේශනා හෝ පිරිත් දේශනා සඳහා ආරාධනා කිරීම.*
🟠*භික්ෂූන් වහන්සේගේ ඥාතියෙක් (මව්පියන් නොවන) රෝගී වීම නිසා ආරාධනා කිරීම.*

එසේම පහත අවස්ථාවලදී ආරාධනාවකින් තොරව ද එලෙස බැහැරවීමට අවස්ථාව පවතී.

🟡*භික්ෂු, භික්ෂුණී, සාමණේර, සාමණේරි, සික්ඛාමානා යන පැවිදි පිරිසට අයත් අයෙක් ගිලන් වූ අවස්ථාවක*
🟡*පැවිදි කිරීම්, උපසම්පදා කිරීම් හෝ සංඝ භේදය සඳහා උත්සාහ කිරීමකදී එය සංසිඳවීමට*
🟡*භික්ෂූන්ගේ දෙමව්පියන් ගිලන් වූ විට*
🟡*විහාර ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඒ සඳහා අවශ්‍ය දේ සපයා ගැනීමට*

ඉහත අවස්ථාවලදී වස් වාසය කළ සීමාවෙන් බැහැරව යන විට සත්තාහකරණය එනම් අනතුරක් සිදු නොවුවහොත් දින සතක් ඇතුළත නැවත අදාළ සීමාවට පැමිණීමට අධිෂ්ඨාන කිරීම අවශ්‍ය වේ. එය සිදු නොකර වස් විසූ ස්ථානයෙන් පිටත එක් රැයක් ගත කිරීමෙන් වස්සාන ශික්‍ෂා පදය කඩ වූ ලෙස සැලකේ. එහිදී එම භික්ෂූන් වහන්සේට කඨිනය හෝ වස්සාවාසික චීවර ලැබීමේ අයිතිය අහිමි වේ.




*පින්බර ඇසල පොහොය දිනයක් වේවා…*🙏🪔බුදුරදුන් බාල වග්ගයේ දී ඉහත ගාථා ධර්මය දේශනා කර ඇත. එහි නිදානය මෙසේය.‘මල් විකිණීම තම රැ...
29/07/2026

*පින්බර ඇසල පොහොය දිනයක් වේවා…*🙏🪔

බුදුරදුන් බාල වග්ගයේ දී ඉහත ගාථා ධර්මය දේශනා කර ඇත. එහි නිදානය මෙසේය.

‘මල් විකිණීම තම රැකියාව කරගත් "සුමන" නම් මල්කරුවෙකු සෑම දිනකම බිම්බිසාර රජුට මල් ගෙන යයි. දෑ සමන් මල් නැලි අටක් ගෙන යන මොහුට කහවණු අටක් ලැබෙන අතර එයින් තම ජීවිතය පවත්වාගෙන යයි. එක් දිනක් බුදුරදුන් වඩින දුටු මොහු තමා රජුට ගෙන යන මල් ජීවිත පරිත්‍යාගයෙන් බුදුරදුන්ට පිදූහ. එම සියලු මල් බුදුරදුන්ට වියනක් මෙන් උන්වහන්සේ වඩින පසු පස ගමන් කළහ. මෙය දුටු සුමනමාලාකරුට මහා සතුටක් ඇතිව තම නිවසට ගිය මුත් බිරිඳ එයින් අමනාපව රජු කරා ගොස් සමාව අයදීය. රජුට ගෙනයන මල් බුදුරදුන්ට පිදීම ගැන ඇය රජු ඉදිරිපිට තම සැමියාට දොස් කියූ නමුත් රජු ඔහුගේ ශ්‍රද්ධාව ගැන අනුකම්පා කොට බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන්ට රජ මිදුල තුළ දානය පිළිගැන්වීය. මල් තිරයෙන් ආවරණ වූ බුද්ධරූපය දුටු රජු ඇතුළු පිරිස මහත් ප්‍රමෝදයට පත්වූහ. දන් වැළඳීමෙන් පසු බුදුරදුන් සුමනමාලාකරුගේ මල් පිදීමේ පින්කම පිළිබඳ ඇගයීම් වශයෙන් මෙසේ ධර්ම දේශනා සිදු කළහ.

*”තංච කම්මං කතංසාධු*
*යංකත්වා නානුතප්පති*
*යස්ස පතීතෝ සුමනෝ*
*විපාකං පටිසේවතී”*

ධර්ම දේශනාව අවසානයේ දී රජු මහත්සෙයින් ප්‍රසාදයට පත්ව සෑම වස්තුවකින්ම අටබැගින් මහත් පරිත්‍යාගයක් සුමනමාලාකරුට සිදු කළහ. එම පරිත්‍යාගය අටුවාව දක්වනුයේ ‘සබ්බට්ඨක’ පරිත්‍යාගය වශයෙනි. මෙම ගාථාවේ ඇතුළත් විවරණය කරගත යුතු ප්‍රධාන වචන හතරක් ඇත. එය මනාව තේරුම්ගන්නා කෙනෙකුට මෙම ගාථාවෙන් කියවෙන සොම්නස ඇතිවන ක්‍රියා නැවත නැවත සිදු කිරීම යහපත් වන අයුරු අවබෝධ කරගත හැකිය. එම වචන හතර මෙසේය.

1. *කම්මං*

2. *අනුතප්පති*

3. *පතීතෝ*

4. *සුමනෝ*

සාමාන්‍ය ජීවිතයේ දී සිදුකරන සෑම ක්‍රියාවක් ම පොදුවේ සලකනුයේ කර්ම ලෙසය. හොඳ කර්ම කුසල හෙවත් යහපත් ලෙසත් නරක කර්ම අකුසල හෙවත් අයහපත් ලෙසත් විස්තර වේ. කුසල නම් එය විඳීමට හැකි අතර අකුසල නම් විඳ විය හැක. සුමන මාලාකරුගේ ක්‍රියාව කුසල වූ අතර එය මෙලොව බොහෝ සැපසම්පත් ලැබීමට හේතුවූවා පමණක් නොව ආනන්ද හිමියන් අමතා බුදුරදුන් දේශනා කරනුයේ යම්දින සුමන මාලාකරු සුමන නමින් පසේ බුද්ධත්වයට පත්වන බවයි. එය එසේ වනුයේ රජුගෙන් දඬුවම් ලැබේයැයි දැන දැනම රජු විෂයෙහි දිය යුතු මල් බුදුරදුන්ට පිදීමයි. එසේ සිදු කළේ ජීවිත පරිත්‍යාගයෙනි. එය දානයෙහි පරමත්ථ ගණයට වැටෙන්නකි.

තාවකාලික භෞතික අවාසි නොසලකා දිර්ඝකාලීන ආනිසංස ගැන කල්පනා කරමින් යහපත් ක්‍රියා සිදු කිරීම කෙතරම්ම යහපත් දැයි සුමන මාලාකරුගේ මල් පූජාවෙන් තේරුම් ගැනීම පහසුය. එය සසර විඳින තරම් පිනකි. එය එසේ යැයි සඳහන් කළ හැක්කේ ඔහු තුළ පැවති චේතනාව මතය. බොහෝ මල් වර්ග බොහෝ සෙයින් පිදුව ද ඇතැම්විට බලාපොරොත්තු අනුසස් නොලැබෙනුයේ චේතනාව අපිරිසුදු බැවිනි. අනුන් පැරදවීම, ඊර්ෂ්‍යාව, ලෝභය, සහිතව මල් පිදීම යහපත් කර්මයක් නොවේ. එසේම අතුබිඳ, මල් පොහොට්ටු විනාශ කරමින්, අන්‍ය වතුවලින් හොරාට නම් නෙළන්නේ එය යහපත් නොවේ. 🙏




*☸️පොසොන් සතිය 2026☸️**පොසොන් සදහම් අරුණ ලිපි අංක (07)*🌱*අප්‍රමාදීව කටයුතු කිරීමේ වැදගත්කම*🌳*"ගොඩක් මිනිස්සුන්ට පැළවලට ව...
02/07/2026

*☸️පොසොන් සතිය 2026☸️*

*පොසොන් සදහම් අරුණ ලිපි අංක (07)*

🌱*අප්‍රමාදීව කටයුතු කිරීමේ වැදගත්කම*🌳

*"ගොඩක් මිනිස්සුන්ට පැළවලට වතුර දාන්න මතක් වෙන්නේ, ඒ පැළේ වේලිලා මැල වුනාට පස්සේ..."*🍂

අපේ ජීවිතවලත් මේ වගේ දේවල් කොච්චර වෙනවද? ගෙදර පැළයක් හොඳට කොළ පාටින් තිබෙනකොට ඒ ගැන වැඩි අවධානයක් දෙන්නේ නැහැ. නමුත් එය වේලිලා, කොළ හැලී, මැලවෙන්න පටන් ගත්තාම තමයි වතුර දාන්න මතක් වෙන්නේ. අවාසනාවකට, සමහර වෙලාවට ඒ වෙද්දී ප්‍රමාද වැඩියි.

මේ කතාව පැළයක් ගැන විතරක් නෙවෙයි. මිනිස් සබඳතා ගැනත් එයම කියනවා. අපි ආදරය කරන අය, අපි වෙනුවෙන් කැපවෙන අය, අපේ දෙමාපියන්, මිතුරන්, ගුරුවරුන් — ඔවුන් අපේ ජීවිතයේ ඉන්නකොට ඔවුන්ගේ වටිනාකම අපිට හොඳින් නොදැනෙන්න පුළුවන්. කාර්යබහුල ජීවිතය අතරේ ඔවුන්ට කතා කරන්න, ස්තුතියක් කියන්න, හෝ ඔවුන්ගේ දුකක් අහන්න වෙලාවක් වෙන් නොකරන අවස්ථා බොහෝමයි. නමුත් ඔවුන් ඈත් වූ පසු හෝ නැති වූ පසු තමයි ඒ හිස්තැනේ බර අපිට දැනෙන්නේ.

බුදු දහම අපට නිතරම මතක් කරන්නේ අප්පමාදය, එනම් නොපමාව ක්‍රියා කිරීමේ වැදගත්කමයි. යහපත් දෙයක් කරන්න හිතෙනවා නම් එය හෙටට කල් දාන්න එපා. ආදරය පෙන්වන්න හිතෙනවා නම් අදම පෙන්වන්න. සමාව දෙන්න හිතෙනවා නම් අදම දෙන්න. මන්ද, හෙට දවස අපටත්, අනිත් අයටත් අනිවාර්යයෙන්ම හිමි වන බවට සහතිකයක් නැහැ.

එසේම බුදුන් වහන්සේ දේශනා කළ අනිත්‍යතාවය ද මෙහිදී අපට මතක් වෙනවා. මේ ලෝකයේ කිසිවක් ස්ථිර නැහැ. මිනිසුන් වෙනස් වෙනවා, අවස්ථා වෙනස් වෙනවා, ජීවිතයත් නිරන්තරයෙන් ගලා යනවා. ඒ නිසා අද අප සතුව තිබෙන දේවල් අගය කිරීමත්, ඒවාට නිසි සැලකිල්ල දැක්වීමත් අපගේ වගකීමක්.

ඒ වගේම නූතන සමාජයේ බොහෝ දෙනා කුසල් දහම් පිරීමට මැලි බවක් දක්වනවා.මහලු වූ පසුව තමයි සිහියට නැගෙන්නෙ තමන් සසරට කිසිවක් කර නොගත් බව.එසේ නොසිට කුඩා කල සිටම කුසල් දහම් වැඩීමට යොමු වීම ද මෙම උපමාවට සමාන කරන්න පුලුවන්.

ඇත්තටම, ජීවිතයේ ලොකුම පසුතැවීම් බොහොමයක් ඇතිවෙන්නේ අපි කළ වැරදි නිසා නොව, කළ යුතුව තිබූ දේ නොකළ නිසාය. වතුර දමන්න තිබූ පැළයකට වතුර නොදැමූ නිසාය. ආදරය පෙන්වන්න තිබූ හදවතකට ආදරය නොපෙන්වූ නිසාය.

එබැවින්, මේ කියමන අපට දෙන ලොකුම පාඩම වන්නේ, වටිනා දේවල් නැති වූ පසු ඒවා ගැන හඬා වැළපීම නොව, ඒවා අප ළඟ තිබෙන විටම ආදරයෙන් රැකබලා ගැනීමයි. ඒ තමයි බුදු දහම අපට උගන්වන නොපමාව ජීවත් වීමේ සැබෑ අර්ථය.

*"පැළය වේලෙන තුරු නොසිට වතුර දමන්න. මිනිසුන් ඈත් වන තුරු නොසිට ආදරය පෙන්වන්න.මහලු වන තුරු නොසිට කුසල් දහම් වඩන්න"*🌱🙏🏻





*☸️පොසොන් සතිය 2026☸️**පොසොන් සදහම් අරුණ ලිපි අංක (06)*👤*පංචස්කන්ධයේ යතාර්ථය*🩻✨*කයෙහි යථාර්ථය දැකීමෙන් සංසාරයෙන් මිදෙන ම...
01/07/2026

*☸️පොසොන් සතිය 2026☸️*

*පොසොන් සදහම් අරුණ ලිපි අංක (06)*

👤*පංචස්කන්ධයේ යතාර්ථය*🩻

✨*කයෙහි යථාර්ථය දැකීමෙන් සංසාරයෙන් මිදෙන මඟ*✨

මේ ලෝකයේ මිනිසා වඩාත්ම ආදරය කරන්නේ කුමකටදැයි විමසා බැලුවහොත්, බොහෝ දෙනා නොදැනුවත්වම තම ශරීරයටම වඩාත්ම ආදරය කරන බව පෙනේ. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රිය වන තුරු අපගේ උත්සාහය බොහෝවිට යොමු වන්නේ මේ කය ආරක්ෂා කිරීමට, පෝෂණය කිරීමට සහ අලංකාර කිරීමටය. සුළු රෝගයක් හෝ වැළඳුණද අප කනස්සලු වෙමු. වයසට යාමේ ලකුණු පෙනෙන්නට පටන් ගත් විට බියට පත්වෙමු. මෙතරම් ආදරය කරන මේ ශරීරය ගැන අපට ඇත්ත වශයෙන්ම අවබෝධයක් තිබේද?

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිසාගේ ප්‍රධාන මෝහය වන්නේ අනිත්‍ය දේ නිත්‍ය ලෙසත්, දුක් සහිත දේ සැප ලෙසත්, අනත්ම දේ ආත්ම ලෙසත් දැකීම බවයි. මේ වැරදි දෘෂ්ටිය නිසාම අපි ශරීරය “මම” සහ “මගේ” යනුවෙන් අල්ලා ගනිමු. නමුත් යථාර්ථය ඊට වඩා බෙහෙවින් වෙනස්ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ කායගතාසති භාවනාව යනු කය ඇති සැටියෙන් දැකීමට උගන්වන මහා භාවනා ක්‍රමයකි. *“කායෙ කායානුපස්සී විහරති”* යන දේශනාවෙන් අදහස් වන්නේ කය තුළ කය මෙනෙහි කරමින් වාසය කිරීමයි. මෙහිදී යෝගාවචරයා ශරීරය “මම” යනුවෙන් නොව, නිරීක්ෂණය කළ යුතු ස්වභාවධර්මයක් ලෙස දකී.

හුස්ම ඇතුළට යාමත් පිටතට ඒමත් සිහි කිරීම වන ආනාපානසති භාවනාවද කායගතාසතියට අයත් වේ. හුස්ම ගැනීමේ ක්‍රියාව සිහියෙන් නිරීක්ෂණය කරන විට සිත සන්සුන් වන අතර, කය සහ සිත පිළිබඳ ගැඹුරු අවබෝධයක් උපදී. එවිට මිනිසාට පෙනී යන්නේ ජීවිතය යනු නිරන්තරයෙන් වෙනස් වන ක්‍රියාවලියක් බවයි.

කය පිළිබඳ මෝහය දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ කුණප කොට්ඨාස තිස් දෙක මෙනෙහි කිරීමටද දේශනා කළහ. කෙස්, ලොම්, නිය, දත්, හම, මස්, නහර, ඇට, ඇටමිදුළු, ලේ, සෙම, සැරව, දහඩිය, මුත්‍රා ආදී කොටස් එකින් එක සලකා බලන විට අපි ආශා කරන “ලස්සන ශරීරය” යන සංකල්පය ක්‍රමයෙන් බිඳ වැටෙයි.

සැබවින්ම මේ ශරීරය හමකින් වසා ඇති කොටස් රාශියක් පමණි. එම කොටස් වෙන් කර තැබුවහොත් කිසිවෙකු ඒවාට ආශා නොකරයි. නමුත් එකට එකතු වූ විට අපි එයට “මම” යැයි කියමු. මෙය මෝහයේ ස්වභාවයයි.මෙම භාවනාව විශේෂයෙන් රාගය අඩු කිරීමට උපකාරී වේ. රූපය පිළිබඳ ඇති අධික බැඳීම සහ කාමච්ඡන්දය ක්‍රමයෙන් දුරුවෙයි. එබැවින් අසුභ භාවනාව සහ කුණප කොට්ඨාස භාවනාව රාගචරිත පුද්ගලයන්ට ඉතා ප්‍රයෝජනවත් බව බුදු දහමේ සඳහන් වේ.

කයෙහි ගැඹුරු යථාර්ථය තේරුම් ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාර භාවනාව දේශනා කළහ. මේ ශරීරය සතර මහා ධාතුන්ගේ එකතුවකි.

පඨවි ධාතුව තද බව නියෝජනය කරයි. ඇට, දත්, නිය සහ මස් පඨවි ධාතුවට අයත් වේ. ආපෝ ධාතුව යනු ද්‍රව ස්වභාවයයි. ලේ, මුත්‍රා සහ ශරීර දියර එයට අයත් වේ. තේජෝ ධාතුව උණුසුම සහ පරිණාමය නියෝජනය කරන අතර, වායෝ ධාතුව චලනය සහ පීඩනය නියෝජනය කරයි.

මෙම ධාතු හතර එකට එක් වූ විට “ශරීරය” යන නාමය භාවිතා කරයි. නමුත් ඒ තුළ ස්ථිර “මම” කෙනෙකු සොයාගත නොහැක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ:

*“නේතං මම, නේසොහමස්මි, න මේසෝ අත්තා.”*

එනම්, “මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මගේ ආත්මය නොවේ.”

මරණය පිළිබඳ මෝහය දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ නවසීවථික භාවනාව ද දේශනා කළහ. මෙහිදී මළ සිරුරක දිරාපත්වන අවස්ථා නවයක් මෙනෙහි කරයි. ඉදිමුණු සිරුරක්, නිල් වූ සිරුරක්, සැරව ගලන සිරුරක්, පණුවන් විසින් කන ලද සිරුරක්, ඇට පමණක් ඉතිරි වූ සිරුරක් සහ අවසානයේ දූවිලි බවට පත්වන සිරුරක් මෙහිදී මෙනෙහි කරයි.

එවිට යෝගාවචරයා තමාගේ කය දෙස බලා මෙසේ සිතයි:

“මේ ශරීරයද එවැනිම ස්වභාවයකින් යුක්තය. එයද මේ ඉරණමෙන් ගැලවෙන්නේ නැත.”

මෙම මෙනෙහි කිරීමෙන් මරණය පිළිබඳ සිහිය වැඩෙන අතර, අහංකාරය සහ මෝහය අඩුවෙයි. අද ලස්සන ලෙස පෙනෙන කය හෙට දිරාපත් වන බව අවබෝධ වෙයි.

බුදු දහමේ තවත් වැදගත් භාවනාවක් වන්නේ මරණානුස්සති භාවනාවයි. “මරණය මටත් අනිවාර්යය” යන සත්‍යය නිතර සිහි කිරීමෙන් අලසකම දුරුවෙයි. ජීවිතයේ වටිනාකම තේරුම් යයි. ධර්මයේ යෙදීමට උනන්දුව උපදී.

එසේම මෛත්‍රී භාවනාව මගින් ද්වේෂය දුරුවෙයි. “සියලු සත්ත්වයෝ
සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා” යන මෛත්‍රී සිතුවිලි වඩන විට හිත මෘදු වෙයි. කෝපය සහ වෛරය ක්‍රමයෙන් දිය වී යයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ භාවනා ක්‍රම සෑම එකක්ම විවිධ කෙලෙස් දුරු කිරීම සඳහාය. අසුභ භාවනාව රාගය අඩු කරයි. මෛත්‍රී භාවනාව ද්වේෂය අඩු කරයි. ආනාපානසතිය සිත එක්තැන් කරයි. කායගතාසතිය ප්‍රඥාව වර්ධනය කරයි. ධාතු මනසිකාරය අනත්ම ස්වභාවය පෙන්වයි. නවසීවථික භාවනාව මරණය පිළිබඳ යථාර්ථය අවබෝධ කරවයි.

මේ සියලු භාවනා අවසානයේ යොමු වන්නේ එකම අරමුණකටය. එනම් ත්‍රිලක්ෂණ අවබෝධයටය.

🙏අනිත්‍ය – සියල්ල වෙනස් වේ.

🙏දුක්ඛ – වෙනස් වන දෙයක ස්ථිර සතුටක් නැත.

🙏අනත්ම – කිසිවක් ස්ථිර “මම” කෙනෙකු නොවේ.

බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ:

*“සබ්බේ සංඛාරා අනිච්චා” – සියලු සංස්කාර අනිත්‍යය.*

*“සබ්බේ සංඛාරා දුක්ඛා” – සියලු සංස්කාර දුක් සහිතය.*

*“සබ්බේ ධම්මා අනත්තා” – සියලු ධර්ම අනත්මය.*

මෙම සත්‍යය නුවණින් දකින විට සිත විරාගයට පත් වෙයි. විරාගයෙන් නිදහස උපදියි. එම නිදහසම නිවන කරා ගෙන යන මාර්ගයයි.

එබැවින් අප ලැබූ මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය කය අලංකාර කිරීමට පමණක් නොව, කයෙහි යථාර්ථය දැකීමටද යොදා ගනිමු. කය අනිත්‍ය බව දකිමු. ධාතුන්ගේ ස්වභාවය අවබෝධ කරගනිමු. මරණය සිහි කරමු. මෛත්‍රිය වඩමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ භාවනා ක්‍රම ප්‍රගුණ කරමින් රාග, ද්වේෂ සහ මෝහ ක්ෂය කර ගනිමු.

එවිට සංසාරයේ අඳුර දුරුවී ප්‍රඥාවේ ආලෝකය උපදින අතර, එම මඟ අවසානයේ විවර වන්නේ අජරාමර වූ අමා මහා නිවන කරාය. 🙏🙏🙏





*☸️පොසොන් සතිය 2026☸️**පොසොන් සදහම් අරුණ ලිපි අංක (05)*🔄✨*කර්මය යනු චේතනාව ද ?*✨🔄බෞද්ධ දර්ශනයේ ඇති විශිෂ්ටතම හා ගැඹුරුම ...
30/06/2026

*☸️පොසොන් සතිය 2026☸️*

*පොසොන් සදහම් අරුණ ලිපි අංක (05)*

🔄✨*කර්මය යනු චේතනාව ද ?*✨🔄

බෞද්ධ දර්ශනයේ ඇති විශිෂ්ටතම හා ගැඹුරුම අවබෝධයන්ගෙන් එකක් වන්නේ මනුෂ්‍යයාගේ සුභාසුභ ජීවිතය තීරණය කරන්නේ බාහිර ලෝකය නොව, ඒ ලෝකය සමඟ ගැටෙන ඔහුගේ සිත බවයි.

සාමාන්‍ය ලෝක දෘෂ්ටිය අනුව මිනිසාගේ සතුට, දුක, දියුණුව හෝ පිරිහීම තීරණය වන්නේ බාහිර සිදුවීම් මතය. එහෙත් බුදුරජාණන් වහන්සේ එම සාම්ප්‍රදායික දැක්ම උඩු යටිකුරු කරමින් පෙන්වා දුන්නේ, සියල්ලේ මූලය ඇත්තේ සිත තුළ බවයි.

ධම්මපදය ආරම්භ වන්නේද,
*"මනෝපුබ්බංගමා ධම්මා, මනෝසෙට්ඨා මනෝමයා"* යන ගාථාවෙනි.
*(සියලු දේටම මුල් වන්නේ සිතයි. සිතම ශ්‍රේෂ්ඨ වෙයි. සිතින්ම හට ගනියි.)*
මෙය හුදු කාව්‍යමය ප්‍රකාශයක් නොව, සමස්ත බෞද්ධ දර්ශනයම ගොඩනැගී ඇති මූලික සත්‍යයකි.

සංයුත්ත නිකාය හි දේවතා සංයුත්තයේ චිත්ත සූත්‍රයෙහි අපගේ චර්යාවන් විෂයෙහි සිත දක්වන ප්‍රභූත්වය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වාදී ඇත්තේ මෙසේය.

*''වීත්තෙන නියති ලෝකෝ වීත්තෙන පරිකස්සති චිත්තය එක ධම්මස්ස සබ්බෙව වසමන්වගු.”*
*(ලෝකය මෙහෙය වනු ලබන්නේ සිත විසිනි. සිත විසින් ලොව ඇදගෙන යනු ලැබේ. සිතනම් වූ එකම ධර්මයට සියල්ලෝ වසගව සිටිති.)*

බෞද්ධ ඉගැන්වීම්වලට අනුව කර්මයේ සදාචාරාත්මක වටිනාකම තීරණය වන්නේ බාහිර අරමුණෙන් නොව, ඒ අරමුණ ඉදිරියේ ක්‍රියාත්මක වන සිතිවිල්ලෙන් හෙවත් චේතනාවෙනි.

බුදුරජාණන් වහන්සේ *“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි”* යනුවෙන් දේශනා කළේ ද ඒ නිසාය. එහි අර්ථය වන්නේ කර්මය යනු ක්‍රියාව නොව, ක්‍රියාවට පසුබිම් වූ චේතනාව බවයි.

එකම ආරම්මණයක් ඉදිරියේ විවිධ පුද්ගලයන්ගේ සිත් විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වයි. එකම බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ එක් අයෙකුගේ සිත ශ්‍රද්ධාවෙන් පිරී යයි. තවත් අයෙකු එහි කලාත්මක වටිනාකම පමණක් රස විඳියි. තවත් අයෙකු එය විවේචනය කරයි. දකින්නේ එකම රූපය වුවද, උපදින්නේ එකිනෙකට වෙනස් චිත්තයන්ය. එබැවින් කුසලය හෝ අකුසලය තීරණය කරන්නේ රූපය නොව, රූපය අරමුණු කරගන්නා සිතයි.

අභිධර්මයේ දැක්වෙන පරිදි ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ද්වාර හය හරහා අප නිරන්තරයෙන් ආරම්මණයන් සමඟ ගැටෙමින් සිටිමු. එහෙත් එම ආරම්මණයන් කිසිවක් ස්වභාවයෙන්ම කුසල හෝ අකුසල නොවේ. කුසලය හෝ අකුසලය උපදින්නේ ඒවාට ප්‍රතිචාර දක්වන චිත්ත ප්‍රවාහය තුළය.

එබැවින් ලෝකයෙන් පලා යාමෙන් හෝ ආරම්මණයන් විනාශ කිරීමෙන් සංසාර දුක අවසන් නොවේ. සංසාරය පවත්වාගෙන යන්නේ බාහිර ලෝකය නොව, ඒ ලෝකය පිළිබඳ අපගේ අවිද්‍යාව සහ තෘෂ්ණාවයි. ඒ නිසාම බුදුදහමේ අවධානය යොමු වන්නේ ලෝකය වෙනස් කිරීමට නොව, ලෝකය දෙස බලන ආකාරය වෙනස් කිරීමටය.

යෝනිසෝ මනසිකාරය යනු එම පරිවර්තනයේ ආරම්භයයි. අයෝනිසෝ මනසිකාරය මඟින් ආරම්මණයන් තුළ ආස්වාදය, ඇල්ම සහ බැඳීම සොයන අතර, යෝනිසෝ මනසිකාරය මඟින් ඒවායේ අනිත්‍ය, දුක්ඛ සහ අනත්ත ස්වභාවය විමසයි. එකම දර්ශනයක්, එකම සිදුවීමක් හෝ එකම අත්දැකීමක් කෙනෙකුගේ සංසාරය දිගු කිරීමට හේතුවක් විය හැකි අතර, තවත් කෙනෙකුගේ ප්‍රඥාව වැඩීමට හේතුවක් ද විය හැකිය.

මෙහි ඇති විශිෂ්ටත්වය නම් බුදුදහම ලෝකය හොඳ සහ නරක ලෙස දෙකට බෙදා නොදැකීමයි. බුදුදහම විමසන්නේ ලෝකය නොව, ලෝකය අත්විඳින සිතයි. එබැවින් සැබෑ සටන පවතින්නේ බාහිර වස්තූන් සමඟ නොව, ඒවාට ඇලෙන, ඒවා ප්‍රතික්ෂේප කරන හෝ ඒවා පිළිබඳ මුළාවෙන් සිටින තමන්ගේම සිත සමඟය.

ඇත්තෙන්ම නිර්වාණ මාර්ගය ආරම්භ වන්නේ ආරම්මණයන් අතුරුදන් වූ විට නොව, ආරම්මණයන් ඉදිරියේ සිතේ හැසිරීම පිළිබඳ නුවණ පහළ වූ විටය. ඒ නිසා බුදුදහම අපෙන් අසන මූලික ප්‍රශ්නය වන්නේ “ඔබ දුටුවේ කුමක්ද?” යන්න නොව, “ඔබ දුටු විට ඔබේ සිත තුළ කුමක් සිදු වූවාද?” යන්නයි.
මන්ද අවසානයේ සංසාරයත් නිර්වාණයත් දෙකම තීරණය වන්නේ ලෝකය විසින් නොව, ලෝකය අරමුණු කරගන්නා සිත විසිනි. 🙏💫🙏





*☸️පොසොන් සතිය 2026☸️**පොසොන් සදහම් අරුණ ලිපි අංක (04)*🙏✨*මෛත්‍රී බුදුන් වහන්සේ දකින්න ප්‍රාර්ථනා කරන ඔබට කෙටි සිහිගැන්ව...
29/06/2026

*☸️පොසොන් සතිය 2026☸️*

*පොසොන් සදහම් අරුණ ලිපි අංක (04)*

🙏✨*මෛත්‍රී බුදුන් වහන්සේ දකින්න ප්‍රාර්ථනා කරන ඔබට කෙටි සිහිගැන්වීමක්*✨🙏

බොහෝ බෞද්ධයන් අතර තිබෙන අදහසක් තමයි, *"මේ ආත්මයේ නිවන් දැකීම අපහසුයි. පින් රැස් කරගෙන මෛත්‍රී බුදුන් වහන්සේගේ කාලයේදී නිවන් දකිමු"* යන්න.

මෙවැනි ප්‍රාර්ථනාවක් කිරීම වරදක් නොවේ. මෛත්‍රී බුදුන් වහන්සේ දකින්නත්, උන්වහන්සේගේ ධර්මය අසා නිවන් මඟට පිවිසෙන්නත් ප්‍රාර්ථනා කිරීම උතුම් චේතනාවකි.

නමුත් බුදුදහම අපට උගන්වන්නේ සසර අතිශයින්ම අවිනිශ්චිත බවයි. අපි ඊළඟ මොහොතේවත්, ඊළඟ භවයේවත් කොතැන උපදිමුද කියා කිසිවෙකුටත් නිශ්චිතව කිව නොහැක. අප විසින් රැස් කළ කුසල්වල විපාක මෙන්ම, පෙර කළ අකුසල්වල විපාකද පල දිය හැකිය. එබැවින් මෛත්‍රී බුදුන් වහන්සේ ලොව පහළ වන තෙක්ම සුගතියේ ඉපදිමින්, ධර්මය හමුවන තත්ත්වයක සිටින බවට කිසිවෙකුටත් සහතික විය නොහැක.

බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවලදී මනුෂ්‍ය භවයක් ලැබීමත්, බුද්ධෝත්පාද කාලයක උපත ලැබීමත්, සද්ධර්මය ඇසීමට අවස්ථාව ලැබීමත් ඉතා දුර්ලභ බව දේශනා කර ඇත. අපට අද ලැබී තිබෙන්නේ එවැනි දුර්ලභ අවස්ථාවකි.

අදත් අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතී. ත්‍රිපිටකය, ධර්ම දේශනා, භාවනා මාර්ගෝපදේශ, කල්‍යාණමිත්‍රයන්—මේ සියල්ල අපට ලැබී තිබේ. ඒ නිසා ධර්මය ඉගෙන ගැනීමටත්, සිල් රැකීමටත්, භාවනා කිරීමටත්, දාන හා අනෙකුත් කුසල් කිරීමටත්, මාර්ගඵල සඳහා උත්සාහ කිරීමටත් අදම අවස්ථාව ඇත.

ඒ නිසා මෛත්‍රී බුදුන් වහන්සේ දකින්න ප්‍රාර්ථනා කිරීමත්, වර්තමාන ශාසනයේ හැකි උපරිමයෙන් ප්‍රතිපත්ති පිරීමත් එකට ගමන් කළ යුතුය. අනාගත බලාපොරොත්තුවක් නිසා වර්තමානයේ ලැබී ඇති අනර්ඝ අවස්ථාව අතපසු කර නොගත යුතුය.

අපිට අද කළ හැකි යහපත් දේ හෙටට කල් නොදමමු. ජීවිතය අනිත්‍යය. මරණය කවදා පැමිණේදැයි කිසිවෙකු දන්නේ නැත. ඒ නිසා "පසුව කරමි" යන සිතුවිල්ලට වඩා "අදම කුසල් කරමි, අදම ධර්මය අනුව ජීවත් වෙමි" යන අධිෂ්ඨානය වටිනාය.

මෛත්‍රී බුදුන් වහන්සේ දකින්න ප්‍රාර්ථනා කරමු. එහෙත් ඒ අතරම, ගෞතම බුදු සසුනේ මේ මොහොතේ ලැබී ඇති දුර්ලභ අවස්ථාවෙන්ද උපරිම ප්‍රයෝජන ගනිමු.

*"හෙට ගැන යහපත් ප්‍රාර්ථනා තබමු. නමුත් අද කළ යුතු කුසලය, භාවනාව සහ ධර්මානුකූල ජීවිතය ප්‍රමාද නොකරමු."*෴ 🙏





Address

Medical Faculty Buddhist Brotherhood Association, Medical Faculty
University Of Peradeniya

Telephone

+94764601707

Website

Alerts

Be the first to know and let us send you an email when Medical Faculty Buddhist Brotherhood Association - Peradeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share