05/09/2026
තවද මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා ඔබ උසස් කොට තබනසේක.
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඔබ කන්දෙන්නෙහි නම් මේ සියලු ආශීර්වාද ඔබ කරා පැමිණ ඔබ සමඟ වන්නේය.
ඔබ නුවරෙහි ආශීර්වාදලද්දෙක් වන්නෙහිය, කෙතෙහිත් ආශීර්වාදලද්දෙක් වන්නෙහිය.
ඔබේ ගර්භයේ ඵලයටද ඔබේ භූමියේ ඵලයටද ඔබේ සිවුපාවුන්ගේ ඵලයටද ඔබේ ගවයන්ගේ බෝවීමටද ඔබේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාද ලැබෙන්නේය.
ඔබේ පැසටද පිටි අනන ඔරුවටද ආශීර්වාද ලැබෙන්නේය.
ඔබ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය.
ඔබට විරුද්ධව නැගිටින්නාවූ ඔබේ සතුරන් ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙහි පරාජය වෙන්ට සලස්වනසේක. ඔව්හු ඔබට විරුද්ධව එක මගකින් අවුත් සත් මගකින් ඔබ ඉදිරියෙන් පලායන්නෝය.
ඔබේ ගබඩා කෙරෙහිද ඔබ අත තබන සියල්ලෙහිද ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදය එවා, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයේදී ඔබට ආශීර්වාදකරනසේක.
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වා උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබට දිවුළලෙස උන්වහන්සේටම ශුද්ධ සෙනඟක් කොට ඔබ ස්ථිරකරනසේක.
ස්වාමීන්වහන්සේගේ නාමය ඔබ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක ඔබට භයවන්නෝය.
ස්වාමීන්වහන්සේ ඔබට දෙන ලෙස ඔබේ පියවරුන්ට දිවුළ භූමිය මතුපිට ඔබේ ගර්භයේ ඵලයද ඔබේ සිවුපාවුන්ගේ ඵලයද භූමියේ ඵලයද යහපත පිණිස ඔබට වැඩිකර දෙනසේක.
ස්වාමීන්වහන්සේ නිසි කාලයට ඔබේ දේශයට වර්ෂාව දෙන්ටද ඔබේ අත්වල සියලු වැඩට ආශීර්වාද කරන්ටද අහස නමැති තමන්ගේ උතුම් ගබඩාව ඔබට විවෘත කරනසේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන නුමුත් ඔබ ණයට නොගන්නෙහිය.
මා අද ඔබ සැමට අණකරන සියලු වචනවලින් ඔබ දකුණටවත් වමටවත් හැරී අන් දෙවිවරුන්ට සේවය කරන්ට ඔවුන් පස්සේ නොගොස්,
මා අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වමින් ඉෂ්ටකරන ලෙස ඔබ ඒවාට කීකරුවන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබ වල්ගය නොව හිස වෙන්ට සලස්වනවා ඇත; ඔබද යටින් නොව ඉහළින්ම සිටිනවා ඇත.
නුමුත් මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥාද පනත්ද පවත්වන්ට බලාගන්න හැටියට ඔබ උන්වහන්සේගේ හඬට කන්නොදෙන්නෙහිනම්, මේ සියලු ශාප ඔබ පිටට පැමිණ ඔබ අසුකරගන්නේය.
ද්වීතීය කථාව :28