31/05/2025
2025 මැයි 31 වන සෙනසුරාදා දින
*උත්ථාන සමයේ සයවන සතිය*
*දේව මාතාවන් එළිසබෙත්තුමිය බැහැදැකීමේ මංගල්‍යය*
*පළමුවන දේව ප්‍රකාශනය*
ශෙපනියා 3 : 14 - 18
14 සියොන් පුරඟන, සොම්නසින් ගී ගයන්න;
ජෙරුසලම් වැසියෙනි, කෑමොරගසන්න;
ඉශ්රායෙල් ජනයෙනි, ප්‍රීති ප්‍රමෝද වන්න.
15 සමිඳාණෝ ඔබට විරුද්ධ ව තිබුණු නඩු තීන්දු අවලංගු කළ සේක;
ඔබේ සතුරන් නෙරපාදැමූ සේක;
ඉශ්රායෙල්හි රජ වන සමිඳාණෝ ඔබ සමඟ සිටින සේක.
විපතට බිය වීමක් තවත් නැත.”
16 එදින ජෙරුසලම මෙසේ කියනු ඇත.
”සියොන් නගරය, බිය නොවන්න;
ඔබ අත දුබල වන්නට ඉඩ නාරින්න.
17 ඔබේ දෙවි සමිඳාණෝ ඔබ සමඟ ය; ඔබට ජය අත් කර දෙන සෙබළාණෝ ය.
එතුමාණෝ ඔබ ගැන ප්‍රිය මනාප වන සේක;
සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙන සේක;
ඔබ ගැන සොම්නස් සිතින් ගී ගයන සේක;
18 මංගල දවසක් මෙන් ප්‍රීති වන සේක;
ඔබ නින්දාව නොලබන පිණිස ඔබ අතර විනාශය පහකරන සේක.
*පිළිතුරු ගීය*
යෙසායා 12 : 2 - 16
( පිළිතුර : උතුම් වූ ශුද්ධ දෙවියන්වහන්සේ ඔබ අතර වැඩ සිටින සේක. )
2 බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය.
මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි;
එතුමන් කෙරෙහි මට බියක් නැත.
මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය.
එතුමාණෝ මාගේ ගැළවීම ය.”
3 ඔබ ගැළවීමේ ළිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නහු ය.
4 ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී යන්නෝ ය:
”සමිඳුන්ට තුති පුදන්න;
එතුමන්ගේ නම පවසා අයැදින්න.
එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න.
එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න.
5 ”සමිඳුන් කළ අරුමපුදුම දේ නිසා පසස් ගී ගයන්න;
මුළු ලොවට ම ඒ ගැන දන්වන්න.
6 සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න;
ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
*දවසේ ශුද්ධවූ සුවිශේෂය*
ශුද්ධවූ ලූක් 1 : 39 - 56
39 දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්, 40 සෙකරියස්ගේ ගෙට ඇතුළු වී, එලිසබෙත් හට ආචාර කළා ය. 41 එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, 42 මහ හඬින් උදන් අනමින්, ”ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය. 43 මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද? 44 මක්නිසා ද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙණෙහි ම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය. 45 සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය.
46 එවිට මරිය තුමී මෙසේ උදන් ඇනුවා ය:
”මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි,
47 මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි;
48 මක්නිසා ද, එතුමාණෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක.
හැම පරපුරක් ම මෙතැන් සිට, භාග්‍යවන්තී ය’යි මට කියනු ඇත.
49 පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක.
‘පරිශුද්ධයාණෝ’ යනු එතුමන්ගේ නාමය ය.
50 එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.
51 සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා, උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර,
52 මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක.
53 සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.
54 අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට, 55 සදහට ම පොරොන්දු වූ දයාව සිහි කරමින් සිය සේවක ඉශ්රායෙල් සෙනඟ හට, පිහිට වූ සේක.”
56 මරිය තුමී, එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිට සිය නිවෙසට පෙරළා ගියා ය.
- 𝑪𝒂𝒕𝒉𝒐𝒍𝒊𝒄 𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆 & 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑 𝑮𝒓𝒐𝒖𝒑 -
~ 🅷︎🅾︎🅻︎🆈︎ 🆁︎🅾︎🆂︎🅰︎🆁︎🆈︎ 🆃︎🅴︎🅰︎🅼︎ ~