24/12/2025
නිවන් දක්නා ජාති දක්වා ගුරු දෙවි සරණ ඔබවහන්සේ මැ වේවා !!! "මං පතන්නෙ මේ ජාතියේ මට සසර දුකින් මිදෙන්න බැරි වුනොත් උපදින ජාතියක්, ජාතියක් පාසා මහණ වෙන්න, ජාතියක්, ජාතියක් පාසා කැළේ භාවනා කරමින් ඉන්න."
-පරමපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුළ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ.(සසුන් කෙත ගුවන් විදුලි වැඩසටහන්‍ේ දී ය. -https://storage.googleapis.com/sobhana/rh038.mp3)
වසර 106ක කාලයක් දීර්ඝායුෂ ලබමින් ලක්දිව ශාසන පුනර්ජීවනය උදෙසා තම මුළු ජීවිතය ම කැප කළා වූ සඞ්ඝනේතෘවර පරමපූජනීය අම්පිටියේ රාහුළ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 107 වන ජන්ම දිනය 2020 දෙසැ. 24 වන අද දිනට එළඹෙයි. නත්තලට උදාවන්නට දෙපැයකට පමණ පෙර ජන්ම ලාභය 1914 දෙසැම්බර් 24 ය. 2020 පෙබරවාරි 17 වන දා අලුයම අපවත් වී වදාළ සේක් අදට මාස දහයක පමණ කාලයක් ඉක්ම ගොස් තිබේ. මේ අනුස්මරණීය දින ලොකු හාමුදුරැවන් වහන්සේගේ දිවිගමන පිළිබද ව යම් සටහනක් තැබීම කාලෝචිත යැයි හගිමි.
1928 අප්‍රේල් 21 වන දින පරමපූජනීය පැළෑනේ සිරි වජිරඤාණ මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රථම ගුවන්විදුලි ධර්ම දේශණාව කළ ඵෙතිහාසික දිනය විය. එම ධර්ම දේශණාව ඉන්දියාවේ බැංගලෝරය දක්වා විහිදී ගියහ. එක් දිනක් එම උතුම් ධර්ම දේශණාව ශ්‍රවණය කළෝ ගිහි කළ ධර්මදාස රාජපක්ෂ නම් වූ අප කථානායකයන් වහන්සේ ය. මේ වනවිට ධර්මදාස තරැණයා සම්බුද්ධ සාසනය කෙරෙහි පැහැදීමට පත් ව ගිහි ගෙය අතහැර තම තරුණ කාලයේ දී පැවිදි වීමට අදහස් කොට ගෙන සිටියේ ය. ඒ සඳහා තමන්ට සුදුසු ම රට ලංකාව නොව බුරුමය යැයි වටහාගත් ඔහු, තම වැඩිමහල් සොහොයුරාගේ උදව් ඇතිව බුරුම රට බලා යෑමට අදහස් කොට ගත් බව පසු කළෙක මාහිමියන් ප්‍රකාශ කළේ ය.
ලොකු හාමුදුරුවෝ තමන් වහන්සේ පැවිදි දිවියට මුල පිරූ අන්දම මෙසේ හෙළි කරති.
" මම ලංකාවේ මහණ නොවෙන්නයි හිතාගෙන හිටියේ. ඉතින් මම කල්පනා කළා මහණ වෙන්නට බුරුමෙට යන්න ඕනේ කියලා. අපේ ලොකු අයියා මට පොරොන්දු වෙලත් හිටියා මට බුරුමෙට යන්න ටිකට් එකක් අරන් දෙන්න. ඔහොම ඉන්න කාලයේ පැළෑනේ මහානායක හාමුදුරුවෝ පසළොස්වක පොහොයට රේඩියෝ එකේ බණ කියනවා. මං ඒ බණ එක දවසක් ඇහුවා. මං උඩ ගිහිල්ලා හිටියා. මට පුදුම හිතුණා ඒ බණට. මේ හාමුදුරුවෝ ලඟ තමා මහණ වෙන්න ඕනෙ කියලා අධිෂ්ඨාන කර ගත්තා. ඔහොම තියෙන කාලයේ වෙසක් කලාප එනවා. ඕව මම කියවනවා. එහෙම වෙසක් කලාපයක මහානායක හාමුදුරුවන්ගේ පින්තූරයක් තිබුණා. මම හිතා ගත්තා මේ උත්තමය ලඟ තමයි ගිහිල්ලා මහණ වෙන්න ඕනේ කියලා. අර විදේශ ගමන අතහැරලා මේකට බැස්සා." -(වජ්‍රප්‍රභා කෘතියෙනි)
ඒ අදහස මල්ඵල ගන්නවා ගැනීම පිණිස තම වැඩිමහලු සොහොයුරා සමඟ බම්බලපිටියේ සිරි වජිරාරාමයට පැමිණි ධර්මදාසයන් පැළෑනේ මහ නාහිමියන් හමුවන්නේ මේ පැහැදීම ද සිත්හි දරාගෙන යි.
“මම මහනායක හාමුදුරැවො දකින්න ගිය වෙළාවෙ මගෙ පුදුම පැහැදීමක් ඇති වුණා. මේ වගේ උතුම් බෝධිසත්ත්ව ගති ඇති උත්තමයෙක් මං නං දැක්කෙ නෑ කියල බොහොම පැහැදීමක් ඇති වුණා.
මොක ද?
මහානායක හාමුදුරැවෝ විහාරෙට ගිහිල්ලා මල් පූජා කරල ආපසු කාමරයට යනවා. මුණ ගැහුණ මට. 8ට විතර හිටි වෙලාව, ඒ වෙලාවෙ අපෙ ලොකු අයියත් ගියා මයෙත් එක්ක. ලොකු අයිය වැදල හිටගෙන හිටියා. මම වැදල මෙ ගල්පඩිය උඩ වාඩිවෙලා හිටියා. නායක හාමුදුරැවො හාන්සි පුටුවෙ ඉදගෙන කතා කළා.
“පැයක් තිස්සේ මේ මහණකමේ තියෙන දුෂ්කරකම කිව්වා. මේව හොදන්න තියෙනවා. අරව හොදන්න තියෙනවා.සිවුරැ හොදන්න ඕන. බාල්දිය සුද්ධකරන්න ඕන කියල නොයෙක් දේවල් කිව්වා. පුස්තකාලේ පොත් පිහිදන්න ඕනි. කවුරැවත් ගැහුවොත් මේ ගැහුව කියල හිතන්න එපා. අතවැදුන කියල හිතන්න. ඔය විදිහට පැයක් තිස්සේ කියලා ‘ඒව කරන්න පුළුවන් ද කියල ඇහුවා.
“මං කිව්වා ඒ සියල්ල ම කරන්න පුළුවන් කියලා.”
මෙසේ අතිගරැ පැළෑනේ මහනා සමිදුන්ගේ අවසරය මත මාස 6ක කාලයක් පැවිදි වීමට අවශ්‍යය ධර්ම විනය සහ පාළි භාෂාව ඉගෙනීම සදහා එවකට පෞරාණික ආරාමික පරිසරය මැනවින් තිබූ වජිරාරාමයේ පණ්ඩුපලාස අවධිය ගත කිරීමට ධර්මදාස තරැණයාට අවස්ථාව හිමිවන්නේ පුරාතන කුසල බලය ද ශාසනාවතරණයට ද මං පෙත් විවර කරවමිනි.
ධර්මදාස සමග පැවිදි වීමට තවත් පෙර ගුරැ වෘත්තිය දැරෑ මහත්මයෙක් සිටි ද එතුමන් මාසයක් පමණ වජිරාරාමයේ සිට මේ කර්තව්‍යය අසීරැ බව කියා යන්නට ගිය බව පසු කලෙක මාහිපාණන් වහන්සේ ම කියා සිටිය හ.
“මම පස්ස ගැහුවෙ නෑ. මම මහණකමට හරි ආදරෙයි. හාමුදුරැවන්ට බොහොම ආදරෙයි.”
පාලි භාෂාව ඉගැන්වීම සදහා වජිරාරාමයේ නාරද මාහිමිපාණන් වහන්සේට බාර කළ ද නාරද හිමියන්ට වැඩ බහුල නිසාවෙන් වජිරාරාමයේ එවකට වැඩහුන් පඤ්ඤාසේන නම් ස්වාමීන් වහන්සේ නමක් වෙත යොමු වූ ධර්මදාස පාලි භාෂෝද්ග්‍රහණයේ තත්පර වූ හ.
මෙසේ ධර්ම විනය සහ හාස්ත්‍රෝත්ග්‍රහණය කරමින් කල් යවා 1936 වසරේ දී පැවිදි දිවියට පත් වූ ධර්මදාස තරැණයා එතැන් පටන් අම්පිටියේ රාහුළ යන පැවිදි නාමයෙන් සසුන් ගමන ආරම්භ කළේ ය. ඒ මුල් අවධිය පිළිබද ව සිහිකරන මාහිපාණන් වහන්සේ,
“හැමදාම පිණ්ඩපාතෙ යනවා හාමුදුරැවෝ. නාරද හාමුදුරැවොත් යනවා. මමත් මහණ වුණ හැටියෙ ම පිණ්ඩපාතෙ ගියා. අවු. පනස්ගාණක් පිණ්ඩපාතෙ ගියා. දැන් ඉතිං වයස නිසා මට පිණ්ඩපාතෙ යන්න ටිකක් අමාරැයි.” (සසුන් කෙත)
මෙසේ පැවිදි දිවියේ මුල් ම අවධිය සසුනට නවජාත ළදරැවෙක් සෙයින් ශක්තිමත් අඩිතාලමකට පසුබිම් සකසමින් ගෙවෙන්නේ 1936 වෙසක් මස 06 දා කැළණි උදකුක්ඛේප සීමා මාලකයේ දී පැළෑනේ වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ ලෙස ද, විනයාචාර්ය පරමපූජනීය වේරගමිපිට සිරි රේවත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්ය්‍යන් වහන්සේ ද කොට ගෙන සාසනයේ මූලික ප්‍රතිෂ්ඨාව වූ උපසම්පදා සීලයට පත් වූ මාහිමියෝ සසුන් ගමන වඩාත් ශක්තිසම්පන්න ව ඇරඹූ හ. එයට මහා පිටුබලයක් වූවෝ එදා ධර්මභාණ්ඩාගාරයක් යැයි කීර්තිධර වූ ස්වකීය උපාධ්‍යායන් වහන්සේ මෙන් ම සමීප සබ්‍රහ්මචාරීන් වහන්සේලා වූ වජිරාරාමයේ නාරද, කඹුරැගමුවේ මහානාග, වැලිගම ඤාණරතන, මඩිහේ පඤ්ඤාසීහ, වජිරාරාමයේ පියදස්සී ආදී උතුමන් වහන්සේලා ය.
ගුරැදෙවිදුන් පිළිබදව වචනයකි මේ,
"මට සමහර දවස්වලට කියනවා, රාහුළ ගේන්න මේ දීඝ නිකාය. පෙරලන්න මේ මහා පරිනිබ්බාන සූත්‍රයට. ඒක කියවන්න කියලා. නායක හාමුදුරුවෝ ඇඳේ ඉන්නේ අසනීප ගතිය නිසා. සමහර විට එහෙම්ම නින්ද යනවා. ගොරවනවා. මං නිශ්ශබ්ද ව ඉන්නවා. මිනිත්තුවක් යන්නේ නෑ නැගිටිනවා. ආ... හොඳයි කියවන්න. මම ඉතින් හිනාවෙලා ආයේ කියවනවා. ඉතින් අමාරුතැන් ගැඹුරු තැන් මට තේරුම්කරලා දෙනවා. හරී.. ධෛර්යයක් දුන්නා. පොඩියිනේ එතකොට. හැමදාම මට කියල දීල තියෙනව, විශුද්ධි මාර්ගය බොහොම දුරට කියල දුන්නා. එතකොට තවත් ඔය සඟි පොත්, අභිධර්මය සම්පූර්ණයෙන් කියවල තියෙනවා." (සසුන් කෙත)
ස්වකීය ගුරැ පියාණන් වෙත මහත් ගුරැ ප්‍රේමයක් තිබූ රාහුළ මාහිමියන් පැළෑනේ මහනා හිමියන්ගේ රෝගාතුර කාලයේ දී නිත්‍ය උපස්ථායක ලෙසින් වසර 12 පමණ කාලයක් උවටැන් කරන්නට තරම සත්පුරැෂ වූ හ.
උපස්ථාන කළ සැටි මාහිමි වචනයෙන් මෙසේ යි,
"මේ... හැමදාම නියපොතු කපන්නෙත් මම, කකුලෙ නියපොතු කපන්නෙත් මම. සමහර දවස්වලට අහනවා. "රාහුළට කැත නැද්ද ඕව අතගාන්න කියලා" / "අප්පෝ මම හරි ම ශ්‍රද්ධාවෙන් මේක කරන්නෙ" කියල මම කියනවා. හැමදාම කකුල් දෙක සෝදනවා. ඉදිමිලා තියෙනවා. හීරමුල්ලියෙන් බෙහෙත් කරනවා. තෙල් ගාල මසාජ් කරනවා. ඔය විදිහට ඔක්කොම කළා. තෙල් ගාන්න ඕන ඔළුවෙ. හිස රැවුල් බාන්න ඕන. සිවුරැ හොදල දෙනවා. බොහොම උපස්ථාන කළා.” (සසුන් කෙත)
ඒ කළ ත්‍රිහේතුක කුසලයන් මේ ජීවිතයෙ දී ම විපාක දෙන්නාක් මෙන් රාහුළ ලොකු හාමුදුරැවන්ගේ වයෝවෘද්ධ කාලයේ දී උපස්ථායක දීපාලෝක ස්වාමින් වහන්සේ ලග ම සිට සියළු උපස්ථාන පියාණන් කෙනෙකුට මෙන් සිදු කළ අකාරය සිහිපත් කළ හැකි ය.
මහනාහිමියෝ රෝගාතුර වූ අවස්ථාවේ " රාහුළට එන්න කියන්න. රාහුළට එන්න කියන්න." යැයි හත් අට වරක් තම පුත් රාහුළයන් පැමිණෙන තුරු බලාසිටියේ එම සමීප බව නිසා ම ය. දින 14ක් රෝහල් ගත ව සිටි පැළැණේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ 1956 සැප්තැම්බර් 21 වන දින අපවත් වී වදාළ හ. ඒ පිළිබද ව සිහිපත් කරන සිසුපුත් රාහුළ මාහිමියන්,
"ඒක වචන වලින් කියල නිමකරන්න බැහැ.
එ උත්තමයා නැති වෙනකොට ම නිකං කළුවර ගතියක් වගේ අපිට දැනුණා"
පැළෑණේ මහ නාහිමියන්ගෙන් පසු වජිරාරාමාධිපති ධුරයට වජිරාරාමයේ නාරද මහාස්ථවිරයන් වහන්සේ ද බහුතර කැමැත්ත පරිදි නිකායේ මහපදවියට මඩිහේ පඤ්ඤාසීහ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ද පත් වූ හ.
අම්පිටියේ රාහුළ ලොකු හාමුදුරැවන්, "රාහුළ,අඩුම තරමේ සිල්වත් ගුණවත් ගෝලයෝ තිස් නමක් හරි හදන්න ඕනේ. දැන් ඒකට මම ප්‍රමාද වැඩියි"
යන ගුරැදෙවි අවවාදය සිත් හී දරා ගන්නා ලද්දෙන් “බුද්ධ ශාසනය දියුණු කරන්න අපි පිරිසක් හදන්න ඕන” යන උදාර අදහස මුදුන් පමුණුවා ගන්නට වැඩ පිළිවෙලක් සැකසීමට මුල් වූ හ.
එහි දී ස්වකීය සමීපත ම කළ්‍යාණ මිත්‍රයාණන් වූ අතිපූජනීය මඩිහේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මූලිකස්ථානයේ තබා ගත්තේ මාහිමි චරිතයේ විශිෂ්ටාදර්ශය ද හොදින් ම දත් නිසා ය. ඒ අනුව 1958 අප්‍රේල් 21 වන දා ශාසන සේවක සමිතියේ පූර්ණ දායකත්වය ඇති ව මහරගම වැව පාරේ සිරි වජිරඤාණ භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානය ආරම්භ කරන්නේ ලක්දිව ශාසන වංශයට පුනර්ජීවයක් ඇති කරවමිනි.
"ඔය නමලා ශික්ෂාගරුත්වය ඇති ව මේ ප්‍රතිපත්ති ශාසනය ම ඔසොවා තබන්නට උත්සහ කරන්න ඕනෑ. හැම පැත්තෙන් ම අඳුරු බවක්, පිරිහෙන බවක් පේනවා. බුද්ධ වචනය හොඳට ඉගෙනගෙන මහජනතාවට නියම මාර්ගය පෙන්වන්න ඉන්නේ ඔය නමලා. ඔය නමලටත් පිහිටක් සලසාගෙන අසරණ ලෝකයටත් පිහිටක් සලසන්න ඕනෑ. ශාසනයට වැඩ කරන තව හොඳ පිරිසක් ඔය නමලත් හදන්න ඕනෑ. පමා වෙන්න හොඳ නැහැ."
එයින් ද නොනැවතී ලක්දිව මහනුවර ප්‍රිම්රෝස් උයන, පේරාදෙණිය විශ්වවිද්‍යාල විහාරය විහාරස්ථානයෝ ද බෙහෝ කාලයක් පිරිසෙන් ඈත් ව හුදකලාව වැඩ සිටි සමහර අරණ්‍ය සේනාසනයන් වූ බෝවලවත්ත වජිරාරාම අරණ්‍යය, දිගන අඹකොටේ අරණ්‍යය, මිහින්තලේ කටුපොතකන්ද වජිරාරාම අරණ්‍යය යන සංඝරත්නයට ගුණ පිරීම උදෙසා ම කැප-සරුප් ලෙස අරණ්‍ය සේනාසනයන් කොට ගොඩ නැගූ හ. එසේ ම දහස් ගණන් පිනැති කුල දරුවන්ට පැවිදි-උපසපන් වී සිල්වත් ව ගුණවත් ව සම්බුද්ධ සාසනයේ පර්‍ය්‍යාප්ති සාසනය - ප්‍රතිපත්ති සාසනය - ප්‍රතිවේධ සාසනය බබළවන්නට අවස්ථාව, උරුමය ලබා දුන් ලොකු හාමුදුරැවන් වහන්සේ අනාගත ශාසනයට මහත් පිහිටක් වන්නට ඇවැසි සිසුපුතුන් වෙනුවෙන් දිවිය ම කැප කළ හ.
වත්මන් වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ 1995 වසරේ දී අම්පිටියේ ලොකු හාමුදුරැවන් වෙත උපන් දිනයට ආසිරි එක්කරමින් එවන ලද පැදිපෙළක පැදි දෙකක් මෙසේ යි,
ගුරු කමින් මා දැන් අහෝ ඔබ ගත් නො-තැත් හඳුනම්
දිගු කලක් ඒ සා සිසුන් කැල ගේ රැකුම් සලකා
කිකිළියක් සේ පේ විණැයි පෙරැ වූ උවම් සසඳත් -
හද රිදුම් දේ බෝ ලෙසින් ඔබ ගත් නො-දුක් වෙනුයෙන්
පිළිවෙතින් රිස්සූ දෙයක් මිස අන් මඟක් නො බලා
සිකපදේ පාමොක්හි වූ පණ සේ උසින් සලකා
ඇදුරිඳුන් ආ මං පෙතේ වඩනා සැටිත් බලලා
ගුරු පියන්* තොස් වී බලන් ඇති දෙව්ලොවේ ඉඳලා
(*පැළැණේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ)
බුදුරජාණන් වහන්සේ පණවා වදාළා වූ ප්‍රාතිමෝක්ෂ සීලය ඉතා ම මැනවින් සුරක්ෂිත කරමින් කුඩා සිකපදයක පවා අල්පමාත්‍ර වූ වරදෙහි බිය දකිමින් රක්ෂා කළ අප මාහිමිපාණන් වහන්සේ සම්බුද්ධ සාසනයක ම පිරිය හැකි සාරාණීය වත - ගතපච්චාගත වත - පටිසන්ථාර වත - ජාගරියානුයෝගය වැනි ප්‍රතිපදාවන් පූරණය කරමින්, දාන පාරමිතාව ඉහළ ම අන්දමින් පූරණය කරමින් මුදිතා ගුණයේ පිහිටා සසුන තුළ තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ගේ දියුණු ම අපේක්ෂා කරමින් අප්‍රමාණ ව කැපවූ හ. ඒ ගුණ ජීවිතය පිළිබඳ කියන්නේ නම් අසීමිත කරුණු කාරණා තිබේ.
පැළෑණේ මහානායක මාහිමිපාණන් වහන්සේ වෙතින් ලද උතුම් ආදර්ශය අනුව යමින් මඩිහේ මහනාහිමි සහ වැලිගම ඤාණරතන මහනාහිමි කළණ මිතුරැ බැදීම ශක්තිමත් කරගනිමින් ලක්දිව ශාසන වංශයටත් වජිරාරාම සම්ප්‍රදායටත් නව පුනර්ජීවනයක් ලබා දීම සදහා තම මුළු දිවිය ම කැප මහ යතින්ද්‍රයාණන් වහන්සේට මේ සටහන උපහාර වේවා!
සීලවෘද්ධ වූ ගුණවෘද්ධ වූ තපොවෘද්ධ වූ වයෝවෘද්ධ වූ සංඝනේතෘවර වූ පරමපූජනීය අම්පිටියේ රාහුළ අප ලොකු හාමුදුරැවන් වහන්සේ ශාසනයේ ගුණ පුරා පැතූ ලෙසින් සසර ගමන සුවපත් ව නිවනින් නිවෙන්නට අප රැස් කළ කුසල් ද අනුමෝදන් කරමු. නිවනින් නිවෙත්වා! අප මහසග රජිදාණෝ!
ඉතාම පිරිසිදු සිල්වත් දිවි පෙවතක් ගත කල අප ලොකු හාමුදුරුවන් වහන්සේ පැවසූ ශ්‍රේෂ්ඨ වදන් කිහිපයක් අවසන මෙසේ දක්වමි.
" බ්ලේඩ් එක තියෙන්නේ රැවුල කපන්න,ඒකෙන් පැන්සල් උල්කරන්න ගියොත් රැවුල කපන්න බැරි වෙනව" එසේම ලෝකය දෙසට නැඹුරු වෙන්න වෙන්න භික්ෂුව තම කාර්‍යයේ අඩපණ වන බව පහදා දුන්හ.
මම කිසිම දවසක සුක්කවිසට්ඨි සංඝාදිසෙස ආපත්තියකට පත්වෙලා නෑ.(විනය කර්මයක් කර ගැනීමටපැමිණි භික්ෂූන් වහන්සේ නමකට කල ප්‍රකාශය.)
"හැමදාම හාමුදුරුවරු පිණ්ඩපාතේ යනවා.නාරද හාමුදුරුවොත් යනවා.මමත් මහණවුණු හැටියෙම දිගටම පිණ්ඩපාතේ ගියා"
ඒක වචන වලින් කියල නිමකරන්න බැහැ එ උත්තමයා නැති වෙනකොට නිකං කළුවර ගතියක් වගේ අපිට දැනුණා"(තම ගුරු දෙවි වූ පැළෑනේ වජිරඤාණ නා සමිදුගේ අපවත් වී ම ගැනය )
"බුදු හාමුදුරුවෝ දේශණා කරල තියෙනවා.'සීල මෙව සුතා සෙය්‍යෝ' උගත් කමට වඩා උතුම් ශීලය,සිල්වත් කම.ඔය නිසා මම පිරිස හොදට විනයානුකූල හැදුව"
"මම ආශ්‍රය කරන,හදන භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින්න හැම කෙනෙක් ම කැමතියි.බලාපොරොත්තු වෙන්නෙත් ඒ විදිහට හදන්න"
"දිවි තියෙනකං මේ පොඩිනමල පිණ්ඩපාතේ යන්ට උත්සහවත් වෙන්න ඕනේ.ඒක බොහෝම හොඳ දෙයක්.බලන්නට මිනිස්සු මොන තරම් ගෞරවයෙන් ද දානෙ බෙදනව ද කියල.වැලිවිට සරණංකර හාමුදුරුවන්ව අපි අනුගමනය කරන්න ඕනෑනේ.මම නං කකුල් දෙක පණ තියෙනකම් පිණ්ඩපාතේ වඩිනවා.
"පින් ඇති ළමයි සසුන්ගත කරන්න ඕනෑ.සමහරු දොස් කියනව පොඩි දරුවන් මහණ කරනවය කියලා.බුදු හාමුදුරුවෝ රාහුල කුමාරයාව මහණ කලේ අවුරුදු හතේ දි. පින් තියෙනව නම් පොඩිකාලේ කියල විශේෂත්වයක් නෑ"
"බුද්ධාගම කියවන්න කියවන්න බොහෝම රසයි,බොහොම රසයි.ඒ වගේම හිතන්න හිතන්න හිතට බොහෝම සැනසිල්ලක් ලැබෙනවා. පිළිපදින්න පිළිපදින්න බොහෝම සැපයි. පින්වතුනි, එවැනි ශ්‍රේෂ්ඨ ධර්මයක් බුද්ධ ධර්මය."
"අපේ ආයුෂ්මතුන්,මා ගැන මම කියන්න කැමති නෑ."
(සසුන් කෙත ගුවන් විදුලි වැඩසටහන්‍ේ දී)
"මේ බිමේ වැලි කැටයක් ගානෙ මහ රහතන් වහන්සේලගේ පයට පෑගිල තියෙන්නෙ.මේක මහ පුදුම පින් බිමක්.මම වැඩ ඉන්නේ මේ ගල්ලෙන් අතරෙ.මම අපවත් වෙන්නෙත් මහෙ.නිවනින් මෙහා ආයෙ උපදින්නෙත් මෙතන"
(කටුපොතකන්ද වජිරාරාම ආරණ්‍යයෙ දී ය)
මාහිමියන් පිළිබද ව අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක මාහිමිපාණන් වහන්සේ මේ විදිහට කියනවා.
-------------------"බුහුසු බව ද, කථික බව ද, ගත් රසයු බව ද යන මේ කිසිවෙකිනුත් නොමඟට නො වැටී, එළඹැ සිටි සිහියෙන් තමන් ගත් මඟින් මැ නිහඬ වැ යන ටික දෙනකුන් පැවිදි තැන් අතුරෙහි උස් තැනෙකැ සිටි කෙනෙක් වෙති. ගිහි පැවිදි වැඩි දෙනා පෙරළාගෙන භමන ධර්මප්‍රතිරූපක අධර්ම චණ්ඩමාරුතයට ඔබ මුහුණ පා කෙළින් සිටිති. තමන් ගත් මඟින් නොඉවත් වැ, නොවක් වැ, හැබෑ සැටියෙන් මැ යශස් නො පතා, ලාභ නො පතා, ශ්‍රාමණ්‍යය මැ ඉලක්ක කොට ගෙනැ මහණදම් පුරති. සිල් රකිති. විවසුන් වඩති. මේ කවුරු ද? අම්පිටියේ රාහුල මහ තෙරණුවෝ ය." ---------------------
සටහන - ඤාණරැචි හිමි.
Bhikkhu Nyāṇaruchi