31/07/2026
#වස්කාලය_හෙවත් පුණ්‍ය කාලය
හේමන්ත - ගිම්හාන - වස්සානයයි අවුරුද්දේ දොළොස් මාසය ඍතු තුනකට බෙදෙයි. ඉල් මස අව පෑල විය පුන් පොහෝදාට පසුදා පටන් මැදින් මස පුන් පොහෝදා දක්වා සාර වස් කාලය හේමන්ත ඍතුව ය. මැදින් මස අව පෑළවිය පටන් ඇසළ මස පුන් පොහොය දක්වා වස් කාලය ග්‍රීෂ්ම ඍතුවය. ඇසළ මස පෑලවිය පටන් මස පුණු පොහොය දක්වා, සාරමස් කාලය වස්සාන ඍතුවය.
භාරතයෙහි (ඉන්දියාවේ) මේ සෘතු පෙරළිය අද ද පෙර සේ සිදුවෙයි. හේමන්ත ඍතුව ආරම්භයේදී සෞම්‍ය වුවත් මධ්‍යයේදී නොකිය හැකි තරම් අධික ශීතලක් ඇතිවෙයි. ග්‍රීෂ්ම සෘතුවේ උෂ්ණය ද වචනයෙන් කිය නිමකළ නොහැකිය. වස්සාන ඍතුව අතර නො තබා ම වසින කාලය. වස්සාන සෘතුවේ හැර අන් කාලයන්හි වැහි වැටීම ස්වභාවයක් නොවන බැවින් අන් කාලයන්හි වහින වැස්සට අකාල මේඝ යයි කියති. නිල් පාට තණ ඇති තණකොළ ගස්කොළන් දැකිය හැක්කේ වස්සාන කාලයේදී පමණය.
පලමු වස් විසීම
බුදුරජාණන් වහන්සේ ඇසළ මස පුණු පොහෝදා බරණැස ඉසිපතනයේදී පස්වග මහණුන් ප්‍රධාන පිරිසට ධර්මචක්ක ප්‍රවර්ථන සූත්‍රයෙන් ධර්මය දේශනා කොට පළමුව වැසිසාර මස එහි විසු සේක. එතැන් සිට බොහෝ කාලයක් යනතුරු වස් විසීමේ නීතියක් නොතිබුනේ නමුත්, ආවේනික ධර්මයක් ලෙස බුදුවරයන් ගේ හා රහතුන් ගේ ද ස්වභාවය පුරුද්දක් ලෙස වස් කාලයන්හි චාරිකාවේ නොගොස් එක තැනම විසූහ.
කල්යත් ම ප්‍රථග්ජන භික්ෂු පිරිසේ වැඩිවෙත් ම රහතන් වහන්සේලාගේ ස්වභාවික ගති සිරිත් වලට වඩා වෙනස් වූ ගති සිරිත් පැවතුම් ද ඇති විය. වස් කාලයෙහි එක් තැනක විසිය යුතු යැයි නීතියක් නොතිබුණු හෙයින් ඇතැම් භික්ෂුහු එහි මෙහි යෑමට පටන් ගත්හ. එහෙයින් ම වස් කාලයෙහි එක් තැනක විසිය යුතු යයි සිකපදයක් පනවන්නට සිදු විය.
වස් වැසීමේ ආරම්භය
වස් වැසීමේ සික පදය පැනවීමට හේතු වූයේ මහජනයාගේ උද්ඝෝෂණයෙනි උද්ඝෝෂණය තිබුණේ එකල සමාජයේ පැවැති හැඟීම් දෙකක් මුල් කරගෙනය ම බුදුරජාණන් වහන්සේට වඩා වයසින් ටිකක් මහලු නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ධර්මය එවකට රටේ ප්‍රචලිතව තිබුණේය. ඒ ධර්මය ඇදැහු භික්ෂූහු වස් කාලයෙහි එකම තැනක වෙසෙති චාරිකාවෙ නොයෙදෙති. ඒ ආගමික සීමාන්තික අවිහිංසා වාදයකි. ඒහෙයෙන් තණකොළ හා ගස් කැඩීම පාපය කියයි උගන්වන ලදී. මේ විශ්වාසය තදින් බල පැවැත්වූ නිසා වැසි කාලයෙහි භික්ෂූන් ගමන් යන එන විට තණකොළ පෑගුණු දුටු මහජනයෝ වැසි කාලයෙහි අන් හැම තාපසවරුම එක තැනක වාසය කෙරෙති. පක්ෂීහු පවා කුඩු තනාගෙන එකතැන් වී සිටිති. එහෙත් බෞද්ධ භික්ෂු හෝ වැසි කාලයෙහි ද චාරිකාවේ යෙදෙති. තණකොළ ආදිය පාගා පවු ද කෙරෙති. මේ කරන්නේ කොතරම් නුසුදුසු ක්‍රියාවක් දැයි දොස් නඟන්නට වූහ. මේ දෝෂාරෝපණය බුදුන් වහන්සේට ද අසන්නට ලැබිණ. බුද්ධ ධර්මයෙහි හැටියට ඒ කේන්ද්‍රිය පානීන් ලෙස ලෝකයා විසින් සලකනු ලබන ගස්කොළන් ආදියටත් පණක් ඇතැයි පිළිගැනෙතත් සත්වයන්ට මෙන් හිතක් ඇති බවත් නොපිළිගනියි. ඒ හෙයින් තණකොළ ආදිය ගස් පැළෑටි වර්ග පැගේම බුද්ධ ධර්මයේ හැටියට පාපයක් නොවේ. බුදුරජාණන් වහන්සේ ඒ මතය නොපිළිගනිත් වස් කාලයෙහි එක් තැනකට දී වාසය කිරීම යහපත් නිසා වස්සාන සෘතුවෙහි එක් තැනක වාසය කරන්නට ශික්ෂාපදය පනවා වදාළ සේක.
පෙරවස් හා පසුවස්
වස් විසීමේ නියෝගයෙන් වස් විසිය යුත්තේ කවදාදැයි ප්‍රශ්නයක් ඇති විය. බුදුරජාණන් වහන්සේ පෙර වස් යැ, පසු වස් යැ, වස් විසීම් දෙකක් යැයිද, එය අසවල් දිනයන්හි යයිද වදාළාහ. ඇසළ අව පෑල විය දිනයෙහි (ජුලි මස) ඇසළ පුණු පොහෝ දාට පහුවදා පෙර වස් සමාදන් විය යුතුය. ඇසළ පොහොයෙන් මසක් ගත වූ එනම්, නිකිණි මස පුණු පොහෝ දාට පසුවදා පසු වස් සමාදන් විය යුතුය. පෙරවස් පවාරණය හෙවත් අවසානය වප් මස (ඔක්තෝම්බර්) පුර පසළොස්වක දාය. පසු වස් පවාරණය ඉල්මස (නොවැම්බර්) පුර පසළොස්වක දාය. වැසිකාලයෙහි වස් එළඹෙන්නට නියම කර වදාළ හෙයින් සුදුසු තැනක් ඇතොත් පෙරවස් හෝ පසු වස් සමාදන් විය යුතුය. එහෙත් පසුවත් සමාදන් වන්නේ යම්කිසි හදිසි බාධාවකින් පෙර වස් වැලකුණොත්ය. පසු වස් සමාදන් වූවන්ගේ පවාරණය වස්සාන සෘතුවේ අවසානයෙහි පුණු පොහෝදා හෙයින් කඨිනයක් දීම හෝ ගැනීම නොකළ හැකිය.
වැසි සලුව
වැසි කාලයෙහි චාරිකාවෙහි නොයොදුන නමුත් පිණ්ඩපාත ගමනාදියෙහි යෙදුණු භික්ෂූන් අතර නොතබා වැටෙන වැස්සෙන් තෙමේ පීඩා විඳින්නට වූහ. මේ දුටු විශාකා මහ උපාසකාව බුදුරජාණන් වහන්සේ වෙත ගොස්, ස්වාමීනී, මම ජීවිතාන්තය එතෙක් සංඝයාට වැසි සළු පුදන්නට කැමැත්තෙමී කීය. ඊට අවසරදී මහණෙනි වැසි සළු අනු දනිමි, වැසි සළු නියම කළ සේක. මේ වැසි සළු ද සිවුරෙකි. සඟල දෙපට ආදියට වඩා දිගින් පළලින් වැඩිය. ඇන්ද හැක්කේ වැසි සාර මාසය පමණ ය. මේ සිවුර කැපකරුවන්ට තමන්ම කියා හෝ පිළියෙල කරගත යුතුය. සොයා ගත හැකිය. එහෙත් සෑම කාලයෙහිම එය සෙවිය නොහැකිය. ග්‍රීෂ්ම ඍතුව ක් අවසාන වන්නට මසක් තබා සෙවිය හැකිය. ඊට ප්‍රථම සෙවීම හෝ පෙරවීම නොකළ හැකිය.
වස් ආරාධනාව
දායකයන්ගේ ආරාධනාවක් ලැබුණත් නොලැබුණත් සුදුසු ස්ථානයක් නොලැබීම් ආදි බාධාවක් නැතොත් භික්ෂූන් විසින් වස් විසිය යුතුය. වස් ආරාධනාව කරන්නේ දායකවරුන්ගේ ප්‍රයෝජනය සඳහාය. මෙකල මෙන් නොව පෙර භික්ෂූන් වහන්සේ නිතර එක තැන වාසය නොකළහ. අවුරුද්දේ වැඩි කාලයක්ම චාරිකාවේ යෙදුණාහ. භික්‍ෂූන් නිතර එක තැන වාසය නොකිරීම නිසා දායක පින්වතුන්ට අවශ්‍ය වෙලාවට බණ ඇසීම හෝ ධර්ම සාකච්ඡාවන් හෝ සුලභ නොවීය.
යම් පළාතක භික්ෂූන් වස් වසාගන්නට ලැබුණොත් සිවු පසයෙන් උපස්ථානයෙන් පින් ලබා ගැනීමටත් වඩා ශීල භාවනාදී ගුණධර්ම පිරීමෙන් දායක පක්‍ෂයට යහපත සැලසෙන්නේය. දන් දීම නම් භික්ෂූන් චාරිකාවෙහි යෙදෙන කාලයන්හි ද කළ හැකිවේ. ඒ නිසා වස් වසා ගන්නා දායකවරුන්ගේ පරමාර්ථය විය යුත්තේ තමන් උපස්ථාන කරන භික්ෂූන්ගේ ආශ්‍රයෙන් ගුණධර්ම දියුණු කරගැනීමය. ඇතැම් අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේ ද සිව්පසයෙන් උපස්ථාන කොට පින් ලබා ගන්නට යයි වස් ආරාධනා ප්‍රතික්ෂේප කොට ගුණධර්ම දියුණු කර ගැනීමේ කැමැත්තෙන් කළ වස් ආරාධනාව ඉතා කැමැත්තෙන් භාරගත් බව පෙනෙන්නට තිබේ. වස් කාලය භික්ෂූන් ද එක තැන නැවතී විශේෂ කර්මස්ථාන වැඩීම කරන නිසා දායකවරුන්ද සාමාන්‍ය කාල වලට වඩා සීල භාවනාදී ගුණධර්ම පිරීමෙන් නිරතව කල් ගෙවන නිසා පුණ්‍ය කාලය හැටියටද සම්මත වී තිබේ.
ලංකාවේ ප්‍රථම වස්වාසය
ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නෙහි පොසොන් පුර පසළොස්වක දා මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාදීපයට වැඩියහ. එම වස ඇසළ පුණු පොහෝදා අරිට්ඨ කොමරු ප්‍රධාන පනස් හය දෙනෙක් තුම්බුරු සීමා මාලකයෙහි මහණ උපසම්පදාව ලැබූහ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ය දඹදිවින් වැඩම කළ භික්ෂූහු ද අලුත උපසම්පදාව ලැබූ භික්ෂුහු ද දේවානම්පියතිස්ස රජු විසින් කන්ඨක චෛත්‍යය ස්ථානයේහි කරවූ ලෙන් සැට අටක වස් විසූ සේක. මෙය ලංකාවේ ප්‍රථම වස් වාසයයි.
" අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛූනං තීහි ඨානෙහි පවාරේතු, දිට්ඨේන වා සුතෙන වා පරිසංකාය වා, සා වො භවිස්සති අඤ්ඤමඤ්ඤානුලොමතා ආපත්තිවුට්ඨානතා විනයපුරෙක්ඛාරතා "
මහණෙනි වස් විසු භික්ෂූන්ට දුටු දෙයක් හෝ ඇසු දෙයක් හෝ සැක කළ හැකි දෙයක් හෝ යන මේ කරුණු තුනෙන් චෝදනා කරනු පිණිස සංඝයා ඉදිරියෙහි පවරන්නට අවසර දෙමි. ඒ පැවරීම නොබලාට ඔවුන් අතර අනුකූල පැවැත්මට ද ඇවතින් නැගී සිටීමටද පහසුවක් වේ.
අතිපූජනීය මඬිහේ පඤ්ඤාසීහ නාහිමිපාණන් වහන්සේ
Kodigala Kanda Buddhist Centre Thellambura