Sri Gauthama Sambuddha- ගෞතම සම්බුද්ධ

Sri Gauthama Sambuddha- ගෞතම සම්බුද්ධ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං.�.. සම්මා සම්බුද්ධ ශාසනය ලෝකයේ බොහෝ කල් පවතීවා..����

මෙලොව වසන්නා වූ සියලුම සත්වයන් අත් පා දඬු මුගුරු සැත් ආදීන්ගෙන් කෙරෙන ශරීර වේදනාවන්ට තැති ගැනෙති. සියලු දෙන මරුට බිය වෙත...
07/05/2020

මෙලොව වසන්නා වූ සියලුම සත්වයන් අත් පා දඬු මුගුරු සැත් ආදීන්ගෙන් කෙරෙන ශරීර වේදනාවන්ට තැති ගැනෙති. සියලු දෙන මරුට බිය වෙති. තමා උපමා කොට අනුන් නොනසන්නේ ය. නො නසවන්නේ ය. හිංසා පීඩා කිරීම් ආදිය තමා විසින් හෝ අනුන් ලවා හෝ නොකළ යුතු ය. “සබේබසං ජීවිතං පියං” සියල්ලන්ටම ජීවිතය පි‍්‍රය වන්නේ ය. දෙවි මිනිස් තිරිසන් ආදී සියලු සත්ත්වයෝම තම ජීවිතය උතුම් කොට සලකති.
මේ ලෝකයෙහි රහතුන් හැර සෙසු සියලු සත්ත්වයෝම ජීවිතය පිළිබඳ පිනවීමෙන් යුතුව කල් යවති.
“සුඛ කැමැති භූතානි” සැප කැමැති සත්ත්වයන් ප්‍රාණඝාත කර්මයට බිය වෙති. මෙලොව වසන පුහුදුන් සත්ත්වයන් නිරතුරු සැප ඇමැත්තෝ වන්නාහ. එවන් සතුන්ගේ දිවි තොර කිරීම අපමණ දුක් පීඩාවන්ට පමුණුවන ක්‍රියාවකි.

“පරපණ නැසුවොත් කවර උපායෙ
අපමණ දුක් දෙයි සතර අපායෙ “

මෙම ප්‍රකට වදන්පෙළ මහනෙත්පාමුල කළ්‍යාණමිත්‍ර ඔබ නිතර අසා ඇත.එය සතර අපායෙහි අප්‍රමාණ දුක්විඳීමට සිදුවන කර්මයකි. ප්‍රාණඝාතය. සත්ත්වයකුගේ ජීවිතය කිසියම් උපක්‍රමයකින් පවතින්නට යුතු තරම් කාල පරිච්ඡේදයක් පවතින්නට ඉඩ නොතබා විනාශයට පත් කිරීම ප්‍රාණඝාත නම් වේ. මෙම ප්‍රාණඝාත කර්මය සිදුවීම කොටස් කිහිපයක් යටතේ බෙදී යයි. ඒ අතර ප්‍රධාන වශයෙන් ප්‍රාණඝාත කර්මය සිදුවීමට මූලිකාංග පහක් සම්පූර්ණ විය යුතු ය.

“පාණෝ භවේ පාණ සඤ්ඤි
වධක චිත්ත මුපක්කමො
තේන ජීවිතනාසොච
අංගා පඤ්ච වධස්සිමෙ”

01. පණ ඇති සතෙකු වීමය.
02. පණ ඇති සතෙකු බව දැන ගැනීමය.
03. මරණය සිදු කිරීමට කැමැති සිත.
04. මරන්නට උපක්‍රම යෙදීම.
05. එම උපක්‍රමය හේතුවෙන් මරණය සිදුවීමය.
යන මෙම අංග පස සම්පූර්ණ විය යුතු ය. මෙම අංග පස සම්පූර්ණ නොවී ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. ඉහත අංග පස සම්පූර්ණ නොවී ප්‍රාණඝාතය සිදු නොවන අතර යාම් ඊම් ආදී ගමන් කිරීමෙන් ද ගොවිතැන් ආදී කටයුතු වලදී ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ.
“චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” යන බුදු වදනට අනුව සතුන් මැරේවා යන චේතනාවක් නොවන නිසා එහිදී කර්මය සිදු නොවේ. සතුන් මැරෙනවා යැයි සිතා යාම් ඊම් ගොවිතැන් කටයුතු කිරීම් ගිනිතැබීම් ආදී කටයුතුවලදි ඔහුට ප්‍රාණඝාත කර්මය වේ.
ප්‍රාණඝාතය සම්පූර්ණ වීමේ අංග පසට අමතරව ප්‍රාණඝාතයෙහි ප්‍රයෝග 06 කි. මෙහිදී ප්‍රයෝග යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රාණඝාතය සිදු කිරීමට කරනු ලබන්නා වූ උත්සාහයයි.
සත්වයාගේ දිවි තොර කිරීමේ ආකාරය අනුව මෙම වර්ග කිරීම සිදුවේ.
“සාහත්ථිකො ආනත්තිකො – නිස්සග්ගියොච තාවරො
විජ්ජාමයො ඉද්ධිමයො – පසොගා ඡබ්බිධා මතා”
01. ස්වාහස්තික ප්‍රයෝගය – (මරණු පිණිස ගැසීම්, කැපීම්, ඇනීම් ආදී සිය අතින්ම කරන්නා වූ උත්සාහය ස්වහස්තික ප්‍රයෝග නම් වේ.)
02. ආඥා ප්‍රයෝගය – (සිය අතින් නොමරා අනෙකකු ලවා මැරවීම ආඥා ප්‍රයෝග නම්)
03. නිස්සර්ගික ප්‍රයෝගය – (ගල් ගැසීම්, වෙඩි තැබීම්, ආයුධ දමා ගැසීම් ආදී තමා අතින් මුදා හැර යම් සත්ත්වයකුගේ දිවිතොර කිරීමට ගන්නා උත්සාහය නිස්සරගික ප්‍රයෝගය නම් වේ.)
04. ස්ථාවර ප්‍රයෝගය – (ස්ථාවර ප්‍රයෝග යනු වලවල් හාරා තැබීම්,(උගුල් ඇටවීම්) උල් සිටුවා තැබීම්, තුවක්කු බැඳීම් ආදියෙන් දිවිතොර කිරීමට ගන්නා උත්සාහයයි.
05. විද්‍යාමය ප්‍රයෝගය – (අංගම් පිඹීම්, සූනියම් කිරීම් ආදී විද්‍යාවකින් කරන්නා වූ උත්සාහය විද්‍යාමය ප්‍රයෝග නම්)
06. සෘද්ධිමය ප්‍රයෝගය – (ඇතැම් සත්වයන්ට අනුන් නැසිය හැකි සෘද්ධි උත්පත්තියෙන්ම පිහිටයි. බොහෝ සෙයින් එබඳු වූ සෘද්ධි ඇත්තෝ අමනුෂ්‍යයෝ ය. එබඳු ආකාරයෙන් කරන්නා වූ උත්සාහය සෘද්ධිමය ප්‍රයෝග නම් වේ.)
මෙම ප්‍රයෝග හයෙන් එකක දී සත්ත්වයකුගේ දිවිතොර කිරීම සිදුවන අතර මෙහිදී ආඥා ප්‍රයෝගය තවත් ආකාර 06 ක් යටතේ බෙදී යයි. මෙය වෙනකෙකු ලවා කරවීමක් බැවින් ප්‍රභේද කිහිපයකට විහිදී පවතී.
“චත්ථු කාලොච මකාසො – ආයුධං ඉරියාපථං
කිරියා විසෙසොතිමෙ – ඡ ආණත්ති නියාමකො”
01. වස්තුව – මෙහි වස්තුව යනු මරනු ලබන සත්වයායි. මරන්නට අණ කරන පුද්ගලයා කිසියම් සත්වයකු මරන්නට අණ කළ කල්හි අණ කිරීම ලද තැනැත්තා නොවරදවාම එම සත්වයා මරණයට පත් කළේ ද අණ කරන්නා සහ ලබන්නා යන දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ.
02. කාලය – රාත්‍රී කාල හෝ දිවා කාලාදියි කාලය වශයෙන් ගැනේ. අණ කරන්නා රාත්‍රියේ දී මරන්නට අණදුන් කල්හි අණ ලබන්නා රාත්‍රී කාලයේදීම මැරුවහොත් දෙදෙනාටම ප්‍රාණඝාතය වේ.
03. අවකාශය – මැරීම සිදු කරන ස්ථානය අවකාශ නම් වේ. යම් තැනක සිටින සතකු මැරීමට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා එම තැනදීම මරණයට පත් කරන්නේ ද එයින් දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ.
04. ආයුධය – මැරීමට උපයෝගී කරගන්නේ යමක් ද එය ආයුධයයි. යම් ආයුධයකින් මැරීමට අණ කළ කල්හි අණ ලබන්නා එලෙසම කළ විට ප්‍රාණඝාතය දෙදෙනාටම සිදුවේ.
05. ඉරියව්ව – මරනු ලබන සත්වයා සිටින ඉරියව්ව මෙහිදී කියැවේ. අණකළ පරිදිම කළහොත් දෙදෙනාටම කර්මය වේ.
06. ක්‍රියා විශේෂණය – මරනු සඳහා කරන උපක්‍රමය ක්‍රියා විශේෂණයයි. වෙඩි තබා මරන්නට අණ කළ කල්හි අණ ලබන්නා එලෙසම කළහොත් දෙදෙනාටම ප්‍රාණඝාත සිදු වෙයි. මෙම ආඥා ප්‍රයෝගයෙහි විශේෂත්වය වන්නේ අණ කරන්නා වස්තුව, කාලය, අවකාශය, ආයුධය, ඉරියව්ව, ක්‍රියා විශේෂණය යන ප්‍රයෝග තුළ දී මේ ආකාරයෙන් මරණය සිදු කළ යුතුය වශයෙන් අණ කළ විට අණ ලබන්නා අණ කරන්නාගේ කීමට පිටින් මරණය සිදු කළහොත් මරන්නාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ. උදාහරණයක් ලෙස වෙඩිතබා මැරීමට අණ කළ විට අණ ලබන්නා වෙනත් අයුරකින් මැරුවහොත් ඔවුන් දෙදෙනාගෙන් මරන්නාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදුවේ.
මීට අමතරව ප්‍රාණඝාත කර්මය අල්ප සාවද්‍ය මහා සාවද්‍ය වශයෙන් දෙයාකාර වේ. මරණයට පත් කරන්නාගේ ගුණාගුණ වශයෙන් අල්ප සාවද්‍ය හා මහාසාවද්‍ය වේ. මව හෝ පියා හෝ රහතුන් මරන්නේ මහා සාවද්‍ය ගණයට අයත් වේ. එය ආනන්තරීය පාප කර්මයක් බවට පත් වන්නේ ඔවුන්ගේ ගුණ පක්‍ෂය ඉතා බලවත් බැවිනි. මරනු ලබන සත්වයාගේ ගුණ පක්‍ෂය හීන නම් අගුණ පක්‍ෂය බලවත් නම් එය අල්ප සාවද්‍ය වේ. මරනු ලබන සත්වයන් ගුණ පක්‍ෂයෙන් සම වූ කල්හි ශරීරයෙහි විශාලත්වය මත අල්ප සාවද්‍ය මහා සාවද්‍ය බවට පත්වේ. ශරීරයෙන් විශාල සත්වයකු මරණයට පත් කරන විට මහත් වෙහෙසක් ගත යුතු බැවිනි. ක්‍රෝධයෙන් බලවත් සේ සිත දූෂිත වීමෙන් මහාසාවද්‍ය වේ. ප්‍රාණඝාත කර්මයාගේ විපාකය ඉතා මහත් ය. කටුක වූ දුකකට ප්‍රාණඝාතය කළ තැනැත්තා පත්වේ. ඔවුන් නරකයෙහි ද ප්‍රේත යෝනියෙහි ද තිරිසන් යෝනියෙහි ද උපදවයි. එහිදී බොහෝ වූ දුක් විඳ මනුෂ්‍ය ආත්මයක් ලදහොත් නිතර නිතර රෝගාබාධයන්ට ලක් වේ. අවලක්‍ෂණ ශරීරාවයව ඇතිව උපත සිදුවේ. අපි‍්‍රය වූ පුද්ගලයෙක් වේ. සමාජයෙහි නින්දාවට ලක් වේ. සතුරන් ඇතිවේ. අකාරණයෙහි බියට පත්වේ. අල්පායුෂ ඇත්තෙක් වේ. පරොපක්‍රමයන්ගෙන් මරණයට පැමිණෙන්නේ වෙයි. ප්‍රාණඝාතයෙහි විපාකය මෙපරිදි වේ.

සතුන් මරා මස්කති මැරුමට ද උදවු දෙති සමහරු
ඇතැමෙක් සෙල්ලමට ඇතැම් අය රහසේ කැඳවති මරු
ගිනිගෙන දිළිසෙන යම පල්ලෝ ආයුධ ගෙන නිරතුරු
එපවින් ඉපදුනවුන් හට අටට නිරයෙ දුක් දෙති කුරු
සතුන් මරා ඇගමස් කා විකුණා හෝ දිවි ගෙවුවෝ
උනුන් මරන්නට රුකුළක් දුන් අය සහ රිසි වූවෝ
කග්ගසීරු නිරයේ උපදිති කඩු වැනි හොට පෑවෝ
ඇන ඇන නිරිසතා පළති විලාපයෙන් දුක කීවෝ

සිත දූෂිත කරගෙන සිදු කරනු ලබන ප්‍රාණඝාතාදී හෝ වෙනත් කුඩා අකුසලයකින් නමුදු ගෙන දෙන විපාකයන් මෙසේ අතිශයින් ඝෝර වූ කටුක වූ අමිහිරි වූ විපාකයන් බව මහනෙත්පාමුල කළ්‍යාණමිත්‍ර ඔබත් නිතර සිත තබාගත යුතුමය. ප්‍රාණඝාතාදී අකුසල් කොට මැරීගොස් උපදින දුක් වැඩිම සැප අඩුම තැන සතර අපාය ලෙස හඳුන්වන අතර එයින් ද නරකාදියේ දුක් අධික වන්නාහ. එම නිරය ද කොටස් එකසිය තිස් හයකට බෙදා පෙන්වා ඇත. ඒ එක් නිරයක්වත් අසුරුසනක් ගසන තරම් කාලයක්වත් සැපතක් නොමැත.

එබැවින් නුවණැත්තෝ තමන් උපමාකොටගෙන ප්‍රාණඝාතයෙන් ,වචනයකින් හෝ කරන යම් සත්ව හිංසනයක් වේද දිවිහිමියෙන් ඉන් මිදෙන්නට උත්සාහ කරත්වා..සියළු සත්වයින්ගේ සැප කැමති වෙත්වා !මෙත් සිත පතුරත්වා
තෙරුවන් සරණයි !!

"අද වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි!"ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක් බර ජීවිතයට සැනසුම උදාකර, ඔවුන් සසර...
07/05/2020

"අද වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි!"

ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක් බර ජීවිතයට සැනසුම උදාකර, ඔවුන් සසර සයුරෙන් එතෙර කිරීමේ මහත් කරුණාවෙන් සැදුණු අප සිදුහත් බෝ සතුන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධයන් වූ අප සැමට අසම වූ උතුම් දිනයකි. මෙදින වූ අසිරිමත් සිදුවීම් රාශියකි.

🌼 මෙයින් සාරා සැකි කප් සුවහසකට පෙර සුමේධ තාපසව සිටිය දී දීපංකර සම්බුදුරදුන් හමුවේ දී බුද්ධත්වයට පත්වීම පිළිබඳව පළමු කොට නියත විවරණ ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකය.

🌼 කපිලවස්තු පුරයෙහි පාලක ශාක්‍යය වංශික සුද්ධෝදන රජතුමාණන්ගේ අගබිසව වූ මහාමායා මෙහෙසිය කුසින් ලුම්බිණි සල් වනයේ දී බෝ සතුන් බිහි වීමේ අසිරිමත් සිදු වීම ද වූයේ වෙසක් පුන් පොහෝ දිනකය. "අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස" මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදීය.

🌼 බුද්ධත්වයට පත්වීමත් සමඟ ඇතිවූ මහත් පී‍්‍රතිය ප්‍රකාශ කරමින් "අනේක ජාති සංසාරං සංධාවිස්සං අනිබ්බිසං" යන ආදී වශයෙන් ශ්‍රේෂ්ඨ වදන් ප්‍රකාශ කරන ලද්දේ ද උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දිනයේදී ය.

🌼 බුද්ධත්වයෙන් හතළිස් පස් වසරක් මුළුල්ලේ සවි සතුනට අමාමහ නිවන් සුව සලසාලමින් වැඩ සිට අවසානයේ කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනෙහි පැවැති යමක සාල වෘක්‍ෂයන් අතර පනවන ලද ආසනයෙහි සැතපී වැඩ සිටිමින් අන්තිම බුද්ධ වචනය වූ "අප්පමාදේන සමිපාදේථ" යනුවෙන් නිවන් සුව ළඟා කර ගැනීම සඳහා අප්‍රමාදිව ක්‍රියා කරන්න’ යයි තම ශ්‍රාවකයනට අවවාද දී අසූවන වියේ දී බුදුරදුන් පිරිනිවන් පා වදාළේත් වෙසක් පුන් පොහෝ දිනයක ය.

🌼 සම්බුදුරදුන් දෙවන වර නාගදීපයට වැඩි අවස්ථාවෙහි මණිඅක්ඛිත නාරජුන් කළ ආරාධනයට අනුව පන්සියයක් භික්‍ෂූන් පිරිවරාගෙන බුද්ධත්වයෙන් අටවන වසරෙහි කැලණියට වැඩමවා දහම් දෙසා සමන් දෙවියන්ගේ ඇරයුමෙන් සමනළ කඳු මතට වැඩම කොට සිරිපා සටහන පිහිටුවන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයක ය. මෙවර ලංකාවට වැඩමවූ බුදුරදුන් තවත් ස්ථාන දොළහකට ද වැඩමවා ඒවා පූජණීයත්වයෙන් උසස් තත්ත්වයකට පත් කළහ.

🌼 සුද්ධෝදන රජතුමාගේ ඇරැයුමෙන් විසි දහසක් පමණ සඟ පිරිස පිරිවරාගෙන රජගහ නුවරින් පිටත්ව පිය රජතුමාණන් පාලනය ගෙන ගිය කිඹුල්වත් පුරය වෙත වැඩමවන ලද්දේත්, එහි දී ශාක්‍යයන්ගේ මානය තුරන් කිරීම පිණිස යමා මහ පෙළහර දක්වන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය.

🌼 සම්බුදු රදුන්ගේ අග්‍ර උපස්ථායක ධුරය දැරූ ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරණුවන් එකසිය විසි වසරක් වැඩ සිට රෝහිණී නදිය මධ්‍යයේ පිරිණිවන් පාන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයකය.

🌼 බෞද්ධ ආගමික වර්ෂයත්, සිංහල ජාතික වර්ෂයත් දෙකම එක් දිනයක් බවට පත් වීමේ වැදගත් සිදුවීම අප සිත්හි සනිටුහන් කරමින් වංශ කතාව සඳහන් කරන අන්දමට සිංහල ආර්ය වංශික ප්‍රථම පාලකයා වූ විජය රජතුමා සත්සියයක් පිරිස සමඟ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සැපත් වූයේ ද වෙසක් පුන් පොහෝ දිනයක ය.

🌼 සතුරු බලයන් පරදා බොදු බලයෙන් රට බැබළ වූ දුටුගැමුණු රජු රුවන්වැලි මහ සෑයෙහි වැඩ ඇරැඹුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

🌼 මහා විහාර භික්‍ෂූන් වහන්සේ වසරක් පුරා සපුරන උපසම්පදා මහෝත්සවය පවත්වන්නේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

🌼 අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨතම පාලකයෙකු වූ දෙවනපෑතිස් රජතුමා ඉන්දියාව පාලනය කළ අශෝක අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි දෙවන වරට ආර්ය අභිෂේකය සිදු කරන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය. ශ්‍රී ලංකාව විදේශීයන්ගෙන් නිදහස් කොට ගත් දුටුගැමුණු රජතුමා අනතුරුව අනුරාධපුරයෙහි රුවන්වැලි සෑය සෑදවීමට වැඩ ආරම්භ කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය.

අතිශයින් ශ්‍රේෂ්ඨ වූ බුදු තෙමඟුල ප්‍රධාන මෙහි දැක් වූ වෙසක් පුන් පොහෝ දිනයන්හි වැදගත් සිදුවීම් සිහියට නගා ගනිමින්, බුදු වදනේ අවසන් අවවාදය ගුරු තැන්හි ලා තබාගෙන ආමිසයෙන් ඔබ්බට ගිය ප්‍රඥාවෙන් සමීප විය යුතු නිවන් කෙම් බිම වෙතට පිවිසීමට සෑම දෙනාම සැදැහැබර ගෞරවයෙන් පිරිපුන්ව අධිෂ්ඨාන කර ගනිමු.

තෙරුවන් සරණයි..!!!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා..!!!

පන්සිල් රැකීමේ ආනිශංස
06/05/2020

පන්සිල් රැකීමේ ආනිශංස

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන නම් වූ විහාරයෙහි වැඩ වසන සේක. ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ් මෙයින්...
06/05/2020

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන නම් වූ විහාරයෙහි වැඩ වසන සේක. ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ් මෙයින් ආත්ම පහකට පෙර මව වූ එවකට පේත ආත්මයේ ඉපිද සිටි එක්තරා පේතියක් අරභයා මෙය වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ වේළුවන වෙහෙර වැඩ වසද්දීම සාරිපුත්‍ර, මොග්ගලාන, අනුරුද්ධ, හා කප්පින නම් වූ ආයුෂ්මතුන් වහන්සේලා ද රජගහ නුවරට නුදුරු එක්තරා ආරණ්‍යයක වැඩ වාසය කරන්නෝ ය. මේ කාලයෙහිම බරණැස් නුවර සියල්ලෙන් පිරි මහා සම්පත් ඇති මහා ධනවත් බ්‍රාහ්මණයෙක් මහණ බමුණන්ට, දුගී මගී යාචකයනට, බැගෑපත් ලෙස සිඟමන් ඉල්ලා එන්නන්ට පිපාසය නිවන සිහිල් දිය පිරි මහා පැන් පොකුණක් සේ, ආහාර පාන, වස්ත්‍ර සයනාසන ආදිය දීමෙහි යෙදුනේ වෙයි. එසේ දෙනු ලබන්නේ ද පැමිණි පැමිණි අයට ඒ ඒ කාලයට සුදුසු වන පරිදිය. සුදුසු දේමය. අවශ්‍ය වනුයේ පා දෝනා පැන් වන්නේ ද, පාගල්වන තෙල් වන්නේ ද, ඖෂධ වේද එයම දෙන්නේ ය. ආහාර පාන, ගිමන් නිවාලන හල්, අවශ්‍ය වේ ද ඒවා දෙයි. පෙරබත් කල්හි නම් මැනවින් සකස් කොට පිළියෙළ කළ ආහාර භික්ෂුවට පූජා කරන්නේ්ය. මෙසේ පිළිවෙළින් ඒ ඒ අයට උචිත උචිත දේ වශයෙන් සියල්ල නො අඩු කොට සකස්කොටම දුන්නේ වෙයි.

යම්කිසි කාරණයකට මොහු බැහැරට යන්නේ නම් මේ සියලු දාන කටයුතු සිය බිරිය වෙත පවරන්නේ කරගෙන ආ පිළිවෙළ හා දානවිධි නො ඉක්මවා පවත්වා ගෙනයන ලෙස අවවාද කරමින්ය. ඇය ද, මැනැවැයි පිළිගන්නීය. වරක් මෙසේ ඔහු ඉවත්ව ගිය විටක පළමුකොට පෙර බතට වඩින භික්ෂූන් වහන්සේගේ දානය ඇය නවතාලීය.

ගමන් වෙහෙස නිවා වාසය පිණිස පැමිණි මගින් හට තම ගෙය පිටුපස හැරදමා තිබූ දිරාගිය ශාලාව පෙන්වා එහි නිදා ගනිවු යැයි කීවාය. සාගිනි ඇත්තවුහට තෙපි අශුචි කාපියව් ද පිපාසා ඇත්තහුහට තෙපි මුත්‍ර බීපියවු ද, ලේ බීපියවූ ද ආදී වශයෙන් යම් පිළිකුල් සහගත දේ ඇද්ද ඒ ඒ දේම කියමින් අමිහිරි නපුරු වචනම කියන්නී ය.

මෙසේ වූ ඇය නොබෝ කලකට පසු මිය ගොස් කරන ලද අකුසල කර්ම බලයෙන් (හිස මත තිබූ බරක් බිම තැබුවා සේ) පේත යෝනියෙහි උපත ලැබුවා ය. තමා කළ, ක්‍රියාවන්ට අනුව මෙහි දුක් අනුභව කරන්නේ කවරකුගේ පිහිට ලැබේදැයි පෙර උපත් බලා ආයුෂ්මත් සාරිපුත්‍ර තෙරුන් වහන්සේ වෙත එලඹීමට සිතා වැඩ සිට ඒ විහාරය වෙතට ගියා ය. එවිට විහාරයට අධිගෘහිත දේවතාවෝ ඇයගේ ඇතුල්වීම වළකාලුහ. ඇය මෙසේ කියන්නී. මම ආර්ය වූ සැරියුත් තෙරුන් වහන්සේ ගේ පෙර ජාති මවක්මි. තෙරුන් වහන්සේ දකින්නට, මට ඉඩ හරි වූ යැයි ඉල්ලා සිටියා ය. ඒ ඇසූ දෙවියෝ ඇයට යාමට අවසර දුන්හ. මෙසේ විහාරයට වන් ඇය සක්මන් කෙළවර වැඩ සිටි සැරියුත් තෙරුන් වහන්සේට තමන් දැක්වීමට සැලැස්වීය.

පේතිය දුටු සැරියුත් තෙරුන් වහන්සේ, ඔබ නග්නය, දුර්වර්ණය, කෘශය, ඉල්පුණු නහරින් යුත් සිරුර ඇත්තීය. ඉල්පුණු ඉළ ඇටින් හා සිරුරෙන් යුතුව මෙහි සිටින ඔබ කවරෙක් වන්නී ද?

පේතිය පිළිතුර දෙන්නී

(ස්වාමීනි) මම මින් පෙර ජාතියක (අනෙක් පස්වන ජාතියෙහි) ඔබගේ වැදු මව වීම්. පව්කොට පේත ලෝකයෙහි උපන් මම සා පිපාසයෙන් පෙළෙන්නේ වෙමි. වමනයෙන් හා කිවිසීමෙන් හටගත් මළ ද, කෙළ සොටු හා සෙම ද, දවන මළ සිරුරුවළ වුරුණුතෙල් හා වැදු ස්ත්‍රීන්ගේ පහව යන ලේ ද, වණ ඇත්තවුන්ගේ මෙන්ම, හිස් හා නාසයාදී (අගපසඟ) කැපුවන්ගේ් යම් ලෙයක් වේ. නම් එය ද ස්ත්‍රී පුරුෂ ශරීර ආශි‍්‍රත අපවිත්‍ර දේ ද අනුභව කරමින් කල් ගෙවන්නෙමි ය.

ඉන්පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇගේ වචනයට කන්දි මුගලන් මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ හා කප්පිත මහරහතන් වහන්සේ යන මහ රහතන් වහන්සේට මේ පිළිබඳ දැනුම් දී කුටියක් සාදා සිව් දිශාවෙන් වඩින මහා සංඝරත්නයට පූජා කොට ආහාරපාන ආදියත් මහා සංඝරත්නයට පූජා කොට ඒ පින ඒ මැණියන්ට අනුමෝදන් කළ සේක. එසැණින්ම ඇගේ සිරුර පිරිසිදු වී පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණු අතර ඒවා කසී සළුවලටත් වඩා උසස් වූ අතර ඉන්පසුව ඇය සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැසීමට පැමිණියාය. ඉන්පසුව මහ රහතන් වහන්සේට ඇය දකින්නට ලැබුණේ සෑම දිශාවකින්ම බබළන ඕෂධී තාරුකාවක් මෙනි. ඇයට එවැනි දිව්‍යමය තත්ත්වයක් හා බැබළීමක් ලැබුණේ සැරියුත් මහරහතන් වහන්සේ සිදුකරන ලද පින අනුමෝදන් වීමෙනි.

ඇතැම් අය සිතාගෙන සිටින්නේ තමන් කොයි ආකාරයෙන් ජීවත් වුවත් සිදුවන විශේෂ අයහපතක් නැති බවයි. එහෙත් ශාරිපුත්ත මහ රහතන් වහන්සේට මීට පෙර භවයක මැණියන් වූ තැනැත්තියටත් මෙවැනි භයානක ඉරණමකට මුහුණදීමට සිදුවූවා නම් අප ගැන කවර කතාද? එතුමිය ගලවා ගැනීමට එදා සාරිපුත්ත තෙරුණ් වහන්සේ වැඩ සිටියා වුවත් අද අපව ගලවා ගන්නේ කවුද?

තෙරුවන් සරණයි ..!(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න )🌼🌼🌼කොත්මලේ දළදා වහන්සේ                        න...
06/05/2020

තෙරුවන් සරණයි ..!

(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න )

🌼🌼🌼කොත්මලේ දළදා වහන්සේ
නිදන් කළ තැන🌼🌼🌼

(සෙලංතර පරිවේනාධිපති පණ්ඩිත රතනජෝති ස්වාමීන් විසිනි )

හෙයින් අර්ථාන්විත කරුණු කිහිපයක් පමණක් ලියමි.

🌷 මල්හෑව🌷
මෙගම්හි වෙල්‍ යාය ගමේ දකුණු දෙස පිහිටා තිබේ. එකල ජනගහනය අඩුවූ ගමක් විය හැකිය. එහෙත් එහි වැස්සෝ ගොවිතැනින් ජීවත් වූහ. කන්දට පහතින් වූ වෙල්යායේ සීසානා මිනිසුන්ට ලියදුවල ජලය හා පාවෙන මල් රැසක් දක්නට ලැබුන බවත්, කුඹුරට ජලය එන කුඩා දියපාරේ මල් එන්නට හේතුව කුමක්දැයි නොසෙයූ බවත් ඒ එසේම වුවත් , මල් සමූහයක් සෑව හෙයින් මල්සෑව - මල්හෑව යයි මේ ගමට නම් කළබවත් පැරණියෝ කියත් .

🏞️ අතලගල සහ සපුගස 🏞️
මේ කුඹුරුයායට ඉස්මත්තේ විශාල ගලක් ඇත. ඉතා පුරාණ කාලයක කොටන ලද අකුරු සමූහයක් ද එහි වේ. ඒවා මැකීගොස් තිබෙන හෙයින් කියවිය නොහැක. අද දක්වාත් ඒ ගල සමීපයෙන් ගලා එන දියපහර පහත කුඹුරු වලට පැමිණේ. මේ ගල සමීපයෙහි ඉතා පැරණි සපුගසක්ද තිබී කඩාවැටුණු බව කියත්. මේ ගල සමීපයෙහි වාගීශ්වර හිමියන් දළදාව හා පාත්‍ර ධාතුවත් සඟවා තැබූහ යි කියති. ඒ හිමියන් විසින් හෝ දෙවියන් විසින් පිදූ මල් දියපාරෙහි පාවෙන්නට ඇතැයි සිතිය හැකිය.

🙏 දළදා කරඬුව 🙏
මේ ගලට දකුණින් (පහතින්) පිහිටි ඉතා සරු කුඹුර දළදා කරඬුව නමි. දළදා වහන්සේ ඒ අසල වැඩ සිටි හෙයින් මේ නම කුඹුරට ද පසු කලෙක ව්‍යවහාර වී යැයි සිතිය හැක. මේ කුඹුර දළදා මාලිගාවටම පූජා කොට තිබෙන බව දනිමි.

🌸 දාඨා කරණ්ඬාරාමය 🌸
මින් වර්ශ සැත්තෑවකට පමණ පෙර විසූ සැදැහැතියන් විසින් මේ ඓතිහාසික ස්ථානයෙහි සිද්ධස්ථානයක් සාදා මේ ප්‍රවෘත්තියම නිමිති කොට දාඨා කණ්ඩාරාමය යැයි නම් තැබූහ .

🌺 රත්ගම 🌺
රාජග්‍රාම, රාජගාම, රදගම යන වචනයන්ගෙන් රජෙකු සිටි නැතහොත් නවාතැන් ගත් ස්ථානයක් හෝ එක් දිනක් පමණක් නැවතුනු කඳවුරක් හෝ ප්‍රකාශ වේ. මල්හෑව නම් කඳුකර ග්‍රාමයෙහි පහත් ප්‍රදේශය රත්ගම නමින් ව්‍යවහාර කරත්. තුන්වෙනි විජයබා රජතුමා දළදා පාදා දෙක කොත්මලේ ඇති බව දැන සපිරිවරින් පැමිණ නිවාස ග්‍රහණය කළ ස්ථානයයි සිතිය හැකිය. රජතුමා සිටි තැන රත්ගම විය හැකි හෙයිනි.
ඒ පිළිබඳ දළදා සිරිතෙහි මෙසේ සඳහන් වෙයි.
"ජයමහ බෝ වඩා ආසිරි සඟ බෝ වශයෙන් නොනැසී පැවත ආ විජයබාහු නම් රජතුමෙකු මයාරජය අත් කරගෙන ඔළ මොළ බළමුළක් ගෙන දෙමළ පිරිස් පොළොන්නරුවෙන් මරා ලුහුබඳවා මුතුමිණි ගිහිණි සිවුරඟ බළඇණි පැමිණි ලකඟන මුදුන්මිණි දඹදෙණි පුරවරෙහි රජකෙරෙමින් මාඝ රාජ දෙමළ වියවුලෙන් පරදෙස් ගෙන පවර මහතෙරුන් වහන්සේ ඇතුළු වූ මහසඟන ගෙන්වා දළදා පාත්‍ර ධාතුන් වහන්සේ නිධාන ගතවැ කොත්මලයේ වැඩ උන් නියාව අසා තෙරුන් වහන්සේ හා සමඟ මහ පුද කෙරෙමින් නොලස්ව කොත්මල ගොස් දළදා පාත්‍ර ධාතුන් වහන්සේ බෙලිගලට වඩා ගෙනවුත්" (පණ්ඩිත සෝරත සංස්කරණය 43 පිට)
මෙහි සඳහන් පරිදි රජතුමා කොත්මලයට සපිරිවරින් ගොස් දළදා පාදා වැඩම වූ බව පෙනේ. රජතුමා එහි ගොස් සිවුරඟ සෙනඟ හා නවාතැන් ගත් තැන රත්ගම වීයැයි සිතිය හැකිය.


🌻 සැඟවූ තැන 🌻
යට කී කරුණු පිරික්සා බලන විට වාගීශ්වර හිමියන් මේ උතුම් වස්තු දෙක සඟවා තබන ලද්දේ මල්හෑවේ (දැනට පිහිටි) විහාරස්ථානය අසළ ගල සමීපයෙහි බව වැටහේ.

දළදා වහන්සේ සඟවා තබන ලද්දේ පුසුල් පිටියේ යැයි ඇතැමුන් කියතත්, එබඳු සැක සහිත කාලයක මිසදිටු රජෙකුගේ සමයක පුසුල්පිටිය වැනි ඉතා ප්‍රසිද්ධ ස්ථානයක එය නොතබනු ඇතැයි සිතිය හැකිය.
දෙවනපෑතිස් සමයෙහි පටන්ම දීර්ඝ ඉතිහාසයක් ඇති කොත්මලේ අතිපූජනීය මහා විහාරස්ථානය ලෙස සැලකෙන පුසුල්පිටි විහාරස්ථානයට මෙයින් අගෞරවයක් නොවේ. ආවරණ වූ ප්‍රවෘත්තියක් ජනකතා හා ආසන්න කාරණයන්ගෙන් අනාවරණය කරන හැඟීම් මාත්‍රයක් හෙයිනි..

📜වර්ශ 1951 ක් වූ පෙබරවාරි මස 25 වන ඉරිදා ..
"සිළුමිණ" පුවත්පතෙන් උපුටා ගන්නා ලදී..📜

ලිපිය සකස් කලේ..
ikdr kodithuwakku පිංවත් කළණ මිතුරිය. ඇයට උතුම් නිර්වාන සම්පත්තිය ලැබීමට මේ පින හේතු වාසනා වේවා ....

තෙරුවන් සරණයි ...!
දාන පාරමිතා

තෙරුවන් සරණයි ..!(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න )මිත‍්‍රත්වය, ආදරය, විවාහය සහ බුදුදහමබොහෝමයක් මි...
06/05/2020

තෙරුවන් සරණයි ..!

(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න )

මිත‍්‍රත්වය, ආදරය, විවාහය සහ බුදුදහම

බොහෝමයක් මිනිසුන් මිත‍්‍රත්වය, ආදරය,විවාහය වැනි මාතෘකා සම්බන්ධයෙන් කතා කරන විට ආදරය හා විවාහය යන අන්ත දෙක පමණක් එකිනෙකට සම්බන්ධ කරමින් සාකච්ඡා කරනු ලබයි. එහෙත් මෙහි අවියෝජනීය සම්බන්ධයක් නොමැත. එනම්, එකිනෙකට වෙන් වෙන් වශයෙන් වුවද කතා කළ හැකි වේ. එහෙත් මිත‍්‍රත්වය සහ ආදරය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි. එය බුදුදහම හා සම්බන්ධ කොට සාකච්ඡා කිරීමේදී සාමාන්‍ය අර්ථකථනයන් ඉක්මවා යන නිර්වචනයන් ගොඩනැගිය හැක. ලොව වෙසෙන සෑම ම මිනිසෙකු ම ආදරය සොයනු ලබයි. ආදරය යන්න ස්ත‍්‍රී-පුරුෂ දෙපාර්ශවයට පමණක් නොව ගහකොළ මෙන් ම සතා සිව්පාවුන්ට ද පොදු ධර්මතාවයක් සහ අවශ්‍යතාවයකි. එසේ නොවන්නේ නම් තමන් හා සමාන වූ වෙනත් අයෙකුට ආදරය කරන්නේ කෙසේද? එයට හේතුව වනුයේ සතා සිව්පාවුන්ට හෝ ගහකොළට ආදරය කරන්නේ කෙසේද එලෙස ම මිනිසා තමාගෙන් පරිබාහිර වූ වෙනත් මිනිසුන්ට ද ආදරය කරන්නේ යැයි සංසන්දනාත්මකව විමසා බැලිය හැක.

මිත‍්‍රත්වය ද එවැනි ම අත්‍යාවශ්‍ය සම්බන්ධතාවයකි. එහෙයින් මෙවැනි මනෝභාවයන් පුද්ගලයෙකු ලෙස වටහා ගත යුත්තේ ඇයි, ඒවා පුරුදු පුහුණු කළ යුත්තේ කෙසේද, එවැනි පුහුණුවක් අවශ්‍ය වන්නේ ඇයි ද යන්න වටහා ගත යුතු ය.

බුදුන්වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් සිය සාංසාරික ජීවිතය පුරාවට සිදු කළ පර්යේෂණාත්මක විමසීම් වලට අනුව අවසානයේ අනාවරණය කරවූයේ පරමාර්ථ ලෙස ගත් කළ මිත‍්‍රත්වය, ආදරය හා විවාහය යනාදිය දුක සහ භය උපදවන දේවල් යනුවෙනි.

“පේමතො ජායතී සෝකෝ

පේමතො ජායතී භයං

පේමතො විප්පමුත්තස්ස

නත්ථි සෝකෝ කුතෝ භයං”



එහෙත් අප ජීවත්වනුයේ පරමාර්ථ ලෝකය තුළ නොව සම්මුති ලෝකය තුළය. මෙම සම්මුති සත්‍ය තුළ පුද්ගලයා ජීවත් වනවිට භය, දුක, ඊර්ෂ්‍යාව ඇතිවීම යන්න මනුෂ්‍ය සම්බන්ධතා වලට සාමාන්‍යයකි. බුදුරජාණන්වහන්සේට අනුව මිනිසා පරමාර්ථ ලෝකය තුළ ජීවත් වනවිට පූර්ණ අවබෝධයට පත් වූ විට සම්මුති සත්‍ය අත්හළ යුතු ය. ඒ අනුව බුද්ධ දේශනාවන්ට සහ ලොව සුපතල ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ගේ මතයන්ට අනුව සත්‍ය ලෙසට ම ආදරය හා මිත‍්‍රත්වය යනු දෙකක් නොව එකකි. එහෙත් නූතන සමාජය තුළ ආදරය වෙන ම එකක් ලෙසත් මිත‍්‍රත්වය ඊට වඩා හාත්පසින් ම වෙනස් සම්බන්ධයක් ලෙසින් තීරණය කිරීම දකින්නට හැක.

කෙනෙකු ඔබේ හොඳ ම යහළුවා හෝ යෙහෙළිය කවුරුන්දැයි ඔබෙන් ඇසුවහොත් විවාහකයෙකු නම් ඔබ කිසි දිනක තම “ස්වාමිපුරුෂයා” හෝ “භාර්යාව” යැයි පිළිතුරු නොදෙනු ඇත. ඔබ සිටින්නේ එක් දිශාවක නම් ඔබේ මිතුරු මිතුරියන් සිටින්නේ තවත් දිශාවක යැයි පවසනු ඇත. මෙයට හේතුව කුමක්ද? අප රට තුළ ආදරය නම් එය ලිංගිකත්වය, විවාහය මත පදනම් වූ දෙයක් යැයි සිමා පනවා තිබේ. මිත‍්‍රත්වය ඊට වඩා වෙනස් දෙයක් ලෙස සමාජ මිනිසා අර්ථකථනය කරනු ලැබේ. එහෙත් බුදුරජාණන් වහන්සේ පවා පවසන ලද්දේ “කල්‍යාණ මිත්ත” එක්වීම විය යුතු බවය. පඨම සමජීවි සූත‍්‍රයෙහි එන නකුල මාතා සහ නකුල පිතා පිළිබඳ දේශනාවෙහි ද මේ ගැන අපූරු සංකල්පනාවක් සඳහන්ව ඇත. එනම්, මෙම නකුල මාතා සහ පිතා ඊළඟ ආත්මභාවයේ එකට ජීවත්වීමට නම් කුමක් කළ යුතුදැයි බුදුන්ගෙන් විමසා සිටියහ. මේ ආකාරයට ඔබටත් ඔබ ආදරය කරන පුද්ගලයා පිළිබඳව මෙවැනි බලාපොරොත්තුවක් පැවතිය හැක. එමෙන් ම ඇතැම්විට එසේ කිසි දිනෙක යළි නොපතනවා ද විය හැක. මෙහිදී නකුල යුවලට බුදුරජාණන්වහන්සේ මෙලෙස පවසන ලදි. ඔබ දෙපළට මීළඟ ආත්මභාවයේ එක්ව ජීවත්වීමට නම් ඔබ දෙදෙනා සම ශීල, සම ශ‍්‍රද්ධා, සම චාග, සම ප‍්‍රඥා විය යුතුය. එනම්, දෙදෙනා ශීලයෙන්, ශ‍්‍රද්ධාවෙන්, පරිත්‍යාගයෙන් හා ප‍්‍රඥාවෙන් සමාන වුවහොත් පමණි. ඒ ඒ සිතුම් පැතුම් හා ආකල්පයන්, චර්යාවන්, අවබෝධයන්, ගතිගුණ එකට ගැළපෙන්නේ නම් එයට හේතුව වනුයේ මෙලෙස සමානවීම තුළ දෙදෙනා අතර ශරීර දෙකක් පැවතිය ද එකම චින්තන රටාවක් සහ විශ්වාස පද්ධතියක් ඔවුන් අතර ගොඩනැගීමයි.

මෙය ග‍්‍රීසියේ පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඇරිස්ටෝටල් නම් පඬිවරයා ද සඳහන් කළ මතයකි. ඔහු මිත‍්‍රත්වය නිර්වචනය කරනුයේ “එක ම ආත්මයක් සිරුරු දෙකක් තුළ ජීවත්වීම” ලෙසිනි. මෙම අදහස් බුදුන්වහන්සේ මීට වසර දහස් ගණනකට පෙර දේශනා කරන ලදි. එනම්, සම ශීල, සම ශ‍්‍රද්ධා, සම චාග, සම ප‍්‍රඥා ඇති දෙදෙනාගේ සමාන සිතුම් පැතුම් තලයක් හා ආකල්ප, රුචි අරුචිකම් පවතී.

ඒ අනුව ඔවුනොවුන් කෙරෙහි අචල ශ‍්‍රද්ධාවක් හෙවත් නොබිදුණු ගැඹුරු විශ්වාසයක් ගොඩනඟා ගෙන ඇති මිත‍්‍රයින් පමණක් විවාහ විය යුත්තේ යැයි බුදුන්වහන්සේ දේශනා කොට වදාළහ. සිතුම් පැතුම් අසමාන වූවන් හා එකිනෙකා කෙරෙහි ගැඹුරු විශ්වාසයක් නොමැති වූවන් විවාහා වුවහොත් ඒ විවාහා ජීවිත ඉතාමත් වෛරීය වූත් කලකිරීම් සහගතවූත් ඉතාමත් වංචනිකව ගත කරන ජීවිත බවට පත්වනු ඇත. එබැවින් මිනිසුන් ලෙස අප වටහා ගත යුතු වැදගත් යමක් පවතී. එනම්, ආදරය හා මිත‍්‍රත්වය යනු දෙකක් නොව එකකි. එබැවින් මෙය එකිනෙකට වෙන් කළ නොහැකි අවියෝජනීය සම්බන්ධතාවයකින් යුක්තය. ඒ අනුව මිත‍්‍රත්වය හෝ ආදරය හෝ ගොඩනැගිය යුත්තේ සමානයින් අතර පමණි. එහෙත් අසමානයින් මිතුරන් හෝ ආදරය කරන්නන් වීමෙන් ඔවුන්ට අපව නිවැරිදි කළ නොහැකිය.

සාමාන්‍යයෙන් මිතුරන් කුමටදැයි පුද්ගලයෙකුගෙන් ඇසුවහොත් ඒ සඳහා ලැබෙන පිළිතුර හුදු ආත්මාර්ථය මුල්කොට ගත් එකක් වනු ඇත. එනම්, තනිකම මගහරවා ගැනීමට, විනෝදය සඳහා වැනි පිළිතුරකි. එහෙත් මෙවැනි දෑ සඳහා සාමාන්‍ය හිතවත්කම් පැවතීම පමණක් ද ප‍්‍රමාණවත් වන අතර ගැඹුරු මිත‍්‍රත්වයක් අවශ්‍ය වන්නේ නැත. එයට හේතුව වනුයේ ඉහත ආකාරයේ සරල උපකාර සාමාන්‍ය මිනිසුන් තවත් සාමාන්‍ය මිනිසෙකු වෙනුවෙන් ද ඉටු කරනු ලබයි. එහෙයින් සත්‍ය ලෙස ම මිත‍්‍රත්වය අවශ්‍ය වන්නේ මිනිසාගේ අධ්‍යාත්මය තුළ ඇති ගැටලූ විසඳා ගැනීමට ය.

ඕනෑම මිනිසෙකු තුළ හොඳ සහ නරක හෝ කළු සහ සුදු යනාදි වශයෙන් චරිත ස්වාභාවයන් දෙකක් පවතී. එනම්, අප තුළ පුද්ගල සාරය නියෝජනය කරන චෛතසික මෙන් ම පැවැත්ම නියෝජනය කරන චෛතසික වෙන වෙන ම පවතී. මෙය කුසල් අකුසල් හෝ පින් පව් යනාදි වශයෙන් ද අර්ථ දැක්විය හැකිවේ. නරක හෝ අකුසල් හෝ සෑමවිට ම පුද්ගල පැවැත්ම නියෝජනය කරන අතර පැවැත්ම උදෙසා පුද්ගලයා අකුසල් සිදු කරනු ලබයි. එමෙන් ම පුද්ගලයා යහපත් හෝ කුසල් සහිත නිවැරිදි දෑ ඉටු කරනුයේ සාරය සමඟින් ය. ඒ අනුව මේ ලෝකය තුළ ජීවත්වන රහතුන් නොවන සියලූ ම දෙනා අඩුවැඩි වශයෙන් හොඳ හෝ නරක ක‍්‍රියාවන්ගේ නියුක්තිකයෝ වෙති. එනම්, මේ ලෝකයේ ජීවත්වන පුද්ගලයින්ගේන් සමස්තය ම හොඳ හෝ නරක යැයි පැවසීමට හැකි කිසිවෙකු නොමැති අතර ඇත්තේ හොඳ ක‍්‍රියාවන් හෝ නරක ක‍්‍රියාවන් ඉටුකරන පුද්ගලයින් පමණි. එවිට අප තුළ සිටින අඳුරු පැතිකඩ බාහිරට විද්‍යාමාන වන අවස්ථාවන්ට අප සමඟ කල්‍යාණ මිතුරෙකු නොසිටියහොත් අප නිවැරිදි කරනුයේ කවුරුන්ද යන ගැටලූව උද්ගත වේ. මන්ද, අපට වඩා පහළ හෝ අඩුපාඩුකම් සහිත කෙනෙකුට කිසිදිනක අපව නිවැරිදි කළ නොහැක අතර නිවැරිදි නොකරනු ද ඇත.

කෙනෙකු තනතුරින්, වයසින්. වෘත්තීයෙන් හෝ පදවියෙන් වෙනස් වූ කළ ඇත්තේ ශිිෂ්‍ය-අනුශිෂ්‍ය, ස්වාමි-සේවක වැනි උස් පහත් සම්බන්ධතාවයකි. එනම්, එහිදී එක් අංශයක් පමණක් ක‍්‍රියාකාරී හෝ ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක වේ. එයට හේතුව වනුයේ ඔහුට තමාගේ යටතේ සිටින පුද්ගලයා නිවැරිදි කළ හැකි වුවද ඔහුට පෙරළා තම ගුරු හෝ ස්වාමියා වන පුද්ගලයා නිවැරිදි කළ නොහැක. එයට හේතුව දෙදෙනා එක සමාන සමානකම් වලින් පිරිපුන් නොවීමයි. එවිට මිත‍්‍රත්වය ඵල නොදරයි. මේ පිළිබඳව ග‍්‍රීසියේ ජීවත් වූ දාර්ශනිකයෙකු ද සුන්දර කියමනක් ඉදිරිපත් කර ඇත. එක්තරා පුද්ගලයෙකු තම මිත‍්‍රයාට මෙසේ පවසයි.“ඔබ මට ඉදිරියෙන් යන්නත් එපා. මන්ද මා හට ඔබේ අනුගාමිකයා විය නොහැක. ඔබ මාගේ පසුපසින් පැමිණෙන්නට ද එපා. මන්ද මට ඔබේ මගපෙන්වන්නා හෝ ස්වාමියා විය නොහැක. එබැවින් මා සමඟ ම ඇවිදයාමට ඔබට අවසරය.”

එනම්, අපට මිතුරන් වීමට අවැසි නම් අප සමාන විය යුතුය. අධ්‍යාත්මිකව හා භෞතිකව සමානවීම තුළ ගැටලූ අඩුවනුයේ එබැවිනි. තමාට වඩා වැඩි හෝ අඩු හෝ අයෙකු තුළින් ආත්මාර්ථය මුදුන් පමුණුවා ගැනීමක් සිදු වේ. එවැනි අවස්ථාවකදී සැබෑ මිත‍්‍රත්වයක් මතු නොවනු ඇත. එවිට සැබෑ මිත‍්‍රත්වයකදී විය යුතු යුතුකම් හෙවත් නිවැරිදි කිරීම් සිදු නොවී අඳුරු අංශය මතුවීමේදී විරුද්ධ නොවනු ඇත. ඒ වෙනුවට අයහපත් ඇගයීමට පෙළඹේ. එහිදී ලාභය හා අලාභය අතර දෝලනය වේ. එනම්, මිත‍්‍රත්වයට මෙන් ම ආදරය හෝ විවාහයට ද මෙම ධර්මතාවය පොදු ය. ඒ අනුව සැමවිටම තමාට වඩා භෞතිකව හෝ ආධ්‍යාත්මිකව අසමාන වූවන් සමඟ විවාහය ද අසමාන ය. එවැනි අයට ආදරය, සුරක්ෂිතභාවය යනාදිය සමානව නොලැබෙනු ඇත. මන්ද සැමවිටම බලවතා තම අනුගාමිකයින් යටත් කර ගැනීමට සිතයි. එහෙත් සමාජ මිනිසා උත්සහ දරනුයේ තමාට වඩා බලවත් හා ධනවත් අයෙකු මිතුරෙකු හෝ සහකරුවෙකු ලෙස තෝරා ගැනීමට ය. එහෙත් මෙලෙස දකින ස්වරූපය සැබෑ විවාහය තුළ ක‍්‍රියාත්මක වන්නේ නැත. එහෙත් විවාහයකදී සමාන විය යුත්තේ ධනාත්මක හා ප‍්‍රගමනශීලී අධ්‍යාත්මයන් ය. එසේ නැතහොත් මෙය කොහොඹ ගසට කරවිල වැල ගියාක් මෙන් විය හැක. මෙය බුදුරජාණන්වහන්සේ අංගුත්තර නිකායේ සංවාස සූත‍්‍රයේ විග‍්‍රහ කරනුයේ “ඡුවෝ ඡුවාය සද්ධිං සංවසති”යනුවෙනි. එනම්, මළ ස්ති‍්‍රයක් හා මළ පුරුෂයකු එකට වාසය කරමින් දෙදෙනා ම නරක පතුරුවා හරියි. එවිට ඔවුහු ආකල්ප, විශ්වාසයන්, සිතුම් පැතුම් හා රුචි අරුචිකම් වලින් අසමානයන් බවට පත්වේ. බුදු සමය තුළ ද අගයන්නේ යහපත් සමානයින්ගේ එකතුවීමයි. හුදු ආදරය පමණක් ඇති තැන දෙදෙනා ම දෙදෙනාට විවෘත නොවන අතර මිත‍්‍රත්වය තුළ ආවෘත දෙයක් නොමැත. සියල්ල ම විවෘතව පවසයි. එබැවින් ආදරය ගොඩනැගිය යුත්තේ ද සමාන වූ මිත‍්‍රත්වය මතින් පමණි. එනම්, ආදරය හා මිත‍්‍රත්වය එක්ට එක්ව ඇති තැන බැඳීමක් පෝෂණය හා ශක්තිමත් කෙරෙනු ඇත.

මෙම කාරණාව නිවැරිදිව වටහා නොගත් වර්තමාන සමාජ මිනිසාගේ බැඳීම් තුළ ආදරය හා මිත‍්‍රත්වය ඇත්තේ එකට නොව දෙතැනක ය. මේ නිසා නාමික විවාහ ජීවිත හා ආදර සම්බන්ධතා හමුවේ කල් ගෙවති. මෙයට ප‍්‍රධානතම හේතුව අසමානයන්ගේ එක්වීමයි. මේ නිසා සෑම අයෙක් ම අධ්‍යාත්මික සමානතා හඳුනාගෙන එකතුවීමටත් එක් වූවන් සමානයින්වීමට උත්සහ දැරීමත් කළ යුතුය. සැමියා සහ බිරිඳ යනු සිය දෛනික රාජකාරි ඉටුකර ගැනීමට හෝ සිය වියදම් පිරිමසා ගැනීමට සිටින අය නොවන බව වටහා ගත යුතු ය. මෙම සත්‍ය වටහාගෙන සමානවීමට උත්සහ කරන්නේ නම් සත්‍ය ලෙසට ම එකිනෙකා අතර හදවතින් ම නැෙඟන ගෞරවනීය බවක් ආදරයක් හා මිත‍්‍රත්වයක් වර්ධනය වනු ඇත. එය අනෙක් අයගේ ජීවිත තුළට ද ආරෝපණය වනු ඇත. එමෙන් ම දෙදෙනා අතර මෙන් ම දෙදෙනා අතර පවත්නා යම් යම් සංකල්ප හා මතයන් පිළිබඳව ද විශ්වාසයක් හා ශ‍්‍රද්ධාවක් වර්ධනය කර ගැනීමට පහසු ය.

එහෙත් පෘතග්ජන මිනිසා අතර සම්මුති සම්බන්ධතා පැවතීම මත සැක සංකා ඇතිවීම සාමාන්‍යයකි. එහෙත් අනෙකා වෙනුවෙන් කැපවීම, සමාන සීලයකින් යුක්ත වීම, ප‍්‍රතිපත්ති හා එකඟතා සමානව රකින්නේ නම් ජීවිතය එකට ගමන් කළ හැක. ඒ අනුව බුදුදහම තුළ සමාන ප‍්‍රතිපත්ති, විශ්වාසයන්, එකඟත්වය ඇත්නම් කැපකිරීම් සහිත හා පරිත්‍යාගශීලීව කටයුතු කරන්නේ නම් මානව සම්බන්ධතා අතර වඩා යහපත් වූ ශක්තිමත් පදනමක් ගොඩනඟා ගත හැක. මිනිසුන් බහුතරයක් ම තමා එල්බගෙන සිටින තීරණ, ආකල්ප, මතයන් හා තම නිදහසට බාධාවන දෑ අත්හැරීමට හා ඒවා කැප කිරීමට අකැමතිය. එහෙත් මෙය අත්හළ යුතු තත්වයකි. මන්ද තම බැඳීම් සම්බන්ධතා සමානව පවත්වා ගැනීමට පරිත්‍යාගය, කැපවීම තිබීම අනිවාර්ය ය. මෙය සැබෑ ආදරයයි.

තේරුම් ගැනීම, අවබෝදය, දැනුම යනාදිය සමාන නොවන්නේ නම් ජීවත්වීම දුෂ්කරය. මෙහිදී ස්ත‍්‍රියකගේ හා පුරුෂයෙකුගේ මොළයේ ක‍්‍රියාකාරීත්වය පවා වටහා ගැනීම අත්‍යාවශ්‍යය. සාමාන්‍ය සමාජය හා මිනිසුන් තුළ පිළිගැනෙන සාමාන්‍ය කාරණාවක් ලෙස පිරිමියා නිතර කතා නොකරන බවත් ගැහැනිය නිතරම කතා කරන බවත් දැකගත හැක. එහෙත් මෙහි ඇත්තේ ජීවවිද්‍යාත්මක කරුණකි. එනම්, සාමාන්‍යයෙන් දිනකට පුරුෂයෙකුට වචන 7000ක් පමණත් ගැහැණියකට වචන 20000ක් පමණ කතා කිරීමේ හැකියාවක් පවතී. මෙකී ජීවවිද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක වෙනස්කම් දෙදෙනා ම වටහා ගත යුතු ය. එවිට සමානයන්ට එකතුවීමටත් එකතුවී සිටින අයට සමානතා වර්ධනය කර ගැනීමටත් පහසු වනු ඇත. ඒ අනුව දියුණු ප‍්‍රඥාවන්ත මිනිසුන්ගේ සමාජ ජීවිතය හා පෞද්ගලික ජීවිතය තුළ ආදරය හා මිත‍්‍රත්වය යන දෙක ම එකක් ලෙස වර්ධනය වේ. එවිට තමාගෙන් පරිබාහිර අනෙකා කෙරෙහි ද එය වර්ධනය කරගැනීම පහසු ය. එවිට එය සංසාරගත බැඳීමක් බවට පත් වේ.

යශෝධරා හා සිදුහත් පේ‍්‍රමය ද මෙවැන්නකි. සිද්ධාර්ථ හා යශෝධරා අතර පේ‍්‍රමය අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයකුත් අධ්‍යාත්මික සම්බන්ධතාවයක් නිසාවෙන් අඛන්ඩව පැමිණියේ ය. ආත්ම ගණනාවක් පුරාවට ම බෝධිසත්වයන් විසින් යශෝධරාවන් හැර යන්නට වූ අතර ඒ පිළිබඳව යශෝධරා දේවියගේ සිතෙහි අල්පමාත‍්‍රයක් වූ තරම් වෛරයක් හට නො ගත්තා ය. එයට හේතුව වූයේ ඔවුනොවුන්ගේ ආධ්‍යාත්මයන් එකිනෙකට සමානවීම හා පිළිගැනීම් සමානවීම යි. එසේ නොවුණේ නම් එකෙකු අනෙකාව අත්හැර දැමූවිට වෛර කරන්නට පටන් ගන්නේය. එනම්, ඒ තුළ ඇත්තේ විශ්වාසය, පරිත්‍යාගය, කැපවීම, පරමාර්ථ හා ප‍්‍රඥා වල විශමතාවය යි. මෙය ඉතාමත් සියුම් සංකල්පයකි. එහෙයින් මෙය බුද්ධියෙන් වටහා ගත යුත්තකි. එවිට මෙවැනි මනුෂ්‍ය සම්බන්ධතා “දේවෝ දේවියා සද්ධිං සංවසති” හෙවත් දෙවියෙකු හා දේවතාවියෙකු එකට වාසය කරන්නාක් මෙන් වන්නේය. පුරාණ සෘෂිවරුන් හා පඬිවරුන් ජන්ම කේන්ද්‍රය හා නක්ෂත‍්‍ර ශාස්ත‍්‍රය සලකා බලනුයේ ද මේ නිසා විය හැක.

ස්වාභාවධර්මයා තුළ ද එකිනෙකට ළංව පිහිටිය නොහැකි තුරු ලතාවන් සහ සත්වයෝ සිටිති. එසේ ම එකට පැවතිය නොහැකි කාරණා මත සම්බන්ධතා ද විභේජනය වනු ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නූතන සමාජය තුළ දිවි ගෙවන මිනිසා ආදරය හා විවාහය වැනි සම්බන්ධයන් තුළින් ද තම මව හෝ පියා වැනි පුද්ගල භූමිකාවන් සොයනු ඇත. එහෙත් එය කළ නොහැක්කකි. එය කිසිදිනෙක නොලැබෙනකි. මන්ද බිරිද හෝ ස්වාමියා දැකිය යුත්තේත් ඔවුන්ගෙන් අපේක්ෂා කළ යුත්තේ ද එම අදාළ භූමිකාවන්ට හා චරිතයන්ට අදාළ දේවල් පමණි. එය කිසි දිනෙක මවගෙන් හෝ පියාගෙන් ලැබෙන්නාක් මෙන් නොවිය යුතු ය. එවිට මව හෝ පියා කෙරෙහි දක්වන ගෞරවය හා බය සැමියා හා බිරිඳ තුළින් ද අපේක්ෂා කරන්නට ඔවුනොවුන් තුළ ම පෙළඹවීමක් ඇති කෙරේ. එවිට එකෙකු අනෙකාට යටත්ව වාසය කළ යුතු යැයි ආකල්පයක් වර්ධනය වේ. මෙය අසාර්ථක සන්නිවේදනයකි. එබැවින් සමානයින් අතර තර්කනය, අදහස් ප‍්‍රකාශනය යනාදි සියල්ල පහසු වනු ඇත. එහෙයින් වර්තමාන සමාජය පවත්නා ස්ථානයේ සිට උදාරත්වය කරා රැුගෙන යාමට අධ්‍යාත්මික බැඳීමකින් යුතු මිත‍්‍රයින් සහ ආදරණීයන් සොයාගැනීම අගනේ ය.

බුදුදහම හා සම්බන්ධ කොට ආදරය පිළිබඳව කතා කිරීමේදී මූලික වශයෙන් කාරණා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැක. එනම්, බුදුදහමට අනුව ආදරය පිළිබඳ කතාකිරීමට ඇති ඉඩකඩ මොනවාද? යන්නත් පරමාර්ථ ලෙස ආදරය පිළිබඳව කතා කරද්දී ධර්මයට පටහැනි වීමක් තිබේද? යන්නයි. ආදරය හෙවත් පේ‍්‍රමය නිසාවෙන් භය සහ ශෝකය හටගනී. එමෙන් ම පේ‍්‍රමය හෙවත් ආදරය නැති තැන භය සහ ශෝකය හටනොගනී. එහෙත් සමාජ මිනිසා සිය ජීවිතය ගෙවනුයේ නිවන් අරමුණු කොට ගත් ලෝකයෙන් මෙහා වූ ලෝකයක් තුළ ය. එම ලෝකය තුළ ජීවත්වීමේ දී මිනිසා ආදරය බලාපොරොත්තු වන්නා සේ ම ආදරය කරන්නේ ය. ආදරය දක්වන්නේ ය. මෙම කාරණාව පදනම් කොට බුදුහූ ධාර්මිකව ආදරය කරනුයේ කෙසේද යැයි විග‍්‍රහ කිරීමට යම් යම් දේශනාවන් ඉදිරිපත් කොට ඇත. එනම්, දහමට අනුකූලව ආදරය කරන්නේ කෙසේද යන්නයි. ඒ අනුව ආදරයක් ඇතිවිය හැකි අවස්ථා කිහිපයකි.

විරුද්ධ ලිංගිකයින්ගේ බැල්මකින්

විරුද්ධ ලිංගිකයින්ගේ කටහඬ නිසාවෙන්

විරුද්ධ ලිංගිකයින්ගේ චුම්භනයෙන්

සාංසාරික ආදරයෙන්

මේ ආකාරයට විරුද්ධ ලිංගිකයින්ගේ බැල්මකින්, කටහඬකින් හෝ චුම්භනයෙන් ඇතිවන ආදරය රාග මිශ‍්‍රිත ය. සිව්වැන්න යශෝධරා සහ සිද්ධාර්ථ යුවලගේ ආදරය හා සමාන සංසාරගතව ඇති වන්නකි. මොවුහු ලේන කුලයේ සිට තම දරුවන් සයුරට බිලිවීමට ගිය අවස්ථාවේදී තම වල්ගයෙන් මහසයුර හිදුවා දරුවන් බේරාගැනීමට උත්සුක වූ ආත්මයේ සිට බුදුවන භවය තෙක් ම සැමියා හා බිරිඳ වශයෙන් සාංසාරිකව ගමන් කරන්නට වූහ. එහෙත් මෙවැනි සාංසාරික පේ‍්‍රමයක් පවත්වා ගෙනයාම වර්තමානයේ ඉතාමත් අසීරුය. මේ සඳහා වර්තමාන සමාජය හා පුද්ගලයා තුළ බාධාවන් රැුසක් ම පවතී.

පේ‍්‍රම කරන කාලය යනු විවාහයට මෙහා ඇති පරිවාස කාලයක් ලෙසින් හැඳින්විය හැක. එමෙන් ම මෙම කාලය තුළ ඉතා කුඩා දෙයකින් වුවද පුද්ගලයින් ක්ෂණිකව වෙනස් විය හැක. එහෙයින් මෙම පරිවාස කාලය තුළ මේ සියල්ල අවබෝධයෙන් යුතුව ගළපා ගත යුතු ය. මේ පිළිබඳව බුදුදහමෙහි එන අංගුත්තර නිකායට අයත් සංවාස සූත‍්‍රයෙහි විස්තරාත්මකව විග‍්‍රහ කර තිබේ. එමගින් දෙදෙනෙක් අතර ගැළපීමක් ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කෙරේ. එනම්,

සම ශ‍්‍රද්ධා – මින් අදහස් වන්නේ ගැඹුරු විශ්වාසයකින් යුක්තවීමයි. එනම්, සම්බන්ධතාවයකදී දෙදෙනා විසින් දෙදෙනාව තේරුම් ගැනීම මින් අදහස් වේ. මෙහිදී ඔවුනොවුන් දෙදෙනා පිළිබඳව ම ගොඩනඟා ගෙන ඇති ආකල්ප, ගැඹුරු විශ්වාසයන් යනාදිය ප‍්‍රධාන වේ.

සම ශීල – සීල යනු චර්යාවට සමාන පදයි. ඒ අනුව මින් අදහස් වන්නේ දෙදෙනා තුළ ම සමාන වූ චර්යවාක් පැවැතිම යි. එනම්, රැුකියාව, ආගම, ඕනෑම දෙයක් පිළිබඳව සිතන පතන ආකාරය, කුලය, කන බොන ආකාරය, යම් යම් දෑ සඳහා සමාන රුචිකත්වයන් දැක්වීම යනාදිය යි.

සම ප‍්‍රඥා – දෙදෙනා තුළ ම මනා ජීවනාවබෝධයක් මෙන් ම තම මතය වැරදි යැයි අනෙකා පැවසුවහොත් එහි සත්‍ය වටහා ගෙන එය නිහතමානීව වෙනස් කර ගැනීම වැනි දෑ මෙහිදී දැකිය හැකි වේ. එනම්, යම් යම් දේවල් පිළිබඳව සමාන රසවින්දනයක් පැවතීම මින් අදහස් වේ.

සම චාග – දෙදෙනා තුළ ම සමාන පරිත්‍යාගශීලී බවක් පැවතීම මින් අදහස් වේ. මෙහිදී පරිත්‍යාගයන් අතර වඩාත් සුවිශේෂී පරිත්‍යාගයන් වනුයේ සිය පෞද්ගලික මතිමතාන්තර, රුචි අරුචිකම්, ආකල්ප සහ කාලය මෙන් ම ශ‍්‍රමය වැනි දෑ පරිත්‍යාග කිරීමට සිය කැමැත්තෙන් ම සූදානම් වීම යි.

එහෙත් නූතන සමාජ තුළ මෙහි ප‍්‍රායෝගික ස්වාභාවයක් පවතින බවක් දක්නට නොමැත. එම නිසා අතීතයට සාපේක්ෂව නූතන සමාජය තුළ දිග කසාද වලට වඩා කොට කසාද සුලබ වී ඇත. එයට හේතුව විවාහයට පූර්වයෙන් පවතින පරිවාස කාලය හෙවත් ආදරය කරන කාලයේදී ගළපා ගත යුතුව ඇති හැඟීම් සහ ආවශ්‍යතාවන්, මතයන් සහ ආකල්ප ගළපා නොගැනීමයි.

බුද්ධත්වයට පත්වීම යනු මිනිස් මනස සියයට සියයක් ම නිවැරිදිව ක‍්‍රියාත්මක වන අවස්ථාවයි. මෙම අවස්ථාවේදී විශ්වයේ ඇති සියලූ දේ පිළිබඳව අවබෝධයක් ස්වාභාවයෙන් ම පහළ වේ. එම අවබෝධය හේතුවෙන් බුදුරජාණන්වහන්සේ වෙනත් ධර්ම සත්‍යයන්ට අමතරව මිත‍්‍රත්වය, ආදරය, සෙනෙහස හා විවාහය යනාදිය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කර ඇත. එනම්, සමානාත්මතාවය තුළ මේ සියල්ල ගැළපීමක් සිදු වේ. එබැවින් විවාහයකදී සිදු කළ යුතු ලොව ඇති හොඳ ම පොරොන්දම් ගැළපීම වනුයේ ඉහත සඳහන් කරන ලද කාරණා හතර ගැළපීමයි.

අංගුත්තර නිකායෙහි එන සප්ත භාර්යා සූත‍්‍රයෙහි සඳහන් පරිදි භාර්යාවන් ප‍්‍රභේද කිහිපයකට වර්ග කොට තිබේ. මෙය නූතනය වනවිට සප්ත පේ‍්‍රමවන්තයින් ලෙසින් ද ආරෝපණය කොට විමසා බැලිය හැක. එනම්,

වධක භාර්යාව / වධක පේ‍්‍රමවන්තිය – මෙවැනි අය නිතරම ආදරය සහ අවධානය බලාපොරොත්තුවෙන් මැසිවිලි නැගීම හා වදදීම වැනි දෑ සිදු කරයි.

ස්වාමි භාර්යාව / ස්වාමි පේ‍්‍රමවන්තිය – මෙවැනි අය දරුවන්ගේ සහ සැමියාගේ මෙන් ම නිවසේ සියලූ ම වැඩ රාජකාරි ඉටු කරනු ලබයි.

චෞර භාර්යාව / චෞර පේ‍්‍රමවන්තිය – මෙවැනි අය කෙතරම් මුදල්, ශ‍්‍රමය හා කාලය කැප කළ ද පෞද්ගලික ස තුට සහ සැපය අරභයා සොරකම් කිරීම හෝ මංකොල්ලාකෑම හෝ බලෙන් යම් යම් දේ ලබා ගැනීම සිදු කරයි.

මාතෘ භාර්යාව / මාතෘ පේ‍්‍රමවන්තිය – මෙවැනි අය මවක් මෙන්සොයා බලමින් කටයුතු කරයි.

සකී භාර්යාව / සකී පේ‍්‍රමවන්තිය – මෙවැනි අය බොහෝ කාලයකට පසුව හමුවන මිතුරෙකු දකින්නාක් මෙන් හමුවන්නාක් මෙන් ඉතාමත් සුහදශීලීව මිතුරෙකු ලෙසින් කටයුතු කරයි.

භගිනි භාර්යාව / භගිනි පේ‍්‍රමවන්තිය – මෙවැනි අය සහෝදරියක් මෙන් කටයුතු කරයි.

දාසි භාර්යාව / දාසි පේ‍්‍රමවන්තිය – මෙවැනි අය දාසියක මෙන් සේවය සපයමින් කටයුතු කරයි.

නූතනය වනවිට මෙකී භාර්යා විධි සමූහයෙන් වඩාත් ගැටලූවක් වෙමින් පවතිනුයේ මාතෘ භාර්යා සංකල්පයයි. මෙහි සැබෑ අර්ථය වනුයේ මවක් මෙන් ආදරය සහ රැුකබලා ගැනීම විනා සැබෑවට ම මවගේ භූමිකාව භාර්යාව තුළින් මතුවීම නොවේ. එහෙත් නූතන සමාජ කාන්තාවන් මිත‍්‍රත්වය සහ පේ‍්‍රමය තුළ කෙරෙන පිය තෙපුල්, කොමළ බස් වහර හෝ අංගචලනයන් විවාහ වී දරුවන් ලැබුණු පසු ක‍්‍රමයෙන් අඩු කරනු ඇත. එහෙත් විය යුත්තේ එය නොව. එයට හේතුව වනුයේ ශාරීරිකව කන්තාවක් මවක් වුවද ඇයට භාර්යාවක් ලෙස විවාහා ජීවිතය තුළ සිය සැමියා වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් සහ වගකීම් කොටසක් පවතී. එමෙන් ම තම ලෙයින් දරුවෙකු බිහි වුවද සෑම මොහොතකම කායිකව, මානසිකව හෝ භෞතිකමය වශයෙන් පුරුෂයෙකු තමා පියෙකු යැයි සිතා සිය අවශ්‍යතා කැප නොකරනු ඇත. එය ජීවවිද්‍යාත්මක අවශ්‍යතාවයන් හේතුවෙන් ඇතිවන තත්වයකි. මෙය නිසි ලෙස වටහා ගත නොහැකි කාන්තාව සිය සැමියා ඉදිරිපිටදී ද මවගේ භූමිකාව ඉදිරිපත් කරයි. මේ නිසා කාලයක් ගත වනවිට සිය බිරිඳ කෙරෙහි පවත්නා ආකර්ෂණය ක‍්‍රමයෙන් අඩුවනු ඇත. මෙහිදී ප‍්‍රබල බලපෑමක් ඇති කරවනුයේ වචනය යි. මෙකී වචනයන් කාලානුරූපීව චර්යාත්මක ලෙස ක‍්‍රියාවට නැංවේ. එනම්, සිය සැමියා කෙරෙහි පැවති සුරතල් ආදරබර වදන් සහ ළංවීම් සීමා කොට සිය අවදානය සහ ආදරය මුළුමනින් ම දරුවා කෙරෙහි පමණක් පැවතීම යි. එහෙත් මිත‍්‍රත්වය තුළින් ගොඩනැගෙන ආදරය සහ විවාහයක දී එසේ නොවනු ඇත. දෙදෙනා ම සිය අවශ්‍යතා, රුචි අරුචිකම් මෙන් ම වෙනස්කම් මැනවින් වටහාගනු ඇත. මේ හේතුවෙන් නූතන සමාජය සඳහා වඩාත් අවශ්‍ය වනුයේ සකී භාර්යාවන් ය. එනම්, සිය සැමියා සමඟ මිතුරියක මෙන් ඉතාමත් සුහදව, ආදරණීයව කටයුතු කිරීමට හැකි තැනැත්තියකි. එවැනි භාර්යාවක් කෙරෙහි ඇති මානසික ආකර්ශනය සහ චර්යාත්මක ආකර්ශනය හේතුවෙන් පෙර පරිදි ම මනා ලෙස අවබෝධ කරගත් ගැඹුරු විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් විවාහ සම්බන්ධතාවයක් පවතිනු ඇත.

අනෙක් අතට මිනිසුන් ලෙසින් අප සියලූ තාක්ෂණික හා සන්නිවේදන සීමාවන් අතික‍්‍රමණය කරමින් 21 ශතවර්ශය පැමිණ සිටිය ද තනි පුද්ගල ස්වාධීනත්වය සංස්කෘතික හා සමාජ බලය පිළිබඳව කතා කිරීමේදී අප තවමත් ගත කරනුයේ පුරුෂෝත්තමවාදී ආකල්ප දරණ පුරුෂාධිපත්‍යයට නතු වූ සමාජයක් තුළ ය. එහෙත් ප‍්‍රායෝගික සමාජ ජීවිතය දෙස බැලීමේදී පෙනී යන්නේ සමාජය තුළ බහුලව ඇත්තේ නාමමාත‍්‍රික පුරුෂාධිපත්‍යකින් යුත් සමාජයක් බවයි. එහෙත් මෙවැනි නාමමාත‍්‍රික පුරුෂාධිපත්‍ය හමුවේ වුවද කාන්තාවන්ගෙන් වැඩි කොටසකට භාර්යාවන්ගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කළ යුතුව ඇත. එනම්, තම ස්වාමියාට ගැළපෙන පරිදි තම සිතුම් පැතුම් ගළපාගත යුතු ය. අංගුත්තර නිකායෙහි සඳහන් පරිදි කුමාරිකෝවාද සූත‍්‍රය විවාහයට පත්වීමට නියමිත අයට අවවාද කර දේශනා කළ යුතුය. මෙවැනි සූත‍්‍ර ගණනාවක් නිවනට මෙහා ලෝකයට ධර්මය ගළපා ගැනීම සඳහා දේශනා කර ඇති අතර සිඟාලෝවාද සූත‍්‍රයේ යුතුකම් පිළිබඳව දේශනාව මෙලොව යහපත් කර ගැනීම සඳහා බුද්‍රජාණන්වහන්සේ දේශනා කොට ඇත. එහෙත් ඇතැම්විට සාංසාරික ආදරය සඳහා මේ කිසිවක් බලනොපෑමට ද ඇත.

ඇතැම්විට කාන්තාවන් ආදරයේ දී එකිනෙකා තේරුම් ගැනීම ලෙසින් අදහස් කරනුයේ කරන කියන කරන ඕනෑම දෙයක් දෙස උපේක්ෂාවෙන් යුතුව බලා සිටීම යි. පුරුෂයින් විසින් කාන්තාවක් තමාව තේරුම් ගැනීම ලෙසින් අදහස් කරනුයේ සෑම දෙයක් ම ඔහු කෙරෙහි පමණක් පැවතිය යුතුය යන්නයි. මේ හේතුවෙන් ආදරය පවත්වා ගැනීමේදී සැකය මතුවනු ඇත. එය ආදරයේදී ඇතිවන මූලික ම ගැටලූවකි. මෙයට හේතුව වනුයේ දෙදෙනා දෙදෙනාට ම විවෘත නොවීමයි. දෙදෙනාට දෙදෙනාව සැබෑ ලෙසට ම අවබෝධ කර නොගැනීමයි. මනා සම්බන්ධතාවයක දී එකිනෙකාට විවෘතවීමෙන් සැකය නැති වේ. එහෙයින් බැඳීමක දී සැකය වර්ධනය නොවෙන ලෙස කටයුතු කිරීමට දෙදෙනා ම වගබලා ගත යුතුය.

පුරුෂයෙක් හා කාන්තාවක් ළංව සිටින විට එක් ඇසක් අන්ධ වී අනෙක් ඇස පිය වේ යනුවෙන් මතයක් පවතී. ආදරය අන්ධ යැයි පවසනුයේ ද එබැවිනි. එහෙත් සැබෑවට ම ආදරය යනු කුමක්දැයි යන්න හඳුනාගත යුතුය. ආදරය යනු ලෝකයා ඉදිරියේ පෙන්වන දෙය හෝ රණ්ඩුවීම හෝ ඉල්ලන සෑම දෙයක් ම ලබාදීම හෝ නොවේ. එහෙත් මෙය පරමාර්ථයක් ලෙස ගත් කළ මායාවකි. එහෙත් ඇතැම්විට බැඳීම් පවත්වා ගැනීමට මෙවැනි මායාවන් සහිත ක‍්‍රියාවන් ද අවශ්‍ය වේ. එහෙත් මිනිසෙකු ලෙසින් එය උන්මාදයක් කර නොගත යුතුය.

සාමාන්‍යයෙන් භෞතික ශරීරයක් ඇති අයට පේ‍්‍රමය ඇති නොවේ නම් එය කිසියම් රෝගයක හෝ අසාමාන්‍ය ස්වාභාවයක් හේතුවෙන් ඇතිවන තත්වයක් විය යුතුය. සැබෑවට ම මෙකී ආදරය හෙවත් පේ‍්‍රමය ඇති වන්නේ මනුෂ්‍ය හදවතට නොව මොළයට ය. එහෙයින් හදවතට වඩා මොළය පාවිච්චි කරමින් බැඳීම් පවත්වන විට විවාහය තෙක් සහ විවාහයෙන් අනතුරුවත් එම බැඳීම පවත්වාගෙන යාම ඉතාමත් පහසුය.

මීට අමතරව පොදුවේ ගත් කළ මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය කාරණා හතරක් පවතී. එනම්, ආහාර (ආහාරට්ඨිකා), නිද්‍රා (සයනංච), භය (භයංච), සංසර්ගය (මෛථුනංච) යනාදියයි. මෙය සංස්කෘත පඤ්චතන්ත‍්‍ර අදහසක්. ඒ අනුව මෙහි මූලික පදනම ආදරය, පෝෂණය, විවේකය, ආරක්ෂා කිරීම සහ ලිංගික සබඳතා වලට බැඳී ඇත. මේ සියල්ල ම අවබෝධ කරගන්නා කාලය වනුයේ විවාහයට පෙර ආදරය කරන කාලයයි. ඒ අනුව එකී අවබෝධයෙන් පසුව සිදුවන විවාහය යනු එක්තරා තෝරා ගැනීමකි. එනම්, නිවුණු ස්වාභාවයෙන් යුත් දුරදිග බලා තීරණ ගන්නා, යහපත් ඇවතුම් පැවතුම් සහිත, ධනාත්මක ආකල්පයන්ගෙන් යුතු වඩාත් සුදුසු ම පුද්ගලයෙකු තෝරා ගැනීමට වගබලා ගත යුතුය.

බටහිර දර්ශනිකයෙකු විසින් මදුවිත පානයට ප‍්‍රථම ප‍්‍රශ්න හතරකට පිළිතුරු සැපයීම කළ යුතු යැයි ප‍්‍රකාශ කරන ලදි. එනම්,

පානය කරන්නේ මොනවාද?

පානය කරන ප‍්‍රමාණය කොපමණක්ද?

පානය කරන්නේ කා සමඟ ද?

පානය කරන්නේ කොතැනද?

මේ ආකාරයට තමන් ආදරය කිරීමට හෝ විවාහය සඳහා සුදුසු අයෙක් තෝරා ගැනීමේදී ඔහු හෝ ඇය කරන්නේ කුමක්ද සම්බන්ධතා පවත්වන්නේ කෙබදු අය සමඟ ද තමා තෝරාගත් පුද්ගලයා කෙබදු අයෙක් ද යනාදී වශයෙන් හොඳින් සිතා බලා හා සොයා බලා පූර්ව සහ පූර්ණ අවබෝධයකින් යුතුව තීරණය කළ යුතු අතර විවාහයෙන් අනතුරුව මේ සියල්ල දැනගෙන අවබෝධයෙන් යුතුව ජීවත් විය යුතුය.

මේ අනුව මිත‍්‍රත්වය, ආදරය හා විවාහය යනු එකිනෙකට වෙනස් වූ මානව සම්බන්ධතා ගොඩනගන මානුෂීය බැඳීම් නොවේ. ඒ අනුව මිත‍්‍රත්වය තුළින් ආදරයත් විවාහය සඳහා අවශ්‍ය පදනමත් නිර්මාණය විය යුතුය. ඒ සඳහා දෙදෙනෙකු අතර පවත්නා අන්‍යෝන්‍ය අවබෝධය සහ ඉතා ගැඹුරු වූත් අචල වූත් අන්‍යෝන්‍ය විශ්වාසය සහ අනෙකා වෙනුවෙන් සිය කාලය, ශ‍්‍රමය, මතිමතාන්තර, රුචිඅරුචිකම් කැප කිරීමට ඇති ස්වකීය කැමත්ත අත්‍යාවශ්‍යය. මෙවැනි පදනමක් සඳහා බුදුදහමෙහි එන ධර්ම කොටස් සහ සංකල්පයන් ආශ‍්‍රය කරගැනීම තුළින් වඩාත් යහපත් වූ ජීවිත ගත කිරීමට හැකියාවක් ලැබෙනු ඇත.

තෙරුවන් සරණයි ..!

(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න )

දාන පාරමිතා

Address

Dimithu Kosnilgoda Morawaka
Morawaka
81470

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Gauthama Sambuddha- ගෞතම සම්බුද්ධ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Gauthama Sambuddha- ගෞතම සම්බුද්ධ:

Share