වයඹ ගැම්ම Wayamba gemma

වයඹ ගැම්ම  Wayamba gemma ආගමික ස්ථාන, පෞරාණික ස්ථාන, ගහ කොල, ඇල දොල, වෙහෙර විහාර, වැව් හැම දේම

Religious places, Ancient places, Temples, Lakes, Everything.

26/01/2023
රිදී විහාරය කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඉපැරැණි සිද්ධස්ථාන රැසක් දක්නට ලැබෙනවා. ඉන් සමහර සිද්ධස්ථානවල ඉතිහාසය අනුරාධ...
28/08/2022

රිදී විහාරය

කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඉපැරැණි සිද්ධස්ථාන රැසක් දක්නට ලැබෙනවා. ඉන් සමහර සිද්ධස්ථානවල ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යනවා. කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පිහිටා ඇති රිදී විහාරයත් එවැනි දිගු ඉතිහාසයක් තිබෙන පුදබිමක්. පැරණි නටබුන් රැසක් දක්නට ලැබෙන එම විහාර භූමියට විශාල ඓතිහාසික වටිනාකමක් තිබෙනවා. එම නිසා දේශීය සංචාරකයන් නිතරම එහි පැමිණෙනවා.

මුල් යුගයේ දී භික්ෂූන් වහන්සේලා භාවනා කළ භූමියක්

දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දී මෙරටට බුදු දහම ලැබුණා. ඉන් අනතුරුව ලක්බිම තුළ සංඝ සමාජයක් ඇති වුණා. එකල භික්ෂූන් වහන්සේලාට නිස්කලංක බිම් ප්‍රදේශ ආශ්‍රිතව වාසය කරමින් භාවනා කටයුතුවල නිරත වුණා. රිදී විහාර භූමියත් ගල් ලෙන් දක්නට ලැබෙන නිස්කලංක භූමි ප්‍රදේශයක්. එම නිසා මෙම විහාරය ආශ්‍රිතව භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වනවා. එය ඔප්පු කළ හැකි සාක්ෂ්‍යයක් ද මෙම විහාර භූමියෙන් හමුව තිබෙනවා. ඒ මෙම ස්ථානයේ ඇති ගල් ලෙනක කටාරමට යටින් කොටා ඇති බ්‍රාහ්මීය අක්ෂර යි.

රිදී විහාරය නිර්මාණය වුණු හැටි

ක්‍රි.පූ. 161-137 කාල සමය තුළ අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජතුමා විසින් ස්වර්ණමාලි මහා සෑය ඉදිකරවනු ලැබුවා. එම දාගැබ සෑදීම සඳහා අවශ්‍ය වුණු ගොඩනැගිලි ද්‍රව්‍ය රටේ විවිධ ස්ථානවලින් පහළ වුණු බවට මතයක් පවතිනවා. ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වන්නේ චෛත්‍යය සෑදීම සඳහා යොදාගත් රිදී මෙම විහාරය ආශ්‍රිත ප්‍රදේශයෙන් ලබාගත් බව යි.

රුවන්වැලි සෑය (tlc.lk)

එකල මෙම ප්‍රදේශයේ වැඩසිටි රහතන්වහන්සේ නමක් එම රිදී සොයාගැනීම සඳහා මඟ පෙන්වා තිබෙනවා. ඒ එම ප්‍රදේශය හරහා ගමන් කළ වෙළෙන්දන් පිරිසකට යි. එම වෙළෙන්දන් මෙම විහාර භූමිය අසලින් ගමන් කරන විට රහතන්වහන්සේ කීපනමක් වැඩ සිටින ආකාරය දුටු නිසා උන්වහන්සේට වරකා පූජාකර තිබෙනවා. වරකා වැළඳීමෙන් පසුව රහතන්වහන්සේ අතර සිටි ඉන්ද්‍රගුප්ත නම් රහතන්වහන්සේ වෙළෙඳ පිරිසට ගමන් කිරීම සඳහා පහසු මාර්ගයක් පෙන්වා දුන්නා. විහාර භූමිය හරහා වැටී තිබුණු එම මඟ ඔස්සේ ගිය පිරිසට රිදී ඉල්ලමක් හමු වුණා. පිරිස එම ඉල්ලම ගැන රජතුමාට දන්වා සිටියා. එය ඇසීමෙන් ප්‍රීතියට පත් රජතුමා ඉල්ලමේ තිබුණු රිදී ස්තූපය සෑදීම සඳහා යොදාගත්තා. එදා රිදී ලබාගත් විහාර භූමිය ගැන පැහැදීමක් ඇති කරගත් රජතුමා එහි විහාරයක් සාදවනු ලැබුවා. එලෙස සෑදූ විහාරය වර්තමානයේ දී රිදී විහාරය ලෙසින් හඳුන්වනු ලබනවා. රිදී විහාරය තුළ පිහිටා ඇති ගොඩනැගිලි අතර වරකා වැළඳූ විහාරය නමින් ගොඩනැගිල්ලක් පිහිටා තිබෙනවා. ජනප්‍රවාද කතාවේ යම් සත්‍යතාවයක් පවතින බව ඉන් අනුමාන කළ හැකියි

රිදී විහාරයට පුද සත්කාර කළ රජවරුන්

දුටුගැමුණු රජතුමා මෙහි විහාරයක් ඉදිකරවීමෙන් පසුව විවිධ රජවරුන් එය ප්‍රතිසංස්කරණය කළ බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වනවා. ක්‍රි.ව 21-31 කාල සමය තුළ අනුරාධපුරයේ රජකම් කළ අමණ්ඩගාමිණී අභය නම් මුලින්ම මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. පොළොන්නරු යුගයේ රජකම් කළ මහා පරාක්‍රමබාහු සහ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල යන රජවරුන් ද මෙම විහාරය උන්නතිය වෙනුවෙන් කටයුතු කළ බව සඳහන් වනවා. ඉන් අනතුරුව සියවස් කිහිපයක් මෙම විහාරයට අභාවයට ගොස් තිබුණු අවස්ථාවේ යළි පිළිසකර කරනු ලැබුවේ මහනුවර යුගයේ රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා යි. එදා රිදී විහාරය තුළ සිතුවම් පවා නිර්මාණය කරවූ රජතුමා එය අංග සම්පූර්ණ විහාරයක් දක්වා දියුණු කරනු ලැබුවා.

විහාර බිමේ දක්නට ලැබෙන ගොඩනැගිලි

රිදී විහාර භූමිය තුළ ප්‍රධාන වශයෙන් විහාර 3ක් දක්නට ලැබෙනවා. ඒ මහා විහාරය, උඩ විහාරය, සහ වරකා වැළඳූ විහාරය යි. එම විහාර තුනම ගල් ලෙන්වලින් සමන්විත වීම සුවිශේෂී ලක්ෂණයක් ලෙසින් දැක්විය හැකියි.

මහා විහාරය (Lak Ithihasaya)උඩ විහාරය

මහා විහාරයට ඉහළින් තිබෙන්නේ උඩ විහාරයයි. උඩ විහාරයේ තිබෙන ප්‍රධාන පිළිමය වන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉඳි පිළිමයයි. එම පිළිමයට පිටුපසින් වෙනස් ආකාරයකින් යුත් මකර තොරණක් ද නිර්මාණය කර තිබෙනවා. කලා විචාරකයන්ට අනුව මෙය ලංකාවේ තිබෙන ප්‍රසිද්ධ මකර තොරණ්වලින් එකක්. උඩ විහාරයේ සෑම බිත්තියක්ම සිතුවම්වලින් අලංකාර වී තිබෙනවා. උඩරට බිතු සිතුවම් සම්ප්‍රදායේ මූලික ලක්ෂණ හඳුනාගැනීමට මේ සිතුවම් උපකාරී වනවා. එසේම උඩ විහාරයට යාමට තිබෙන දොරටුව අසල තිබෙන ඇත් දළ උළුවස්ස දේශීය කැටයම්වලින් අලංකාර කොට තිබෙනවා. එවැනි ආකාරයේ උළුවස්සක් ලංකාව තුළ දැකගැනීමට ලැබෙන්නේ රිදී විහාරයේ පමණ යි.

වරකා වැළඳු විහාරය

රිදී විහාර භූමියෙහි පිහිටා තිබෙන ගොඩනැගිලි අතුරින් තරමක් වෙනස් ගොඩනැගිල්ල වන්නේ වරකා වැළඳූ විහාරය යි. එහි ලක්ෂණ හින්දු දේවාලයක ලක්ෂණවලට සමාන කමක් පෙන්වනවා. මෙම විහාරයට වරකා වැළඳූ විහාරය යන නම ලැබී ඇත්තේ දුටුගැමුණු රාජ්‍ය සමයේ දී ඉන්ද්‍රගුප්ත රහතන්වහන්සේ ඇතුළු අනිකුත් රහතන්වහන්සේ මෙහි සිට වරකා වැළඳූ නිසා බව යි විශ්වාස කෙරෙන්නේ.

රිදී විහාරයේ සිතුවම්

රිදී විහාරය තුළ මහනුවර යුගයට අයත් සිතුවම් දක්නට ලැබෙනවා. ඉන් වැඩිම සිතුවම් ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ උඩ විහාරය තුළ යි. සාමාන්‍යයෙන් මහනුවර යුගයේ සිතුවම් දක්නට ලැබෙන විහාරවල ජාතක කතා සිතුවම් කර තිබුණත් මෙහි කිසිදු ජාතක කතාවක් සිතුවම් කර නැහැ. මෙහි දක්නට ලැබෙන සිතුවම් අතරට ගජසිංහ, නරසිංහ, සොළොස්මස්ථානය, මාර යුද්ධය, සූවිසි විවරණය, සත් සතිය වැනි සිතුවම් අයත් වනවා. මෙම විහාරයේ මුල්ම චිත්‍රය සිතුවම් කළේ දෙවරගම්පල සිල්වත් තැන නම් සිතුවම් ශිල්පියාට යි. පසු කලෙක නීලගම පරපුර විසින් මෙහි ඇති ඉතිරි සිතුවම් නිර්මාණය කළා. වර්තමානය වන විට රිදී විහාරය වඩාත් අලංකාර වී තිබෙන්නේ යුග දෙකක සිටි චිත්‍ර ශිල්පීන් ඇඳි සිතුවම් නිසා යි.

උපුටා ගැනීම - Nadun liyanagedara

Address

Kurunegala
Kurunegala
60000

Telephone

+94759533770

Website

Alerts

Be the first to know and let us send you an email when වයඹ ගැම්ම Wayamba gemma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to වයඹ ගැම්ම Wayamba gemma:

Share