09/11/2023
ප්‍රශ්නය 01- මෙකල මගඵල ලාභීන් අඩු වී ඇත්තේ පිරිසිඳු ධර්මය ත්‍රිපිටකය තුළ නොමැති නිසාද?
පිළිතුර -
ත්‍රිපිටකය යන වචනය සෑම දෙනාම අසා තිබුණත්, ත්‍රිපිටකය යනු කුමක්දැයි දැක ඇති පිරිස ඉතාම ස්වල්පයක් පමණයි.
සමහරු සිතා සිටින්නේ ත්‍රිපිටකය යනු ධම්ම පදය යැයි කියා. සමහරුන්ගේ මතය ඒ පන්සිය පනස් ජාතක පොතය කියා.
එතකොට ත්‍රිපිටකය යනු කුමක්ද කියා වත් බහුතරයක් බෞද්ධ පිරිසට වැටහීමක් නෑ.
ඉතින් ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය ඔවුනට අහන්න දකින්න විමසන්න ලැබෙන්නෙ කොහොමද ?
ඉඩක් නෑනේ ඒකට.
ත්‍රිපිටකයෙන් විනය පිටකය තුළ, භික්ෂු භික්ෂුණීන් වහන්සේලා උදෙසා පැනවූ විනය ශිකපද ආදිය ගැන තොරතුරු ඇතුළත් වෙනවා.
එහි,
1.පාරාජිකා පාළි
2.පාචිත්තිය පාළි
3.චුල්ලවග්ග පාළි
4.මහා වග්ග පාළි
5.පරිවාර පාළි
යනුවෙන් පාරිශුද්ධ විනය ග්‍රන්ථ පහක් තිබෙනවා.
අභිධර්ම පිටකය තුළ ඉතා ශාස්ත්‍රීය අන්දමින්, පාරිභාෂික ස්වරූපයෙන් ශ්‍රී සද්ධර්මය සංග්‍රහ කොට තිබෙනවා.
එහි,
1. ධම්මසංගණි
2.විභංග
3. පුග්ගල පඤ්ඤත්ති
4. ධාතුකථා
5.කථාවත්ථු
6.යමක
7.පට්ඨාන
යනුවෙන් පාරිශුද්ධ අභිධර්ම ප්‍රකරණ ග්‍රන්ථ හතක් ඇතුළත් වෙනවා.
සූත්‍ර පිටකය තුළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාත්, මගඵලලාභී ශ්‍රාවකයින්ගේ යම් දේශනාත් ඇතුළත් වී තිබෙනවා.
එහි,
1. දීඝ නිකාය
2.මජ්ඣිම නිකාය
3.සංයුක්ත නිකාය
4. අංගුත්තර නිකාය
5. ඛුද්දක නිකාය
යනුවෙන් පාරිශුද්ධ ශ්‍රී සද්ධර්ම නිකාය පහක් ඇතුළත් වෙනවා.
ත්‍රිපිටක මුද්‍රණය අනුව ලොකු ප්‍රමාණයේ ග්‍රන්ථ 58 ක් තමයි ත්‍රිපිටකය.
සූත්‍ර පිටකය තමයි ප්‍රථමයෙන්ම පරිහරණය කරන්න සුදුසු. මහ රහතන් වහන්සේලා පාරිශුද්ධව රැකගෙන ආ පිරිසිදු බුද්ධ දේශනා දාහත් දහසකට වඩා එහි ඇතුළත් වෙනවා.
මිනිස්සු ධර්මය කියා කවිබණ අහනවා. විහිළු බණ අහනවා. උයන පිහන හැටි , වගා කරන හැටි ආදී ලෞකික ඉගැන්වීම් ධර්මය කියල රැවටිලා අහනවා.
නමුත් ශ්‍රී සද්ධර්මය අසන්නට හා ඉගෙන ගන්නට ලැබීම පරම දුර්ලභ කාරණයක් වෙලා තිබෙනවා.
විහාරස්ථාන වල පූජනීය භික්ෂුන් වහන්සේලාත් පිරිසිදු ශ්‍රී සද්ධර්මය වූ සූත්‍ර අභිධර්ම දේශනා , දේශනා කිරීම සැළකිය යුතු අන්දමින් අඩු වෙලා තියෙනවා.
සමහර විහාරස්ථාන වල ගොඩනැගිලි සෑදීම, සම්මාදන් කිරීම, සැප සම්පත් වැඩි දියුණු කරගැනීම හැර සත්‍යාවබෝධය පිණිස කිසිඳු ක්‍රියාකාරකමක් සිදු කෙරෙන්නේ නෑ.
ලෝකෝත්තර නිවන ගැන දෙසූ ශ්‍රී සද්ධර්මය ගැන සමහර දායකයින්ට මැරෙනකල්ම අහන්න ලැබෙන්නේ නෑ.
මල්වට්ටි වෙන්දේසි , සල්පිල්,නාට්‍ය සන්දර්ශන, දායක සභා සම්මාදන් , පන්සල් පන්සල් ආරවුල් , පිරිකර හා දායක මුදල් ගැටලු, බැණ ගැනීම්, චෝදනා කිරීම් වැනි නිසරු පෘතජ්ජන දේවල් පමණමයි ජීවිතේ පුරාම ලැබෙන්නෙ.
අනවබෝධය නිසා ගිහි ඇත්තොත් ඒවටම හුරු වෙනවා.
නමුත් අපි වෙනස් වෙන්න ඕනේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කළේ අපට ජීවිතාවබෝධය ලබන්න. සත්‍යාවබෝධය ලබන්න. කෙලෙස් ගිනි නිවන්න. සසර දුකින් මිදෙන්න. පූජනීය උතුමෙක් බවට පත් වෙන්න.
ඒ නිසා අපි කළ යුත්තෙ,
ත්‍රිපිටක ශ්‍රී සද්ධර්ම දේශනාම ඉගෙන ගන්න එක. ඒ උතුම් දේශනාව විහාරස්ථාන තුළ සිදුකරවා ගන්න එක, ශ්‍රවණය කරන එක. ඒ දේශනා තුළ තිබූ ධර්ම කරුණු පිළිබඳවම ධර්ම සාකච්ඡා පවත්වන එක.
ඒ වගේම ඒ ධර්මයට අනුව ජීවිතේ හැසිරෙන එක. අත් හැරීම ප්‍රගුණ කිරීම. සමාධිය හා ප්‍රඥාව දියුණු කිරීමට භාවනාව යොදා ගැනීම.
එහෙම කළොත් ආයෙත් මේ බෞද්ධ සමාජය මගඵල ලාභීන්ගෙන් පිරෙනවා.
ත්‍රිපිටක ධර්මය ඉතාම පිරිසිදුයි. පාරිශුද්ධයි. ඒවා නිවැරදි ලෙස ඉගෙන නොගැනීම නිසයි මේ ලෝකේ මගඵල ලාභීන් අඩුවෙලා තියෙන්නෙ.
තෙරුවන් සරණයි!
© සිරි උපාලි ධර්මාශ්‍රමයේ පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි.
(2023-11-06)