30/04/2026
භික්ෂූන් සිවුරු හැරවිය හැකි ද ?.....
ගෞරවණීය මහා සංඝරත්නයට කරුණාවෙන් කියමි.
මේ ප්‍රවෘත්තිය ඇත්ත ද මන් දන්නෑ. නමුත් පල කරල තිබ්බෙ රටේ ප්‍රධාන මාද්‍යවේදියෙක්. ඇත්තනම් ඉතාමත් වැරදිසහගත, මුග්ද, අසාධාරණ, විනාශකාරී තීරණයක්. මෙය භික්ෂු සාසනයේ අවසානය තීරණය කරන්නක්.
සිවුරු හරවන්න පුළුවන් ද?
* අපි දන්නා බුද්ධ නීතිය අනුව පැවිදි වූ කිසිවෙක් බලෙන් සිවුරු හැරවිය නොහැකිය. ප්‍රතිපාදන නැත.
* විනය පිටකය තුළ කිසිදු අවස්ථාවක සිවුරු හැරවීමට අවස්ථාවක් දී නැත.
* බුද්ධ කාලයේ කිසිවෙක් සිවුරු හරවා නැත.
* ධර්මාශෝක රජු සැටදහසක් ව්‍යාජ මහණුන් සුදු වත් අන්දවා සසුනෙන් නෙරපා රාජ්‍ය සේවයේ තනතුරු දුන් බවකියවේ. නමුත් ඔවුන් ද, පැවිද්දන් නොව තමා විසින් කෙස් රැවුල් බා සිවුරු පෙරවූ අය වේ.
* ආචාර්‍ය උපාධ්‍යායන් සහිතව යම් දිනක පැවිදි වූ පැවිද්දෙක් සිය කැමැත්තෙන් තොරව සිවුරුහැරවිය නොහැකිය. පැවිද්දට පිවිසීම හෝ ඉන් නික්මීම පෞද්ගලික කාරණයකි. එයට කිසිවෙකු ට බළපෑම් කළ නොහැකිය.
* භික්ෂූන් කරන වැරදි වලට දඩුවම්, හා ඔවුන් හික්මවීමට ගත හැකි ක්‍රියාමාර්ග භික්ෂු විනයතුළ පැහැදිලිව ඇත. එහි කිසිදු තැනක දඩුවමක් ලෙස සිවුරු හැරවීම නැත. ඇතැම් වත්මන් පැවිද්දන් පවා මෙම කාරණා නොදැන කතා කරනු පෙනේ.
* සාසනයේ බරපතල වැරදි ලෙස ගැණෙන ලිංගික ඇසුර, සොරකම, මිනී මැරීම, ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නැති ගුණ කීම (සතරපරාජිකා) ආදියේ දී පවා පැවිද්ද අහිමි නොවන අතර උපසම්පදාව පමණක් අහෝසි වේ. ඔහුට සාමණේර පැවිද්දෙකු ලෙසින් කටයුතු කළ හැකිය. ඒවා නිවනට බාධාවක් නොවේ.
මෙම තීරණය ගතහොත් කවුද අවසාන තීරකයා. මහනාහිමිවරුන්ද? අධිකරණයද?, විධායකයද?
උන්වහන්සේ ලාට හැකිද බුද්ධ නීතියට පිටින් නීති සම්පාදනය කරන්නට.
එසේනම් කුමක් කළ යුතුද?
* ලොව විශිෂ්ටතම ව්‍යවස්ථාව මම දකින විදියට විනය පිටකයයි. එහි විනය ශික්ෂා 220 ක් අධිකරණ කටයුතු පිණිස අධිකරණ සමථ 07 ක් සහිතව සර්ව සම්පූර්ණ විනය පිටකයක් අපිට තියෙනවා. සතර සංවර සීලයක් තියෙනවා.
* වැසිකිළි යන විදිය, දානෙ වැලදීම, පාරෙ යන එන විදිහ ඉදන් සෑම දෙයකට අවශ්‍ය ශික්ෂා තිබෙනවා.
* කළයුතු වන්නේ, සාමණේරයන් කුඩා කළ සිටම විනය පිටකය අනුව, සේඛියා අනුව හික්මවීමයි. අමුතු නීති ඕනෑ නැත.
* එවිට සාර්ථක භික්ෂුවක් බිහි වෙනවා.
* වැඩිහිටි භික්ෂූන් ට පවා විනය පිටකය පිළිබද අවබෝධයක් දිය යුතුය.
* අමුතු පනත් අවශ්‍ය නැත. සංඝාදිකරණ ද අවශ්‍ය නැත. ඕනෑමනම් විනය පිටකය පනතක් මගින් සම්මත කරන්න. එහි සියල්ල අඩංගුයි. බුදුන් වහන්සේගේ සංඝාධිකරණය පොහොය ගෙයයි.එය සම්මත කර ගන්න. ප්‍රශ්න තිබෙන්නේ විනය පිටකය ක්‍රියාත්මක නොකිරීමයි. ඒ අනුව හැඩ නොගැසීමයි.
නමුත්,
මේ සියල්ල භික්ෂූන් ට අයිති කාරණයක් මිස ගිහි අයට හෝ රජයට අයිති කාරණයක් නොවන බව කිව යුතුය. රජයට හෝ ගිහියාට කළ හැකි කාරණා දෙකක් ඇත.
01 බුදුන් වහන්සේගෙ අනුශාසනාව වන්නේ ඒ ඒ රටේ, ප්‍රත්‍යන්ත දේශයේ නීතියට භික්ෂුව යටත් විය යුතු බවයි. එනිසා රටේ නීතියට පටහැනි දෙයක් භික්ෂුවක් කළහොත් එයට අදාල නීති ක්‍රියාත්මක කරන්න.
02 දුෂ්සිල භික්ෂුවක් කෙරෙහි දායකයා කුමක් කළයුතුද වග අප්පසප්පාද සූත්‍රයේ දක්වා තිබෙනවා. ඒ අනුව කටයුතු කරන්න. එපමණයි.
එතනින් එහා සියල්ල තීරණය කළ යුතු වන්නෙ භික්ෂූන් වහන්සේලායි. ඒ ද විනය පිටකය අනුවයි. එනිසා අපේ ස්වාමීන් වහන්සේලාගෙමන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ
🙏විනය පිටකය අධ්‍යනය කරන්න
🙏ඒ අනුව කුඩා කළ පටන් සිසුන් හික්මවන්න.
🙏පිරිවෙන් අධ්‍යාපනයේ දී විනයට බරක් දෙන්න.
🙏පොහොය කර්ම වැනි සාසනික වත්පිළිවෙත් නැවත සක්‍රීය කරන්න.
🙏පොහොය ගෙය තුළදී ප්‍රදේශයේ භික්ෂූන් ගේ ගැටලු සාකච්ඡා කරන්න. ක්‍රියාමාර්ග ගන්න. සාකච්ඡා කරන්න. සමගි වන්න.
🙏 භික්ෂු විනයට ගිහියන්ට අත පොවන්නට ඉඩ නොදෙන්න.
කුඩා කළ මහණ වූ පිවිතුරු වතුර වගේ හිටපු දරුවෙක් තරුණ වයසට එළඹ වැරදි කළ භික්ෂුවක් බවට පත් වන විට, එහි වගකීමෙන් 90'/, පැවිදි ආචාර්‍ය වරුන්ට, ගුරුවරුන්ට, පිරුවෙන් අධ්‍යාපනයට, සංඝ සංස්ථාවට ඍජුවම එල්ලවන බව පමණක් කියා තබමි. හොද්ද උතුරන විට හැදි නොගා කැටි ගැසුනාම හොද්දට බැන වැඩක් නැත.
මෙහිදී මෙම සිදුවීම සාධරණීකරණය කරන්නෑ. රටේ නීතිය අනුව ගතයුතු ඉහළම තීන්දු ගන්න.
මීට පෙරත් මිනී මරපු, ස්ත්‍රී දූෂණ, ලමා අපචාර ආදී බරපතල වැරදි කළ භික්ෂූන් හිටියා. ඔවුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙනව. සිර බාරයේ 300 ආසන්න පිරිසක් භික්ෂූන් ඉන්නවා. ඒ විදියට ක්‍රියාමාර්ග ගන්න.
නමුත් සිවුරු අරවන්න ඕන වගේ මෝඩ තීන්දු නොගත යුතුයි.
අපි කියන එකම දේ මේ වගේ තත්වයකට සාසනය හා පැවිද්දන් පත් වෙන්නට හේතු හොයල බලල එව වළක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඕන. වැරදි කරන භික්ෂූන් පිරිසක් හදල ඒ අය වැරදි කරාම එ සාසනේ ඉන්න සංඝයාම එකතු වෙල හා උඹල සිවුරු ඇරල පලයල්ල කීවම හරිද?
මේව සිහිණුවනින් විමසන්න.
අනාගතයේ රජයේ ආයතනයකින්, අධිකරණයකින් තීරණය කරාවි සිවුරු ඇරීම හෝ පැවිදි කිරීම. දඩුවම් කිරීම. හෙට ඉදන් දරුවන් මහණ නොවේවි. දෙමව්පියන් දරුවන් මේ තත්වය මත සසුන දෙන්නේද නැත. එවිට පිරිවෙන් ටික වැසේවි. පංසල් එක එක වැසේවි.දැනුත් වෙමින් පවතී. භික්ෂුසසුන නොමැතිව ධර්මයට ගමන් කළ නොහැකිය. ගස් ගල් , වෙහෙර විහාර බණ කියන්නේ නැත. පැවිදි වන දරුවන් නොමැති වූ විට, සංස්ථාව නොපවතී. එවිට, නායක කම් තනතුරු සියල්ල පුස්සක් පමණි.
භික්ෂූන් වහන්සේලා ඉතාමත් සිහි බුද්ධියෙන්, වසර දහයක්වත් දුර අනාගතය දිහා බලා, තීරණගත යුතු සමයක් උදා වී ඇති බව කියමි. රැල්ලට ගොස් ගෙල කපා නොගනිමු.
කොත්මලේ චන්දානන්ද හිමි .