23/10/2023
සියම් රජුගේ උරුමයන් සේම සදා අනුස්මරණීය මතකයන් සුරැකි ගාලු විහාරය....
ස්වදේශ දේශාන්තරයන්හි ව්‍යාප්ත කීර්ති කදම්බයකින් යුක්ත වූ ද සියම් බුරුම ආදී රටවල රජ මහ ඇමතිවරුන් හා සංඝරාජ මහස්ථවිරාදීන් විසින් නොයෙක් වර පුදන ලද්දාවූද ස්‍යාම දේශාධීශවර දිවංගත චූලාලංකාර මහ රජතුමා ගේ ආරාධනා වෙන් 1886 යේදී සියමට වැඩමවා රජකුලයෙන් බොහෝ ගෞරව කරනු ලැබුවා වූ 1891 දී අපවත් වී වදාළ අති ගෞරවාර්භ බුලත්ගම ධම්මාලංකාර සිරිසුමනතිස්ස මහා ස්ථවිර පාදයන් වහන්සේ වූ කලී ගාල්ල පරමානන්ද රාජ මහා විහාරයේ අධිපතිව වැඩ සිටි යුගපුරුෂ උතුමන් වහන්සේ නමකි..
"සොම්ඩව්ප්‍රාපරමින්ද මහාමකුට සම්මත මහා චූළාලංකරණ දෙවවංසා" භිධාන චූළාලංකාර සියම් මහ රජු යුරෝපය බලා යන ගමන් "මහාචක්‍රි" යන රාජකීය නෞකාව ගාලු පිටවරායේ නවතා සපිරිවරින් පැමිණ බුලත්ගම හිමියන් ගේ ශිෂ්‍ය භික්ෂූන් වන්දනාමාන කොට විහාරයට ගෞරව කොට යන්නේ ය.
එය සිහිවෙනු පිණිස මහා ධර්ම ශාලාවක් ගොඩ නැගුවේ සියම් රජතුමා ගේ දෑතින් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනයෙනි.කිසිදු ගෘහනිර්මාණ කලාවකට දෙවැනි නොවන මෙය දකුණුලකට ආඩම්බරයකි .එය වෙනත් රටක රජුගේ නාමයෙන් ප්‍රතිශ්ඨාපිත ලංකාවේ එකම ධර්ම ශාලාවය.
දිගින් අඩි 117 කින්ද පළලින් අඩි 113 කින්ද ශෛලමය දර්ශනීය උළුවස්සක් හා ප්‍රමුඛද්වාර සතරකින් සහ සුලු දොර තිසකින් ද දිග අඩි 22 කකින් හා පළල අඩි 14 කින්දයුත් ප්‍රමුඛගාර තුනකින්ද හාත්පස ඉස්තෝප්පු සතරකින්ද යුත් විසිතුරු තොරන් හා බොහෝ ශිලා කර්මාන්ත ආදියෙන් සමලංකෘත තෙමහල් ධර්ම ශාලාව හා ඊට සම්බන්ධ කර ඉදිරිපස ගොඩනගා ඇති දිගින් අඩි 40 කින් හා පළලින් 32 කකින් යුක්තවූ උඩ මහලෙහි ඇතුල් මන්දිරය දොරටු එකකින් හා කවාකාර ද්වාර සයකින් ද පිට මහලෙහි වැසි කුඩු සහිත කවුලු දොර තෙළසකින් ඉතා වටිනා ලීයෙන් තැනූ තරප්පි දෙකකින්ද හෙබියාවූ ශ්‍රී පරමානන්ද විහාරස්ථ කෞතුකාගාරය මිල කළ නොහැකි කෞතුක භාණ්ඩවලින් සමලංකෘත ය.එ
ය ජාතියේ ආගමේ උරුමය ලොවට කියාපායි.
බෞද්ධ පුනරුදයේ එක් කාල පරිච්ඡේදයක් සනිටුහන් කළ මෙම පුදබිම සොයා පැමිණෙන සියම් වැසියන් උතුරා යන ගෞරවයෙන් විහාරය වන්දනාමාන කරති .එහෙත් ලංකාවේ බොහෝ දෙනා මෙම විහාරය හෝ මෙම මහාර්ඝ ඉතිහාසය පිළිබඳ දන්නේ ඉතා අල්පවය . තායිලන්ත රාජකීය පවුලේ සොයා බැලීමෙන් එහි තානාපතිවරයා සහ සංඝරාජ හිමිවරුන්ගේ නිරතුරු අධීක්ෂණය සහ ආධාර උපකාර මත ගාල්ල ශ්‍රී පරමානන්ද රජ මහා විහාරය අදටත් පැරණි සියම් ශ්‍රී ලංකා කල්‍යාණමිත්‍ර සම්බන්ධතාවය සනිටුහන් කරන ජය භූමියක් ලෙස මහේෂාක්‍යව වැජෙඹෙති.විදේශීය රජකෙනෙකු මෙම විහාරස්ථානයේ ආරම්භයට හවුල් වීම සේම දැනටද ජීවමාන රජ පරම්පරාවවක් තත් විහාරයේ පරිපාලන කටයුතු සොයා බැලීමත් එය පවත්වාගෙන යෑමට ලබා දෙන නොමද සහයෝගයත් පැවතීම නිසාම මෙය රාජමහා විහාරය ලෙස විවහාර කරති.
මෙහි සියම් රාජකීයන් සමග හුවමාරු වූ අත්ලිපි රාශියක් ද, සියම් මහරජු විසින් පූජාකරන්නට යෙදුණු සර්වඥ ධාතූන් වහන්සේලා සහ රන් පිළිම වහන්සේලාද,සියම් බසින් විරචිත සියම් රජු විසින් කුමාරවරුන් අත එවන ලද පදයෝජනා දුර්ලභ පුස්කොළ පෙට්ටි ද, සියම් මහරජු විසින් පූජාකරන ලද සියම් පට සිවුරුසේම සියම් ත්‍රිපිටකය,සේම එරටද දුර්ලභ වූ චූලාලංකාර මහරජු ගේ පැරණි සේයාරුව මෙම විහාරස්ථ කෞතුකාගාර යේ අදටත් සුරක්ෂිතව පැවතීම ලංකාවාසීන්ගේද භාග්‍යක් යැයි කිව හැක..තායිලන්තයේ වර්තමාන රජුද කුමාර අවදියේම විහාරයට පැමිණ මේ ස්ථානය දැකබලා සිය පාරම්පරික සම්බන්ධතාවයන් මැනවින් සොයා බලා විහාරස්ථානයේ දියුණුව උදෙසා උපකාර කොට ඇත.කලින් කලට සියම් රාජකීයන් විවිධ අවස්ථාවන්හි පැමිණ පුද කරනා විවිධ සමරු තිළිණ පිළිවෙළින් මෙහි ඒකරාශි කොට ඇත.
ලක්දිවට දේශීය රජෙකු සේ ආදරය කළ එසේම මහත්වූ උපකාරයන් සිදු කරන ලද චූලාලංකාර මහරජුගේ අනුස්මරණ දිනය සටහන් වන අදවැනි දිනෙක ඒ උදාර රාජ උතුමන්ට නිර්වාණ අධිගමය පතන්නෙමු.....
-සටහන අසංක ගොඩකන්ද -