04/04/2025
#භූමිකම්පා ඇතිවීමට හේතු...☸️
පින්වත් ආනන්ද, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ කරුණු අටක් හේතු වෙනවා ප්‍රත්‍යය වෙනවා. ඒ කරුණු අට කුමක් ද ?
1. පින්වත් ආනන්ද, මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටලයි තියෙන්නෙ. ජලය වාතයෙහි පිහිටලයි තියෙන්නෙ. වාතය ආකාසයෙහි පිහිටලයි තියෙන්නෙ. පින්වත් ආනන්ද, යම් කරුණකින් මහා වාතයෝ හමනවා නම්, එබඳු කාල තියනවා. මහා වාතයෝ හමද්දී ජලය කම්පා වෙනවා. කම්පනය වූ ජලය පෘථිවිය සොළවනවා. පින්වත් ආනන්ද, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේක තමයි පළවෙනි හේතුව වෙන්නෙ. පළවෙනි ප්‍රත්‍යය වෙන්නෙ.
2. තව ද පින්වත් ආනන්ද, ඉර්ධිමත් වූ චිත්ත වශීප්‍රාප්ත වූ ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි, මහත් ඉර්ධිමත් වූ මහත් ආනුභාව ඇති දෙවියෙක් හරි සිටියි ද, ඔහු විසින් පෘථිවි සංඥාව ස්වල්ප වශයෙන් වඩනවා. ජල සංඥාව අප්‍රමාණ කොට වඩනවා. ඔහු මේ පෘථිවිය සොළවනවා. හාත්පසින් සොළොවනවා. බලවත් ව සොළොවනවා. පින්වත් ආනන්ද, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේක තමයි දෙවෙනි හේතුව වෙන්නෙ. දෙවෙනි ප්‍රත්‍යය වෙන්නෙ.
3. තව ද පින්වත් ආනන්ද, යම් කලක බෝසතාණන් වහන්සේ නමක් තුසිත දෙව්ලොවින් චුත ව මනා සිහි නුවණින් යුතුව මව් කුසෙහි පිළිසිඳගන්නවා ද, ඒ මොහොතේ මේ පොළොව සෙළවෙනවා. හාත්පසින් සෙළවෙනවා. බලවත් ව සෙළවෙනවා. පින්වත් ආනන්ද, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේක තමයි තුන්වෙනි හේතුව වෙන්නෙ. තුන්වෙනි ප්‍රත්‍යය වෙන්නෙ.
4. තව ද පින්වත් ආනන්ද, යම් කලක බෝසතාණන් වහන්සේ මනා සිහි නුවණින් යුතුව මව් කුසින් බිහිවෙනවා ද, ඒ මොහොතේ මේ පොළොව සෙළවෙනවා. හාත්පසින් සෙළවෙනවා. බලවත් ව සෙළවෙනවා. පින්වත් ආනන්ද, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේක තමයි සිව්වෙනි හේතුව වෙන්නෙ. සිව්වෙනි ප්‍රත්‍යය වෙන්නෙ.
5. තව ද පින්වත් ආනන්ද, යම් කලක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරන සේක් ද, ඒ මොහොතේ මේ පොළොව සෙළවෙනවා. හාත්පසින් සෙළවෙනවා. බලවත් ව සෙළවෙනවා. පින්වත් ආනන්ද, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේක තමයි පස්වෙනි හේතුව වෙන්නෙ. පස්වෙනි ප්‍රත්‍යය වෙන්නෙ.
6. තව ද පින්වත් ආනන්ද, යම් කලක තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන සේක් ද, ඒ මොහොතේ මේ පොළොව සෙළවෙනවා. හාත්පසින් සෙළවෙනවා. බලවත් ව සෙළවෙනවා. පින්වත් ආනන්ද, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේක තමයි සයවෙනි හේතුව වෙන්නෙ. සයවෙනි ප්‍රත්‍යය වෙන්නෙ.
7. තව ද පින්වත් ආනන්ද, යම් කලක තථාගතයන් වහන්සේ මනා සිහි නුවණින් යුතුව කල්පයක් වැඩසිටිය හැකි ආයුසංස්කාරය අත්හරින සේක් ද, ඒ මොහොතේ මේ පොළොව සෙළවෙනවා. හාත්පසින් සෙළවෙනවා. බලවත් ව සෙළවෙනවා. පින්වත් ආනන්ද, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේක තමයි සත්වෙනි හේතුව වෙන්නෙ. සත්වෙනි ප්‍රත්‍යය වෙන්නෙ.
8. තව ද පින්වත් ආනන්ද, යම් කලක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන සේක් ද, ඒ මොහොතේ මේ පොළොව සෙළවෙනවා. හාත්පසින් සෙළවෙනවා. බලවත් ව සෙළවෙනවා. පින්වත් ආනන්ද, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේක තමයි අටවෙනි හේතුව වෙන්නෙ. අටවෙනි ප්‍රත්‍යය වෙන්නෙ.
පින්වත් ආනන්ද, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ කරුණු අට තමයි හේතු වෙන්නෙ. ප්‍රත්‍යය වෙන්නෙ...
☸️ භූමිචාල සූත්‍රය - අංගුත්තර නිකාය ☸️