Media Division Sri Sumanarama Maha Viharaya

Media Division Sri Sumanarama Maha Viharaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Division Sri Sumanarama Maha Viharaya, Buddhist Temple, kithalella, Ella.

🔵 මේ ශ්‍රී සුමනාරාම මහා විහාරයේ නිල මාධ්‍ය කාර්යංශයේ Facebook පිටුවයි.
🔵 This is a Official Media Division in Sri Sumanarama Maha Viharaya Official page

‎සති අග ධර්ම ප්‍රදීපය ✨‎(22වන ධර්ම ප්‍රදීපය)‎‎❝ ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ අග්‍ර ශ්‍රාවක මහරතනන් වහන්...
31/07/2026

‎සති අග ධර්ම ප්‍රදීපය ✨
‎(22වන ධර්ම ප්‍රදීපය)

‎❝ ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ අග්‍ර ශ්‍රාවක මහරතනන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ❞

‎ප්‍රඥාවෙන් බුදු රජාණන් වහන්සේට පමණක් දෙවැනි වූයේ සැරියුත් මහරහතන් වහන්සේ ය. වංගත බමුණාගේ සහ රූපසාරී බැමිණියගේ පුත්‍ර රත්නයක් ලෙස ඉපදුණි. සාරී බැමිණියගේ පුත්‍රයා වූ බැවින් සාරිපුත්ත යන නමින් ප්‍රකට විය.

‎උපතිස්ස තෙමේ පසු කලෙක රජගහ නුවර ධර්ම ප්‍රචාරයේ යෙදුණු අස්සජි මහ තෙරුන් වහන්සේ දැක පැහැදී අවසානයේ දහම් ඇස පහළ කර ගත්තේ ය. අස්සජි තෙරුන් වහන්සේ දේශනා කළ සතර පද ගාථාවෙන් පළමු පද දෙක අසා අවසන් වනවාත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. පසුව තම මිතුරා වූ කෝලිතට ද තොරතුරු දන්වා බුදුරදුන් වෙත ගොස් “ඒහි භික්ඛු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවේ ය.

‎ඉන් සති දෙකක් ඇවෑමෙන් පසු බුදුරදුන් රජගහ නුවර ”සූකරඛත” ලෙනේ දී සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බෑණනුවන් වූ “දීඝනඛ” පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය අසා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් විය. ඒ බව උන්වහන්සේ ථෙර ගාථා පාලියේ දී මෙසේ දක්වා තිබේ.

‎“භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනෙකෙකුහට ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව යොමු කළ කන් ඇති ව ඉතා හොඳීන් ශ්‍රවණය කළෙමි. එය හිස් එකක් නොවී ය. ඒ දහම් ශ්‍රවණය කළ මම සියලු කෙලෙසුන් නසා මහරහත් බව ලැබුවෙමි. මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්තේ සැරියුත් මහරහතන් වහන්සේ ය. එසේ ම බුදුරදුන්ගේ දකුණත් සව් තනතුර දැරුවේ ද, ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපති තනතුර දැරුවේ ද සැරියුත් මහරහතන් වහන්සේ ය. සැරියුත් මහරහතන් වහන්සේගේ චරිතය තුළින් යහපත් දිවියකට කැමති ඕනෑ ම පුද්ගලයෙකුට ගත හැකි ආදර්ශයන් බොහෝ ය.

‎දිනක් රජගහ නුවර වාසය කරන එක්තරා දුගී මිනිසෙක් අන් සතු අඹ උයනක් රැකබලා ගනිමින් සිටියේ ය. සැරියුත් තෙරුන් වහන්සේ දහවල් වේලෙහි මෙම උයන සමීපයෙන් වැඩම කළහ. තෙරුන් වහන්සේ දුටු එම මිනිසා මහ තෙරුන් උයනට වැඩම කරවා තෙරුන්ගේ කැමැත්ත අනුව පොකුණෙන් පැන් ගෙන සනහා පොකුණෙන් පැන් ගෙන පෙරා පානයට සුදුසු ලෙස සකස් කර පිළිගැන්වී ය. අනතුරුව තෙරුන් වහන්සේ පැන් පූජාවේ අනුසස් ප්‍රකට කරමින් දහම් දෙසූහ. පසු කලෙක එම සැදහැති පින්වත් පුරුෂයා මිය පරලොව ගොස් කළ පින්කමට අනුව තව්තිසා දෙව්ලොව අප්‍රමාණ දිව්‍ය සම්පත් ඇතිව උපත ලැබුවේ ය. තවත් දිනක සැරියුත් තෙරුන් වහන්සේ විහාර මළුවේ සක්මන් කරමින් වැඩ සිටියහ. උන්වහන්සේට නොදැනුවත්වම අඳනයේ කෙළවරක් බිම ගෑවෙමින් තිබුණි. මේ බව දුටු සත් හැවිරිදි සාමණේර නමක් ඒ බව දැක තෙරුන් වහන්සේ වෙත පැමිණ එය පෙන්වා දුන්නේ ය. එය ඉතා ගෞරවයෙන් පිළිගත් සැරියුත් තෙරුන් වහන්සේ අඳනය සකසා හැඳ සාමණේරයන් වහන්සේ වෙත පැමිණ “ආචාරිනී, අඳනය සකසා ගත්තෙමි. දැන් හොඳදැ”? යි ඇසූ සේක.

‎“ස්වාමීනි, දැන් නම් හොඳය” යි සාමණේර නම කීවේ ය. එවිට සැරියුත් මහ තෙරුන් වහන්සේ “එදින ම පැවිදි බව ලබා ගත් සත් හැවිරිදි සාමණේර නමක් වුවත් මා හට අනුශාසනා කළේ නම් ඒ සත් හැවිරිදි කුඩා සාමණේර නමගේ අනුශාසනය පවා මම හිස් මුදුනින් පිළිගන්නෙමි” යි පවසා ඒ සාමණේර නමට ස්තූති ප්‍රශංසා කළ සේක. නිහතමානී ගුණය මැනවින් ප්‍රකට කරවන අවස්ථාවකි.

‎සැරියුත් තෙරුන් වහන්සේට “උපසේන, චුන්ද, රේවත” යනුවෙන් සොහොයුරෝ තිදෙනෙක් වූහ. මේ තිදෙනාම බුදු සසුනේ පැවිදි බව ලැබ රහත් වූහ. “චාලා, උපචාලා, සිසූපචාලා” යනුවෙන් සොහොයුරියෝ තිදෙනෙක් ද වූහ. මේ සැමත් බුදු සසුනේ පැවිදි බව ලැබ රහත් වූහ.

‎මෙසේ සැරියුත් මහ තෙරුන් වහන්සේගේ සහෝදර, සහෝදරියන් සියල්ලම මඟඵල නිවන් අවබෝධ කර ගෙන සිටියත් මව වූ රූපසාරි බැමිණිය මිසදිටු ගෙන සිටියා ය.

‎සැරියුත් තෙරුන් වහන්සේට කලින් කල හට ගන්නා උදරාබාධයක් විය. මෙය අවස්ථා කිහිපයකදීම හට ගත් අතර අවසානයේ එය ඉතා දරුණු ලෙස හට ගත්තේ ය. මෙයට හේතු විමසා බැලූ තෙරුන් වහන්සේ දුටුවේ තමන් වහන්සේගේ අවසාන සමය ළඟා වී ඇති බවයි. උන්වහන්සේ, බුදුරදුන්ගෙන් පිරිනිවන් පෑමට අවසර ගෙන තමන් වහන්සේගේ උපන් ගම වූ නාලක ගමට වැඩම කළහ. ඒ පිරිනිවන් පෑමට පෙර තමන් වහන්සේගේ මව වූ රූපසාරී බැමිණිය සම්මා දිට්ඨියට ගැනීමේ අරමුණ ඇතිව ය. අවසානයේ නාලක ගමේ දී දෙව් බඹුන්ගෙන් වන්දනාමාන, මහා සත්කාර ලබන සිය පුත් සැරියුත් මහ තෙරුන් වහන්සේ ගැන ඇයට පැහැදීම ඇති වී දහම් ඇසීය. එකල්හි තෙරුන් වහන්සේ නව අරහාදී බුදු ගුණ ප්‍රකට කරමින් ධර්මය දේශනා කළ සේක. දේශනාව කෙළවර රූපසාරී බැමිණිය උතුම් වූ සෝවාන් ඵලයට පත් වූවා ය. අනතුරුව රැස්ව සිටි භික්ෂූන් ප්‍රධාන සියලු දෙනාට ධර්මය දේශනා කර දකුණු ඇලයෙන් සැතපී පිළිවෙළින් ධ්‍යානයන්ට සම වැදී අනතුරුව අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.

‎පසුව උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළහ. ආදාහනයෙන් පසුව ශේෂ වූ අස්ථි ධාතු චුන්ද තෙරුන් වහන්සේ බුදුරදුන්ට භාර කළහ. බුදුරදුන් එම ශාරීරික ධාතු පිළිගෙන සැරියුත් තෙරුන් වහන්සේගේ ගුණ නොයෙක් ලෙසින් ප්‍රකට කර එම ධාතු නිදන් කර සෑයක්ද කරවූහ.

‎මේ සදහම් කරුණ උතුම් ධර්ම දානයක්ම වේවා..!!!

‎©️ ශ්‍රී සුමනාරාම මහා විහාරීය නිල මාධ්‍ය කාර්යංශය | Official Media Division Sri Sumanarama Maha Viharaya




‎ #සුමනාරාමමහාවිහාරය #සුමනාරාමමහාවිහාරයනිලමාධ්යකාර්යංශය
‎ #සුමනාරාමමහාවිහාරයකිතල්ඇල්ල
‎ #ඇල්ලකිතල්ඇල්ලසුමනාරාමය
‎ #සුමනාරාමයකිතල්ඇල්ල
‎ #කිතල්ඇල්ලපන්සල #කිතල්ඇල්ල #ඇල්ල

‎ #සතිඅගධර්මපදීපය ゚viralシviralシfypシ゚viralシalシ

‎🌼 ❝ පොහොය වර්ණනා ❞ 🌼‎( පොහොය දින විශේෂ ලිපිය )‎‎ඇසළ පොහොය වර්ණනාව‎‎👉 සිද්ධාර්ථ කුමරු මව් කුස පිළිසිඳ ගැනීම.‎‎අප බෝධිසත්...
28/07/2026

‎🌼 ❝ පොහොය වර්ණනා ❞ 🌼
‎( පොහොය දින විශේෂ ලිපිය )

‎ඇසළ පොහොය වර්ණනාව

‎👉 සිද්ධාර්ථ කුමරු මව් කුස පිළිසිඳ ගැනීම.

‎අප බෝධිසත්ත්වයෝ දීපංකර ආදී සූවිසි බුදුවරුන් හමුවෙහි පෙරුම් පුරමින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පැමිණියහ. කස්සප බුදුන් වහන්සේට මෑත භාගයෙහි අතරතුර මෙම සම්මා සම්බුදුන් ගෞතම හැර වෙනත් බුදුවරයෙක් නොවීය. මෙසේ දීපංකර ආදී සූවිසි බුදුවරුන්ගෙන් විවරණ ලැබූ බෝධිසත්ත්වයෝ,

‎1.මනුෂ්‍ය ආත්මයක් ලැබීම.
‎2.පුරුෂයෙකු වීම.
‎3.රහත් වීමට තරම් හේතු සම්පත් ඇති බව.
‎4.ශාස්තෘන් වහන්සේ නමක් හමුවීම.
‎5.පැවිද්දෙකු වීම.
‎6.ධ්‍යාන ආදී ගුණ සම්පත්තිය.
‎7.ජීවිත පරිත්‍යාගය වැනි අධිකාරය හෙවත් කැපවීම.
‎8.බුදු වීමට ඇති දැඩි කැමැත්ත,
‎යන කරුණු අට සම්පූර්ණ වීමෙන් බුද්ධත්වය සඳහා වූ ප්‍රාර්ථනාව සමෘද්ධ වේ.

‎මේ අෂ්ට ධර්මයන් එක්තැන් කොට, දීපංකර පාද මූලයේදී කරන ලද අභිනීහාර ප්‍රාර්ථනා ඇතිව, “දැන් මම බුදු කරවන ධර්මයන් සොයමි” යි උත්සාහ කොට, එසේ විමසන කල්හි පළමුව දාන පාරමිතාව දුටුවේය. මෙසේ දාන පාරමිතාව ආදී බුද්ධ කාරක ධර්ම දැක, ඒවා පුරමින්ම වෙස්සන්තර ආත්ම භාවය දක්වා පැමිණියේය. ඒ ගමනේදී බුදුබව පතා විවරණ ලැබූ බෝධිසත්ත්වයන්ට ලැබෙන ආනිසංස මෙසේ වර්ණනා කර ඇත.

‎මෙසේ සියලු අංගයන්ගෙන් සම්පූර්ණ වූ, බුද්ධත්වය සඳහා නියත විවරණ ලැබූ නරයන් (බෝධිසත්ත්වයෝ), කල්ප කෝටි සිය ගණනක් වුවද දීර්ඝ කාලයක් සංසාරයේ සැරිසරන අතර,

‎1.අවීචි මහා නිරයේ නොඋපදිති. එසේම සක්වල අතර පිහිටි ලෝකාන්තර නිරයේද, පිපාසයෙන් පෙළෙන නිජ්ඣාමතණ්හික ප්‍රේතයන් අතරද, කාලකඤ්ජක නම් අසුරයන් අතරද නොඋපදිති.

‎2.දුගතියක උපන්නද වටුවකුට වඩා කුඩා සතෙකු වී නොඋපදිති. මනුෂ්‍යයන් අතර උපදින විට උපතින් අන්ධයෝ නොවෙති.

‎3.බිහිරි බවක් ඇති නොවේ , ගොළු බවක් ඇති නොවේ. ස්ත්‍රී ආත්ම භාවයකට නොපැමිණෙති. උභතෝබ්‍යඤ්ජනක (ලිංග දෙකම ඇති) හෝ පණ්ඩක (නපුංසක) නොවෙති.

‎4.බුද්ධත්වය සඳහා නියත වූ ඒ නරයන් (පස් වැදෑරුම්) ආනන්තරීය පාප කර්මවලට හසු නොවෙති. සෑම තැනකදීම පිරිසිදු හැසිරීම් ඇත්තෝ වෙති.

‎5.කර්මය හා කර්ම ඵලය විශ්වාස කරන ඔවුහු මිථ්‍යා දෘෂ්ටිය නොගනිති. සුගති ස්වර්ගවල විසූවද අසඤ්ඤ තලයේ (සිත් නැති බඹලොව) නොඋපදිති.

‎6.සුද්ධාවාස දෙව්ලොව ඉපදීමට හේතු සම්පත් (අනාගාමී මාර්ග ඵල) ඇති කර නොගනිති. සසර කලකිරී නික්මීමට නැඹුරු වූ ඒ සත්පුරුෂයෝ, භවාභවයන්හි නොඇලී, ලෝකාර්ථ චර්යාවෙහි හැසිරෙමින් සියලු පාරමිතාවන් සම්පූර්ණ කරති. බෝධිසත්වයෝ මහ පොළොව කම්පා කරවීම ආදී මහා පින්කම් කොට, ආයු කෙළවර එතැනින් චුත වී තුසිත දෙව්ලොව උපන්හ.

‎බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව වසන කල්හි ‘බුද්ධ කෝලාහලය’ නම් වූ ආන්දෝලනයක් ඇති විය. ලෝකයෙහි ආන්දෝලන තුනක් ඇති වේ.

‎1කල්ප කෝලාහලය (කල්පය විනාශ වීම පිළිබඳ ඝෝෂාව)
‎2බුද්ධ කෝලාහලය (බුදු කෙනෙකු පහළ වීම පිළිබඳ ඝෝෂාව)
‎3.චක්කවත්ති කෝලාහලය (සක්විති රජ කෙනෙකු පහළ වීම පිළිබඳ ඝෝෂාව)
‎එහි දී, වසර ලක්‍ෂයක් ඇවෑමෙන් කල්ප විනාශය වන්නේ යැයි දැනගත් විට ‘ලෝකබ්‍යුහ’ නම් කාමාවචර දෙවිවරු හිසකෙස් විසුරුවාගෙන, හඬන මුහුණින් යුතුව, දෑතින් කඳුළු පිස දමමින්, රතු වස්ත්‍ර හැඳ, ඉතා විරූපී වෙස් ගෙන මිනිසුන් ගැවසෙන තැන්වල ඇවිදිමින් මෙසේ පවසති.
‎“නිදුකාණෙනි, මෙයින් වසර ලක්‍ෂයක් ගිය තැන කල්ප විනාශය වන්නේය. මේ ලෝකය විනාශ වන්නේය. මහා සාගරය ද වියළී යන්නේය. මේ මහා පොළොව ද මහමෙර පර්වත රාජයා ද දැවී විනාශ වන්නේය. බ්‍රහ්ම ලෝකය දක්වාම ලෝක විනාශය සිදුවන්නේය. එබැවින් නිදුකාණෙනි,

‎1.මෛත්‍රිය වඩන්න.
‎2.කරුණාව වඩන්න.
‎3.මුදිතාව වඩන්න.
‎4.උපේක්ෂාව වඩන්න.
‎5.මව්පියන්ට උපස්ථාන කරන්න.
‎6.කුල දෙටුවන් පුදන්න.

‎මෙය ‘කල්ප කෝලාහලය’ නම් වේ.
‎වසර දහසක් ඇවෑමෙන් සර්වඥතා ඥානය ඇති බුදු කෙනෙක් ලොව පහළ වන්නේ යැයි දැනගත් ලෝක පාලක දෙවිවරු, “නිදුකාණෙනි, මෙයින් වසර දහසක් ඇවෑමෙන් බුදු කෙනෙක් ලොව පහළ වන්නේය” යි ඝෝෂා කරමින් ඇවිදිති. මෙය ‘බුද්ධ කෝලාහලය’ නම් වේ.
‎වසර සියයක් ඇවෑමෙන් සක්විති රජ කෙනෙක් පහළ වන්නේ යැයි දැනගත් දෙවිවරු “නිදුකාණෙනි, මෙයින් වසර සියයක් ඇවෑමෙන් සක්විති රජෙක් ලොව පහළ වන්නේය” යි ඝෝෂා කරමින් ඇවිදිති. මෙය ‘චක්කවත්ති කෝලාහලය’ නම් වේ. මේ ත්‍රිවිධ කෝලාහලයෝ ඉතා මහත් වන්නාහ.

‎ඒ ආන්දෝලන අතරින් බුද්ධ කෝලාහල ශබ්දය අසා දස දහසක් සක්වල දෙවිවරු එකට රැස්ව, “අසවල් සත්ත්වයා බුදු වන්නේය” යි නිශ්චිතව දැනගෙන ඔහු වෙත එළඹ ආරාධනා කරති. එසේ ආරාධනා කරන්නේ ද පෙර නිමිති පහළ වූ පසුව ය. එකල්හි සියලු දෙවිවරු එක එක සක්වලට අයත් චාතුම්මහාරාජික, ශක්‍ර, සුයාම, සන්තුසිත, සුනිම්මිත, වසවර්ති යන දෙවිවරුන් හා මහා බ්‍රහ්මයන් සමඟ එකම සක්වලකට රැස්ව, තුසිත භවනයෙහි වෙසෙන බෝසතුන් වෙත ගොස් මෙසේ අයැද සිටියහ.
‎“නිදුකාණෙනි, ඔබ වහන්සේ විසින් දස පාරමිතාවන් පුරන ලද්දේ,

‎1.ශක්‍ර සම්පත්තිය පතා නොවේ.
‎2.මාර සම්පත්තිය පතා නොවේ.
‎3.බ්‍රහ්ම සම්පත්තිය පතා නොවේ.
‎4.සක්විති රජ සැප පතා නොවේ.
‎ලෝකයා සසරින් එතෙර කරවීම පිණිස සර්වඥතා ඥානය පතාගෙනම පාරමී දම් පුරන ලදී. නිදුකාණෙනි, බුදු වීමට මේ සුදුසු කාලයයි! නිදුකාණෙනි, බුදු වීමට මේ සුදුසු කාලයයි!”

‎ඉක්බිති මහා සත්ත්වයෝ දෙවිවරුන්ට පොරොන්දුවක් නොදී, කාලය, දීපය, දේශය, කුලය, මව යන පස් මහ බැලුම් (පඤ්ච මහා විලෝකන) බැලූහ.

‎එහි දී පළමුව “මේ සුදුසු කාලය ද? නුසුදුසු කාලය ද?” යි කාලය විමසා බැලූහ. එහි දී මිනිස් ආයුෂ අවුරුදු ලක්‍ෂයකට වඩා වැඩි කාලය සුදුසු කාලය නොවේ. මක්නිසාද යත්, එකල සත්ත්වයින්ට ජාති (ඉපදීම), ජරා (දිරායාම), මරණ යන මේවා පැහැදිලිව නොපෙනේ. බුදුවරුන්ගේ ධර්ම දේශනාව ත්‍රිලක්‍ෂණයෙන් (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) තොරව නොපවතී. ඔවුන්ට “අනිත්‍යය, දුක්ඛය, අනාත්මය” යි දේශනා කළද, “මේ මොනවා කියන්නේදැ” යි සිතා එය ඇසීමට හෝ විශ්වාස කිරීමට හෝ නොසිතති. එයින් අවබෝධයක් ඇති නොවේ. එසේ වූ විට ශාසනය (ධර්මය) සසරින් එතෙර කරවීමට සමත් නොවෙයි. එබැවින් එය නුසුදුසු කාලයයි.

‎මිනිස් ආයුෂ අවුරුදු සියයට අඩු කාලය ද සුදුසු කාලය නොවේ. මක්නිසාද යත්, එකල සත්ත්වයෝ දැඩි කෙලෙස් ඇත්තෝ වෙති. දැඩි කෙලෙස් ඇත්තවුන්ට දෙනු ලබන අවවාදය අවවාදයක් ලෙස නොපිහිටයි. දියෙහි ඇඳි ඉරක් මෙන් වහා මැකී යයි. එබැවින් එය ද නුසුදුසු කාලයයි.

‎වසර ලක්‍ෂයකට අඩු වූ ද, වසර සියයකට වැඩි වූ ද ආයු කාලය ම බුදු වීමට සුදුසු කාලය නම් වේ. එකල බෝසතුන් විමසන කල මිනිස් ආයුෂ වසර සියයක් විය. එබැවින් මහා සත්ත්වයෝ “මේ බුදු වීමට සුදුසු කාලය යි” කාලය දුටුවහ.

‎ඉන්පසු දීපය (මහාද්වීපය) විලෝකනය කරන්නේ, පිරිවර දූපත් සහිත සතර මහාද්වීපයන් බලා, “මහාද්වීප තුනක බුදුවරු නොඋපදිති. ජම්බුද්වීපයෙහිම උපදිති” යි දීපය දුටුවහ.

‎අනතුරුව, “ජම්බුද්වීපය වනාහි දස දහසක් යොදුන් විශාලය. කවර ප්‍රදේශයක බුදුවරු උපදිත් ද?” යි ප්‍රදේශය (දේශය) විලෝකනය කරන්නේ ‘මධ්‍යම දේශය’ දුටුවහ. විනය පිටකයෙහි සඳහන් වන පරිදි මධ්‍යම දේශයේ සීමාවන් මෙසේය.

‎1.නැගෙනහිරින්: ගජංගල නම් නියම්ගම ය. ඉන් ඔබ්බෙහි මහාසාල වන පෙදෙස ය. එතැන් පටන් ප්‍රත්‍යන්ත (පිටිසර) ජනපද ය. එයින් මෙපිට මධ්‍යම දේශය යි.
‎2.ගිනිකොණින්: සල්ලවතී නම් ගඟ ය. එතැන් පටන් ප්‍රත්‍යන්ත ජනපද ය. ඉන් මෙපිට මධ්‍යම දේශය යි.
‎3.දකුණින්: සේතකණ්ණික නම් නියම්ගම ය. එතැන් පටන් ප්‍රත්‍යන්ත ජනපද ය. ඉන් මෙපිට මධ්‍යම දේශය යි.
‎4.බටහිරින්: ථූණ නම් බ්‍රාහ්මණ ගම්මානය ය. එතැන් පටන් ප්‍රත්‍යන්ත ජනපද ය. ඉන් මෙපිට මධ්‍යම දේශය යි.
‎5.උතුරින්: උසීරද්ධජ නම් පර්වතය ය. එතැන් පටන් ප්‍රත්‍යන්ත ජනපද ය. ඉන් මෙපිට මධ්‍යම දේශය යි.

‎මෙම ප්‍රදේශය දිගින් යොදුන් තුන්සියයක් ද, පළලින් යොදුන් දෙසිය පනහක් ද, වට ප්‍රමාණයෙන් යොදුන් නවසියයක් ද වේ. මෙම ප්‍රදේශයෙහි,

‎1.බුදුවරු
‎2.පසේබුදුවරු
‎3.අග්‍රශ්‍රාවකයෝ
‎4.අසූ මහා ශ්‍රාවකයෝ
‎5.සක්විති රජවරු
‎සහ අන්‍ය වූ මහේශාක්‍ය ෂත්‍රීය, බ්‍රාහ්මණ හා ගෘහපති මහාසාර කුල ඇත්තෝ ද උපදිති. “මෙහි ‘කපිලවස්තු’ නම් නගරයක් ඇත. එහි මා උපදිය යුතුය” යි තීරණය කළහ.

‎ඉන්පසු කුලය විලෝකනය කරන්නේ, “බුදුවරු වෙළඳ කුලවල හෝ ශුද්‍ර කුලවල නොඋපදිති. ලෝක සම්මත වූ රජ කුලයෙහි හෝ බමුණු කුලයෙහි යන දෙකුලයෙහි ම පමණක් උපදිති. වර්තමානයෙහි රජ කුලය ලෝක සම්මත ය (උසස් යැයි පිළිගැනේ). එබැවින් මම එහි උපදින්නෙමි. ශුද්ධෝදන නම් රජතුමා මගේ පියා වන්නේය” යි කුලය දුටුවහ.

‎ඉන්පසු මව විලෝකනය කරන්නේ, “බුද්ධ මාතාව චපල වූ හෝ සුරාවට ලොල් වූ හෝ තැනැත්තියක් නොවේ. කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පෙරුම් පුරන ලද, උපතේ පටන් අඛණ්ඩව පන්සිල් රැකගත් තැනැත්තියක්ම විය යුතුය. මේ මහාමායා දේවිය එවැනි ගුණ ඇත්තියකි. මැය මාගේ මව වන්නීය. ඇයගේ ආයුෂ කොපමණ ද යත්, දස මසකට මතු සත් දවසකි” යි මව සහ ආයුෂ දුටුවහ.

‎මෙසේ මේ පස් මහ බැලුම් බලා, “නිදුකාණෙනි, බුදු වීමට මේ සුදුසු කාලයයි” කියා දෙවිවරුන්ට සංග්‍රහ කරමින් ඔවුන්ගේ ඉල්ලීම පිළිගෙන, “දැන් ඔබලා යන්න” යි දේව සමූහයා පිටත් කර හැර, තුසිත දෙවිවරුන් විසින් පිරිවරා ගන්නා ලද්දේ, තුසිත පුරයේ නන්දන වනයට පිවිසියේය. සියලු දිව්‍ය ලෝකවල නන්දන වනයක් ඇත. එහි දී දෙවිවරු “මෙයින් චුත වී සුගතියට යන්න, මෙයින් චුත වී සුගතියට යන්න” යි කියමින් පෙර කරන ලද කුසල කර්මවල අවස්ථාවන් සිහිපත් කරවමින් ඇවිදිති. මෙසේ කුසල් සිහි කරවන දෙවිවරුන් විසින් පිරිවරා ගන්නා ලදුව එහි සැරිසරන බෝසතාණෝ, දෙව්ලොවින් චුත වී මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ.

‎එකල කපිලවස්තු නගරයෙහි ඇසළ නැකත් සැණකෙළිය ප්‍රකාශයට පත් විය. මහජනයා නැකත් ක්‍රීඩා කරති. මහාමායා දේවිය ද පුර පසළොස්වක පොහොයට පෙර සත් වන දින පටන්, සුරා පානයෙන් තොරව, මල් ගඳ විලවුන් හා අලංකාරයෙන් යුතුව නැකත් කෙළි අනුභව කළාය. සත්වන දින (ඇසළ පොහෝ දින) උදෑසනින්ම නැගිට, සුවඳ පැන් නා, සාර ලක්‍ෂයක් ධනය වියදම් කර මහා දන් දී, සියලු ආභරණයෙන් සැරසී, රසවත් බොජුන් අනුභව කොට, උපෝසථ ශීලය (අටසිල්) සමාදන් වී, අලංකාර ලෙස සැරසූ සිරියහන් ගැබට පිවිස, සිරියහනෙහි සැතපී, නින්දට එළඹෙමින් මේ සිහිනය දුටුවාය.

‎"සතරවරම් මහරජවරු සතර දෙනා ඇයව යහනත් සමඟම ඔසවාගෙන හිමාලයට ගොස්, සැට යොදුන් පමණ වූ මනෝශිලා තලාවක, සත් යොදුන් උසැති මහා සල් රුකක් යට තබා පසෙකට වී සිටියහ. ඉක්බිති ඔවුන්ගේ දේවීන් (මෙහෙසියන්) පැමිණ දේවියව අනෝතප්ත විලට ගෙන ගොස්, මිනිස් මළ (දෝෂ) හරිනු පිණිස නාවා, දිව්‍ය වස්ත්‍ර අන්දවා, සුවඳ විලවුන් ගන්වා, දිව්‍ය මල් පළඳවා, ඊට නුදුරින් වූ රිදී පර්වතයක් තුළ තිබූ රන් විමනක, නැගෙනහිරට හිස දමා පනවන ලද දිව්‍ය යහනක සැතපවූහ. එකල්හි බෝසතාණෝ සුදු පැහැති උතුම් ඇතෙකු වී, ඊට නුදුරින් වූ රන් පර්වතයෙහි හැසිර, එයින් බැස රිදී පර්වතයට නැග, උතුරු දෙසින් පැමිණ, රිදී දම්වැලක් බඳු වූ සොඬින් සුදු නෙළුම් මලක් ගෙන, කුඤ්චනාද කොට, රන් විමනට පිවිස, මවගේ යහන වටා තෙවරක් පැදකුණු කොට, දකුණු ඇළය පලාගෙන කුසට ඇතුළු වූවාක් මෙන් විය.”
‎මෙසේ උතුරුසල නැකතින් බෝධිසත්වයන් පිළිසිඳ ගත්හ.

‎👉 රාහුල කුමාරෝත්පත්තිය සහ සිද්ධාර්ථ කුමරු මහාභිනිෂ්ක්‍රමය කිරීම.

‎එක් දවසක් බෝසත්හු උයන් බිමට යනු කැමැත්තෝ, රථය සරසන ලෙස රියදුරුට කීහ. හෙතෙම “මැනවැ” යි පිළිගෙන, මාහැඟි උතුම් රථයක් සියලු අලංකාරයෙන් සරසා, කුමුදු මල් පෙති වන් පැහැ ඇති මංගල සෛන්ධව අශ්වයන් සිව් දෙනකු යොදා බෝසතුන්ට දැන්වීය. බෝසත්හු දෙවි විමනක් සමාන රථයට නැඟී උයන දෙසට ගියහ. එවිට දෙවියෝ “සිදුහත් කුමරුගේ බුද්ධත්වයට කාලය ළං වී ඇත. පෙර නිමිති දක්වන්නෙමු” යි සිතා, එක් දෙව්පුතකු ජරාවට පත්, දිරා ගිය, දත් කැඩුණු, කෙස් පැසුණු, වක් වූ, සිරුර නැමුණු, අතින් සැරයටියක් ගත්, වෙවුලන මහල්ලෙකුගේ වෙස් ගන්වා පෙන්නූහ. එය බෝසතුන් සහ රියදුරා පමණක් දකිති. බෝසත්හු රියදුරා අමතා, “යහළුව, මොහු කවරෙක් ද? ඔහුගේ කෙස් ද අන් අය හා සමාන නො වෙයි” යනාදී වශයෙන් මහාපදාන සූත්‍රයෙහි සඳහන් ක්‍රමයෙන් විචාරා, රියදුරුගේ පිළිතුර අසා, “පින්වත, උපන්නා හට ජරාව (මහලු බව) පෙනෙන්නේ නම් මේ ඉපදීමට නින්දා වේවා!” යි සංවේගයට පත් සිතැතිව, එතැනින්ම ආපසු හැරී මාලිගයට පිවිසියහ. රජතුමා “මගේ පුතු වහාම ආපසු පැමිණියේ මන්දැ?” යි විචාරා, “මහලු රුවක් දැක ය” යි අසා, “මහල්ලෙක් දැක පැවිදි වන්නේ ය” යි පෙර ඇසූ අනාවැකිය ම සිහි කළේය. “මා විනාශ නො කරව්. වහා ම පුතුට නාට්‍ය සංගීතාදිය පිළියෙල කරව්. සැප සම්පත් විඳින විට පැවිද්ද සිහි නොවන්නේය” යි පවසා, ආරක්‍ෂාව තර කොට සියලු දිශාවන්හි අඩ යොදුනක් දුරට මුරකරුවන් යෙදවීය.

‎නැවත එක් දිනක් බෝසත්හු පෙර සේම උයනට යන්නාහු, දෙවියන් විසින් මවන ලද රෝගී පුරුෂයකු දැක, පෙර සේම විචාරා, කළකිරීමට පත්ව ආපසු පැමිණ මාලිගයට ගියහ. රජතුමාද පෙර පරිදිම කරුණු අසා සංවිධාන කොට තිගව්වක් (ගව් තුනක්) ප්‍රදේශයෙහි ආරක්ෂාව තර කළේය. නැවත එක් දවසක් උයනට යන බෝසත්හු, දේව නිර්මිත මළ සිරුරක් දැක සංවේගයට පත්ව ආපසු අවුත් මාලිගයට පිවිසියහ. මෙවර රජතුමා යොදුනක් ප්‍රමාණයට ආරක්‍ෂා තර කළේය. වෙනත් දවසක බෝසත්හු උයනට යන අතරතුර, දෙවියන් විසින් මවන ලද මනාව සිවුරු හැඳ පොරවා ගත් පැවිදි රුවක් දැක, “යහළුව, මේ කවරෙක් ද?” යි රියදුරුගෙන් විචාළහ. බුදු සසුන පවත්නා කාලයක් නොවන නිසා පැවිද්දකු ගැන හෝ පැවිදි ගුණ ගැන රියදුරා නොදත්තේ වී නමුත්, දෙවියන්ගේ අනුහසින් “දේවයිනි, මේ පැවිද්දෙක්ය” යි හඳුන්වා පැවිදි ගුණද වැනීය. බෝසත්හු පැවිද්ද කෙරෙහි රුචිය උපදවා එදවස (ආපසු නොගොස්) උයනට ගියහ.

‎එහි උයන් සිරි විඳිමින් දවල් කාලය ගත කොට, මඟුල් පොකුණෙහි නා, හිරු බැස යත්ම මඟුල් ගල් පුවරුවෙහි හිඳ ගත්හ. බෝසතුන්ට එහි දී තමා අලංකාර කරවා ගැනීමට සිත් විය. එකෙණෙහි බෝසතුන්ගේ පිරිවර පිරිස නානා වර්ණ වස්ත්‍රද, විවිධ ආභරණද, මල්, ගඳ, විලවුන් ද රැගෙන පිරිවරා සිටියහ. මේ මොහොතේ සක් දෙවිඳුගේ ආසනය උණුසුම් විය. “කවරකු මා සක් පදවියෙන් ඉවත් කරනු කැමැත්තේ දෝ” යි විමසන සක් දෙවිඳු, සිදුහත් කුමරුන්ගේ අලංකාර වීමේ කැමැත්ත සහ අද මධ්‍යම රාත්‍රියෙහි මහාභිනිෂ්ක්‍රමණය කරන බව දැන, විශ්වකර්ම දෙව්පුත් අමතා, “සගය, අද කුමරා මහබිනික්මන් කරන්නේය. මේ මොහුගේ අවසන් සැරසීමයි. උයනට ගොස් මහා පුරුෂයාණන් දිව්‍යාභරණයෙන් සරසව” යි නියම කළේය. ඔහුද “මැනවැ” යි පිළිගෙන දිව්‍යානුභාවයෙන් එකෙණෙහිම උයනට ගොස්, බෝසතුන්ගේ කපුවාගේ වේශය ගෙන බෝසතුන්ගේ හිස වෙලීය. බෝසත්හු අත ස්පර්ශ වූ කෙණෙහිම “මේ මිනිසකු නොව දෙව් පුතෙකැ” යි දැන ගත්හ.

‎සියලු ආභරණයෙන් සැරසී සිටි බෝසතුන්ට සියලු වාද්‍ය ශිල්පීන් තම තමන්ගේ කුසලතාවයන් දක්වද්දී, බමුණන් “ජය වේවා, සතුටු වේවා” ආදී වදන් කියද්දී, වන්දිභට්ටයෝ නන් අයුරින් ස්තුති ඝෝෂා පවත්වද්දී, උන්වහන්සේ සර්වාලංකාරයෙන් යුත් උතුම් රථයට නැංගාහ. මේ වේලාවෙහි “රාහුල මාතාව පුතකු බිහිකළාය” යි අසා සුදොවුන් මහරජාණෝ “මගේ පුතුට මේ සතුට දන්වව්” යැයි හසුනක් යැවූහ. බෝසත්හු ඒ අසා, “රාහුල උපන්නා. බන්ධනය උපන්නා” යයි කීහ. රජතුමා “මගේ පුතු කුමක් කීයේ දැ?” යි විචාරා ඒ වචනය අසා, “මෙතැන් සිට මාගේ මුනුබුරාණන්ට ‘රාහුල කුමරු’ යන නාමයම වේවා”යි කීයේය.

‎බෝසතාණෝ රථයට නැගී මහත් යසසින් හා සිත්කළු රූසපුවෙන් යුතුව නුවරට පිවිසියහ. මේ අවස්ථාවෙහි ‘කිසාගෝතමී’ නම් ෂත්‍රිය කුමරිය උඩු මහලෙහි සිටින්නී, නුවර පැදකුණු කරන බෝසතුන්ගේ රූප ශ්‍රීය දැක, සතුටින් පිනාගිය සිත් ඇත්තී, මේ ප්‍රීති වාක්‍යය (උදානය) ප්‍රකාශ කළාය.

‎“යම් මවකට මෙබඳු පුතෙක් වීද, ඒ මව ඒකාන්තයෙන්ම නිවුණු තැනැත්තියකි. යම් පියෙකුට මෙබඳු පුතෙක් වීද, හෙතෙමද නිවුණු කෙනෙකි. යම් ස්ත්‍රියකට මොහු ස්වාමියා වීද, ඇයද නිවුණු තැනැත්තියකි.”

‎බෝසත්හු මේ උදාන වාක්‍යය අසා මෙසේ සිතූහ. “ඇය කියන්නේ ‘මෙවැනි රූසපුවක් ඇති අත් බවක් දකින මවකගේ හදවත නිවෙයි. පියෙක්ගේ හදවත නිවෙයි. බිරියගේ හදවත නිවෙයි’ යනුවෙනි. එහෙත් කුමක් නිවුණු කල්හි හදවත සැබවින්ම නිවීමක් (ශාන්තියක්) වේ ද?” එවිට කෙලෙස්හි නොඇළුණු සිත් ඇති බෝසතුන්ට මෙසේ සිතිණි. “රාග ගින්න නිවුණු කල්හි එය නිවීමක් වෙයි. ද්වේෂ ගින්න නිවුණු කල්හි එය නිවීමක් වෙයි. මෝහ ගින්න නිවුණු කල්හි එය නිවීමක් වෙයි. මානය, දෘෂ්ටිය ආදී සියලු කෙලෙස් දරථයන් නිවුණු කල්හි නියම වශයෙන් නිවීම (නිර්වාණය) වෙයි. ඇය මට අසන්නට සැලැස්වූයේ මාහැඟි දහමකි. මමද නිවීම හෙවත් නිබ්බාණය සොයමින් හැසිරෙමි. අදම මම ගිහි ගෙය අත්හැර නික්මී, පැවිදි ව, නිවීම (නිර්වාණය) සොයන්නට වටී. මෙය ඇයට ගුරු පූජාවක් වේවා!” යි සිතා, ගෙල බැඳි ලක්‍ෂයක් වටිනා මුතුහර ගලවා කිසාගෝතමියට යැවූහ. ඇයද “සිදුහත් කුමරු මා කෙරෙහි සිත් ඇතිව මෙය එවන්නට ඇතැ” යි සිතා සතුටු වූවාය.

‎බෝසතාණෝ මහත් සම්පත්තියෙන් යුතුව තම ප්‍රාසාදයට නැඟ සිරි යහනෙහි සැතපුණහ. එකෙණෙහිම සියලු අලංකාරයෙන් සැරසුණු, නැටුම් ගැයුම් කලාවන්හි මනාව පුහුණුවූ, දෙවඟනන් මෙන් රුවින් අග තැන්පත් වනිතාවෝ නොයෙක් තූර්ය භාණ්ඩ ගෙන පිරිවරා, කුමරුන් සතුටු කරනු පිණිස නැටුම් ගැයුම් ඇරඹූහ. බෝසත්හු ක්ලේෂයන්ගෙන් වෙන් වූ සිත් ඇති බැවින් නෘත්‍ය ගීතාදියෙහි නො ඇළුණෝ, මද වේලාවක් නිදි සුව වින්දහ. ඒ ස්ත්‍රීහුද “අපි යමකු සඳහා නැටීම් ආදිය කරමුද, ඔහු දැන් නිදිගතව සිටී. ඉතින් අපි දැන් කුමකට වෙහෙසෙමුද?” යි සිතා අත තිබූ තූර්ය භාණ්ඩ ආදිය ඒ ඒ තැන දමා නිදා ගත්හ. සුවඳ තෙල් පහන් දැල්වෙමින් තිබිණි. බෝසත්හු පිබිදී සිය යහනෙහිම පළක් බැඳ හුන්නාහු, විප්‍රකාර ලෙස නිදා සිටින ඒ ස්ත්‍රීන් දුටහ. සමහරුන්ගේ කටින් කුණු කෙළ වැගිරෙයි. සමහරු දත් කති. සමහරු ගොරවති. සමහරු නින්දෙන් දොඩවති. සමහරු කට අයාගෙන සිටිති. සමහරුන්ගේ වස්ත්‍ර ඉවත්ව ගොස් රහස් පෙදෙස් පෙනෙයි. බෝසත්හු ඔවුන්ගේ මේ විකාර රූප දැකීමෙන් වඩවඩාත් කාමයෙහි කලකිරුණාහ. සර්වාලංකාරයෙන් සැරසූ, සක් දෙවිඳුගේ විමන හා සමාන වූ ඒ මාහැඟි මාලිගය, තැන තැන දමන ලද මළ කුණු ඇති අමු සොහොනක් මෙන් වැටහිණි. කාම, රූප, අරූප යන භව තුනම ගිනි ගත් ගෙවල් මෙන් දැනිණි. “පින්වතුනි, මේ ලෝකය උවදුරුවලින් පිරී ඇත! පින්වතුනි, මේ ලෝකය පීඩාවලින් පිරී ඇත!” යයි භාවාත්මක උදානයක් මුවෙන් පිටවිණි. උන්වහන්සේගේ සිත දැඩිසේ පැවිද්දට නැඹුරු විය.

‎“අදම මා මහබිනික්මන් කළ යුතු ය” යි සිතා බෝසත්හු සයනයෙන් නැඟිට දොර ළඟට ගොස් “මෙහි කවුද?” යි විමසූහ. එළිපත මත හිස තබා නිදා සිටි ඡන්න, “ආර්ය පුත්‍රය, මම ඡන්න වෙමි” යි කීය. “මම අද මහබිනික්මන් කිරීමට කැමැත්තෙමි. මට අශ්වයෙකු සූදානම් කරව.” හෙතෙම “එසේය දේවයන් වහන්ස” යි කියා අශ්ව භාණ්ඩ ගෙන අස් හළට ගොස්, සුවඳ තෙල් පහන් දල්වෙද්දී සමන් මල් වියන යට සිත්කළු බිම් පෙදෙසක සිටි කන්ථක අශ්ව රාජයා දැක, “අද මොහුම සූදානම් කිරීම වටී” යි සිතා කන්ථකව සෑදුවේය. සෑදෙන අයුරින්ම කන්ථක අශ්වයාට කාරණය දැනිණි. “අද ඇසිරීම ඉතා තදින් කරනු ලැබේ. අන් දිනවල උයන් කෙළි ආදිය සඳහා යන ගමනට සෑදීම මෙන් නොවේ. මගේ ආර්ය පුත්‍රයා අද මහබිනික්මන් කිරීමට කැමති වනු ඇත.” හෙතෙම සතුටු සිතින් මහා හේෂාරවයක් (අශ්ව හඬක්) කළේය. ඒ හඬ මුළු නුවරම පැතිර යාහැකිව තිබුණ ද, දෙවියෝ එම ශබ්දය අවහිර කොට කිසිවකුට ඇසීමට ඉඩ නොදුන්හ.

‎බෝසතාණෝ ඡන්න ඇමැති අසු සැකසීමට යවා, “පළමුවරට තම පුතු දකිමි” යි සිතා රාහුල මාතාව වෙසෙන මැදුරට ගොස් දොර විවර කළහ. ඒ අවස්ථාවෙහි යහන් ගැබ තුළ සුවඳ තෙල් පහනක් දැල්වෙයි. රාහුල මාතාව දෑසමන්, සීනිද්ද ආදී මල් අමුණක් පමණ අතුරා සැරසූ යහනෙහි, පුතුගේ හිස මත අත තබා නිදන්නීය. බෝසත්හු එළිපතෙහි පය තබා සිටිවනම සිට බලා, “ඉදින් මම දේවියගේ අත ඉවත් කොට පුතු අතට ගන්නේ නම් දේවිය පිබිදෙන්නීය. එවිට මගේ ගමනට අන්තරායක් වන්නේය. බුදුවීම පැමිණ පුතු දකින්නෙමි” යි සිතා පහයෙන් බැස්සහ.

‎මෙසේ බෝසත්හු පහයෙන් බැස අසු ළඟට ගොස් මෙසේ කීහ. “දරුව කන්ථක, ඔබ මා මේ රැය එතැර කරව. ඔබ නිසා මම බුදුවී දෙවියන් සහිත ලෝකයා එතැර කරවන්නෙමි.” අනතුරුව බෝසත්හු උඩ පැන අසු පිටට නැංගාහ. කන්ථක අශ්ව රාජයා දිගින් බෙල්ලෙහි පටන් අටළොස් රියනකි. ඊට අනුරූප වූ උසින්ද යුක්තය. ශක්තියෙන් හා ජවයෙන් යුක්තය. මුළු සිරුරම සුදු පැහැතිය. පිරිසිදු කළ හකක් සමානය. ඔහු යම් හඬක් හෝ පියවර ශබ්දයක් කළේ නම් එය මුළු නගරයෙහිම පැතිරෙයි. එනිසා දෙවියෝ තමන්ගේ ආනුභාවයෙන් කිසිවකුට නොඇසෙන සේ හඬ වළකා, අසු තබන තබන පියවර යටට අත්ල පිරිනැමූහ. බෝසත්හු අසු පිට සිටියදී, ඡන්න ඇමැති අසු වලිගය අල්ලා ගත්තේ මැදියම් රැයෙහි නගර මහා දොරටුව ළඟට පැමිණියහ. එකල්හි පිය රජතුමා, බෝසතුන්ට යම් කිසි වේලාවක නගර දොරටුව හැර නික්මීමට නොහැකි වන පරිදි, දොර පුවරු දෙක එක එකක් පුරුෂයන් දහසකින් විවර කළ හැකි සේ කරවා තිබිණි. බෝසත්හුද ඉතා ශක්තිමත් වූහ. ඇතුන් ගණනින් කෝටි දහසක ඇතුන්ගේ බලය දරයි. පුරුෂ ගණනින් දස කෝටි දහසක පුරුෂ බල දරයි. එවිට බෝසත්හු මෙසේ සිතූහ: “ඉදින් දොර නො ඇරුණේ නම්, තමා අසු පිට සිටියදීම, වලිගය ගෙන සිටින ඡන්නද සමගම, අසු දෙකලවයෙන් තද කොට ගෙන, අටළොස් රියන් උස පවුර උඩින් පැන යන්නෙමි.” මේ අතර ඡන්න ඇමැතිද සිතීය. “ඉදින් දොර නොඇරුණේ නම්, බෝසතුන් උරහිසෙහි තබාගෙන කන්ථකගේ කුස දකුණු අතින් බදාගෙන, කිසිලි අතරෙහි තබාගෙන පවුරෙන් පැන යමි.” කන්ථකද සිතීය. “දොර නො ඇරුණේ නම් තම ස්වාමියා පිට උඩ සිටියදීම, වලිගය ගෙන සිටින ඡන්නද සමගම උඩට පැන පවුර ඉක්මවමි.” දොර නොඇරුණේ නම් මේ තුන් දෙනාගෙන් එක් අයකු සිතූ පරිදි කාර්යය සිදුවන්නේය. එහෙත් දොරටුවෙහි අධිගෘහිත දෙවියා දොර විවෘත කළේය.

‎එකෙණෙහිම මාරයා “බෝසතුන්ගේ ගමන වළක්වමි” යි සිතා අවුත් අහසෙහි සිට මෙසේ කීය. “නිදුකාණනි, නොයනු මැනවි. මෙයින් සත් වැනි දවසෙහි ඔබට චක්‍ර රත්නය (සක්විති රජය) පහළ වන්නේය. දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහා ද්වීපයන්ට රජ වන්නෙහිය. ආපසු හැරෙනු මැනවි.” “ඔබ කවරෙක් ද?” “මම වසවර්තී මාරයා වෙමි.” “මාරය, සක්විති රාජ්‍යය පහළ වන බව මම දනිමි. මට රාජ්‍යයෙන් වැඩක් නැත. මම දස දහසක් සක්වළ ඒකනාද කොට බුදු වන්නෙමි.” එවිට මාරයා, “මෙතැන් පටන් ඔබ කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ සිතුවේ නම්, එකෙණෙහිම මම ඒ බව දනිමි” යි, සිදුරු සොයමින් සෙවනැල්ල මෙන් ඉවත් නො වී බෝසතුන් පසුපස ලුහුබැන්දේය.

‎මෙසේ බෝසතාණෝ අතට පත් සක්විති රාජ්‍යය කෙළ පිඬක් මෙන් ආශාවක් නැතිව හැර දමා, ඇසළ පුර පසළොස්වක පොහෝ දින උතුරුසළ නැකත පවත්නා කල්හි, මහත් සත්කාරයෙන් නගරයෙන් නික්ම ගියහ. නික්ම ගොස් නැවත නගරය දෙස බලනු කැමැත්තෝ වූහ. මේ සිතුවිල්ල සිත උපන් කෙණෙහිම, “මහා පුරුෂය, ඔබ ආපසු හැරී බැලීමක් කළ යුතු නොවේය” යි කියන්නාක් මෙන්, මහපොළොව කුඹල් සකක් මෙන් කරකැවී සිටියේය. බෝසත්හු නගරයට මුහුණලා සිට නගරය දෙස බලා (එම ස්ථානය කන්ථක නිවත්තන චෛත්‍ය ස්ථානයයි ), යා යුතු දිශාවට අසු හරවා මහත් සිරිසොභාවෙන් ගමන් කළහ. එදින දෙවියෝ බෝසතුන්ට පෙරටුව සැට දහසක් පන්දම් දැරූහ. එසේම පිටුපසින්ද, දකුණුපසින්ද, වම්පසින්ද සැට දහස බැගින් පන්දම් දැරූහ. සක්වල මුවවිට සිටි අනෙක් දෙවිවරුද අපමණ පන්දම් දැරූහ. නාග, ගුරුළු ආදීහුද දිව්‍යමය මල්, සුවඳ සුණු ආදියෙන් පුදමින් ගියහ. ඝන වලාකුළකින් වැගිරෙන වැසි ධාරා මෙන් පරසතු, මදාරා මල්වලින් අහස වැසිණි. දිව්‍යමය සංගීත හඬ පැතිරිණි. හාත්පස අටසැට දහසක් තූර්ය වාදනය විය. මහමුහුද ඇතුළත මේඝ ගර්ජනා ඇති වන්නාක් මෙන්ද, යුගඳුරු පර්වත කුසයෙහි සාගර ඝෝෂාව මෙන්ද මහත් නාද ඇති විය.

‎මෙසේ මහත් වූ සිරිසෝභාවෙන් යන්නාවූ බෝසතාණන් වහන්සේ එක් රැයක් ඇතුළත රාජ්‍යයන් තුනක් ඉක්මවා තිස් යොදුනක් මඟ ගෙවා අනෝමා ගං ඉවුරට පැමිණියහ. “කිම, අශ්වයාට මීට වඩා දුර යානොහැකි ද?” “නැත, නොහැක්කේ නොවේ”. හෙතෙම සක්වළ ගැබක මැද අක්ෂයෙහි පිහිටි රිය සකක නිම් වළල්ල මඩිමින් යන්නාක් මෙන් අන්තයෙන් අන්තයට හැසිරී, පෙරබත් කිසට (උදේ ආහාරයට) පෙරම පැමිණ තමා වෙනුවෙන් පිළියෙළ කළ බත බුදීමට සමත් ය. එහෙත් එදින දෙවි, නා, ගුරුළු ආදීන් විසින් අහසෙහි සිට විසුරුවන ලද සුවඳ මල් ආදියෙහි කළවා පෙදෙස දක්වා ගිලුණු සිරුර ඇදගෙන යාමේදී මල් පැටලීම් සිඳගෙන යාමට සිදුවූ බැවින් පමා විය. එබැවින් යාගත හැකි වූයේ තිස් යොදුනක් පමණි. ඉක්බිති බෝසතාණන් වහන්සේ ගංතෙර සිට ඡන්නයන් අමතා, “මේ ගඟ කවර නම් ද?” යි විචාළහ. “දේවයිනි, අනෝමා නම් වේ” යැයි කී කල්හි, “අපගේ පැවිද්දද අනෝමා (ලාමක නොවන) වන්නේ ය” යි පාර්ෂ්ණියෙන් (විළුඹෙන්) ගවසා අශ්වයාට සංඥාවක් දුන්හ. අශ්වයා අහසට පැන අට ඉස්බක් පළල් වූ ගඟෙහි එගොඩ ඉවුරේ සිටියේය.

‎බෝසතාණන් වහන්සේ අශ්වයා පිටින් බැස රිදී පටක් වැනි වූ වැලි තලාවෙහි සිට ඡන්න ඇමතූහ. “යහළු ඡන්න, ඔබ මාගේ ආභරණද කන්ථක අශ්වයාද රැගෙන යව. මම පැවිදි වෙමි.” “දේවයිනි, මමද පැවිදි වෙමි” යි ඡන්න කීය. බෝසතාණන් වහන්සේ “ඔබට පැවිදි වීමට අවසර නැත. ඔබ යව” යි තෙවරක්ම ඔහු වළක්වා ආභරණ සහ අශ්වයා භාරදී, “මේ මාගේ කෙසැගි පැවිද්දට සුදුසු නොවේ” යි සිතූහ. බෝසතුන්ගේ කෙස් කැපීමට සුදුසු වෙනත් අයෙක් නැත. එබැවින් “මමම කඩුවෙන් කපා දමමි” යි දකුණතින් කඩුව ගෙන වමතින් සිළුමිණ සහිත කෙස් වැටිය අල්ලා කපා දැමූහ. කෙස් දෑඟුල් පමණවී දකුණට කරකැවී හිස සමග ඇලී සිටියේය. ඒවා දිවි ඇති තෙක් ඒ ප්‍රමාණයම විය. රැවුලද ඊට අනුරූප විය. නැවත කෙස් රැවුල් බෑමේ කාර්යයක් නොවීය. බෝසතාණන් වහන්සේ සිළුමිණ සහිත කෙස් වැටිය ගෙන, “ඉදින් මම බුදු වන්නේ නම් අහසෙහි රැඳේවා, නොඑසේ නම් බිම වැටේවා” යි අහසට විසි කළහ. ඒ සිළුමිණ සහිත කෙස් වැටිය යොදුනක් පමණ ඉහළ ගොස් අහසෙහි රැඳිණ. ශක්‍ර දේවේන්ද්‍රයා දිවැසින් බලා යොදුනක් පමණ රුවන් කරඬුවකින් එය පිළිගෙන තව්තිසා දෙව්ලොව ‘චූළාමණී චෛත්‍යය’ නමින් චෛත්‍යයක් පිහිටුවීය.

‎“අග්‍ර වූ පුරුෂ උත්තමයාණන් වහන්සේ උතුම් සුවඳින් වාසිත වූ කෙස් වැටිය කපා අහසට විසි කළහ. දහසක් නෙත් ඇති වාසව නම් දෙවිඳු (ශක්‍රයා) උතුම් රන් කරඬුවකින් එය හිසින් පිළිගත්තේ ය.”

‎නැවත බෝසතාණෝ, “මේ කාසී රට වස්ත්‍ර මට ශ්‍රමණ සාරුප්‍ය (පැවිද්දට සුදුසු) නො වේ” යැයි සිතූහ. එකල්හි කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි පැරණි මිතුරුව සිටි ඝටීකාර මහා බ්‍රහ්මයා එක් බුද්ධාන්තරයක් ඉක්ම ගියද නොදිරන මිත්‍ර ස්වභාවය හේතුවෙන් මෙසේ සිතීය. “අද මාගේ මිත්‍රයා මහාභිනිෂ්ක්‍රමණය කළේ ය. මම ඔහුට ශ්‍රමණ පිරිකර රැගෙන යන්නෙමි.”

‎“තුන් සිවුරද, පාත්‍රයද, දැළි පිහියද, ඉදිකටුවද, පටියද, පෙරහනද යන මේ අට පිරිකර යෝගාවචර භික්ෂුවකට සුදුසුවේ.”

‎බ්‍රහ්මයා මේ අට පිරිකර ගෙනැවිත් දුන්නේය. බෝසතාණන් වහන්සේ රහත් ධජය (සිවුර) හැඳ, උතුම් වූ පැවිදි වෙස් ගෙන, “ඡන්න, මාගේ වචනයෙන් මව්පියන්ට සුව දුක් කියව” යි පවසා පිටත් කළහ. ඡන්න තෙමේ බෝසතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේය. කන්ථක අශ්වයා වනාහි ඡන්න සමග කථා කරමින් සිටි බෝසතුන්ගේ වචන අසමින් සිටියේ, “දැන් නැවත මගේ ස්වාමියා දැකීමක් මට නැතැ”යි සිතා බෝසතුන් දර්ශන පථයෙන් ඉවත් වෙත්ම, ඒ ශෝකය දරාගත නොහැකිව ළය පැළී කාලක්‍රියා කොට තව්තිසා දෙව්ලොව ‘කන්ථක’ නම් දේව පුත්‍රයකු වී උපන්නේය. ඡන්නට පළමුව තිබුණේ එක් ශෝකයක් (බෝසතුන් වෙන්වීමේ දුක) පමණි. අශ්වයාගේ මරණයෙන් ඔහු දෙවැනි ශෝකයෙන්ද පෙළෙමින් හඬමින් වැළපෙමින් නුවරට ගියේය.

‎👉 ප්‍රථම ධර්ම දේශනාව බරණැස ඉසිපතනයේදී පැවැත්වීම සහ කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵල ලැබීම.

‎ලොව මෙතෙක් පහළ වූ සියලු ශාස්තෘන් වහන්සේලා අතුරින් බුදුරජාණන් වහන්සේ අග්‍ර උතුමකු බව සියලු දෙනා අවිවාදයෙන් පිළිගනී. උන්වහන්සේ අද්භූත සිදුවීම් රාශියක් අතුරින් මතුව පෙනේ. උපන් විගස ඇවිදීම, උපන් විගස කතා කිරීම, පියාගෙන් වැඳීම් ලැබීම, වැඩිහිටියන්ගෙන් වැඳීම් ලැබීම, ප්‍රාතිහාර්ය පෑම, සතර පෙර නිමිති වළින් ලොව සත්‍ය තේරුම් ගැනීම විශේෂ වේ. දෙව්ලොවින් චුතව මනුලොව උපත ලබන්නේ දෙවියන්ගේ ආරාධනයෙන් වන අතර සත්ත්වයා සසරින් එතෙර කිරීම එහිදී මූලික අරමුණ බව ප්‍රකාශ කරයි.

‎පස්මහ බැලුම් බැලීමෙන් මව්පියන් තෝරා ගන්නා අතර, කපිල වස්තුවේ රජකරන සුද්ධෝදන රජු හා මහා මායා බිසව තම දෙමාපියන් වශයෙන් තෝරා ගනී. ‘අරිය පරියේෂණ’ සූත්‍රයට අනුව තමන් වහන්සේ ගිහි ගෙය අත්හැර යන්නේ රජ ගෙදර සියලු දෙනා හඬවමිනි.

‎එමෙන්ම ගිහි ගෙයින් නික්ම තවුස් වෙස් ගැනීම හා තවුස් වෙස් ගැනීමෙන් අනතුරුව උදාවන කාලය ඉතා අමිහිරි වූ බවද අරිය පරියේෂණ සූත්‍රය පෙන්වා දෙයි. අවුරුදු හයක අති දුෂ්කර ව්‍රත සමාදානයෙන් සහ ශරීරයට දැඩි දුක් දීමෙන් සත්‍යාවබෝධයට තිබූ උනන්දුව විශ්මය ඇතිකරවයි.

‎ආළාර කාළාමයන්ගෙන් හා උද්දකරාම පුත්තයන්ගෙන් සමාන්‍ය සත්‍යාව බෝධයක් ලබා ගන්නා බෝධිසත්වයන් වහන්සේ ඔවුන් ලබා ඇත්තේ සසරින් එතෙර වීමේ මාර්ගය නොවන බව වැඩිකල් නොගොස් අවබෝධ කරගනී. සාවුරුද්දක දැඩි තපස් කර්ම රැකීමෙන් හා වීර්ය වැඩීමෙන් සත්‍යාවබෝධය ලැබූ බව උන්වහන්සේගේ වචනවලින්ම අරිය පර්යේෂණ සූත්‍රයේදී පෙන්වා දෙයි. කෙසේ වුවද සක්විති රජකම පවා අත්හල සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ‘ආශ්‍රමයන් ක්ෂය කිරීමේ ඥානය’ හෙවත් බුදු බව ලබාගනී.

‎බුදුබව ලබාගත් උන්වහන්සේ ‘සති හතක්’ සතුටින් නිරාමිසව කාලය ගත කරන අතර අනතුරුව රාජායතන රුක් මුලදී සතරවරම් දෙවිවරුන් පූජා කළ මුං ඇට පැහැති(මුග්ගවර්ණ) පාත්‍රා සතර එක් කොට එක් පාත්‍රයක් කොට තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන්ගේ අත්සුණු හා මී පැණි පිඬු වැළඳූ සේක. ඒ අගනා ශෛලමය පාත්‍රයෙන් ආහාර පිළිගෙන වළඳා අනුමෝදනා කළ සේක. ඒ වෙළඳ දෙබෑයෝ බුදුන් හා දහම් සරණ ගොස් ‘ද්වේවාචික’ (වචන දෙකකින් සරණ ගිය) උපාසකයෝ වූහ. ඉක්බිති ඔවුහු “ස්වාමීනි, අපට පුද සත්කාර කිරීම සඳහා යමක් දුන මැනවැ” යි ඉල්ලා සිටියහ. උන්වහන්සේ දකුණු අතින් තම සිරස පිරිමැද කේශ ධාතූන් වහන්සේලා ලබා දුන් සේක. ඔවුහු තම නුවරට ගොස් රන් කරඬුවක ඒ ධාතූන් බහා චෛත්‍යයක් පිහිටවූහ.

‎සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද එතැනින් නැගිට නැවත අජපාල නුග රුක වෙත වැඩම කොට එහි වැඩහුන් සේක. එහි වැඩසිටින උන්වහන්සේට තමන් අවබෝධ කරගත් ධර්මයේ ගැඹුරු බව ප්‍රත්‍යවේක්ෂා කරන කල්හි, සියලු බුදුවරුන්ගේ ආචීර්ණ වූ පරිදි මා විසින් මේ ධර්මය අවබෝධ කරන ලදී. එහෙත් සත්ත්වයෝ මෙය වටහා නොගනිති'යි සිතී අනුන්ට දහම් නොදෙසීමට නැඹුරු වූ සිතක් පහළ විය. එකල්හි සහම්පතී මහා බ්‍රහ්මයා “අහෝ ලෝකය විනාශ වන්නේය! අහෝ ලෝකය වැනසෙන්නේය!” යි සිතා දස දහසක් සක්වළ සක් දෙවිඳුන්, සුයාම, සන්තුසිත, සුනිම්මිත, වසවර්ති මහා බ්‍රහ්මයන් ද කැටුව ශාස්තෘන් වහන්සේ වෙත එළැඹ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා” යනාදී ක්‍රමයෙන් දහම් දෙසීමට ආරාධනා කළේය.

‎ශාස්තෘන් වහන්සේ ඔහුගේ ඇරයුම පිළිගෙන “මම කාට නම් පළමුව ධර්මය දේශනා කරම් ද?” යි සිතන සේක්, “ආළාර කාලාම පණ්ඩිතය, ඔහු මේ ධර්මය වහා දැනගන්නේය” යි සිතක් උපදවා බැලූ සේක්, ඔහු සත් දිනකට පෙර කළුරිය කළ බව දත් සේක. උද්දක රාමපුත්ත ගැන සිතූ සේක්, ඔහු ද ඊයේ සවස කළුරිය කළ බව දැනගත් සේක. “පස්වග මහණහු( පංචවග්ගිය භික්ෂූන් ) මට බොහෝ උපකාර කළෝය” යි පස්වග තෙරුන් සිහිපත් කොට, “දැන් ඔවුන් කොහි වසත් දැ” යි බලන සේක්, බරණැස ඉසිපතන මිගදායෙහි වෙසෙන බව දැන “එහි ගොස් දම්සක් පවත්වන්නෙමි” යි සිතා, දින කිහිපයක් බෝමැඩ අවට පිඬු සිඟා වළඳමින් වැඩසිට, ඇසළ පුර

‎සති අග ධර්ම ප්‍රදීපය ✨‎(21වන ධර්ම ප්‍රදීපය)‎‎❝ ඍද්ධිමත් භික්ෂූන් අතර අග්‍රවූද, අසූ මහා ශ්‍රාවකයන් අතර අග්‍රවූද නීල වර්ණ...
25/07/2026

‎සති අග ධර්ම ප්‍රදීපය ✨
‎(21වන ධර්ම ප්‍රදීපය)

‎❝ ඍද්ධිමත් භික්ෂූන් අතර අග්‍රවූද, අසූ මහා ශ්‍රාවකයන් අතර අග්‍රවූද නීල වර්ණ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ❞

‎අද ලෝකයේ තාක්ෂණය උපරිම මට්ටමින් දියුණු වී තිබෙනවා. ග්‍රහ වස්තූන් පවා තරණය කිරීමට මිනිසා සමත් වී සිටින්නේ ඒ අනුවයි. ඒ භෞතික දියුණුව යි. එහෙත් ඈත අතීතයේ මිනිසුන් ආකාශයේ ගමන් කළේ, පුදුම සහගත දේ සිදු කළේ තමන්ගේ සිත දියුණු කිරීමෙනුයි. එසේ සිත දියුණු කරමින් පුදුම සහගත දේ කළ රහතන් වහන්සේ සම්බුදු සසුනේ වැඩ සිටියා. ඒ අතර මුගලන් මහ රහතන් වහන්සේට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයක්.

‎උන්වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමෙන් ඉදිරියෙන් ම සිටියා. බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයින් අතර ඍද්ධි ප්‍රාතිහාර්ය පෑ භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය ලැබුවේ උන්වහන්සේ යි. උන් වහන්සේ එම ඍද්ධි ප්‍රාතිහාර්ය ප්‍රයෝජනයට ගෙන සත්වයා සසර කතරින් මුදවා විමුක්ති රසය ලබා දීම උදෙසා මඟ පෙන්වූවා.

‎මුගලන් මහ රහතන් වහන්සේ තුළ තවත් විශේෂ දක්ෂතා රාශියක් තිබුණා. උන් වහන්සේගේ චරිත කතාව වර්තමාන ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට ආදර්ශවත්.

‎පෙර රජගහ නුවර කෝලිත නම් ගමේ මොග්ගලී නම් බැමිණියට කෝලිත නම් පුත් රුවනක් සිටියා. කාලයත් සමඟ බුද්ධිමත් තරුණයකු බවට පත් වූ කෝලිත හොඳම කල්‍යාණ මිත්‍රයා ලෙස තෝරා ගත්තේ උපතිස්ස පිරිවැජියා යි. දිනක් මේ දෙදෙනා වර්ෂයක් පාසා පවත්වනු ලබන ගිරග්ගසමජ්ජ නම් වූ නාට්‍ය සංදර්ශනයක් නැරඹීමට ගියා. එය නැරඹීමෙන් පසු ජීවිතය පිළිබඳ කළකිරුණා. විමුක්තිය සොයා යන්නට තීරණය කළේ ඒ අනුවයි. ඒ සඳහා සුදුසු ධර්මයක් සොයා යෑමට ගමන ආරම්භ කළා. සංජය පරිබ්‍රාජකයා වෙත ගියත් තමන් සෙවූ විමුක්තිය නො ලැබුණ බැවින් දෙදෙනා ම දෙමඟකට පිටත් ව විමුක්තිය සොයා යන්නට තීරණය කළා. ඒ දෙදෙනාගෙන් කෙනකුට විමුක්ති මාර්ගය දැන ගන්නට ලැබුණොත් එය අනෙක් යහළුවාට ද දැන්විය යුතු බවට තීරණය කරගෙන යි.

‎විමුක්තිය සොයා පිටත් වූ යහළුවන් දෙදෙනාගෙන් උපතිස්ස පිරිවැජියාට අස්සජි මහ රහතන් වහන්සේ හමුවුණා. අස්සජි මහ රහතන් වහන්සේ දෙසූ ගාථාවක මුල් පද දෙක ඇසූ සැණින් ම උපතිස්ස පිරිවැජි සෝවාන් වුණා. ඔහු වහා සිය මිතුරා හමුවීමට ගියේ ඉන්පසුව යි. කෝලිත පිරිවැජියා ද, සිය මිතුරාගෙන් “යේ ධම්මා හේතුප්පබවා“ යන ගාථාවේ පද හතර ඇසූ පමණින් ම සෝවාන් බවට පත් වුණා. පසුව ඔවුන් දෙදෙනා ම බුදු සසුනේ පැවිදි බව ලැබුවා. පැවිදි වීමෙන් පසු මුගලන් හාමුදුරුවෝ කල්ලාවල මුත්ත ගමට වැඩම කර, එම ගමෙන් සිව්පසය ලබමින් ම වන ලැහැබක වසමින් මහණ දම් පිරුවා. උන්වහන්සේ උතුම් රහත් භාවයට පත්වන්නේ පැවිදි වීමෙන් හත්වෙනි දිනයේ දී යි.

‎“එතදග්ගං භික්ඛවේ මම සාවකානං ඉද්දිධිමන්තානං යදිදං මහා මොග්ගල්ලානෝ“ යනුවෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ අතර මුගලන් තෙරුණුවෝ ඍද්ධිමතුන් අතර අග්‍රස්ථානයෙහි තබා වදාළා. මුගලන් මහරහතන් වහන්සේගේ චරිතය වටා රඳා පවතින කතා පුවත් ඉතා රසවත් සේ ම බිය ජනක සිදුවීම්වලින් ද සමන්විතයි. එයට හේතුව උන්වහන්සේගේ ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමේ මහා ශක්තිය යි. ඍද්ධි ප්‍රාතිහාර්යය ශාසනයේ දියුණුව සඳහා ම හේතුවන අන්දමින් යෙදවීම උන් වහන්සේ තුළ තිබූ සුවිශේෂී ලක්ෂණයක් . දෙව්දත් තෙරුන් විසින් පංච වරයක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී, නොමඟ ගිය භික්ෂූන් සුමගට යොමු කොට බුදුරදුන් වෙත කැඳවාගෙන එන ලද්දේ ද සැරියුත් මහරහතන් වහන්සේ හා මුගලන් මහරහතන් වහන්සේ යන දෙනම විසිනුයි.

‎මහා බලසම්පන්න නන්දෝපනන්ද නම් නාග රජයා දමනය කිරීමේ කාර්යය පැවරුණේ ද මුගලන් මහ රහතන් වහන්සේටයි. ඒ බව විසුද්ධි මග්ග ඉද්ධිවිධ නිද්දේසයේ දැක්වෙනවා.

‎ඉල්ලීස ජාතකයේ එන මච්ඡරිය කෝසිය සිටුවරයාගේ දැඩි ලෝභකම නැති කර, ඔහු දමනය කොට ඔහුට විමුක්ති සුවය ලබා දිමේ කතා පුවත මුගලන් මහරහතන් වහන්සේගේ චරිතය හා බැඳුණු ඉතා රසවත් කතා පුවතක් ලෙස දැක්වීමට පුළුවන්. රජගහ නුවර සිටි මසුරු සිටාණන් කෙනකුට කැවුම් කෑමේ දැඩි ආසාවක් ඇතිවුණා. ඒ මච්ඡරිය කෝසිය සිටුවරයාට අසූ කෝටියක් ධනය තිබුණත් ඒවා තමන්ගේවත්, අනුන්ගේවත් ප්‍රයෝජනය සඳහා වියදම් කළේ නෑ. එක්තරා මිනිසෙක් පැණි කැවුමක් කනවා දැක හටගත් ආශාව නිසා කායික මානසික අසහනයට පත් වූ මච්ඡරිය කෝසිය මසුරු සිටාණන් කාටත් හොරා, රහසේ ම කැවුම් කෑමට බිරිඳත් සමඟ සත් මහල් ප්‍රාසාදයේ ඉහළ ම තට්ටුවට ගියා. ඒ අවස්ථාවේ දී එහි වැඩම කළ මුගලන් මහ රහතන් වහන්සේ තම ඍද්ධි බලය ප්‍රයෝජනයට ගෙන පිළිවෙලින් ධර්ම දේශනා කොට ඔහුගේ තෘෂ්ණාව දුරු කළා.

‎තව්තිසා දෙව් ලොව වෛජයන්ත ප්‍රාසාදය කම්පනයට පත් කිරීමේ සිදුවීම මුගලන් මහරහතන් වහන්සේ හා බැඳුණු විශ්මය ජනක පුවතක්. අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයෙහි වැඩ වසන සමයෙහි දිනක් ශක්‍ර දේවේන්ද්‍රයා පැමිණ “තණ්හා සංඛය විමුක්තිය“ පිළිබඳ ප්‍රශ්න කළා. බුදුරදුන් එය විසඳීමෙන් පසු සතුටු සිතැති ව ශක්‍ර දේවේන්ද්‍රයා බුදුරදුන්ට ප්‍රශංසා කොට දෙව් ලොවට ගියා. මෙම සිදුවීම දුටු මුගලන් මහරහතන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට මෙම කරුණ හරිහැටි තේරුම් ගියේ ද යන වග පරීක්ෂා කිරීමට සිතුවා. දෙව් ලොවට වැඩම කොට ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් ප්‍රශ්න කළේ ඒ අනුවයි. දිව්‍ය සම්පත්තියෙහි ඇළී ගැලී සිත වික්ෂිප්ත වී සිටි නිසා ඔහුට පිළිතුරු දීමට හැකි වූයේ නෑ. මේ අවස්ථාවේ දී ශක්‍රයාගේ සිතෙහි සංවේගය ඇති කිරීමට වෛජයන්ත ප්‍රාසාදය මහපට ඇඟිල්ලෙන් කම්පනය කළ අයුරු එම චරිත කතාව තුළින් පැහැදිලි වෙනවා.

‎මාරතජ්ජනිය සූත්‍රයට අනුව මුගලන් තෙරණුවන්ගේ කුසට පිවිසි මාරයා පෙරළි කළ අවස්ථාවේ තමන් වහන්සේ ද මාර ව උපන් අවස්ථාවක් ගැන සඳහන් වෙනවා.

‎මුගලන් තෙරුණුවෝ ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමේ දක්ෂ කමක් දැක්වූවා පමණක් නොව දක්ෂ ධර්ම දේශකවරයාන කෙනෙක් ද වූවා. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ අතර වූ වැදගත් ධර්ම සාකච්ඡාවක් පිළිබඳ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම සඳහා දෙව්ලොවට වැඩම කළ අවස්ථාවේ දී දෙව්ලොව තොරතුරු විස්තර කොට ජනතාවට ධර්ම දේශනා කළේ මුගලන් මහරහතන් වහන්සේ යි. එක් අවස්ථාවක දම් සභා මණ්ඩපයෙහි මුගලන් තෙරණුවන් දේශනා කළ ධර්ම දේශනයක් දොර අසල සිට බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රවණය කොට ප්‍රශංසා කොට වදාළා. මුගලන් මහරහතන් වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමේ දක්ෂතම භික්ෂුව වූ ව ද, පිරිනිවන් පෑමට සිදු වූයේ අභාග්‍ය සම්පන්න ලෙසයි. ඒ පිළිබඳ විමසීමෙන් පැහැදිලි වන්නේ පෙර කර්ම ශක්තියක් ඉස්මතු වූ ආකාරය යි.

‎මුගලන් මහරහතන් වහන්සේ මිනිස් ලොව පමණක් නොව දෙව් ලොව ද, නිරයේ ද, සැරි සරමින් සත්වයන් කළ පින් පව් හා ඒවායෙහි විපාක ජනතාවට දේශනා කළ මහරහත් තෙර නමක්. එතුළින් පිනට යොමු වූ බොහෝ සැදැහැවත්හු බුදුරදුන් හා භික්ෂූන් විෂයයෙහි මහත් සේ පුද පූජා පැවැත් වූවා. භික්ෂූන් වහන්සේ ලාභ සත්කාර ලද අතර, තීර්ථකයෝ ලාභයෙන් පිරිහුණා. ඒ හේතුවෙන් මුගලන් තෙරනුවන් ඝාතනය කරනු වස් තීර්ථකයෝ විසින් ඒ කටයුත්ත සොර මුලකට පවරනු ලැබුවා. සොරු උන්වහන්සේ විසූ ලැගුම්හල වැටලූවා. එවිට තෙරුණුවෝ ඍද්ධි බලයෙන් කෙස් සිදුරකින් නික්ම ගියා. දෙවනි වරට ද වටකළ අවස්ථාවේ කැනිමඩල බිඳ අහසට නැඟී පලා ගියා. තුන්වැනි වරට ද සොරු වැටලූ අවස්ථාවේ දී අතීත භවයක මව මැරීමෙන් කළ පාප කර්මයක් විපාක වශයෙන් පසුපස එළවන බව දැන එය නො වැළැක්විය හැක්කක් බව දැන එහි ම වැඩ සිටියා. සොරු දඬු මුගුරුවලින් මුගලන් හිමි තලා පෙළා එහි ම දමා ගියා. පසුව මුගලන් තෙරුන් ඍද්ධි ප්‍රාතිහාර්යයෙන් ශක්තිය ගෙන බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ඍද්ධි ප්‍රාතිහාර්යය පා වැඳ අවසර ගෙන කාලසිලාවට වැඩ එහි දී ම පිරිනිවන් පා වදාළා.

‎අසූ මහා ශ්‍රාවකයින් අතර ජ්‍යෙෂ්ඨතම ශ්‍රාවකයන් වහන්සේ වූ මුගලන් මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනය බැබළවූ මහ රහතන් වහන්සේ නමක්වූවා. උන් වහන්සේගේ චරිතාපදානය තුළින් වර්තමාන ගිහි පැවිදි දෙපක්ෂයට ම ඉගෙන ගත යුතු දේ බොහෝ යි. එවැනි උතුම් චරිත කතා කියවා ජීවිත ආලෝකවත් කර ගැනීමට උත්සාහවත් වන්නේ නම්, එය දුර්ලභ ව ලද මේ මිනිස් ජීවිතයට වටිනාකමක් එකතු කළා වනවා.

‎( ගලගෙදර රතනවංස ස්වාමීන් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි. )

‎මේ සදහම් කරුණ උතුම් ධර්ම දානයක්ම වේවා..!!!

‎©️ ශ්‍රී සුමනාරාම මහා විහාරීය නිල මාධ්‍ය කාර්යංශය | Official Media Division Sri Sumanarama Maha Viharaya




‎ #සුමනාරාමමහාවිහාරය #සුමනාරාමමහාවිහාරයනිලමාධ්යකාර්යංශය
‎ #සුමනාරාමමහාවිහාරයකිතල්ඇල්ල
‎ #ඇල්ලකිතල්ඇල්ලසුමනාරාමය
‎ #සුමනාරාමයකිතල්ඇල්ල
‎ #කිතල්ඇල්ලපන්සල #කිතල්ඇල්ල #ඇල්ල

‎ #සතිඅගධර්මපදීපය ゚viralシviralシfypシ゚viralシalシ

Address

Kithalella
Ella

Alerts

Be the first to know and let us send you an email when Media Division Sri Sumanarama Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share