බුදු දහම - Buddhism

බුදු දහම - Buddhism https://www.facebook.com/Budhudahama
" අන්ධකාර ජීවන ගමනේ සැබෑ අලෝකය බුදු දහමයි " ධර්ම දානය පිණිසමයි "

25/03/2019

අපි හැබෑවට ම නිදහස් ද?

හැටපස් වන වතාවටත් අපි ජාතික නිදහස් දිනය සැමරුවා. ඒ නිසා ම පසුගිය දවස් ටිකේ නිදහස් දේශයක්, නිවහල් හෙට දවසක් ගැන ආයෙමත් බොහොම තීව‍්‍ර විදියට කථා බහ කෙරුනා. ක‍්‍රි. ව. 1500 ගණන්වල ඉඳලා ම අපි ඔය ගැන කථා කළානේ. අවට සමාජයේ කරුණු කාරණා ඒ විදියට සිද්ධ වෙද්දි සැබෑ ම නිදහස ලෝකයට කියලා දීපු, නිදහසට මඟ කියා දීපු, ක‍්‍රියාවෙන් පෙන්වලා දීපු, ඒ නිදහස කරා වූ මාර්ගයේ තම ශ‍්‍රාවකයන් මනාව හික්මවනු ලබපු ඒ තුන්ලෝකාග‍්‍ර වූ, දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ මේ ‘නිදහස’ ගැන කළේ මොන ආකාරයේ විග‍්‍රහයක් ද? කියන එක අපි හොයලා බලමු.
එදා බුද්ධ කාලෙ දඹදිව සත්‍ය ගවේෂණය ගැන තිබුණෙ පුදුමාකාර උනන්දුවක්. විවිධාකාර අය විවිධාකාර දේවල් කළා මේ වෙනුවෙන්. ‘බාහිය’ කියන්නෙත් ඒ වගේ උත්සාහ කරලා, තමුන් ‘අරහත්’ යැයි හිතාගෙන හිටි කෙනෙක්. මෙයා ජීවත් වුණේ සුප්පාරක පටුනේ. ඉන්දියාවෙ බටහිර වෙරළ තීරයේ. මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ, මුම්බායට මඳක් උතුරු පැත්තට වෙන්නයි මේ තැන තියෙන්නෙ. සුප්පාරක පටුන ගැන වැඩිපුර පේළියක් එකතු කරන්න හිතුණෙ ඒක අපේ ශ‍්‍රී ලාංකේය ඉතිහාස වංශකථාවෙ එන වැදගත් ස්ථානයක් නිසා. ආර්ය වංශයේ මූලාරම්භකයා ලෙස සැලකෙන විජය රජතුමා ලංකාවට එන්න නැව් නැංගෙත් සුප්පාරක පටුනෙන් බවයි මහාවංශය කියන්නේ.
ඉතින් අපි කතා කරමින් හිටියෙ බාහිය ගැනනෙ. බාහිය ඇඳගෙන හිටියෙත් ටිකක් අමුතු විදිහේ ඇඳුමක්. ඒක දර පතුරුවලින් නිර්මිතයි. ඒ නිසා මිනිස්සු මෙයාට කිව්වෙ ‘බාහිය දාරුචීරිය’ කියල. විවිධ ආකාරයේ තපස් රැකපු මේ තැනැත්තා හිතුවා එයත් රහතන් වහන්සේ නමක් කියලා. මෙයාගෙ හිතේ ඇතිවුණ මේ වැරදි සිතිවිල්ල දැකපු, මෙයාට හිතවත් දෙවිකෙනෙක් මෙයා ගැන අනුකම්පාවෙන් කරුණු පහදලා දීලා සැබෑ අරහත් මඟ කියා දෙන, එවකට සැවැත් නුවර වැඩසිටි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සැළ කර සිටියා.
සත්‍යය ගැන එදා තිබුණ පිපාසාව පුදුමෙනුත් පුදුමයි. බාහිය එවේලේ ම පිටත් වුණා සුප්පාරක පටුනෙන් සාවත්ථිය බලා…. අද වගේ වාහන තිබුණෙ නැහැ. පයින් ම තමයි ගමන. ධර්ම පිපාසාව කොතරම් ද කියනව නම් මෙයා අතරමඟ නැවතුනේ රැයක් ගතකරන්න පමණ ම යි. ලංකාව වගේ 67 ගුණයක් විතර විශාල ඉන්දියාවෙ, සුප්පාරක පටුනෙ ඉඳල සාවත්ථියට තියෙන දුර සිතියමකින් බැලූවත් අපිට දාඩිය දානව. හැබැයි බාහිය ගියේ පයින්. අව් වැසි, සා පිපාසා නො බලා. කොහොම හරි මේ බාහිය සැවැත් නුවර ජේතවනාරාමෙට ආවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතෙ වැඩලා. මෙයා පාරවල් දිගේ ඇවිදගෙන ගියා බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ඒ මහා තෙදැති නරෝත්තමයන් වහන්සේව බාහිය දුරදීම හඳුනාගත්ත. දුවගෙන ගිහින් වැඳ වැටුණා. තෙවරක් ම ආයාචනා කිරීමෙන් පස්සෙ චතුර් මහා ඍද්ධිවිධ ඤණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේ බාහිය ගැන උපන් මහත් අනුකම්පාවෙන් මේ විදියට වදාරණවා.
‘‘පින්වත් බාහිය, එහෙනම් ඔබ මේ විදියටයි හික්මෙන්න ඕන. යමක් දකින විට, ඒ දේ ගැන කෙලෙස් ඇති නො වීමක් ම යි වෙන්නෙ. එය දැකීම් මාත‍්‍රයක් පමණයි. යමක් අසන විට, ඒ දේ ගැන කෙලෙස් ඇති නො වීමක් ම යි වෙන්නෙ. එය ඇසීම් මාත‍්‍රයක් පමණයි. යමක් ආඝ‍්‍රාණය කරන විට, ඒ දේ ගැන කෙලෙස් ඇති නො වීමක් ම යි වෙන්නෙ. එය ගඳ-සුවඳ දැනීම් මාත‍්‍රයක් පමණයි. යමක් රස විඳින විට, ඒ දේ ගැන කෙලෙස් ඇති නො වීමක් ම යි වෙන්නෙ. එය රස විඳීම් මාත‍්‍රයක් පමණයි. යම් පහසක් විඳින විට, ඒ දේ ගැන කෙලෙස් ඇති නො වීමක් ම යි වෙන්නෙ. එය පහස විඳීම් මාත‍්‍රයක් පමණයි. යමක් සිතින් දැනගත්ත විට, ඒ දේ ගැන කෙලෙස් ඇති නො වීමක් ම යි වෙන්නෙ. එය දැනගැනීම් මාත‍්‍රයක් පමණයි.
ඉතින් පින්වත් බාහිය, යම් වෙලාවක ඔබ යමක් දකින විට ඒ දකින දේ ගැන, අසන විට ඒ අසන දේ ගැන, ආඝ‍්‍රාණය කරන විට ආඝ‍්‍රාණය කරන දේ ගැන, රස විඳින විට රස විඳින දේ ගැන, පහස ලබන විට පහස ලබන දේ ගැන, සිතින් දැනගන්න විට ඒ දැනගන්න දේ ගැන කෙලෙස් ඇති නො වීමක් නම් වෙන්නෙ ඔබ ඒ හේතුවෙන් ඒකට බැඳෙන්නෙ නෑ. යම් වෙලාවක ඔබ ඒ කිසිවකට බැඳෙන්නෙ නැත්තං ඔබ එතන නෑ. ඔබ එතන නැත්නං ඔබ මෙලොවත් නෑ. ඔබ පරලොවත් නෑ. ඒ දෙක අතරත් නෑ. ඔබ නිදහස්…….”
මෙහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ නැවතත් පිණ්ඩපාතෙ වැඩියා. බාහියට මුළුමනින් ම ‘නිදහස්’ වෙන්න ගතවුණේ බොහොම සුළු වෙලාවයි. ඒ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ සියළු කෙලෙසුන්ගෙන් සැබෑවට ම නිදහස් වුණා.
මොහොතකට හිතල බලන්න අපි මේ කෙලෙස් කාමයන්ට කොයිතරම් බැඳිලා ගිහින් ද කියලා. මේ කාම ගිනිවලින් කොයිතරම් නම් දැවි දැවී ද ඉන්නෙ කියලා. මේ කාම මඩ ගොහොරුවේ අපි කොයිතරම් එරිල ද ඉන්නෙ කියලා…..? අවාසනාව අපිට ඒක නො පෙනෙන එක. පෙනුනත් පිළිගන්න අකමැති එක. පිළිගත්තත් ගොඩ එන්න අකමැති එක. ගොඩ එන්න කැමති වුණත් ඊට අනුගමනය කළ යුතු මාර්ගය පිළිපදින්න අකමැති එක. මේ කොයි එකට අකමැති වුණත් අපිට වෙන්නෙ මඩේ ම එරිල ඉන්න. නුවණැති වීරියවන්ත කෙනා විතරයි වලෙන් ගොඩ යන්නේ. මේ ලාමක, තුච්ඡු කාමුක ආශ්වාදයන්ට ඇලිලා, ඒවයින් අන්ධ වෙලා ඉන්න අය හිතනවා ඒ සැප විඳිමින් සිත් සේ ජීවත් වීම තමයි නිදහස කියලා. බලන්න මේ කාමයන් නිසා අපි කොයිතරම් නම් බන්ධන ප‍්‍රමාණයකට හිර වෙලා ද කියල. ගොඩක් වෙලාවට අපිට තේරුම් ගන්න අමාරුයි අපි බන්ධනයක හිර වෙලා ද කියලවත්. ඒ තරමට ම අපි අන්ධ වෙනවා. මොහොතකට හිතලා බලන්න ජීවිතේ කවදා හරි ඔබ මොනයම්ම දෙයක් හෝ වෙනුවෙන් දුක් වුණා නම්, කඳුළු සැළුව නම්, හඬා වැලපුණා නම් ඒ බන්ධනයක් නිසා නෙවෙයි ද කියලා…… ඉතින් අපි නිදහස් ද?එ
මේ ලෝ දහම පසක් නො කරගැනීම නිසා, සැබෑ නිදහස නො ලැබීම නිසා එක පුද්ගලයෙක් මේ අනවරාග‍්‍ර සංසාර ගමනෙදි හෙලූ කඳුළු සතර මහා සාගර ජලයට වැඩි බවයි තුන්කල් දක්නා නුවණින් යුත්, ලෝකවිදු වූ අප ශාස්තෘන් වහන්සේ වදාළේ. මේ සසර ගමන අතිශය අනියතයි. බියකරුයි. බිහිසුණුයි. මේ ගමන වැටිල තියෙන්නෙ සතර අපාය හරහා. මහා දුක් කන්දරාවක්, වේදනා සමුදායක් මැදිනුයි මේ පාර වැටිල තියෙන්නෙ. ඉතින් මෙවන් වූ සසරකින් නො මිදුණු සත්වයාට කවර නම් නිදහසක් ද?
ඇති තතු ඇති ලෙස ම දැක, කවදා නම් අපි ‘නිදහස්’ වෙමු ද?
නිදහසේ සටහන
කාලිංග මහානාම

25/03/2019

කවුරුන් ද මේ නාගයෝ…?

අප වෙසෙනා පෘථිවියේ තුනෙන් දෙකක් ජලයෙන් යට වී පවතී. ඒ සුවිසල් ජලස්කන්ධය පුළුල් පරාසයකට පැතිර ගිය මහා සාගරයන්ගෙන් නිර්මිත ය. මහ සයුර අද්භූත තැනක් ලෙස මානව ගවේෂණයන්ට ලක් වූයේ අද ඊයේක සිට නො වේ. ඒ අද්භූත බව තීව‍්‍ර කරවමින් වරින් වර මහ සයුර දෙබෑ කොට මතු වී ක්ෂණයකින් නො පෙනී යන යෝධ ශරීරයන් ඇති සත්වයන් ගැන යම් යම් අවස්ථාවන්වල වාර්ථා වී තිබුණි.
සාගර ජලකඳ දෙබෑ කර අඩි තිහ හතළිහක් ඉහළට එසැවී, අඩි විස්සකට වඩා පුළුල් වූ මහා පෙන ගොබයේ ඇති ගිනි පුළිඟු වන් දෑස් සහ තියුණු උල් දත් ඇති මුඛය විවර කර, ඇසිපිය හෙළන සැණෙකින් යළි නො පෙනී යන දැවැන්ත මුහුදු උරගයා ගැන පුවත ද ලෝකය හමුවට ගෙන ආවේ උභතෝකෝටිකයකි.
වරෙක ප‍්‍රංශ ගවේෂකයන් දෙදෙනෙකු මේ සත්වයාගේ ඡායාරූපයක් ගන්නට සමත් වූහ. මහ සයුර මැද ගල්වැටියකට බර දී සිටි දැවැන්ත සත්වයා දෙස දුරදක්නයෙන් බැලූ ඔවුහු ගොඩබිම වෙසෙනා නාගයෙකුගේ ස්වරූපය ම සහිත පළල් වූ පෙන ගොබය, දිදුලන නෙත් සඟල, ලා රතුවන් මුඛය, තියුණු උල් දත්, සහ කළු සුදුවන් විශාල සිරුර පැහැදිලි ව දැක ගත්හ. අඩක් පමණ ජලයෙහි ගිලී ගත් සිරුරේ දිග අඩි සියය ඉක්මවන්නට ඇති බව ඔවුන්ගේ නිගමනය විය.
සබ්මැරීන උපකාරයෙන් මරියානා ආගාධය අසල ගවේෂණයක නියැළුන තවත් පිරිසක් කැමරා තුළින් දුටුවේ සාගර පත්ලෙහි අඩි 200 -250ක් පමණ වූ ආලෝක ධාරා විහිදුවන උරගයෙකු සිටින බව ය. සැණෙකින් එම ආලෝකය නිවී ගිය අතර සාගර පතුලේ මහා කැළඹීමක් ඇති කරවමින් උරගයා සැණින් නො පෙනී ගියේ ය.
මෙවන් වූ වාර්ථා ගණනාවක් නිසා විද්‍යාඥයින් සරණ ගිය වත්මන් ලෝකය අවසානයේ පැමිණි නිගමනය වූයේ මේ සත්වයා කිසිසේත් ම මිනිස් ග‍්‍රහණයට හසු කර ගත නො හැකි, පියවි ඇසට පෙනුන ද මොහොතින් නො පෙනී යන, මහ සයුරේ සිරස් සහ තිරස් අතට සැණෙකින් කිමිදිය හැකි, ශබ්දයේ වේගයට වැඩි වේගයෙන් ගමන් කරන අද්භූත ජීවියෙකු බව ය.
ලොවට අබිරහසක් වූ මේ මුහුදු නාගයන් අපට සිහිපත් කළේ දෙදහස් හයසිය වසරකට එපිට ලොව පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය තුළ ඉස්මතු වූ, අප නො දකිනා ලොවෙහි අසිරිමත් හෙළිදරව්වයි.
බුදු සසුනට නාගයන් යනු ආගන්තුක ජීවි කොටසක් නම් නො වේ.
‘‘ආකාසට්ඨා ච භුම්මට්ටා – දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු බුද්ධ සාසනං”
මෙලෙසින් අහසේ ද පොළවේ ද වෙසෙන්නා වූ දෙවියන්ටත්, නාගයන්ටත් පුණ්‍යානුමෝදනා කොට සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් සුරක්ෂිත කරවන්නට යැයි පැවසීම ඇරඹුණේ ද මෑතක දී නො වේ. සම්බුදු සසුන හා සබැඳි දේව පිරිසක් සේ ම නාග පිරිසක් ද වෙසෙන බව අපි දන්නෙමු. එසේ ම සම්බුදු සසුනට නම් නාගයන් යනු හුදු සංකල්පයක් හෝ මනුෂ්‍ය ගෝත‍්‍රයක් හෝ නො වේ.
පෙනෙනා නාගයෝ සහ දන්නා නාගයෝ
අප පියවි ඇසින් දකින්නේ උරග ගණයට අයත්, උග‍්‍ර විෂ සහිත සර්පයෙකු ලෙස සැලකෙන නාගයන් ය. පියවි ඇසට පෙනෙනා මේ නාගයන් හැරුණු කොට අප දන්නා නාගයන් සියල්ලන් ම අපට හමු වන්නේ බුදු දහම තුළ ය.
සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ දිනයේ උදෑසන නේරංජරා නදියේ පා කළ පාත‍්‍රය උඩුගං බලා ගොස් පසු ව නාග ලෝකයේ පිහිටි බව අපි අසා ඇත්තෙමු. එය දුටු මහා ආයුෂ ඇති මහාකාල නා රජු අදත් බුදු කෙනෙකු බුදු වන්නට යන වග පැවසුවේ ලූ.
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පසු ඉක්ම ගිය සයවන සතිය මුචලින්ද නාග දරණය තුළ ගත කළ බව ද අපි අසා ඇත්තෙමු. මහා වර්ෂාවන්ගෙන් සහ සුළෙඟන් ද මැසි මදුරුවන්ගෙන් ද සර්පයන්ගෙන් ද තථාගතයන් වහන්සේට උවදුරක් නො වනු පිණිස මුචලින්ද නා රජු සම්බුදු සිරුර වටා දරණ ගසා සම්බුදු ශීර්ෂයට ඉහළින් පෙන ගොබය නගාගෙන සතිය පුරාවට ම රැඳී සිටියේ ය. සතිය අවසන දරණ පට ලෙහා දමා සුන්දර වූ ශරීරයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට මිනිස් වේශයෙන් පෙනී සිටියේ ය.
(ඛුද්දක නිකාය – උදාන පාලි)
භාග්‍යවතුන් වහන්සේ නමක් ලොව පහළ වී දැයි මිනිසුන්ගෙන් දැන ගැනීමට උපක‍්‍රමයක් ලෙස සිය අභිරූමත් දියණියට ගීයක් උගන්වා අඩ මසකට වරක් උපෝසථ දිනයේ බරණැස ගංගා නදිය අසල තම පෙන ගොබය මත මිනිස් වෙසින් ඇය හිඳුවා ඇගේ ගීයට ප‍්‍රතිගීයක් ගයන්නෙකුට මහත් වස්තුව ද සමඟ ඇයව සරණපාවා දෙන බව ප‍්‍රසිද්ධ කළේ ඒරකපත‍්‍ර නා රජු ය. අවසන ඔහු භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියේ ය.
තවත් අප දන්නා නාගයෙකු වන්නේ ඍද්ධිමත් වූ නන්දෝපනන්ද ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිරිවරා ගෙන දෙව්ලොවට වැඩි මොහොතේ පා දුවිලි වැටීම නිසා කිපී මහාමේරු පර්වතය සිය පෙන ගොබයෙන් වසා ගත් ඒ නා රජු දමනය කළේ මහා ඍද්ධි ඇත්තා වූ බුද්ධ පුත‍්‍ර මොග්ගල්ලානයන් වහන්සේ ය.
වරෙක අනුරුද්ධ මහ රහතන් වහන්සේට වැළඳුණු උදරාබාධයකට පිළියම් ලෙස අනවතප්ත විලෙන් පැන් ගෙන ඒමට වැඩි සත් හැවිරිදි වූ සුමන සාමණේරයන් වහන්සේට පැන් ගනු නො හැකි වන ලෙස විල වසා පෙණගොබය නගා ගත්තේ පන්ථක නා රජු ය. නමුත් සාමණේරයෝ පෙනය ඉවත් කර පැන් රැගෙන වැඩි සේක.
ශ‍්‍රද්ධාවන්ත වූ නාගයෙකු මිනිස් වෙස් ගෙන බුදු සසුනෙහි පැවිදි වූ බවත්, නින්දේ දී සැබෑ නාග ස්වරූපය මතු වීම නිසා ස්වාමීන් වහන්සේලා මේ බැව් දැන තථාගතයන් වහන්සේට දැනුම් දුන් බවත්, ඉන් අනතුරු ව නාගයන් පැවිදි කිරීම තහනම් කොට විනය නීතියක් පැනවුණු බවත් විනය පිටකයේ සඳහන් ය.
එසේ ම නර්මදා නදිය අසබඩ සහසක් සක් ලකුණින් පිරී ගත් උතුම් ශී‍්‍ර පාද සටහනක් භාග්‍යවතුන් වහන්සේ තබා වදාළේ නා රජෙකුගේ ඉල්ලීම මත බව කියැ වේ.
එපමණක් නො ව භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු කෙරුණේ නාගයන් දෙපිරිසක් අතර සිදු කෙරෙන්නට ගිය යුද්ධයක් නවතා යහපත සලසා දෙන්නට ය. තෙවන වරට භාග්‍යවතුන් වහන්සේ අප රටට වැඩම කළේ නාගදීපයට වැඩි ගමනේ දී මණිඅක්ඛික නා රජු කළ ආරාධනාවකට අනුව ය.
මහා බෝධි ශාඛාව අප රටට වැඩම කරවූ මොහොතේ බෝධි ශාඛාව ඔවුන් සතු කර ගන්නට තැත් දැරූ නාගයන් සංඝමිත්තා රහත් තෙරණියෝ අනුකම්පාව මත සතියක් පුරාවට මහා බෝධි ශාඛාව නා ලොව වඩා හිඳුවා පූජෝපහාර දක්වා ඇත. දැනුදු අප ‘නා ලොව සතියක් පුද ලද බෝධිය’ කියා ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේට වන්දනා කරන්නේ එබැවිනි.
ස්වර්ණමාලී මහා සෑයේ පිහිටවූ ද්‍රෝණයක් සම්බුදු ධාතුන් වහන්සේලා නා ලොව සිට ඍද්ධි බලයෙන් රැගෙන ආවේ සෝණුත්තර රහතන් වහන්සේ ය. ඒ මහා සෑය තනවන්නට නාගයන් බොහෝ සෙයින් උපකාර කළ බව ද වංශ කථාවල සඳහන් ය.
සෝමාවතිය සෑ රජුන් තුළ නිධන් ව ඇත්තේ ද නා ලොව සිට වැඩම කරවූ දක්ෂිණ ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ ය.
අප මහ බෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුරන සමයේ විපස්සී සම්බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුවේ අතුල නම් නාග රාජයෙකු ව ඉපිද සිටිය දී ය.
මෙලෙස සසුන හා සබැඳුණ නාගයන් කවර සත්ව කොට්ඨාසයකට අයත් ද? නාගදීපයේ ද කැලණියේ ද වාසය කළා වූ නාගයන් කවුරුන් ද? ඒ මනුෂ්‍ය ගෝත‍්‍රයක් ය කියා පැවසිය හැකි ද? පෙනෙන නාග ලෝකය හා නො පෙනෙන නාග ලෝකය අප කවර අයුරකින් විග‍්‍රහ කරන්න ද?
කවරහු ද මේ නාගයෝ?
අප දන්නේ බිජුවටින් උපදින නාගයන් ගැන පමණි. සත්ත්වයන් විෂයෙහි යම් හතර ආකාරයකින් උප්පත්ති සිදු වේ ද ඒ හතර ආකාරයෙන් ම නාගයන් ද උපත ලබන බව ඔබ අසා තිබේ ද? අප නො දුටු ඒ ලොව පිළිබඳ, පෙනෙන, නො පෙනෙන සියලූ ලෝකයන් මැනැවින් අවබෝධ කළා වූ, ඒ සියලූ ලෝකයන්ගෙන් නිදහස් වී වැඩ සිටියා වූ සර්වඥයන් වහන්සේගේ දහම තුළින් ම හැර අන් කවරකින් නම් අප හඳුනා ගන්න ද?
බිත්තරවලින් උපදින්නා වූ නාගයන්, එනම් අණ්ඩජ නාගයන් හැරුණු කොට සංසේදජ, ජලාබුජ හා ඕපපාතික යන ආකාරයන්ගෙන් ද නාගයෝ උපත ලබති. මේ බව භාග්‍යවතුන් වහන්සේ සංයුත්ත නිකායේ නාග සංයුත්තය තුළ විස්තර කොට පෙන්වා වදාළ සේක. මේ අය අතුරෙන් වඩාත් බල සම්පන්න වන්නේ ඕපපාතික නාගයන් ය.
මහාමේරුව පතුල මුර කරනා නාගයන් ගැන කුලාවක ජාතකය තුළ කියැවේ. දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් සුරා බී මත් වූ අසුරයන් මහාමේරුව පත්ලේ පිහිටි අසුර භවනට හෙලූ බවත්, දිව්‍ය සම්පත් තමන්ට අහිමි වූ බව වටහා ගත් අසුරයන් සුර පිරිසට එරෙහිව යුද වැදුණු බවත්, මෙත් සිතින් යුතු වීම නිසා අවසන් මොහොතේ සක් දෙවිඳු යුද්ධය ජයගත් බවත්, ඒ වෙනුවෙන් සහස් යොදුනක් උස වෛජයන්ත ප‍්‍රාසාදය පැන නැගුණ බවත් එහි සඳහන් ය. අසුරයන් යළි පැමිණීම වළක්වනු පිණිස සක් දෙවිඳුන් පස් තැනෙක රැකවල් ලූ අතර එහි පූර්වාලින්දයේ හිඳ මහාමේරුව පත්ල මුර කරන්නේ නාගයන් ය.
තිරිසන් යෝනියේ උපන්නා වූ නාගයන්ට අධිපතිත්වය දරන්නේ විරූපාක්ෂ නම් වූ වරම් දේවතාවා ය. ‘‘නාගානඤ්ච ආධිපති විරූපක්ඛෝ ඉති නාමසෝ” යනුවෙන් ආටානාටිය සූත‍්‍රය තුළ ඒ බැව් ප‍්‍රකාශ කෙරේ.
ආටානාටිය සූත‍්‍රය තුළ වෛශ‍්‍රවණ දිව්‍ය රාජයා පවසා සිටින්නේ බුදු සසුන කෙරෙහි පැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් සේ ම අපැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් ද සිටින බව යි. සම්බුදු සසුනක් තුළ සිල් ගුණ දම් රකින්නවුන් කෙරෙහි අප‍්‍රසාදයෙන් පසු වන්නා වූ ඒ අමනුෂ්‍යයන්ගෙන් සිව්වනක් පිරිසට ඇති විය හැකි උපද්‍රව දුරු කිරීම පිණිස මේ ආටානාටිය ආරක්ෂාව පවසන බව ද වෙසමුණි වරම් දෙව් රජු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප‍්‍රකාශ කොට ඇත.
භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ ඒ සා අමනුෂ්‍ය බලයක් පැවතී නම් මෙකල ගැන කථා කරන්නට ද දෙයක් නැත. නා ලොව වෙසෙන්නා වූ සියලූ නාගයන් තිසරණ සරණයෙහි පිහිටා නැත. බුදු සසුන කෙරෙහි හිත පහදවා ගත් නාගයන් ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඔවුහු ශාසනාලයෙන් යුතු ව අප සිදු කරන පුණ්‍ය ක‍්‍රියාවන්ට උපකාර කළ ද බහුතරය සිටින්නේ ඒ පුණ්‍ය ක‍්‍රියාවන්ට අකුල් හෙළන අසුර සේනාවට අයත්ව බව අප අමතක නො කළ යුතු ය.
‘‘මහා සක්වළ වසන්නා වූ සියලූ ලෝ වැසි නාගයෝ සපිරිවර සහ එක්ව සැදැහෙන් රකිනු මැන ලොව සෙත් පතා”
ආටානාටිය සූත‍්‍රයේ දී නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පැටවෙක් හෝ නාග පැටවියක් හෝ නාග මහාමාත්‍යයෙක් හෝ නාග පිරිසට අයත් කෙනෙක් හෝ නාග සේවකයෙක් හෝ සිව්වනක් පිරිසට දුෂ්ට, නපුරු සිතින් යුතු ව උවදුරු කිරීමට ඉඩ තිබෙන බව ඉතා පැහැදිලි ව ප‍්‍රකාශ කෙරේ. ඔවුන්ගෙන් ආරක්ෂා වීම පිණිස ආටානාටිය ආරක්ෂාව සේ ම ඛන්ධ පිරිත ද එක සේ ම උපකාරී වේ.
භාග්‍යවතුන් වහන්සේ ඛන්ධ පිරිත දේශනා කරන්නට යෙදුණේ සර්පයෙකු දෂ්ට කිරීම නිසා එක් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වූ අවස්ථාවක ය. විරූපාක්ෂ, ඒරාපථ, ජබ්‍යාපුත්ත හා කණ්හාගෝතමක යන සර්ප කුලයන්ට මෙත් සිත පැතිරවීමෙන් ඇරඹෙන ඛන්ධ පිරිත නුහුගුණයන්ගෙන් පිරි තිරශ්චීනයන්ගෙන් ආරක්ෂා වීම පිණිස අනන්ත ගුණයන්ගෙන් පිරී ගත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය සලසා දෙන උතුම් සුතුරකි. මේ සූත‍්‍ර සජ්ඣායනය කිරීමෙන් හා අපමණ මෙත් සිත ම පැතිරවීමෙන් අමනුෂ්‍ය උවදුරු මැඩ පවත්වන්නට හැකි ය.
එසේ ම පින් අනුමෝදන් කිරීමේ දී ‘සසුනෙහි පැහැදුණු සිත් ඇත්තා වූ නාගයන්’ කෙරෙහි පමණක් පුණ්‍යානුමෝදනා කිරීම ප‍්‍රමාණවත් බව පැවසිය යුතු ය. ඒ සැදැහැති නාගයන් සම්බුදු සසුන සුරකින්නට හැකි පමණින් ඇප කැප වනු ඇත.
දිවි පුදා සිල් රැකි බෝසත් නාගයෝ
අප මහ බෝසතාණන් වහන්සේ නා ලොව උපත ලබා සිටිය දී පවා සිල් ගුණ දම් වර්ධනය කළ ආකාරය ජාතක කථා කිහිපයකින් ම හෙළිදරව් වේ.
වරෙක බෝසතාණන් වහන්සේ භූරිදත්ත නමින් නා ලොව උපන් සේක. පිය රජු සමඟ විරූපාක්ෂ වරම් මහ රජුගේ උපස්ථානයට චාතුම්මහාරාජික දෙව් ලොවට ගොස් එහි වූ දිව්‍ය සම්පත් දැක, මණ්ඩුකයන් අනුභව කෙරෙනා මේ නාග යෝනියෙන් කවර ඵලයක් ද යැයි සිතූ භූරිදත්ත නා රජු මිනිස් ලොවට විත් තුඹසක් මත්තේ දරණ වැල ලාගෙන පෙහෙවස් රැක්කේ ය. අහිකුණ්ටිකයෙකු ඒ නා රජු අල්වාගෙන තලා පෙළා හිංසා කරද්දී පවා ‘‘මා කිපුණේ නම් මොහු සුණු විසුණු වන්නේ ය. එයින් මාගේ ශීලයට හානි වන්නේ ය.” යැයි සිතා නො කිපී ම සිටි නා රජු දිවි දෙවැනි කොට ශීලය රැක ගත්තේ ය.
මෙලෙස ම වරෙක චම්පෙය්‍යය නමින් නා ලොව උපන් බෝසතාණන් වහන්සේ නාග සම්පත් කෙරෙහි ලොබ නො වී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ හැකි සුගති උපතක් ලබන්නට සිතා මිනිස් ලොවට පැමිණ පෙහෙවස් රැක්කේ ය. එවර ද අහිකුණ්ඨිකයෙකු කළ හිංසා පීඩා විඳ දරාගෙන සිල් ආරක්ෂා කළේ එක විෂ ධූමයක් පිට කර නගරය ම අළු කළ හැකිව තිබිය දී ය.
තවද මේ ජාතක කථාවන්ගෙන් හෙළිවන සුවිශේෂී කරුණක් වන්නේ නාගයන් පෙණ ගොබ ගණනාවක් මවා පෑමේ සෘද්ධි බලයකින් යුතු බව යි. පෙණ ගොබ පහක්, හතක්, නවයක් හෝ වැඩි ගණනක් සහිත වූ නාගයන්ගේ ලාංඡන පුරාණ හෙළ කලාකරුවන් අතින් පණ ලබන්නට ඇත්තේ මේ බැව් ඔවුන් මැනැවින් දැන සිටි නිසා විය යුතු ය. එය බල සම්පන්න නාගයන් සතු වූ සෘද්ධියකි.
නාගයන් සතු මහානුභාව සම්පන්න බව නිසා ඇතමුන් නාග උපත ප‍්‍රාර්ථනා කරති. කවර ආකාරයකින් උපත ලැබුව ද කවර ලෙසින් බලසම්පන්න වූව ද කවර අයුරක සම්පත් ලැබූව ද නාග උපත යනු තිරිසන් උපතක් ම ය. එවන් තිරිසන් යෝනියක උපතකින් කවර සැපතක් ද?
චම්පෙය්‍යය ජාතකයේ දී උග්ගසේන නම් රජු විසින් චම්පෙය්‍යය නා රජු නිදහස් කරවූ පසු නා රජු ප‍්‍රත්‍යුපකාරයක් ලෙස උග්ගසේන රජුව නා ලොවට රැගෙනවිත් මහත් හරසරින් යුතුව සංග‍්‍රහ කළේ ය. නා ලොව පවත්නා ශී‍්‍ර විභූතිය දුටු උග්ගසේන රජු, නා රජුගෙන් විමසුවේ මෙතරම් සැපවත් දිවි පෙවතක් හැර දමා කුමක් නිසා මනු ලොව විත් උපෝසථ ආරක්ෂා කරන්නේ ද කියා ය. එවිට නා රජු පැවසුවේ, ඉන්ද්‍රිය දමනය කොට කෙලෙස් සතුරන් පරදවා ජරා, මරණයෙන් මිදී නිවන් සාදා ගනු කැමැත්තෙන් මෙසේ කරන බව යි. තිරිසන් යෝනියේ හිඳීමෙන් ඒ ක්ෂණ සම්පත්තිය අහිමි වී යන බව දන්නා නිසා ඔවුහු සුගතිය පතා සිල් ගුණ දම් රැකියහ.
ඉදින් අප ද කළ යුත්තේ ලද මේ සුගතිගාමී උපතින් ඵල ලබා මේ ගෞතම බුදු සසුන තුළ ම කෙලෙස් සතුරන් පරදවාලීම නො වේ ද?
ගෞතම සසුනෙහි සිත පහදවා ගත් සියලූ දෙව් බඹුන් ද මිනිසුන් ද නාගයන් ද වහ වහා කෙලෙස් සතුරන් පරදවා අම නිවන සාක්ෂාත් කර ගනිත්වා!
මිණි කැට වන් ඇස් ඇති නා රජුනේ
අනුමෝදන් වේවා මේ පින්!!!

සම්බුදු සසුන කෙරෙහි මහත් වූ ප‍්‍රසාද චිත්තයකින් යුතු ව සසුනේ චිරස්ථිතිය උදෙසා කැප වන්නා වූ නාග රාජයන් අතුරෙන් මණිඅක්ඛිත නා රජුන්ට හිමි වන්නේ අග‍්‍ර ස්ථානයකි. හෙතෙමේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ අවස්ථාවේ දී ය. උතුම් තිසරණ සරණෙහි පිහිටි, මිණි කැට වන් ඇස් ඇති හෙයින් මණිඅක්ඛිත නම් වූ ඒ නා රජු තමන්ගේ රාජධානිය වෙත වැඩම කරන ලෙස භාග්‍යවතුන් වහන්සේට මහත් සැදැහැයෙන් ආරාධනා කිරීමේ මහඟු ප‍්‍රතිඵලය වූයේ ඒ උතුම් සම්බුදු පා කමල් ස්පර්ශයෙන් තෙවන වරටත් ලක්දිව පාරිශුද්ධත්වයට පත් වීම යි.
නා ලොව නාගයෙකු ව ඉපිද මිනිස් වෙස් ගෙන ලක්දිව කැලණි නදිය අසබඩ රාජධානිය ගොඩ නගා ගත් මණිඅක්ඛිත නා රජුන්ට පුණ්‍යානුමෝදනා වන්නට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටි සොඳුරු මැණික් ආසනය නිදන් කොට තැනවූ කැලණි සෑ රජුන් දැනුදු අපි මහත් බුදු බැතියෙන් වන්දනා කරන්නෙමු.
එසේ ම පැන් පහසු වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ සිවුරු ගලවා තැන්පත් කොට තැබූ, ඒ භාග්‍යවත් අරහත් ධජයේ සුපින්බර පහස ලැබුවා වූ ‘සිවුරු ගල’ ද අපි වන්දනා කරන්නෙමු.
ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ පරිභෝජනය කළ ‘ජල සාටිකා ධාතූන් වහන්සේ’ වැඩ සිටිනා එගොඩ කැලණිය සෑ රජුන්ව ද අපි වන්දනා කරන්නෙමු.
ඒ පාරිභෝගික ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ, බුදු සිරි පා සිප ගත්තා වූ, ඒ පරම පූජනීය බුද්ධ භූමිය අපගේ වන්දනාමානයට පාත‍්‍ර වන වාරයක් වාරයක් පාසා මණිඅක්ඛිත නා රජුගේ ජීවිතයට පුණ්‍ය ගඟුලක් ගලා යන බව නිසැක ය. මහ සයුර යට පිහිටි නාග භවනේ සිට සුවඳැති කඩුපුල් මල් නෙළා ගෙනවිත් කැලණි නදියෙන් ගොඩ වී දැනුදු ඒ සුපින්වත් නා රජු තම ශාස්තෘන් වහන්සේ වැඩ සිටි පින්බිම පුද දෙනවා විය යුතු ය.
පින්වත් නා රජුනේ, ඔබ, අප සරණ ගියා වූ ඒ ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ උදෙසා අප සිදු කරන ආමිෂ, ප‍්‍රතිපත්ති පූජාවන්ගෙන් රැස් වන්නා වූ සියලූ කුසල ධර්මයන් එක සේ ම ඔබට ද අනුමෝදන් වේවා!
තිරශ්චීන උපතින් නිදහස් ව සුගතිගාමී උපතක් ලබා මේ ගෞතම බුදු සසුනේ දී ම සදාතන පිළිසරණ සලසා ගැනීමට ඔබට ද මේ සම්බුදු සසුන් කෙතෙහි හිත පහදවා ගත් අනෙකුත් සියලූ නාගයන්ට ද වාසනාව උදා වේවා!
නාග සටහන
විශ්වනාත් දේවප‍්‍රිය

25/03/2019

දන්න දවසක් ගැන නො දන්න කථාවක්..

කාලෙකට ඉස්සර කියවන්න ලැබුණ ලස්සන කවි පන්තියක් මතක් වුණා. මේ කවි පෙළේ රචකයා ‘වැල්ලම්පිටියේ කිවිඳු’ කියලයි සඳහන් වන්නේ.
‘‘උපන් දිනය අළලා කවි ලියන පොරොන්දුව
අදත් ඔන්න ඉටු කරන්න ගනිමි උනන්දුව”

මේ දෙපදෙන් අරඹපු කවි කිහිපය තමන්ගේ දුවණියගේ උපන් දිනය වෙනුවෙන් තමයි ලියලා තියෙන්නේ. ඔබ වෙනුවෙනුත් ඇතැම් විට මේ වගේ ම කවි ලියැවිලා ඇති. එහෙම නො වුණත් සුබ පැතුමක් හරි අනිවාර්යයෙන් ලැබෙන උපන් දිනයක් ඔබටත් තියෙනවානේ.
ඉතිං ඔබෙන් බොහෝ දෙනෙක් අහලා තියෙන ප‍්‍රශ්නයක් අපි ආයෙත් අහනවා.
‘උපන් දිනේ කවද්ද?’
උපන් දිනය විතරක් නෙමෙයි; උපන් වෙලාව, උපන් ස්ථානය හැම දේමත් ඔබට කට පාඩම් නේ ද? මේ දිනේට මට මෙච්චරක් වයස පිරෙනවා කියන එකත් ඔබේ මතකයට ආව නේද?
හැම කෙනෙකුට ම තමන්ගේ උපන් දිනය බොහොම සුවිශේෂ යි. තප්පරෙන් තප්පරේ වයස ගෙවුණට, විනාඩියෙන්, දවසෙන්, සතියෙන් සහ මාසෙනුත් වයස ගෙවුණට, ඒ කිසි ම මොහොතක නො විඳින අමුතු විදිහේ ළෙන්ගතුකමක් අපිට අවුරුද්දකට පාරක් එන උපන් දිනේ දවසේ තියෙනවා. ඒ නිසානේ හැමෝම උපන් දිනය විශේෂ කොට සලකන්නේ.
මේ විශේෂත්වය හින්ද ම උපන් දිනේ සමරන්න ප‍්‍රිය සාද, කේක් ගෙඩි, ඉටිපන්දම් එහෙමත් ලහි ලහියේ සූදානම් කර ගන්නවා. ඉටිපන්දම, කේක් ගෙඩිය පෙරටු කර ගත්ත ‘හැපි බර්ත්ඩේ’ (Happy Birthday) සංකල්පය අපේ රටට ලැබුණෙ විජාතික ආක‍්‍රමණවලින් පස්සෙ. ඒ යටගියාවේ අල ගිය – මුල ගිය – වැල ගිය තැන් නො දන්නවා වුණාට ප‍්‍රිය සම්භාෂණයකින් උපන් දිනය සමරන්න අපේ රටේ බහුතරය කැමතියි.
උපන් දිනය සමරන්නේ රටේ නමගිය කීර්තිමත් අයෙක් නම් එය මාධ්‍යවලටත් බොහොම වටිනා ආරංචියක් වෙනවා. ඒ කෙනා තමන්ගේ රටේ ම වෙන්න වුවමනත් නෑ. ප‍්‍රසිද්ධිය, ජනප‍්‍රිය බව ලෝකෙ පුරා ම පැතිරිලා ගිහින් තියෙනව නම් ඔහුගේ හෝ ඇයගේ උපන් දිනය හැමෝම කථා බහ කරන දෙයක් බවට පත් වෙන්නේ ඉබේට ම යි.
උත්සවාකාරයෙන් උපන්දිනය සමරන එක විහිළුවක් කොට සලකන ඇතැම් අය ඒ දවස පුණ්‍ය කටයුතු වෙනුවෙන් වෙන් කරනවා. ආගම දහමට අනුව ඒ දවස ගත කිරීමෙන් ඔවුන් සැබෑ ම තෘප්තියක් ලබනවා.
අද අපි කථා කරන්නෙත් උපන් දිනය ගැන. කවුරු නමුත් ‘අද මගේ උපන් දිනය’ කියලා සතුටු වෙන එක වළක්වන්න හෝ එකිනෙකා තම තමන් රුචි ආකාරයෙන් උපන් දිනය සැමරීම වළක්වන්න හෝ උවමනාවක් අපිට නැහැ. ඒ වෙනුවට අපි මේ හදන්නේ ‘දන්න උපන් දිනේ ගැන බොහෝ දෙනා නො දන්න කථාව’ කියල දෙන්න යි.
උපන් දිනේ කියන්නෙ මොකක් ද? කියන ප‍්‍රශ්නෙට උත්තර දෙන එක ටිකක් පස්සට දාලා උපන් දිනයක අර්ථය මොකක් ද? කියලා මුලින් අහන්න සිදු වෙනවා. උපන් දිනය ඔබට ලබා දෙන ජීවිත අර්ථය කවරක් කියල ද ඔබ හිතන්නේ?
මේ ලෝකය සතුටු සාද තුළින් උපන් දිනය සමරන්නේ ඒ දවසේ තමන්ගේ වයස අවුරුද්දකින් වැඩි වෙන නිසා ද? නැති නම් ඒ දවස තමන් සැබැවින් ම සතුටු විය යුතු දවස කියලා හිතන නිසා ද? එහෙමත් නැති නම් මෙවන් ලොවක ඉපදුණ එක ගැන ඔවුන් සතුටු වෙන නිසා ද?
අවුරුද්දකින් නෙමෙයි තප්පරේකින් හරි වයස වැඩි වෙනවා කියන එකේ සැබෑ ම තේරුම තමයි තමන් මොහොතින් මොහොත මහලූ වෙනවා කියන එක; ජරාවට පත් වෙනවා කියන එක; මරණයට යම් තරමකින් හෝ ළං වුණා කියන එක. ඒක සතුටට කාරණාවක් ද?‍
අනෙක ඒ දවස කොහොම ද තමන් සැබැවින් ම සතුටු විය යුතු දවස වෙන්නේ? දවස් තුන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් අඳුරු මව්කුසේ, අතපය දිග හැරගන්නවත් ක‍්‍රමයක් නැතිව, කරකියා ගන්න දෙයක් නැතිව, අන්ත අසරණව ඉඳලා, ලේ ගංගාවක් සහ මල මුත‍්‍ර අතරින් හිතා ගන්නවත් බැරි තරමේ මහා වේදනාවක් තමන් කුසේ හොවාගෙන උන්නු අම්මට විඳින්න සලස්වලා, තෙරපීම්, තැලීම්, ඇදීම් ආදි දුක් කන්දරාවක් තමනුත් විඳගෙන, අඬාගෙන ලෝකෙට ආපු විලාසය ගැන කල්පනා කරලා බලන්න. ඒ දවස ගැන ඔබට සතුටක් ද ඇති වෙන්නේ?
මේ ලෝකය අතිශයින් විපත් බහුල තැනක්. කොයි මොහොතේ මහා විපතකට ඇද වැටෙයි ද කියන එක කාටවත් ම හිතා ගන්න බෑ. අනෙක පුංචි ම පුංචි සතුටක් ලබන්නත් මොන තරමක් මහන්සි වෙන්න ඕනෙ ද? අවුරුදු ගාණක් ඉගෙන ගන්න ඕනේ. රස්සාවක් හොයන්න ඕනේ. ඒ වෙනකොට විවාහයකට කල වයස හරි. ඊට පස්සේ ගෙයක් දොරක් හදාගෙන, දරු මල්ලෝ පෝෂණය කරවමින්, දෙමව්පියෝ, නෑදෑයෝ විෂයෙහි සංග‍්‍රහ සත්කාර කරමින් මොන තරම් කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන්න තියෙනව ද? ඒ දේවල් ඒ ආකාරයෙන් ම ඉටු කර ගැනීම නේ ද අපි මේ ලෝකේ සතුටින් ජීවත් වීම කියන්නේ? ඒ වෙනුවෙන් අපමණ වෙහෙසක් හැම කෙනෙකුට ම තම තමන්ගේ ජීවිත තුළ විඳ දරා ගන්න වෙනවා ම යි. ඒකත්, ‘කන්දක් විළිලා මී පැටියෙක් වදනවා’ කියන කථාවට බොහෝ සෙයින් සමාන යි. ඉතිං අල්ප මාත‍්‍ර සැපතක් වෙනුවෙනුත් අනන්ත වෙහෙසක් දරන්න සිදු වන ලොවක ඉපදීම ඔබට සතුටක් ද?
ඒවත් කමක් නෑ කියලා හිතමුකෝ. ඉපදුණු අපි ලෙඩ නො වී ඉන්නව ද? වයසට නො ගිහින් ඉන්නව ද? නො මැරී ඉන්නව ද? පි‍්‍රයයන්ගෙන් වෙන් නො වී, අපි‍්‍රයයන් හා එක් නො වී ඉන්නව ද? දුක්, සුසුම් හෙළීම්, හඬා වැළපීම්වලින් බැහැර වෙලා ඉන්නව ද? ඔන්න ඔය වගේ ඉරණමකට අපව ගෙන ආපු දිනය නේ ද අපි මහා උජාරුවෙන් සමරන්නේ? ඉපදීම නිසා උරුම කරගත් ඒ දේ ගැන ඔබට ප‍්‍රිය සාද පවත්වලා, නටලා, ගයලා සතුටු වෙන්න පුළුවන් ද?
ඒ හැමදේමත් අමතක කරමු. එහෙම කරලත් තවත් පුංචි පරහක් ඉතුරුයි කියලා අපි කිව්වොත්? ඔබ බලයි මීටත් වඩා මොන පරහක් ද කියලා. ඒත් ඇත්තට ම තව දෙයක් තියෙනවා. ඔබ උපන් දිනේ කියන්නේ සැබෑවට ම ඔබේ උපන් දිනේට ම ද? එහෙමත් නැති නම් අඳුරු මව් කුසට සමුදීලා ඔබ ඔබ මේ ලෝකෙට ආපු දිනේට ද? ඒ කියන්නේ ඔබව මෙලොවට උපද්දවපු දිනේට ද?
හතරබීරි කථාවක් කියල හිතන්න එපා. ඇත්තට ම ඔබට උපන් දිනේ කියලා මතක් වෙන දිනේ, ඔබේ උපන් දිනේ නෙමෙයි. ඒ දිනේ හරියට ම කියන්න මේ ලෝකේ කිසි ම කෙනෙකුට බෑ. තුන්ලොව තුන්කල් මැනැවින් දුටු ඒ නිදුකාණන් වහන්සේ පමණ ම යි ඕනෑ ම කෙනෙකුගේ උපන් දිනය හරියට ම දන්නේ. උන්වහන්සේ අවබෝධයෙන් ම දේශනා කොට වදාළා ‘ඉපදීම’ යනු කුමක් ද? කියලා.
‘‘රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයාගේ යම් පහළ වීමක් වේ ද ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතනයන්ගේ යම් ලැබීමක් වේ ද මෙයට ය ඉපදීම කියා කියන්නේ”
(විභංගසුත්ත – සංයුත්ත නිකාය)

උපන් දිනේ මොකක් ද? කියන ප‍්‍රශ්නෙට උත්තරේ එතැන තියෙනවා. දැන් කියනව ද බලන්න ඔබේ උපන් දිනේ කවද්ද කියලා?
මව් කුස තුළ අපේ විඤ්ඤාණය පිහිටියේ යම් මොහොතක ද ඒ මොහොතේ අපි ඉපදුණා. ඒ මොහොතේ පටන් ම අපි වයසට ගියා, අපි මරණයට ළං වුණා, අපි දුක් විඳින එක පටන් ගත්තා.
මව් කුස කියන්නේ සුව පහසු යහනක් නෙමෙයි. එහෙම තැනක ඉඳලා ඇලීම්, බැඳීම්, ගැටීම් ගණනාවක් එක්ක තවත් ජීවිත කාලයක් ගෙවන්න මෙහෙම ලෝකයකට අපි එනවා. අන්න ඒ දවස තමයි මේ ‘හැපි බර්ත්ඬේ’.
අපි ගෙවාගෙන ආව සංසාරේ ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ මතක් කරලා බලද්දි, අපි උපන් දිනය ලෙස සලකන දිනේ හැරුණු කොට අනෙක් දවස් තුන්සිය හැට හතරෙත් අපි අනේක වාරයක් ඉපදුණු බව නිසැක යි. එහෙම ගත්තොත් හැම දා ම ‘හැපි බර්ත්ඩේ’ තමයි.
ඒ වගේ ම සුවිශේෂී කොට සලකන ඔය දවසෙ අපි අනේක වාර ගණනින් මිය ගිය බවත් නිසැක යි. ඉතිං අපිට අමතක වුණ ඒ සංසාරගත කඳුළු කථාව ගැන හැම දවසෙ ම සිහිබුද්ධියෙන් හිතලා බලන එක නේ ද වඩාත් යහපත්? එහෙම කල්පනා කෙරුවොත් නම් උපන් දිනයට සැබෑ ම අර්ථයක් ලබා දෙන්න අපිට පුළුවනි.
වැල්ලම්පිටි කිවිඳුන්ගේ කවි පන්තියෙන් උපුටා ගත්ත කවි දෙකකින් ම අපි මේ සටහන අවසන් කරනවා.
‘‘දිනෙන් දින ම දෙමාපියන් වයසට යන හැටී
හොඳින් බලා එයින් යමක් ඉගෙන ගැනුම වටී
ඉතිං දුවේ නවාතැනක කාලයකට කෙටී
ලැගුම් ගන්න අප අතරට ඔබත් පැමිණ සිටී
ගුණ දම් ඔබ රැකිය යුතු ය බිය විය යුතු පවට
නැණවත් විය යුතු ය නො රැවටෙණු මැන හැඩ රුවට
සැනසීමක් ලද දෙයකින් සැක නැහැ ලබනවට
වෙන සම්පත් නො තිබුණාට තුන් සරණයි දුවට”
දුවට විතරක් නෙමෙයි, ඔබටත් තෙරුවන් සරණයි!
හැම දෙනාට ම සසර ගමනේ මේ පැමිණ සිටින කෙටි නවාතැන තුළ නුවණැස උපදවාගෙන, උතුම් තුනුරුවනේ අනන්ත අපරිමාණ ගුණ බලයෙන් සුවපත්ව, ඉපදෙන මැරෙන රෝගයෙන් නිදහස් වීමට වාසනාව උදා වේවා!
උපන් දිනේ සටහන
උදුලා පද්මාවතී

25/03/2019

සැබෑ ම සංවර බව උපදවා ගනිමු...

පුද්ගලයාගේ සංවරකම වගේ පෙනෙන ශාන්තකමක් ලෝකෙ තියෙනව. දැන් බලන්න, මිනිස්සු පොලීසියකට ගියාම හා පැටවු වගේ නේද එතන ඉන්නෙ? ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි එතන චන්ඩි කම් කරන්නෙ. නමුත් පොලිසිය නැතිකොට, ඉන් පිටදි ඒ ස්වභාවය පවත්වනව ද? එහෙනම් ඇයි පොලිසියෙ දී එහෙම වෙන්නෙ? නීතියකට බයේ. ඇයි නීතියට බය? නීතිය කැඩුවොත් දඬුවම් විඳින්ට සිද්ධ වෙනව කියල, ඒ දඬුවමට බයේ නීතිය නොකඩා සිටීම තමයි එතන සංවර කම වගේ පෙනුනෙ.
ඒ විදිහට නීතියකට බයේ සංවර වෙන කෙනාගෙ අභ්‍යන්තරයෙ කුසල් ඉපදෙනව ද? කුසල් ඉපදෙන්නෙ නෑ. යම් ක‍්‍රියාවක් බලෙන් පාළනය කරගෙන ඉන්නෙ. එයා ස්වකැමත්තෙන් නෙවෙයි ඒ ක‍්‍රියාව පාලනය කරන්නෙ. අකමැත්තෙන්. එතකොට එයා තුළ කුසල් නෙවෙයි ඉපදෙන්නෙ. අමනාපය, අහිතවත්කම, තරහ තමයි උපදින්නෙ. එතකොට ඒ වගේ අකමැත්තෙන් අමනාපයෙන් අදහස් හිර කරගෙන යම් විදිහක පාලනයක් වගේ දෙයක් ප‍්‍රකට කරගෙන ඉන්න කෙනා, ඒ නීතියෙන් බැහැර වුන ගමන්, නීතියෙන් ඈතට ගිය ගමන් තමා ළඟ තිබුන ඒ අකුසලය, එහෙම නැත්නම් අසංවර බව දෙගුන තෙගුන කරල ප‍්‍රකට කරනව. පාලනයක් තුළ ඉන්න කොට එයා තුළ ඇති වුන අමනාපය, අකමැත්ත මුල් කරගෙන පාලනය බැහැර වුන ගමන් දෙගුන තෙගුන කරල එයාගේ අසංවර භාවය ප‍්‍රකට කරනව.
මම මේ කිව්වේ සියලු දෙනා ගැන නෙවෙයි. ඇතැම් අය තුළ තිබෙන ස්වභාවයක්. අපි මේ ස්වභාවය තේරුම් ගන්ට ඕනැ. අපිත් අන්න ඒ ස්වභාවයට ගොදුරු වුනොත් මොකද වෙන්නෙ? අපි ඒ ස්වභාවයට ගොදුරු වුනොත් තමන්ට හිත පිණිසත් අනුන්ට හිත පිණිසත් පවතින අය බවට අපි පත්වෙයි ද? පත්වෙන්නෙ නෑ. එහෙනම් අපි තමාටත් අනුන්ටත් යහපත උපදවන අය බවට පත්වීම පිණිස කුමක් ද කළ යුත්තේ? ‘‘මම මගේ කාය ක‍්‍රියා සංවර කරගන්ට ඕනෑ. මම මගේ වචී ක‍්‍රියා සංවර කරගන්ට ඕනැ. මගේ මනෝ ක‍්‍රියා සංවර කරගන්ට ඕනෑ. එයයි මට යහපත, එයයි අනුන්ට යහපත, එයයි සියලූ දෙනාට යහපත” කියල කල්පනා කරල, ඒ ගැන වැටහීමක් උපදවගෙන, ඒ වැටහීම මුල් කරගෙන සැබෑ සංවර කමක් උපදව ගන්ට අපි වෑයම් කරන්ට ඕනෑ. යහපත අයහපත කල්පනා කරල, නුවණ පාවිච්චි කරල ස්වයං කැමැත්ත මත තමා තුළ සංවර කමක් ඇති කරගන්ට ඕනැ.
එහෙනම් බලන්න නීතියක් පනවල නීති මගින් පාලනය කරල යම් කෙනෙක් තුළ කුසල් උපදවන්ට බෑ. මොකක්ද එතකොට ඉපදෙන්නෙ? එතකොට ඉපදෙන්නෙ අකුසල්. ඒකෙන් අදහස් වෙනවද යම් වැඩපිළිවෙලක් පෙන්වා දීම අකුසල් උපදවනක දෙයක් කියල? නෑ. වැඩපිළිවෙලක් නැතුව මනුශ්‍යයෙක් සංවර වෙලා යන්නෙ නෑ. නිවැරදි වෙන්ට පිරිසිදු වෙන්ට කැමති කෙනෙකුට ක‍්‍රමානුකූල වැඩපිළිවෙලක් හඳුන්වා දීම නීතියක් පැනවීම නෙවෙයි. ඒක හරියට ඉතාම වෙහෙස මහන්සිවෙලා ඉන්න කෙනෙකුට සයනය කරන්ට සුවපහසු යහනක් දෙනව වගේ. පුංචි ළමයෙකුට තොටිල්ලක් හදල දෙනව වගේ. කායික මහන්සිය හිතේ මහන්සිය තියෙන කෙනාට හාන්සිවෙලා ඉන්ට සුවපහසු ආසනයක් දෙනව වගේ. ඒකෙන් එයාට සුවයක් මිසක් පීඩාවක් එන්නෙ නෑ. අන්න ඒ වගේ තමයි මේ සසර ගමනේ පීඩාවට පත්වෙච්ච කෙනාට මේ ජීවිතේ දුක් කම්කටොලූවලින් වෙහෙසිලා දුකට පත්වෙලා පීඩාවට පත්වෙලා ඉන්න කෙනාට ඒකෙන් නිදහස්වීම පිණිස, සුවපත් භාවය ඇති කර ගැනීම පිණිස වැඩපිළිවෙලක් හඳුන්වා දෙනව. මෙන්න මේ වැඩපිළිවෙල කරන්ට, එතකොට ඔබ සුවපත් වෙයි කියල කරුණා මෛත‍්‍රියෙන් යුක්තව සත්පුරුෂයින් විසින් වැඩපිළිවෙලක් පෙන්වා දෙනව. එතකොට ඒක එයාට නීතියක් පැනෙව්ව ද? නෑ. එහෙනම් නීතිය යි සංවර වීම පිණිස පෙන්වා දෙන වැඩපිළිවෙල යි කියන දෙක අහස යි පොළව යි වගේ හාත්පසින් වෙනස් කරුණු දෙකක් බව මතක තියා ගන්න.
නමුත් සාමාන්‍යය ලෝකයේ පාලනය වෙන්නේම නීති මඟින්. දැන් බලන්න රියදුරු මහතුන්ට කියනව වාහන පාරෙ වම් පැත්තෙන් පදවන්න කියල. ඒ අය පාරෙ වමෙන් රිය පදවනව. ඒක නීතියක් ද ස්වයංව ඇති වූ සංවර කමක් ද? ඒ නීතිය පෙන්වා දීලත් පස්සෙ මොකද කරන්නෙ? පාරෙ ඉරිත් ගහනව, ඊට පස්සෙ මොකද කරන්නෙ? මුරත් දානව, අවවාදත් කරනව. සැරටත් කියනව, දඩ ගහනව ඊට පස්සෙ බලපත‍්‍ර අවලංගු කරනව. කොච්චර දේ කරනව ද? ඒත් වැඩේ හරියනව ද? නෑ. දැක්ක ද නීතියක් මගින් සංවර කරන්ට උත්සාහ කළොත් ඒක ඉතා ම තාවකාලික යි. එමගින් මනුෂ්‍යයා ඇත්තෙන්ම සංවර වෙලා නෑ.
ඒ නිසා තමයි සැබෑ සංවර කමක් උපදවා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය උපකාර කරගත යුත්තේ. භාග්‍යවතුන් වහන්සේ නීති පනවල නෑ. භාග්‍යවතුන් වහන්සේ කුමක් ද කරල තියෙන්නෙ? මේ ලෝකේ පරම සත්‍යය ඉස්මතු කරල, විවෘත කරල, පැහැදිලි කර කර පෙන්නල තියෙනව. එතකොට අපි අන්න ඒ සත්‍යය තේරුම් ගත්තොත්, භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කළ, විවර කළ, ඒ විස්තර කර කර අපිට කියා දුන් සත්‍යය අපි තේරුම් ගත්තොත්. ඒ සත්‍යයට පැමිනුනොත්, එතන උපදිනව සංවරකම ඇති කර ගැනීම පිණිස ස්වයං කැමැත්ත. ඒ සත්‍යයට බැහැරින් තිබෙන කුමන දෙයක් තේරුම් ගත්තත් එමඟින් පුද්ගලයා තුළ සංවර වීම පිණිස ස්වයං වූ කැමැත්තක් උපදින්නෙ නෑ.
‍්
ඒ නිසා තම තමාගේ ජීවිත සංවර කර ගැනීම පිණිස ස්වයං වූ කැමැත්ත තම තමා ම උපදව ගන්න. ඒ සඳහා තමන්ගෙ ජීවිතයේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන විදිහට කල්පනා කරන්න. භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිතයේ යථා ස්වභාවය ගැන අපිට කියා දීල තිබෙනව. මේ ලෝකය මෙබඳු දෙයක් කියල අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දීල තිබෙනව. කියා දීල තිබෙනව. ඒ කියල දුන් දේ තමයි අපි ධර්මය විදිහට ඉගෙන ගන්නෙ. ඒ ධර්මය අපි ඉගෙන ගත්තේ අපේ ජීවිතය සංවර කරගැනීම පිණිස පුරුදු කරන්ට යි. ඒ ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගන්ට ඔබව උනන්දු කළේ මේ ධර්මය තුළින් ඔබේ ජීවිතය සංවර කර ගැනීමට යි.
මේ ධර්මය කෙරෙහි යමෙක් පැහැදුනොත් එයා තුළ සංවර බව ඇති කරගන්ට ස්වයං වූ කැමැත්ත උපදිනවා. එතකොට එයාව පාලනය කරන්ට වැට කඩුලූ බදින්ට වුවමනා නෑ. භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයින්ව පාලනය කරන්ට වැට කඩුලූ ඕනැ උනා ද? නෑ. මුර ගෙවල් දාන්ට ඕනැ උනා ද? නෑ. නමුත් බලන්න දැන් මේ පිංවතුන් සේවය කරන ආයතනවල තාප්ප බඳින්ට වෙලා තියෙනව, මුර කුටි දාන්ට වෙලා තියෙනව. තාප්පෙන් පිට මුර දාන්ට වෙලා තියෙනව. ආයතනය ඇතුළේ නොයෙක් විදිහේ පාලන ක‍්‍රමයන් දාන්ට වෙලා තියෙනව. නමුත් භාග්‍යවතුන් වහනසේගේ ශ‍්‍රාවකයින්ට එහෙම වුවමනාවක් තියෙනව ද? උවමනා වෙන්නෙ නෑ. ඇයි ඒ? ඒ අය පරම සත්‍යය හඳුනගෙන ඒ පරම සත්‍යය කෙරෙහි පැහැදීම ඇති කරගෙන ඒ සත්‍යය අවබෝධය පිණිස වෑයම් කරනව. සත්‍යය අවබෝධය පිණිස වෑයම් කරන අය ස්වයං වූ කැමැත්තක් තුළ සංවර යි. ස්වයං වූ කැමැත්තක් තුළ උපදව ගත්ත සංවර බවක් එයා තුළ තියෙනව.
තමන් තුළම උපදවගත්ත සංවර බවක් තියෙන කෙනාව පාලනය කරන්ට බාහිරින් මුර දාන්ට ඕනැ නෑ. වැට කඩුලූ ගහන්ට ඕනැ වෙන්නෙ නෑ. එයාගේ යම් ආකාරයක පාලනය නොවූ ස්වභාවයක් තිබ්බොත් එහෙම ඒක සිහි කර දෙන්ට විතරයි තියෙන්නෙ. ‘‘ඔය හැසිරීම දොස් සහිතයි. භාග්‍යවතුන් වහන්සේ නොවදාළ දෙයක්. ඕක කරන්ට එපා. මේකයි හරි කියල පෙන්වා දීම, සිහිය උපදවා දීම විතර යි කරන්ට ඕනැ. එයා සැනෙකින් සංවර වෙනව. ඒක තීරණය වෙන්නේ ශ‍්‍රද්ධාව මත. එතකොට ඒ ආකාරයේ සංවර කමක් නීතියකින් බලාපොරොත්තු වෙන්ට බෑ.
ඊළඟට හොඳට මතක තියාගන්න භාග්‍යවතුන් වහනසේ පෙන්වා දී තිබෙන වැඩපිළිවෙල නීතියක් නෙවෙයි. පාරෙ යනකොට ‘‘දකුණු පැත්තෙන් යන්ට”. වාහන පදවන අය ‘‘වම් පැත්තෙන් පදවන්න” කියන දේට කිසිසේත් සමාන නෑ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයින්ට යම් වැඩපිළිවෙලක් පෙන්වා දීල තියෙනව නම් ඒක හරියට අර වෙහෙස මහන්සිවෙලා ඉතාම දුක් පීඩා විඳිමින් ඉන්න කෙනෙකුට හාන්සිවෙලා ඉන්ට සුවපහසු යහනක් දෙන්න වගේ. කුසගින්නෙ ඉන්න කෙනෙකුට මිහිරි ආහාරයක් දෙන්න වගේ. පිපාසෙන් ඉන්න කෙනෙකුට සිසිල් පැන් ටිකක් දෙන්න වගේ. අපිට වැඩපිළිවෙලක් පෙන්වා දීම ඒ වගේ උපකාරයක් මිසක අපිව පෙළන දෙයක් නෙවෙයි.
භාග්‍යවතුන් වහන්සේ අපේ යහපත පිණිස පෙන්වා දුන් වැඩපිළිවෙල තුළ යමෙක් පෙලෙනව නම් පීඩාවට පත්වෙනව නම් එයා ඒ වැඩපිළිවෙල කොහොම ද බාරගෙන තියෙන්නෙ? එයා ඒක නීතියක් විදිහට බාරගෙන. නීතිය වුනත් නීතියක් විදිහට නැතුව ස්වයං සංවරය පිණිස භාවිත කරන්ට පුළුවන් ද බැරි ද? පුළුවන්. ඒ කොහොම ද? නගරයේ දී අපිට කියනව පදික වේදිකාවෙන් යන්ට කියල. එතකොට පදිකයින් විසින් මෙහි යහපත අයහපත හොඳින් තේරුම් ගෙන පොලිසිය ඉන්න කොටත් පදික වේදිකාවෙන් යනව නම්, පොලිසිය නැතත් මිනිස්සු පදික වේදිකාවෙන් යනව නම් නීතිය කඩ වෙනව ද? නීතිය කඩ වෙන්නෙ නෑ. යම් තැනක නීතිය මොන විදිහෙන් වත් කඩවෙන්නෙ නැත්නම් නීති ඕනැ ද? නීති ඕනැ වෙන්නෙ නෑ. එහෙනම් මොන විදිහකින්වත් නීති කඩ නොවෙනවා නම් මොකක් ද එතන තියෙන පාලන ක‍්‍රමය? එතන තියෙන්නේ ස්වයං පාලනය. ස්වයං වූ පාලනයක් නැත්නම් තමයි නීති ඕනැ වෙන්නෙ.
එහෙනම් බලන්න යම් කෙනෙකුට තමාගේ පාලනය තමා ම ඇති කරගත යුතුයි කියල අදහසක් ඇති වුනා නම් එතන ස්වයං පාලනයක් තියෙනව. එතකොට නීතියක් උනත් අපි බරක් කරගන්නෙ නෑ. ස්වයං පාලනයක් තමා තුළ උපදව ගත් කෙනාට නීතිය උනත් පීඩාවක් බවට පත්වෙන්නෙ නෑ. නීතිය උනත් පීඩාවක් බවට පත්වෙන්නෙ නැත්නම් එයාගෙ දියුණුව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් හඳුන්වා දුන් වැඩපිළිවෙල එයාට පීඩාවක් ද? නෑ. එයාට ඒක මිහිරක් ම යි. එයා මහත් වූ සතුටින් සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමනය කරයි ද නැද්ද? අනුගමනය කරනව.
දැන් ඔබට තේරෙනව ද මේ සාසනය කොයි තරම් මිහිරි ජීවිතයකට උපකාර වෙන වැඩ පිළිවෙලක් සහිත තැනක් ද කියල. මේක මුළුමනින් ම ක්‍ෂේම භූමියක් මිසක කාන්තාරයක් නොවන බව තේරෙනව ද? මේක කාන්තාරයක් මැද තියෙන ක්‍ෂේම භූමියක්. සාමාන්‍යය ලෝකය ගිනි ගත්ත කාන්තාරයක් වගේ. මිනිස්සු ඉන්නෙ පීඩාවෙන්, විඩාවෙන්. පිපාසයට පැන් හොයන අහිංසක සතුන් වගේ. එච්චර වෙහෙස කරයි සාමාන්‍යය ලෝකේ ජීවිතය. ඒ ජීවිතයෙන් ඈත් වෙලා සුවපහසුවෙන් වාසය කළ හැකි කාන්තාරයක් මැද තිබෙන ශේම භූමියක් වගේ තැනක් තමයි බුද්ධ ශාසනය. එහෙනම් ඒ ශාසනයේ ශාසන ප‍්‍රතිපදාව පරිපූර්ණ කරගැනීම පිණිස පෙන්වා දී තිබෙන යම් වැඩපිළිවෙලක් තියෙනව නම් ඒ වැඩපිළිවෙල අපේ යහපතටයි අපේ දියුණුව පිණිස යි කියල යමෙක් කල්පනා කළොත් ඒ සෑම කෙනෙක් ම සාදු කාර දෙමින් ඒ වැඩපිළවෙල අනුමෝදන් වෙනව. සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමනය කරනව. සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල තුළ අන් අයවත් සමාදන් කරවනව. සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමණය කරලත් සතුටුවෙනව. එයාට මොන වෙලාවකදිවත් අසතුටක් උපදින්ට හේතුවක් නෑ. ඇයි ඒ? හැම තිස්සේම සංවර වීම පිණිස උපාකාරවන වැඩපිළිවෙලක් තුළ එයා ඉන්නව. ඒ වැඩපිළිවෙල තුළ සියලු පවෙන් වැළකීමට කියල දෙනව. ඒ වගේම කුසල් උපදවා ගැනීම ගැනත් සිත දමනය කර ගැනීම ගැනත් කියල දෙනව. මේ කටයුතු ස්වයං වූ කැමැත්තට අනුව යි සිදු වන්නේ. බලහත්කාරයෙන් නීතියක් මඟින්, පාළනයක් මඟින් නොවෙයි කරන්නේ. මෙලෙස සංවර වූ කෙනා තුළ සුවපහසුව ඇතිවෙනවා ම යි. එබඳු දේකට යි ශාසනය කියල කියන්නෙ.
යම් කෙනෙක් මේ ශාසනය මෙලෙස හඳුන ගත්තොත්, එයා ඒ ගැන සතුටු වෙයිද නැද්ද? සතුටු වෙනව. අන්න ඒ ආකාරයෙන් ශාසනය ගැන සතුටු වෙන කෙනා ශාසනයෙන් බැහැර වෙයි ද? එයා ශාසනයෙන් බැහැර වෙන්නෙ නෑ. එයා ශාසනය තුළ ස්ථිරව පිහිටලා. ශාසනය තුළ පිහිටා සිටිනව. එයා ශාසනයේ අග‍්‍ර වූ ප‍්‍රතිලාභය අත් කර ගන්නවා ම යි. මේ ශාසනයේ අග‍්‍ර වූ ඉලක්කය කුමක්ද? පිරිනිවන් පෑම. මේ ශාසනය තුළ සත්පුරුෂයින් විසින් පෙන්වා දුන් වැඩ පිළිවෙලට සාදු කාර දෙමින් පැමිණෙන අය කාටත් ශාසනයේ අග‍්‍ර වූ ඉලක්කය වන පිරිනිවන් පෑම කියන මහා ප‍්‍රතාලාභය අත්කරගන්ට පුළුවන්කම තියෙනව.
අපි කාටත් සෙත් පතනව ඒ භාග්‍යවතුන් වහන්සේ තම ශ‍්‍රාවකයින් තුළ උපදවාගැනීම පිණිස පෙන්වා දුන් ඒ උතුම් යහපත උපදවගන්න සත්පුරුෂයෙන් විසින් පෙන්වා දුන් වැඩපිලිවෙල තමන්ගේ යහපත පිණිස ම යි විපත පිණිස නෙවෙයි කියල ඒ වැඩපිළිවෙල අනුමෝදන් වෙලා වැඩපිළිවෙලට කැමති වෙලා ප‍්‍රීති සිතින් යුක්තව සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමනය කිරීමට සියලු දෙනාටම කැමති සිත් පහළ වේවා!
නමෝ බුද්ධාය!
පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

Address

Buddhist Culture Centre
Colombo
00200

Website

Alerts

Be the first to know and let us send you an email when බුදු දහම - Buddhism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share