29/09/2026
⚜️🔥 ශුද්ධවූ මිඛායෙල්, ශුද්ධවූ ගාබ්රියෙල් සහ ශුද්ධවූ රෆායෙල් අග්රදූතයන්ගේ මංගල්යය අදයි 🔥⚜️
සැප්තැම්බර් 29 වන දින ශුද්ධවූ සභාව ශුද්ධවූ මිඛායෙල්, ගාබ්රියෙල් සහ රෆායෙල් යන අග්රදූතයන් තිදෙනාගේ මංගල්යය සමරයි.
❇️ මිඛායෙල් යන්නෙහි අරුත, “දෙවියන්වහන්සේට සමාන කවුද?” යන්නයි.
❇️ ගාබ්රියෙල් යන්නෙහි අරුත, “දෙවියන්වහන්සේ මාගේ ශක්තියයි” යන්නයි.
❇️ රෆායෙල් යන්නෙහි අරුත, “දෙවියන්වහන්සේ සුව කරන සේක” යන්නයි.
මෙම නම් තුනම අවසන් වන්නේ දෙවියන්වහන්සේ යන අර්ථය දරන “එල්” යන වචනයෙනි.
අග්රදූතවරුන් දෙවියන්වහන්සේගේ තවත් මැවීමකි. ඔවුහු දෙවියන්වහන්සේ අභිමුව සිටිමින් උන්වහන්සේට සේවය කරති. දෙවියන්වහන්සේගේ පණිවුඩකරුවන් ලෙසත්, උන්වහන්සේගේ කැමැත්ත අනුව මනුෂ්යයන්ට උපකාර කරන්නන් ලෙසත් ඔවුහු ශුද්ධ ලියවිල්ල තුළ අප හමුවට පැමිණෙති.
ශුද්ධවූ මිඛායෙල් අපට දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සිටීමටත්, නපුරට එරෙහිව සටන් කිරීමටත් මතක් කර දෙයි.
ශුද්ධවූ ගාබ්රියෙල් දෙවියන්වහන්සේගේ පණිවුඩයට විවෘතව සිටීමටත්, උන්වහන්සේගේ කැමැත්ත පිළිගැනීමටත් අපට ආරාධනා කරයි.
ශුද්ධවූ රෆායෙල් අපගේ ජීවිත ගමනේදී දෙවියන්වහන්සේ අප සමඟ ගමන් කරන බවත්, සුවය සහ මඟපෙන්වීම උන්වහන්සේගෙන් පැමිණෙන බවත් අපට සිහිපත් කරයි.
අපිද දෙවියන්වහන්සේගේ ස්වරූපයට හා සමානකමට මවන ලද අය වෙමු. එහෙත් බොහෝ අවස්ථාවල අපගේ උතුම් කැඳවීම අමතක කර තාවකාලික තෘප්ති සහ ලෝකීය ආකර්ෂණ පසුපස යන්නෙමු.
අග්රදූතවරුන්ගේ ආදර්ශය සහ මැදිහත්වීම තුළින්, දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන දේ අපගේ ජීවිත තුළ ඉටු කිරීමටත්, ජේසුස් වහන්සේගේ කොන්දේසි විරහිත ආදරය ජීවත් කරන සැබෑ ක්රිස්තු ශ්රාවකයන් වීමටත් අපි ශක්තිය ඉල්ලමු.
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේ වරෙක මෙසේ පැවසූ සේක.
“ශුද්ධවූ මිඛායෙල් අපව ආරක්ෂා කරයි. ශුද්ධවූ ගාබ්රියෙල් අපට සුභාරංචිය ගෙන එයි. ශුද්ධවූ රෆායෙල් අපව දෑතින් අල්ලාගෙන අප සමඟ ගමන් කරයි. අපගේ ජීවිත ගමනේදී සිදුවන බොහෝ දේවල් සඳහා ඔහු අපට සහාය වෙයි.”
🙏 ශුද්ධවූ මිඛායෙල් අග්රදූතයාණෙනි, අප වෙනුවෙන් යාච්ඤා කළ මැනව.
🙏 ශුද්ධවූ ගාබ්රියෙල් අග්රදූතයාණෙනි, අප වෙනුවෙන් යාච්ඤා කළ මැනව.
🙏 ශුද්ධවූ රෆායෙල් අග්රදූතයාණෙනි, අප වෙනුවෙන් යාච්ඤා කළ මැනව.