05/08/2025
රෝමයේ දේවමාතාවන්ගේ මහා බැසිලිකාව
සැන්ටා මාරියා මජෝරේ හෙවත් රෝමයේ මරියෝත්තමාවන්ගේ මහා බැසිලිකාව ලෙසද මෙය හැඳින්වේ. මේ බැසිලිකාව වනාහි ශුද්ධෝත්තම පියතුමා සතු ප්‍රධාන බැසිලිකා හතරෙන් එකක් වන අතර රෝමයේ වන්දනා දේවස්ථාන හතෙන් එකකි. රෝමයේ විශාලතම දේවමාතා දේවස්ථානය මෙය වන අතර, එය බටහිර ලෝකයේ පළමු මරියතුමියගේ සිද්ධස්ථානය සහ සියලු සිද්ධස්ථාන වල මව ලෙස සැලකේ.
මෙම සිද්ධස්ථානය පිහිටා ඇත්තේ රෝමයේ 15 වන රියෝන් (පරිපාලන දිස්ත්‍රික්කය) වන එස්කිලිනෝ හි පියසා ඩෙල්'එස්කිලිනෝ හී ය. ශුද්ධාසනය සහ ඉතාලිය අතර 1929 ලැටරන් ගිවිසුමට අනුව, බැසිලිකාව ඉතාලියේ පිහිටා ඇති අතර වතිකානු නගරයට අයත් නොවේ. කෙසේ වෙතත්, ශුද්ධාසනය බැසිලිකාවේ සම්පූර්ණ හිමිකාරිත්වය දරන අතර, ඉතාලිය එහි සම්පූර්ණ හිමිකාරිත්වය පිළිගැනීමට නීත්‍යානුකූලව බැඳී සිටියි.
බැසිලිකාවේ සාලස් පොපුලි රොමානි හෙවත් අති ගෞරවයට පාත්‍ර වී ඇති බිසන්තීනු සම්ප්‍රදායට අයත් භාග්‍යවත් කන්‍ය මරියතුමියගේ ප්‍රතිරූපය ඉතා සුවිශේෂීත්වයක් උසුලන අතර, එමගින් එතුමිය රෝම සභාවේ ආරක්ෂිකා ලෙස නිරූපණය කරයි. මේ ප්‍රතිරූපණය සදහා ක්‍රිව. 1838 දී XVI වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමා විසින් ශුද්ධාසනිය නිර්දේශ අනුව කිරීටයක් පළදවන ලදී.
බැසිලිකාව කැපකර ඇත්තේ තුෂාරයේ අප ස්වාමිදූ යන නමිනි. ක්‍රි.ව. 1568 සිට 1969 දක්වා රෝම මිසාල් හි අගෝස්තු 05 වන දින එහි කැප කිරීමේ සංවත්සරය අති පූජනීය මංගල්‍යයක් ලෙස නම් කරන ලදී. බැසිලිකාව සඳහා මෙම නම 14 වන සියවසේදී ජනප්‍රිය වී ඇත. මේ සදහා වූ ජනශ්‍රැති කතා පුවත වන්නේ ක්‍රි.ව. 352 දී පමණ "ලයිබීරියස්ගේ ශුද්ධෝත්තම පියතුමා සසුන් පදවි සමයේදී , උරුමක්කාරයන් නොමැතිව විසූ රෝමානු පැට්‍රීසියානු ජෝන් සහ ඔහුගේ බිරිඳ මරියතුමියට තම දේපළ පරිත්‍යාග කිරීමට භාරයක් වූ බවට සදහන් පුරාවෘත්තයක් සම්බන්ධයෙනි. මෙම යුවළ මරියෝත්තමාවන්ගේ ගෞරවය පිණිස වන්දනා ස්ථානයක් ඉදිකිරීමට භාරවී සිටි අතර , සලකුණක් මගින් ඔවුන්ට අනාවරණය කරන ලෙස යාච්ඤා කළහ. ඒ වසරේ අගෝස්තු 05 වන දින, රෝම ගිම්හානයේ උච්චතම අවස්ථාවේදී, එස්ක්විලයින් කන්ද මුදුනේ රාත්‍රියේදී හිම වැටුණි. එදිනම රාත්‍රියේ ඔවුන් දුටු කන්‍යා මරියතුමියගේ දර්ශනයකට කීකරු වෙමින්, යුවළ හිමෙන් වැසී තිබූ ස්ථානයේම මරියෝත්තමාවන්ට ගෞරවයක් වශයෙන් බැසිලිකාවක් ඉදි කළහ. මෙම මංගල්‍යය මුලින් හැඳින්වූයේ “ තුෂාරයේ අප ස්වාමිදු ” නමින් සමරන්නට යෙදුණු අතර, පසුව එය රෝමයේ දේවමාතා බැසිලිකාව කැපකිරීමේ මංගල්‍යය ලෙසිනි. එය ක්‍රි.ව. 1568 දී සාමාන්‍ය රෝම දින දර්ශනයට ඇතුළත් කරන තෙක් රෝමයේ පමණක් සමරනු ලැබූ අතර, 1969 වන තෙක් මෙම යෝජනාව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. අදත් මේ මංගල්‍යය රෝමයේ දේවමාතා බැසිලිකාව කැපකිරීමේ මංගල්‍යය ලෙස නම් වේ.
මෙහි පළමු බැසිලිකාව ඉදිකර ඇත්තේ රෝමයේ ක්‍රි.ව. 434 අගෝස්තු 05 වන දින I වන සෙලෙස්ටයින් ශුද්ධෝත්තම පියතුමාගේ (422–432) යටතේ බව සදහන් වේ. මෙම යුගයේ රෝමයේ දෙව්විමන් ගොඩනැගීම, සැන්ටා මාරියා මැගියෝර් හි උදාහරණ ලෙස, සම්භාව්‍ය යුගයේ දක්නට ලැබුණු පරිදි, රෝමය රෝම අධිරාජ්‍යයේ ලෝකයේ කේන්ද්‍රස්ථානය පමණක් නොව, ක්‍රිස්තියානි ලෝකයේ කේන්ද්‍රස්ථානය බවට අදහසින් ආභාෂය ලැබීය. 5 වන සියවසේ පැවති එපීස මන්ත්‍රණ සභාවේ නිර්දේශ වූ දෙව්මව යන්න ඉස්මතු කරන්නට මේ බැසිලිකාව ද රුකුලක් විය. ජේසු සමිදුන් උපත ලද ගවලෙනේ තිබු ගවඔරුවේ නෂ්ඨාවශේෂයන් මෙහි තැම්පත් කර ඇති අතර, සභා පිය ජෙරොම් මුනිතුමාගේ සොහොනද දක්නට ලැබේ.
ක්‍රි.ව. 1348 වසරේ ඇතිවූ භූමිකම්පාවෙන් කොටස් කීපයකට හානි සිදු වුවද, දෙව්විමනේ මුල් ව්‍යුහය රඳවා ගැනීමට හැකිවිය. වරින් වර ප්‍රතිසංස්කරණයට ලක්වූ මෙම බැසිලිකා විමන වත්මන් බැසිලිකාව ක්‍රි.ව. 1743 වසරේදී ඉදිකොට කැපකරන ලදී. මෙය දිග මීටර් 92 (අඩි 302) කින්ද, පළල මීටර් 80 (අඩි 260) කින්ද, වර්ග පළල මීටර් 30 (අඩි 98) කින් සහ උස මීටර් 75 (අඩි 246) සමන්විත වේ.
හිටපු සසුනිසුරාණන් වන 1 වන ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ විශේෂ ගෞරවයක් මෙම බැසිලිකාව කෙරේ පැවැතිඅතර සෑම විදේශ සංචාරයකට පෙරාතුව , සහ පසුව මේ ස්ථානයට පැමිණ යාඥා කිරීම එතුමන්ගේ සුවිශේෂී ලක්ෂණය විය. එතුමන්ගේ අන්තිම කැමැත්ත වූයේද එතුමන් ස්වර්ගස්ථ වූ පසු මේ බැසිලිකා දෙව්විමනේම සිය ශරීරය තැන්පත් කිරීමය. එය එලෙසම සිදු වුණි.
අසේල දසනායක