උත්තම තෙරණි වන්දනා - Homage to the Noble Theris

උත්තම තෙරණි වන්දනා - Homage to the Noble Theris Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from උත්තම තෙරණි වන්දනා - Homage to the Noble Theris, Religious organisation, Puja Nagaraya, Anuradhapura.

උත්තම තෙරණි වන්දනා යනු
බුදු සසනේ උතුම් තෙරුන්/තෙරණියන් වහන්සේලාගේ උදාන කථා, ආර්‍ය ශ්‍රාවක ශ්‍රාවිකා ගුණ, ධර්ම දේශනා සහ උපාසක උපාසිකාවන්ට ආදර්ශ වන තොරතුරු බෙදාහදා ගැනීමට කැප වූ පිටුවකි.

ගුත්තා මහරහත් තෙරණින් වහන්සේ: සිත ජයගෙන නිවන් දුටු අරහත් උත්තමාවිය​ඇය එකම ආත්මයකින් නිවන් මඟ සාක්ෂාත් කරගත් තැනැත්තියක් ...
11/06/2026

ගුත්තා මහරහත් තෙරණින් වහන්සේ: සිත ජයගෙන නිවන් දුටු අරහත් උත්තමාවිය

​ඇය එකම ආත්මයකින් නිවන් මඟ සාක්ෂාත් කරගත් තැනැත්තියක් නොවේ. පෙර වැඩසිටි බුදුවරුන්ගේ කාලයන්හිදී උදාර වූ පින්කම් සිදුකරමින්, සසර පුරා පාරමිතා ධර්මයන් මුහුකුරා ගන්වන ලද පින්වත් ස්ත්‍රියකි. විමුක්තිය උදෙසාම පින් පුරන ලද ඇය, භවයෙන් භවයට සුගතිගාමීව සැරිසරා, මේ භද්‍ර කල්පයෙහි අප තිලෝගුරු ගෞතම බුදුරජණන් වහන්සේ වැඩසිටි සමයෙහි සැවැත් නුවර උසස් බ්‍රාහ්මණ කුලයක උපත ලැබුවාය. ඇයට දෙමාපියන් තැබූ නාමය වූයේ "ගුත්තා" යන්නයි.

ගුත්තා තොමෝ යොවුන් වියට පත්ව කුල සිරිත් අනුව සමකුල තරුණයෙක් හා විවාහ වූවාය. දරුවන් වදා දරුවන් පෝෂණය කරමින් ගෙවෙන අතරතුර සංඝයා වහන්සේලා කෙරෙහි දානාදී පිංකම් කිරීමට යොමු වූවාය. ​දැන උගත්කම් ලබා, තරුණ වියට පත් ගුත්තාවෝ තොමෝට පෙර සසර පුරුදු කරන ලද කුසල් මුල් (උපනිශ්‍රය සම්පත්) මතු වන්නට විය.

භික්ෂූන් වහන්සේලාගෙන් බණ අසා ලෞකික සැප සම්පත්, ධනය මෙන්ම දරුවන් කෙරෙහි ඇති බැඳීම් සියල්ල අනිත්‍ය බවත්, සසර දුකට හේතු වන බවත් ඇය නුවණින් වටහා ගත්තාය. ගිහිගෙය කෙරෙහි දැඩි කලකිරීමක් ඇති කරගත් ඇය, දෙමාපියන්ගේත් ස්වාමියාගේත් ආශිර්වාදය හා අනුමැතිය ලබාගෙන, මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණින් වහන්සේ වෙත ගොස් මහණ උපසම්පදාව ලැබුවාය.

​​පැවිදි වූ ගුත්තා මෙහෙණිය වීර්යවන්තව විදර්ශනා භාවනාවෙහි යෙදුණාය. එහෙත් සිත මෙල්ල කරගැනීම ඇයට දැඩි අභියෝගයක් විය. වසර ගණනාවක සිට පැවති සංසාරික පුරුදු නිසා, භාවනා කරන විට ඇගේ සිත එකඟ නොවී, ගිහිකල දරුවන්, නිවාස හා ධන වස්තූන් වැනි බාහිර අරමුණු (රූප, ශබ්ද, ගන්ධ ආදිය) කෙරෙහි නිතර දුවන්නට විය.

​භික්ෂුණී ආරාමයේ සිට වීර්‍ය වඩන ගුත්තා මෙහෙණින් වහන්සේගේ සිතේ පවතින මෙම නොසන්සුන් බව සහ ඇය සතු රහත් වීමට ඇති පින (උපනිශ්‍රය) ලොව්තුරු බුදුරජණන් වහන්සේ තම දිවැසින් දුටු සේක. දෙව්රම් වෙහෙරේ ගඳකිළියෙහි වැඩසිටි තුන් ලෝකාග්‍ර බුදු සමිඳුන්, මහා කරුණාවෙන් ඇයට අනුග්‍රහය දක්වනු පිණිස ඍද්ධි ප්‍රාතිහාර්යයක් පෑ සේක. බුදුරජණන් වහන්සේ ඇය ඉදිරියේ බුද්ධ රශ්මි මාලාවක් විහිදුවා, ගුත්තා භික්ෂුණින් වහන්සේ අමතා මෙසේ ධර්මාවවාද දුන් සේක.


​ගුත්තෙ යදත්‍ථං පබ්බජ්ජා හිත්‍වා පුත්තං වසුං පියං,
තමෙව අනුබ්‍රෑහෙහි මා චිත්තස්ස වසං ගමි.

​ "ගුත්තා, ඔබ යම් උත්තරීතර නිවන් අරමුණක් උදෙසා, තමන්ට අතිශයින්ම ප්‍රිය වූ දරුවන් සහ ධන සම්පත් අත්හැර දමා මහණ වූවාද, නිරන්තරයෙන්ම ඒ උතුම් අරමුණම සිහිපත් කරන්න. සිතට වසඟ වී සිත පිටුපස නොයන්න."


​චිත්තෙන වඤ්චිතා සත්තා මාරස්ස විසයෙ රතා,
අනෙකජාතිසංසාරං සන්‍ධාවන්ති අවිද්දසු

​"තම සිත විසින් රවටනු ලැබූ (අඥාන) සත්ත්වයෝ, මාරයාගේ විෂයයන් වූ පංචකාම සම්පත් කෙරෙහිම ඇලී වෙසෙති. සත්‍යය කුමක්දැයි නොදන්නා ඔවුහු කෙළවරක් නොමැති මේ බියකරු සංසාරයේ නැවත නැවතත් ඉපදෙමින් දුව ඇවිදිති."

​කාමච්ඡන්‍දඤ්ච ව්‍යාපාදං සක්කාය දිට්ඨිමෙවච,
සීලබ්බතපරාමාසං විචිකිච්ඡඤ්ච පඤ්චමං.
සඤ්ඤොජනානි එතානි පජහිත්‍වාන භික්‍ඛුනී,
ඔරංභාගමනීයානි නයිදං පුනරෙහිසි.

​ "කාමච්ඡන්දය (කාම ආශාව), ව්‍යාපාදය (තරහව), සක්කායදිට්ඨිය (ආත්ම දෘෂ්ටිය), සීලබ්බතපරාමාසය (වැරදි වෘත සමාදන් වීම) සහ පස්වැන්න වූ විචිකිච්ඡාව (සැකය) යන සත්ත්වයා පහළ ලෝකවල (කාම ලෝකවල) රඳවා තබන මේ ඕරම්භාගීය සංයෝජන ධර්ම පහ සහමුලින්ම අත්හැර දමන්න. එවිට ඔබ නැවත කිසිදිනක මේ කාම ලෝකයට නොපැමිණෙන්නීය."

​රාගං මනං අවිජ්ජඤ්ච උද්ධච්චං ච විවජ්ජිය,
සඤ්ඤොජනානි ජෙත්‍වාන දුක්‍ඛස්සන්තං කරිස්සසි.

​"රූප-අරූප රාගය, මානය, අවිද්‍යාව සහ උද්ධච්චය (නොසන්සුන් බව) යන ඉතිරි සංයෝජන ධර්මයන් ද දුරු කර, සසර බැඳීම් සියල්ල ජයගෙන, සියලු දුක් කෙළවර කරන්න."

​ඛෙපෙත්‍වා ජාතිසංසාරං පරිඤ්ඤාය පුනබ්භවං,
දිට්ඨෙවධම්මෙ නිච්ඡාතා උපසන්තා චරිස්සසී.

"මේ භයානක සංසාර ඉපදීම කෙළවර කොට, නැවත ඉපදීමක් ඇති වන ආකාරය නුවණින් අවබෝධ කරගෙන, මේ ජීවිතයේදීම තණ්හාව සහමුලින්ම ක්ෂය කර, පරම සන්සුන් වූ නිවන් සුවයෙන් යුතුව වාසය කරන්න."


​භාග්‍යවත් බුදුරජණන් වහන්සේගේ මෙම මහා ප්‍රාතිහාර්ය සම්පන්න අවවාද ශ්‍රවණය කරද්දීම, ගුත්තා මෙහෙණියගේ සිත දැඩි එකඟතාවයකට පත් විය. ඇය ක්ෂණයකින් විදර්ශනා ඥානය උපදවා, සියලු ආශ්‍රවයන් ක්ෂය කරමින්, සිව්පිළිසිඹියා (පටිසම්භිදා) සහිත මහරහත්භාවයට පත් වූවාය!

​ලොව්තුරු සුවය ලැබූ ගුත්තා මහරහත් තෙරණින් වහන්සේ, බුදුරජණන් වහන්සේ තමන්ට දේශනා කළ ඒ උතුම් ගාථා රත්නයන්ම තමන් වහන්සේගේ ජීවිත අත්දැකීම ලෙස, උදානයක් වශයෙන් නැවත වදාළ සේක.

​සිතේ නොසන්සුන් බව මැඬගෙන, බුදු වදනෙහි පිහිටා අරහත්ත්වයට පත් වූ ගුත්තා මහරහත් තෙරණින් වහන්සේගේ චරිතය සදාතනික ධර්ම ආලෝකයකි. නිවනින් සැනසුන ඒ අරහත් ගුත්තා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!

#ගුත්තා_තෙරණිය #උත්තම_තෙරණි_වන්දනා #බුදු_සසුන #බුද්ධ_කාලයේ_භික්ෂුණින් #රහත්_තෙරණින්_වහන්සේලා

ලක්දිව විසූ රහතන් වහන්සේලා - 01 බැල්ලකට දන් දී මහත් සේ ප්‍රත්‍යලාභ ලැබූ ලක් දිව විසූ චූල නාග රහතන් වහන්සේලංකාද්වීපයෙහි අ...
10/06/2026

ලක්දිව විසූ රහතන් වහන්සේලා - 01

බැල්ලකට දන් දී මහත් සේ ප්‍රත්‍යලාභ ලැබූ ලක් දිව විසූ චූල නාග රහතන් වහන්සේ

ලංකාද්වීපයෙහි අනුරාධපුරයේ දකුණු අකුධාතූන් වහන්සේ තැන්පත් ථූපාරාම නම් වූ ආශ්චර්යයවත් දාගැබ පිහිටි විහාරයෙහි අසිග්ගාහක නම් පිරිවෙනේ උත්කෘෂ්ට පිණ්ඩපාතිකාංගය රකින චූලනාග නම් තෙරුන් වහන්සේනමක් වැඩ වසන සේක. නිරන්තරයෙන් අනුරාධපුර නුවර චන්ද්‍රවංක වීථියෙහි පිඬුසිඟා වඩින සේක. ඉක්බිති එක් දවසක් පිඬුසිඟා ගොස් නැවත විහාරයට පැමිණ වළඳා විවේකයෙන් වැඩ සිටිනා විට එක් බැල්ලියක් දරුවන් වදා බඩසයින් පීඩිත ව වෙවුලන ශරීරයෙන් යුතු ව කිසි ආහාරයක් නොලැබ උන්වහන්සේ ඉදිරියෙහි මූණ බල බලා සිටියාය. තෙරුන් වහන්සේ එපරිද්දෙන් සිටියා වූ බැල්ලිය දැක හදවත කරුණාවෙන් බර වී සිතනා සේක්, “මේ සසර දුක නුවණින් සිතනා කල ඉතා භය එළවන්නේය. දවසක් මුළුල්ලෙහි ඇවිද්දත් කුස පිරෙන ආහාරයක් නොලබන්නේය. මහජනයෝ ගල් කැට, දඬු මුඟුරුවලින් ගසා එළවති. ඒ ඒ තැන වැටෙමින් දුක් විඳිති. අකුසල විපාක නම් භයානක දෙයක් ය. අකුසල් කරන සත්ත්වයෝ මේ බැල්ලිය සේ ම දුකට පත්වන්නේය. යම් කෙනෙක් සා දුකින් පීඩිත වූ සත්ත්වයෙකුට ආහාර ටිකක් දන් දුන්නොත් ඒකාන්තයෙන් ම ත්‍රිවිධ සම්පත්තිය ම ලබන්නේය.” මෙසේ නොයෙක් කාරණා සිතා තෙරුන් වහන්සේ කරුණාවෙන් පිරුණු සිත් ඇති ව අතින් දිය යුත්තක් නොදැක මා වැළඳූ ආහාරය වී නමුත් මේ බැල්ලියට යහපත් ම යැයි සිතා එක් තැනක වැලි ඉවත් කොට ඇඟිල්ලක් මුඛයෙහි බහා වමනය කොට අහර දන් දුන් සේක. එසේ ම පැන් ගෙනවුත් දුන් සේක. ඒ බැල්ලිය බත් කා පැන් බී සතුටට පත් වී නඟුට සලමින් සාදර දක්වා තෙරුන් වහන්සේ දිහා බල බලා සිටියාය. චූලනාග තෙරුන් වහන්සේ එය දැක ප්‍රීතියෙන් පිරුණා වූ සිත් ඇති ව නිර්වාණ සම්පත්තිය ම ලැබේවා යි ප්‍රාර්ථනා කළ සේක.

එතැන් පටන් බැල්ලිය ද විහාරයට එයි. තෙරුන් වහන්සේ ද බැල්ලියට සුදුසු පරිදි බත් දෙන සේක. චූලනාග තෙරුන් වහන්සේගේ කුශල කර්මය මේ ජීවිතයේ දී ම විපාක දෙන්නට පටන් ගත්තේය. තෙරුන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් ඒ දවසේ ම සවස නොයෙක් දහස් ගණන් උපාසක උපාසිකාවන් ගිතෙල්, මී සකුරු ආදී වූ ගිලන්පස ගෙන්වා චූලනාග තෙරුන් වහන්සේ කොහිදැයි සොයමින් ඒ සියල්ල ම පිළිගැන්වීය. ඒ සියලු දේවල් නොයෙක් දහස් ගණන් භික්ෂූන් වහන්සේලාට දන් දී තමන් වහන්සේත් වැළඳූ සේක. මිනිසුන් විසින් නොයෙක් බෙහෙත් වර්ග ද පූජා කරන ලද කල්හි ඒවා ද භික්ෂූන්ට දන් දුන් සේක. එසේ ම රාත්‍රියෙහි දේවතාවෝ චන්ද්‍රවංක වීථියෙහි ඇවිද ‘චූලනාග ස්ථවිරයන් වහන්සේට හෙට දවසේ මහ දන් පවත්වාලව’යි අඬගා කීහ. සියලු මනුෂ්‍යයෝ ද, දේවතාවෝ ද නොයෙක් දාන වස්තූන් රැගෙන විහාරයට පැමිණියෝය. තෙරුන් වහන්සේ ඒ සියල්ල ම දැක විහාරයෙහි ගෙඩිය ගස්වා තුන්දහසක් පමණ භික්ෂූන් වහන්සේලාට දන් දී තමන් වහන්සේත් වැළඳූ සේක. තුන්වන දවසේ භික්ෂාව පිණිස පිටත් වූ කල්හි වහසල් දොරටුව වසන දේවතාවා උන්වහන්සේගේ පාත්‍රය ගෙන දොරටුවෙන් පිටත නොයෙක් දානෝපකරණ පිරූ ගැල් කඳවුරක් මවා දිව්‍යමය ආහාරපානවලින් චූලනාග තෙරුන් වහන්සේ ප්‍රධාන කොට භික්ෂූන් වහන්සේලාට මහ දන් පැවැත්වීය. එතැන් පටන් මනුෂ්‍යයෝ චූලනාග තෙරුන් වහන්සේ ප්‍රධාන තුන් දහසක් භික්ෂූන්ට මහ දන් පැවැත්වූහ. මෙසේ තෙරුන් වහන්සේට දෙවියන් හා මනුෂ්‍යයන් විසින් උපස්ථාන කරන ලදුව අවුරුදු තිස්දෙකක් ගෙවුණි. ප්‍රතිපත්තියෙහි මනාලෙස පිළිපන් ව සිටි උන්වහන්සේ නොබෝ කලකින් ම කෙලෙස් සතුරන් නසා රහත් බවට පැමිණි සේක.

ඉක්බිති පසු කලෙක පන්සියයක් භික්ෂූන් වහන්සේලා දඹදිව ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ වඳින්නට යනු කැමති ව එකතැනකට රැස් ව, “ඇවැත්නි, දැන් බෝධි මණ්ඩලයට යන මඟ දුර්භික්ෂ ය. සොර සතුරන් හා සිංහ ව්‍යාඝ්‍රාදී චණ්ඩ සත්ත්වයින් විසින් උපද්‍රව සහිත ය. කෙසේ යම් ද?”යි කතිකා කරමින් සිටියාහ. ඉන් සමහර තෙරුන් වහන්සේලා පැවසුවේ “චූලනාග රහතන් වහන්සේ සමඟ වඩින්නේ නම් ඒ සියලු උපද්‍රව නොවන්නේය. පිණ්ඩපාතයත් සුලබ ව ලැබෙන්නේය. චූලනාග ස්ථවිරයන් වහන්සේ මහත් පින් ඇති සේක. ආනුභාව සම්පන්න වන සේක” යනුවෙනි. එය අසා හැමදෙනා වහන්සේ ම ගොස් චූලනාග රහතන් වහන්සේට ආරාධනා කළ සේක. “ස්වාමීනී, අපි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳිනා කැමැත්තෙමු. ඔබ වහන්සේ අප හැම කැඳවා ගෙන ගොස් බෝධීන් වහන්සේ වන්දවා නැවත මෙරටට වැඩමවුව මැනවැ” යි කී සේක. උන්වහන්සේ ද එයට කැමති වී ඒ පන්සියයක් භික්ෂූන් පිරිවරා ථූපාරාම විහාරයෙහි පටන් මාවටුපටුන්ගම දක්වා සාරමාසයක් ඇතුළත දෙවියන් මනුෂ්‍යයන් කරන ලද සත්කාර සම්මාන ලබමින් වැඩි සේක. මාවටු තොටින් නැව් නැගී, සමුද්‍ර දේවතාවන් හා දිව්‍ය නාගයන් විසින් කරන ලද පූජා සත්කාර ලබමින් තුන්මසකින් ගොඩබැස එතැන් පටන් දෙවිමිනිසුන් කරන ලද සත්කාර සම්මාන ලබමින් සාරමාසයක් ඇතුළත වජිරාසන භූමියට පැමිණි සේක. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පෙරලා වඩිනා අතරමඟ දී චූලනාග ස්ථවිරයන් වහන්සේට බඩරුජාවක් ඇති වී කායික අපහසුවක් හටගත්තේය. එය දැක භික්ෂූන් වහන්සේලා වික්ෂේපයෙන් යුතු ව, “ස්වාමීනී, අප හැම ඔබ වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් ම කිසි අපහසුවක් නැතිව සැපසේ වැඩියෙමු. ඉදින් ඔබ වහන්සේට අන්තරායක් වී නම් කෙසේ අපි ප්‍රත්‍යයෙන් පීඩා නොවිඳ අපගේ රට බලා යම්දැ” යි කී සේක.

එපවත් අසා තෙරුන් වහන්සේ පවසනුයේ, “එසේ නොසිතව. මා පිරිනිවී කල්හි ආදාහන සත්කාර කොට ධාතු ගෙන පෙරහන් කඩේක බැඳ පිඬුසිඟා වඩිනා වේලෙහි ධාතු පෙරහන්කඩ කුඩයෙහි බැඳගෙන පළමුව සංඝ ස්ථවිරයන් වහන්සේ පිඬුසිඟා යන සේ සලස්වා හැමදෙනා එක් ව පිඩුසිඟා වැඩිය මැනව. එවිට හැමදෙනා වහන්සේට ම ආහාරයෙන් අපහසු නොවන්නේය” යැයි කියා පන්සියයක් භික්ෂූන් වහන්සේලාට ම අවවාද කොට පිරිනිවන් පෑ සේක. එකල්හි භික්ෂූන් වහන්සේලා ආදාහන සත්කාර කොට ධාතූන් වහන්සේලා රැගෙන නික්මුණු සේක. චූලනාග රහතන් වහන්සේ ජීවමාන කාලයෙහි මෙන් ම ප්‍රත්‍යලාභ ලැබ සුවසේ ම තමන් වහන්සේලා වසන මේ ලංකාද්වීපයට පැමිණි සේක. අහෝ! පුදුම සහගතය. බැල්ලියකට දුන්නා වූ ආහාර දානයෙහි ආනුභාවය. උන්වහන්සේ ජීවමාන කාලයෙහි මෙසේ ලෞකික, ලෝකෝත්තර සම්පත් ලබා පිරිනිවි කල්හි ද මෙබඳු ආශ්චර්යය පැවැත් වූ සේක යැයි සතුටු වී ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලා ද වීර්යය වඩා භාවනා කොට රහත් බවට පැමිණි සේක.

මෙසේ සසර කතරින් එතෙරට වැඩිය, සංසාර ඕඝය තරණය කළ සියලු කෙලෙසුන් නසා නිකෙලෙස් හද මඩලක් දරාගෙන වැඩසිටිය, පුණ්‍ය ඉර්ධියෙන් යුතු වූ, ආනුභාවසම්පන්න වූ, දිව්‍ය, මනුෂ්‍යය, නාග, ගාන්ධර්වාදීන්ගෙන් පිදුම් ලැබූ ලක්දිව වැඩ විසූ චූලනාග රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!. උන්වහන්සේගේ ආනුභාවය සිහිකොට වීර්යය වඩා නිකෙලෙස්භාවයට පත් වූ ලක්දිව වැඩ විසූ ඒ පන්සියයක් රහතන් වහන්සේලාට නමස්කාර වේවා!.

#ලක්දිව_බුදුසසුන #උත්තම_තෙරණි_වන්දනා #රහතන්_වහන්සේලා #බුදු_සසුන

හිසකෙස් කපා දන් දුන් සුමනා නම් තරුණියසෑගිරිය සමීපයෙහි විල්ගම '' නැමැති ගමක් විය. එහි පර්වත ගුහාවක බුද්ධ පුත්‍රයෝ වෙසෙත්....
10/06/2026

හිසකෙස් කපා දන් දුන් සුමනා නම් තරුණිය

සෑගිරිය සමීපයෙහි විල්ගම '' නැමැති ගමක් විය. එහි පර්වත ගුහාවක බුද්ධ පුත්‍රයෝ වෙසෙත්. එහි වෙසෙන භාවනානුයෝගී වූ සමාහිත වූ සසර භය දක්නා භික්ෂූහු සත්නමක් ඒ ගමට පිඬු පිණිස ආහ. පවුල් පන්සියයක් ඇති ඒ ගමෙහි ගෙපිළිවෙළින් හැසුරුණු ඒ භික්ෂූහු කිසිවක් නොලැබ සේදූ පාත්‍ර ඇතිවම ගමෙන් පිටතට පැමිණියහ.

ඒ ගමෙහි වසන දුගී වූ මවක් ද දුවක් ශාලාව ආශ්‍රය කොට වසමින් සිඟා කෑමෙන් ජීවත් වෙති. සුමනා නමැති ඒ දුවණියෝ ගමෙන් නික්මුණු ඒ භික්ෂූන් දැක සංවේගයට පත් සිතැතිව මෙසේ සිතී. අතිශයෙන් අනුකම්පාවට භාජන වූ මා සතු කිසිවක් නැත. පෙර කුසල් නොකොට දිළිඳු බවට පැමිණියෙමි.

මා විසින් මාගේ හිසකෙස් කපා කඩයට ගොස් විකුණා කුශලයක් කරනු ලැබේ නම් යෙහෙකි. ඕ මෙසේ සිතා සිත දැඩි කොට ගෙන මව වෙත ගොස් ඇඳිලි බැඳගෙන මෙසේ කීය: "මෑණියෙනි. අහර නොලත් භික්ෂූහු සත්නමක් ගමෙන් නික්මියහ, මට පිනක් කරන්ට අවසර දෙනු මැනවි.'' "දුවණියෙනි පින් කරව; මා නිසා බිය නොවෙව.

පිනට අන්තරාය කරන්නේ අපායයන්හි පැසෙන්නේය " යි මව කීය. මවගේ කීම ඇසු ඈ කඩ වීදියට ගොස් තමාගේ හිසකෙස් කපා විකුණා කහවණු අටක් ලැබ ඒවා රැගෙන වහා ගෙට ගොස් ඒ භික්ෂූන් නවත්වා ආසන ශාලාවට පැමිණ වීය. එසේ භික්ෂූන් වැඩ හිඳුවා තමා ලත් ධනය සත් කොටසක් කොට එක් කොටසකින් හාල් සපයා බත් පිස ශාලාවට ගොස් එය භික්ෂූන්ට පිළිගැන්වීය.

සතුටු සිතින් භික්ෂූන්ට දන් පිළිගැන්වූ සුමනාව මෙසේද කීය. " මාගේ හිසකෙස් විකුණා මම මේ දානය දෙමි. ඒ දානය මට පසු කලකදී ධන සම්පත් ලැබීමට හේතුවක් වේවා” සසරෙහි නොඇලුණු සිතැති ඒ භික්ෂූහු දානය පිළිගෙන ඒ ගමෙන් නික්ම වනයට පිවිසියහ.

එයින් වැඩිමහලු තෙර නම එහි මාර්ගය මැද සිටගෙන ඒ භික්ෂූන්ට මෙසේ කීය:
ඇවැත්නි, තමන්ගේ හිසකෙස් කපා දන් සපයා දුන් මේ සුමනාව කෙලෙස් සිඳින පිරිසක් බව දැන එසේ කළාය. මම ආශ්‍රවක්ෂයට නොපැමිණ මේ දානය නොවළඳමි. ඒ සඳහා කාලය පැමිණියේය. ඔබ ද ඒ කාරණය දත මැනවි. සප්ත සද්ධර්මයෙන් යුක්ත වූ, මෛත්‍රී සහගත සන්හුන් සිතැති ඒ භික්ෂූහු කෙලෙසුන් සිඳීම පිණිස බලවත් උත්සාහ කළහ. ඒ භික්ෂාව පසෙක තබා ගස් මුල් වෙත පැමිණි ඒ සියල්ලෝ දුක් කෙළවර කොට නික්ලේශීව ආහාර අනුභව කළහ.

උන්වහන්සේලා දානය වැලඳූ කෙනෙහි ඒ දැරිය මනා රූ ඇත්තී විය. ඕ දේව වර්ණයට නොපැමිණ මනුෂ්‍ය වර්ණය ඉක්මවා සිටියාය. සිරුරෙහි වර්ණයද හිසෙහි දික්වූ කෙස් ද හොබනා අග පසග ද දැක තරුණිය මෑනියන්ට මෙසේ කීවාය: මෑණියෙනි මාගේ රූපය ශෝභන වූවා දකිමි. මෙය මෙලොවදීම දකින්ට ලැබෙන ඵලයකි. ඒකාන්තයෙන් ඒ මහ තෙරුන් රහත් බවට පැමිණෙන්ට ඇත.

ඒ ප්‍රවෘත්තිය අසා අසල්වැසි මිනිස්සු ඒ ගෙට අවුත් පිරිවරාගෙන බොහෝ පැහැදීම ඇති කර ගත්හ. රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවා ද සාධුකාර දුණි. එයැසූ එක් මහා යුද්ධ භටයෙක් රථයක නැගී අවුත් එක් පැත්තක සිටි ඒ තරුණිය දැක රථයෙහි නංවාගෙන ඇය රජුට යෝග්‍ය යයි සිතා රජු වෙත ගෙනාවේය.

රජතෙම රන්වන් වූ සුමනාව දැක මෙලොවදී විපාක ලැබූ ඒ දානය කුමක්දැයි විචාළේය. රජු විසින් විචාරන ලද ඕ තොමෝ " මහරජ, මාගේ හිස කෙස් වැටිය කපා විකුණා දන් දුනිමි'' යි කීය. එයැසූ රජ සතුටුව ඇය තමාගේ දු තනතුරෙහි තබා ඇය සොයා ගෙනා යුද්ධ භටයාට ඇයව පාවා දුණි. මෙසේ ඒ දැරිය තමාගේ කෙස් වැටිය කපා විකුණා දන් දී උසස් සම්පතට පැමිණියාය.

සද්ධාතිස්ස මහරජ ඈට තමාගේ කුමරියකට මෙන් දාසයන් සියයක්ද දෙනුන් සියයක් ද මිමුන් සියයක්ද වාහන සියයක් ද ගම් සියයක් ඇති ජනපදයක් ද රජ දුවකට දිය යුතු ආභරණාදිය ද දුන්නේය. ඕ තොමෝ මහා දානපතිනියක් විය. ජීවත්ව සිටින තාක් බොහෝ කාලයක් පින්කම් කල ඇය මරණින් මතු දෙව්ලොව උප්පත්තිය ලැබීය.

#උත්තම_තෙරණි_වන්දනා #ලක්දිව_බුදුසසුන #උපාසිකාවන් #සුමනා_උපාසිකාව

වහා ධර්මය අවබෝධ කරගන්නා භික්ෂුණින් අතර අග්‍ර භද්දා කුණ්ඩලකේෂී මහ රහත් තෙරණින් වහන්සේ අනවරාග්‍ර වූ සංසාරය අල්ප ආශ්වාදයක් ...
09/06/2026

වහා ධර්මය අවබෝධ කරගන්නා භික්ෂුණින් අතර අග්‍ර භද්දා කුණ්ඩලකේෂී මහ රහත් තෙරණින් වහන්සේ

අනවරාග්‍ර වූ සංසාරය අල්ප ආශ්වාදයක් ඇතිව මුත් කොතරම් දිගු දැ යි ප්‍රත්‍යක්ෂ කොට දැන වදාළෝ නම් ලොව්තුරා බුදුවරු ම වෙති. එසේම එය කෙබඳු කටු අකුලක් දැ යි මැනැවින් දැන වදාළෝ ද සර්වඥතා ඥානයෙන් පරිපූර්ණ වූ ලොව්තුරා බුදු වරු ම වෙති. එසේ ම එම කෙලෙස් උගුලෙන් නිදහස් ව මිදී එගොඩ යා හැකි බවත් මරු කතර ඉක්මවා ගිය සිසිල් කෙම්බිමක් ඇති බවත් අසරණ ලෝකයාට දේශනා කොට දුක්ඛිතයන් සුවපත් කොට වදාළේත් ලොව්තුරා බුදු වරු ම වෙති. (අස්සාද ආදීනව නිස්සරණ ධර්මතාවයන්).

වහා ධර්මය අවබෝධ කරගන්නා මහ රහත් තෙරණියක වුවත් කෙලෙස් අන්ධකාර මෝහ දැලෙහි පැටලී මඟ නොමඟ තෝරා බේරාගත නොහැකි ව අවසන් අත් බවෙහි දීත් කල් ගත කළ හැටි කියවෙන කතා පුවතක් භද්දා කුණ්ඩලකේසී මහරහත් තෙරණින් වහන්සේගේ චරිතාපදානයෙන් කියවේ. සංසාරය නම් විටෙක මල් ද පිපෙන කටු අකුලක් ම යැ යි හැඟෙන්නේ එවන් කරුණු කාරණා හේතුවෙනි.

“කතඤ්ඤූ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං”‍ කෘතවේදී කරුණාභරිතයන් ලොව ඉතා දුර්ලභ බව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් නොයෙක් විට දේශනා කළ බව අපි දනිමු. මරණයට කැප කළ තවත් මොහොතකින් මරු තුරුලට වදින්නට වධක භූමියට ගෙන යමින් සිටිය දී උපායකින් ඔහු මුදවාගෙන ජීවිතය ලබා දී සැනසිලි සුවය ද ලබා දුන් තම ප්‍රගමනීය ප්‍රිය බිරිඳ කෙරෙහි ද කිසිදු කරුණාවක් නො දැක්වූ අකෘතඥ මිනිස්සු ද සමාජයේ බොහෝ වෙති.

එබඳු දුර්ජනයන් ගෙන් පරෙස්සම් විය යුතු බව ද මේ කථාන්දරයෙන් කියවේ. විවිධ චරිතයන් පිළිබඳ විවිධ පැතිකඩ ඔස්සේ අපගේ ප්‍රඥා ඇස පුබුදු කරවන්නට ද උපදෙස් මෙම කථාවෙන් ලැබේ.

බොහෝ බුදු සසුන්වල දී මහ පිංකම් කරමින් බඹසර සීලයෙහි පිහිටා හැසිරෙමින් දෙව්ලෝවල ම දිවි ගත කළ කුමරියක වූ ඇය අපගේ ගෞතම බුදුන් සමයෙහි මහ සිටු කුලයක ඉපිද භද්දා නම් වූවා ය. සී මැදුරු කවුළුවෙන් නගර සිරි නරඹමින් සිටි ඇයට ඝාතනය සඳහා වධක භූමියට ගෙන යන සන්තුක නම් සොරෙකු දක්නට ලැබිණ. දුටු සැණින් ම ඔහු කෙරෙහි බැඳුණු සිත් ඇති ඇය “ඉදින් ඔහු ලැබේ නම් ජීවත් වන්නෙමි, නොඑසේ නම් මැරෙන්නෙමි”‍ යි දැඩි තීරණයකට එළඹ නිරාහාර ව සයනයෙහි වැතිර සිටියා ය.

මෙපුවත ඇසූ ඇගේ පියා තම එක ම දියණිය හෙයින් බලවත් සෙනෙහස ඇති ව වධකයනට දහසක අල්ලසක් දී උපායකින් සොරා මුදවාගෙන සුවඳ දියෙන් නහවා සර්වාභරණයෙන් ද ඔහු සරසා මාළිගයට ගෙන්වාගන සිය දියණිය ඔහුට විවාහ කොට දුන්නේ ය. භද්දාවෝ ද පිරිපුන් මනදොළ ඇත්තී විශේෂ ලෙස සැරසී සිටිමින් නොයෙක් ආකාරයෙන් ඔහුට සේවය කළා ය.

එසේ වී නමුත් සසර පුරා සොරකම් කරමින් පැමිණි පුරුදුතා ඇති සන්තුක නම් සොරුට සිය ගති ස්වභාවයන් අතහැරීම අපහසු විය. ඇය ගෙන් ලද සෙනෙහස් මිහිර අමතක කළ ඔහු ඇගේ මුතු මැණික් ආදී රන් අබරණ කෙරෙහි ම ලොබ බැන්දේ ය. තමන් වධක භූමියට ගෙන ගිය දින තමන් බේරා ගන්නා හැටියට චෝර පබ්බතයෙහි අධිගෘහිත දේවතාවුන්ට බලි කර්මයක් කරන්නෙමි යි භාරයක් වූ බවත් එය බොහෝ කල් ඉක්ම යා නො දී ඔප්පු කොටලිය යුතු බවත් තම බිරිඳට දැන්වූ සන්තුක සොරු ද දිය නා ඊට සූදානම් විය. ප්‍රේමණීය බිරිඳක වූ ඇය සිය සැමියා මනදොළ සපුරන්නෙමි යි සියලු‍ අබරණ පැළඳ බලි පූජාව සඳහා යෑමට සූදානම් වූවා ය.

පිරිවර සමග චෝර පබ්බතයට නැඟෙනුයේ නම් ඇගේ අබරණ ද සියලු‍ වස්තුව ද සොරාගත නොහැකි වෙතැ යි සිතූ සන්තුක තමා ම බලි බඳුන ගෙන පර්වතය නඟින්නට පටන්ගති. බිරිඳ සමග ප්‍රිය මනාප කතා බහක් ද නො කළේ ය. එහෙත් සිත පත්ලෙහි තැන්පත් ව සැඟව තිබූ ප්‍රඥා නිධානයක් ඇති කුමරියට සොරුගේ අදහස වටහා ගන්නට අපහසු වූයේ නැත. ඕතොමෝ ඉඟියෙන් මෙන් සියලු‍ අදහස් දැනගත්තා ය. චෝර පබ්බතයට නැඟගත් සන්තුක සිය බිරිඳ අමතා ඇගේ උතුරු සලු‍ව බිම එලා සියලු‍ අබරණ හා පැළඳුම් එක පොට්ටනියකට බැඳ තබවැ යි කීවේ ය.

“හිමියනි මගේ කවර වරදක් දැ”‍ යි විමසූ කල්හි “බලි කර්මයක් කිරීමේ ව්‍යාජයෙන් අප පැමිණියේ තිගේ අබරණ පැහැර ගැනීමට” යි කී විට “මේ අබරණ කවරෙකු උදෙසා ගෙන යන්නෙ ද යි නො දනිමි. කවරෙකුට වේ වා කම් නැත. එහෙත් මගේ එක ම අභිප්‍රායක් ඇත. එය පමණක් ඉටු කර දෙන්න”‍ යි ඉල්ලා සිටියා ය. එනම් පෙර දී ඔබ වැළඳගත් ප්‍රේමණීය හැඟීමෙන් අවසන් වරට ප්‍රදක්ෂිණා කොට ඔබ සිප වැළඳ ගන්නට ඉඩ දෙනු මැනවි. මා ඔබට ප්‍රාණ සම ව ප්‍රේම කළ බව ඔබ දන්නෙහි ය.” සොරා කොතරම් දරුණු කපටියෙකු වුව ද ආභරණ හා සම්පත් කෙරෙහි බැඳි තණ්හාව පමණක් ඉස්මතු ව විත් ලාමක විය. ඔහු අදහස් කළ බොළඳ ස්ත්‍රියකගේ මායා බසෙහි මුළා විය. එයින් ඔහු එය ඉවසා ඉඩ ලබා දුන්නේ ය. එකෙණෙහි ඇය ඉදිරියෙන් පැමිණ ප්‍රදක්ෂිණා කරමින් ඔහු වැළඳ පිටුපසින් ද වැළඳගන්නා බව අඟවා ඔහු පර්වතයෙන් පහළට තල්ලු‍ කොට මරණයට පත් කළා ය. ඇය කළ ආශ්චර්යය දුටු පර්වතයෙහි අධිගෘහිත දේවතාවා ඇගේ ස්ථානෝචිත ප්‍රඥාව පසසා “හැම තැන්හි ම පුරුෂයා නැණවතෙක් නො වේ. ඒ ඒ තැන්හි ස්ත්‍රිය ද ප්‍රඥා පාටවය ප්‍රකාශ කරන්නී ය. ස්ත්‍රිය ද මොහොතකට හෝ සිතා නැණවත් ව ක්‍රියා කරන්නී ය”‍ යනුවෙන් ප්‍රකාශ කළේ ය.

මෙ සිදුවීම අබුද්ධෝත්පාද කාලයක දී සිදු වී නම් කුමරිය විසින් කළ මිනිස් ඝාතනය ඇයට මතු මත්තෙහි මහත් දුක් විපාක ලබා දෙන අකුසල කර්මයක් විය හැකි ය. සියලු කර්ම ක්ෂය කිරීමට ඇති හැකියාව යනු බුද්ධෝත්පාදයක ඇති මහා අසිරිමත් ගුණ සම්පතකි.

ඉක්බිති භද්දා “මේ තත්ත්වය අනුව මට යළි ගෙදර යා නොහැකි ය. මම මෙතැනින් ගොස් යම් පැවිද්දක් ලබා ගන්නෙමැ” යි නුවට අරමකට ගොස් නුවටුන් ගෙන් පැවිද්ද ඉල්ලා සිටියා ය.

ඒ පැවිද්දෝ උතුම් යැ යි සැලකූ ආකාරයට තල් ඇටයකින් කෙස් උදුරා පැවිදි කළාහු ය. නැවත හිසෙහි කෙස් වැඩෙන්නේ කුණ්ඩලාකාර ව වැඩිණ. එතැන් පටන් ඕ තොමෝ කුණ්ඩලකේසා නමින් පතළ වූවා ය. ඕ එහි උගත යුතු සියල්ල ම ඉගෙන “මොවුන් දන්නේ මෙපමණෙකි. මෙයට වඩා යමක් මොවුන් වෙත නො වෙතැ” යි සෑහීමකට පත් නො වී එයින් නික්ම ගොස්, යම් තැනෙක උගත්තු වෙසෙත් ද ඒ ඒ තැන්හි ගොස් ඔවුන් දන්නා ශිල්ප ද ඉගෙන තමා හා කතා කිරීමට සමතෙකු නො දැක යම් ගමකට හෝ නිගමකට යා ද එහි වාසල් දොරටුව සමීපයෙහි වැලි ගොඩක් ගසා දඹ අත්තක් සිටුවා “යමෙක් මා හා වාද කිරීමට කැමැත්තේ නම් මේ දඹ අත්ත ඉවත් කරත් වා”‍ යි කියා ඒ සමීපයෙහි කෙලි සෙල්ලම් කරන දරුවන්ට ඒ බව දන්වා ඇය වෙසෙන තැනට යන්නී ය. සත් දිනක් ඉක්ම යාදී කිසිවෙකුත් වාදයට ඉදිරිපත් නො වී නම් එය වෙනත් තැනකට ගෙන යන්නී ය.

තුන්ලෝකාග්‍ර වූ බුදු පියාණන් වහන්සේ දහම් අමා මිහිර බෙදමින් අසරණ ලෝක සත්ත්වයාට අමා නිවන් සුව දෙමින් දෙවුරමෙහි වැඩ සිටින සමයෙහි කුණ්ඩලකේසී ද ගම් නියම් ගම් රජ දහන්වල හැසිරෙන්නී සැවැත් නුවරට පැමිණ නුවර දොරටුවෙහි වැලි ගොඩක් ගසා ඊ මත දඹ අත්ත සිටුවා එහි සිටි දරුවනට දැනුම් දී ඉවතට පිවිසියා ය.

ඒ අවස්ථාවේදී ප්‍රඥාවන්ත රහතන් වහන්සේ අතර අග්‍ර වූ ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ හුදකලා ව ම නගරයට වැඩම කළ හ. ඒ දඹ අත්ත දැක ඇය දමනය කරනු කැමැත්තෙන් මේ සිටවූවෝ කවුරුන් දැ යි විමසූ හ. දරුවෝ සියලු‍ තොරතුරු දැන්වූ හ. මහ තෙරණුවන් වහන්සේ එය පොඩි කර දමන්නැ යි කීයෙන් දරුවෝ එසේ කළ හ.

කුණ්ඩලකේසී දිවා ආහාරයෙන් පසුව නගරයෙන් නික්ම යන විට ඒ ශාඛාව මැඬ තිබෙනු දැක කවුරුන් විසින් කරන ලද දැ යි ඇසුවා ය. තෙරුන් වහන්සේ විසින් කරන ලද බව අසා තනි ව වාද කිරීම ද නොහොබනේ ය යි සිතා අපගේ වාදය බලවැ යි මහ ජනයාට දැනුම් දෙමින් සාරිපුත්තයන් වහන්සේ වෙත එළඹ පිළිසඳර කතා කොට එකත් පසෙක හිඳ මා විසින් සිටුවන ලද දඹ අත්ත මඬනා ලද්දේ දැ යි ඇසුවා ය. නාහිමියන් විසින් “එසේ ය මා විසින් එය මැඬ පොඩි කර දැමීමි” යි පැවසූ විට “එසේ නම් ඔබ සමග වාද කිරීමට කැමැත්තෙමි” යි ඕ කීවා ය. පළමු කොට ප්‍රශ්න විමසන්නේ කවුරුන් විසින් දැ යි ඇසූ කල ඇය ඒ සඳහා පළමු කොට ඉදිරිපත් වෙමින් දැන සිටි සියලු‍ ම වාදයන් ප්‍රශ්න කළා ය. සාරිපුත්තයන් වහන්සේ සියල්ල විසඳූ හ. තවත් ඇසිය යුත්තක් නො වූයෙන් ඈ නිහඬ වූවා ය. ඉක්බිති තෙරුන් වහන්සේ ඇය අමතා තමන් වහන්සේ ද එක ම එක ප්‍රශ්නයක් අසන්න දැ යි විමසූ හ.

“ඇසුව මැනවැ” යි ඇය කීයෙන් උන්වහන්සේ එක නම් කුමක් දැ යි ප්‍රශ්න කළ හ. කුණ්ඩලකේසී එහි අග මුල සොයාගත නොහැකි ව මහා අඳුරකට පිවිසියාක් මෙන් වී “නො දනිමි යි වහන්ස” කියමින් නිරුත්තර වූවා ය.

“ඔබ මෙපමණක් වත් නො දන්නේ නම් ගැඹුරු දහමක් කෙසේ දන්නේ දැ” යි පවසා ධර්මය දේශනා කළ හ. අනතුරුව ඕ තොමෝ සාරිපුත්තයන් වහන්සේ දෙපා මුල වැඳ වැටී “ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යමි” යි කීවා ය.

“භද්දා, ඔබ මා සරණ යෑමෙන් පලක් නො වේ. දෙවියන් සහිත සමස්ත ලෝකයාට ම අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අසම සම වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යන්න” යි අනුදත් හ. “එසේ ය ස්වාමීනි” යි පැවසූ ඕ බුදුන් වහන්සේ සවස දම් දෙසන වේලෙහි එහි ගොස් පසඟ පිහිටුවා වැඳ එකත් පසෙක සිටියා ය.

මුළු‍ ලොව ම අතැඹුල සේ දැන වදාළ බුදුන් වහන්සේ ඇගේ නුවණ මුහුකුරා තිබෙනු දැක

සහස්සම්පි චේ ගාථා –
අනත්ථ පද සංහිතා
ඒකං ගාථා පදං සෙය්‍යා –
යං සුත්වා උපසම්මති

අර්ථ ශූන්‍ය වූ පදවලින් යුත් ගාථා දහසකට වඩා මනස සන්සුන් කරවන ගාථාවෙක එක පදයක් පවා ශ්‍රේෂ්ඨ ය යන ගාථාව දේශනා කළ හ. අවසානයෙහි ඕ හුන් අයුරින් ම සිව්පිළිසිඹියා සහිත මහ රහත් භාවයට පැමිණ පූර්වේ නිවාසානුස්මෘති ඥානය ලබා සිය පෙර භවයන් සිහිපත් කළා ය.

මෙයින් කල්ප සියක් දහසකට පෙර තුන්ලෝ ධාතුව දහමින් සනසාලමින් ලොව පහළ වූ පදුමුත්තර බුදුරදුන් සමයෙහි හංසවතී නුවර රන්රුවනින් බැබළුණ සැප සම්පතින් සපිරුණු සිටු කුලයක උපත ලද්දී ය. නිතර නිතර බණ අසන්නට යන එතුමිය මහත් වූ සැදැහැ සිතින් බුදුන් සරණ ගියා ය.

එකල ඒ බුදුන් වහන්සේ එක්තරා භික්ෂුණියකට වහා ධර්මය අවබෝධ කර ගන්නා භික්ෂුණීන් අතර අග්‍ර වන්නී යි අග තනතුරු දී වදාරනු දැක බෙහෙවින් සතුටු ව මහ පින්කම් කොට අනතුරු බුදුන් වහන්සේ ශ්‍රී පා වැඳ එම තනතුර ම පැතුවා ය. ඒ ලෝකනාථයාණන් වහන්සේ දිවැසින් අනාගතය බලා වදාරා එය අනුදැන “ඔබ පැතූ ඒ සියල්ල ම එලෙසින් ඉටුවන්නේ ය ඔබ නිවී සුවපත් වේ වා” යි විවරණශ්‍රී ලබා දුන් සේක. මෙයින් කල්ප සියක් දහසක් ගිය තැන ක්ෂත්‍රිය කුලයෙහි උපත ලබන ගෞතම නම් වූ බුදුරදුන් සමයෙහි එම පැතුම් ඉටු කරගන්නා ඔබ භද්දා කුණ්ඩලකේසි නම් වන්නී ය. ඒ බුදු බසින් සතුටු වූ මම පින්කම්හි චේතනාව පිහිටුවීමෙන් මිනිස් කය හැර තවුතිසා දෙව්ලොව උපන්නෙමි. සදෙව් ලෝ තලවල ම දෙව් සැප වින්දනය කළෙමි. උපන් සියලු‍ දෙව්ලෝවල දෙව් රජවරුනට අග මෙහෙසීන් වීමි. මිනිස් ලොව සක්විති රජවරුන්ට ද අග මෙහෙසීන් වීමි.

මේ මහා භද්‍ර කල්පයෙහි කාශ්‍යප බුදු රදුන් සමයෙහි කිකී නම් රජුගේ සංඝදාසී නම් සිව්වැනි දියණිය වීමි. එම බුදුන් ගෙන් බණ අසා ගිහි බවෙහි ආදීනවයන් දැක පැවිදි වන්නට අවසර පැතුව ද පිය රජු ගෙන් අවසරයක් නො ලද කල විසි දහසක් අවුරුදු කල් ම ගිහිගෙයි දී මුත් බඹසර රකිමින් ම සිල්වත් ව දිවි ගෙවීමි. ගෞතම බුදු රදුන් සමයෙහි සියලු‍ පැතුම් ඉටු කොට ගතිමි.

මෙයින් කල්ප සියක් දහසකට පෙර දී අනාගතය බලා වදාළ පදුමුත්තර බුදු පියාණන් වහන්සේ විසින් වරම් දී වදාළ කාරණය එලෙස ම ඉෂ්ට විය. ලොව්තුරා බුදු වරුන්ගේ වචනය නො සිස් බව සේ ම තිර බවත් බුදු වරුන්ගේ අසම සම බවත් නිරන්තරයෙන් ම අප සියලු‍ දෙන ම සිහිපත් කළ යුතු ය. බුදු වරුන්ගේ සර්වඥතා ඥානය හා මහා කරුණා ගුණය ද මෙබඳු අවස්ථාවල මැනවින් ප්‍රකට කෙරේ.

යමෙක් එළඹි කාරණය එකෙණෙහි ම අවබෝධ කරගනී ද ඔහු සියලු‍ සම්බාධකවලින් වහා මිදේ. ඇය සන්තුකයා ගෙන් පමණක් නො ව සංසාර කටු අකුලින් ම මිදී නිවන නමැති ක්ෂේම භූමියට පැමිණියේ එලෙස ක්ෂණික ව සුදුසු ලෙස ක්‍රියා කළ නිසාවෙනි.

දහම වහා වැටහෙන්නට නම් සිත වහා දහමට නම්මවාගත යුතු මයි. සුළු බාහිර නිමිත්තෙකින් පවා වහා දහමට නැමෙන සිතක් භද්දාවට තිබූ වග එක්තරා සිදුවීමකින් මනා ව හෙළි වේ. ඇය නුවටුන්ගේ සමාගමයෙහි ඔවුන්ගේ සමය හදාරමින් ඉන්නා අතර දීත් සිත වහා දහමට නැමී නුවණ මුහුකුරා ගිය ආකාරය මහ අසිරියෙකි. එසමයෙහි දී ඇය සමීපයට බල්ලකු විසින් ගෙනවිත් දමන ලද කුණු වූ මිනිස් අතක් දැක අසුභය ද අනිත්‍ය ලක්ෂණය ද මෙනෙහි කරන්නට හැකියාව ලදුයේ දිගු වූ සසර ගමනේ දී පුරුදු පුහුණු කරන ලද භාවිත චිත්තය හේතුවෙනි.

භවයෙහි උප්පත්තිකාරකයන් නසා දමා සසර ගමන නිමා කොටගත් එතුමින් වහන්සේ අපගේ බුදුරදුන් හමුවෙහි වහා ධර්මය අවබෝධ කරගන්නා භික්ෂුණීන් අතර අග්‍ර වන්නී යි අග තනතුර ද ලබා ගත්තා ය.

මේ සියල්ල බුද්ධ ශාසනයක ම පවත්නා වූ අසිරියයි. බුදුසසුන නමැති කෙත් බිමෙහි වපුළ ශ්‍රද්ධා බීජයන් සත්ත්වයනට ඒකාන්තයෙන් ම සරුඵල ලබා දෙන්නේ ය. එසේ හෙයින් අප හැමදා පින් කුසල් උපදවා ගැනීමට උත්සුක විය යුත්තේ ම ය යි අදිටන් කළ යුතු ය.

පිරිනිවනින් නිවී සැනසුන නික්ලේශී අර්හත් භද්දා කුණ්ඩලකේෂා තෙරණිය වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
සැමට තෙරුවන් සරණයි!

#රහත්_මෙහෙණින්_වහන්සේ #බුද්ධ_කාලයේ_භික්ෂුණින් #උත්තම_තෙරණි_වන්දනා #මාර්ගඵලලාභීන් #අර්හත් #කුණ්ඩලකේෂා_තෙරණිය

වාසෙට්ඨි මහ රහත්  තෙරණින් වහන්සේ වාසෙට්ඨි තෙරණින් වහන්සේ යනු සසර පුරා මහා කුසල් රැස්කරමින් පැමිණ, බුදුරජාණන් වහන්සේගේ ශා...
09/06/2026

වාසෙට්ඨි මහ රහත් තෙරණින් වහන්සේ

වාසෙට්ඨි තෙරණින් වහන්සේ යනු සසර පුරා මහා කුසල් රැස්කරමින් පැමිණ, බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි අග්‍රගන්‍ය වූ රහත් තෙරණින් වහන්සේ නමකි. උන්වහන්සේගේ ජීවිතය අපට කියා දෙන්නේ ලෞකික දුකෙන් මිදී ලෝකෝත්තර සුවය කරා ළඟා විය හැකි ආකාරය පිළිබඳ කදිම නිදසුනකි.

​මෝ තොමෝ පෙර බුදුවරුන් හමුවේ මහා කුසල් රැස් කරමින්, මහා පුණ්‍යවන්ත අධිකාරියක් සම්පූර්ණ කරගත් උන්වහන්සේ, ගෞතම බුදුසමයෙහි විශාලා මහනුවර ධනවත් කුලගෙයක උපත ලැබූහ.දෙමාපියන් ඇයට වාසෙට්ඨි යැයි නම් තැබීය. වාසෙට්ඨි කුමරිය යොවුන් වියට පත් වෙත්ම රූ සපුවෙන් හා ගුණයෙන් පරිපූර්ණ වූ ඇය, වැඩිවියට පැමිණි පසු ඇගේ මවුපියන් විසින් සමාන කුලයක තරුණයෙකුට පාවා දෙන ලදී.


​විවාහ ජීවිතය ඉතා සතුටින් ගත කළ ඇයට පිරිමි දරුවෙකු ලැබුණි. දරුවා ඇවිදින වියට එළඹෙත්ම කිසියම් අකල් මරණයකට ලක්වූ අතර, එම දරුවාගේ වියෝවෙන් ඇය දැඩි ලෙස කම්පාවට පත්වූවාය. දරුවා පිළිබඳ තිබූ අධික සෙනෙහස නිසා ඇයගේ සිත කම්පිතව උමතු භාවයට පත්වූවාය. සැමියා හා නෑදෑයන් ඇයට පිළියම් කරන කල්හි ඔවුන්ට නොදැනුවත්ව ගෙදරින් පලාගොස් තැන තැන ඇවිදිමින් සිටියාය. මෙසේ වසර තුනක් තිස්සේ සිහියකින් තොරව ඇවිද ගිය ඇය අවසානයේ මිථිලා නුවරට පැමිණියාය

​එහිදී ඇයට බුදුරජාණන් වහන්සේ දර්ශනය විය. බුදුරජාණන් වහන්සේගේ කරුණාබරිත බුද්ධ වචනය හා දර්ශනය ලැබීමත් සමඟම, උන්වහන්සේගේ ආනුභාවයෙන් ඇයගේ උමතුභාවය ක්ෂණයකින් දුරුවී පියවි සිහිය ලැබුණි.


​තමා සිටි අසරණ තත්ත්වයත්, තම ලජ්ජාවත් සිහිවූ ඇය බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටී සමාව අයැද සිටියාය. පසුව බුදුන් වහන්සේ ඇයට අවබෝධය පිණිස කෙටි දහම් දේශනාවක් පැවැත්වූහ. එම දහම ශ්‍රවණය කළ ඇය තුළ වහාම පෙර බුදු රජාණන්වහන්සේලාගේ කාලයේ සිදු කරන ලද කුසල් හේතුවෙන් වහාම ධර්මය අවබෝධ වී ශ්‍රද්ධාව ජනිත විය. ඕ තොමෝ බුදු රජාණන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියාය.

කරුණාබරිත භාග්‍යවතුන් වහන්සේ මෙතුමිය භික්ෂුණි වෙත බාර කරන ලද්දේය, බුදු රජාණන්වහන්සේගේ අනුදැනුම ඇතිව භික්‍ෂුණීන් වෙත පැවිදි වූ ඇය, ඉතා උනන්දුවෙන් හා වීර්‍යයෙන් විදසුන් වඩන්නට වූවාය. පූර්ව පාරමිතා බලයෙන් යුක්ත වූ හෙයින් නොබෝ කලකින්ම සිව්පිළිසිඹියාපත් රහත් තෙරණින් වහන්සේ නමක් බවට පත්වූවාය.


​තමන් ලැබූ ඒ උත්තරීතර රහත්භාවය පිළිබඳව සිහිපත් කරමින්, සමාපත්තියෙන් නැගිට වාසෙට්ඨ තෙරණින් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ:

පුත්ත සොකෙන’හං අට්ටා ඛිත්තචිත්තා විසඤ්ඤනී,
නග්ගා පකිණ්ණකෙසී ච තෙන තෙන විචාරිහං

වසිං සඞ්කාරකූටෙසු සුසානෙ රථියාසු ච,
අචරිං තීණි වස්සානි ඛුප්පිපාසා සමප්පිතා

අථාද්දසාසිං සුගතං නගරං මිථිලං පති,
අදන්තානං දමෙතාරං සම්බුද්ධමකුතො භයං

සවිත්තං පටිලද්ධාන වන්‍දිත්‍වාන උපාවිසිං,
සො මෙ ධම්මමදෙසෙසි අනුකම්පාය ගොතමො

තස්ස ධම්මං සුණිත්‍වාන පබ්බජිං අනගාරියං,
යුඤ්ජන්තී සත්‍ථුවචතෙ සච්ඡාකාසිං පදං සිවං

සබ්බෙ සොකා සමුච්ඡින්තා පහීනා එතදන්තිකා,
පරිඤ්ඤාතාහි මෙ වත්‍ථු යතො සොකොනසම්භවො

පුතා මළ සොවින් කලකිරුණන් මගේ සිත වික්‍ෂිප්ත විය, සිහිය මඳවිය. නිරුවත්ව විසුරුණු කෙස් ඇතිව ඒ ඒ තන්හි හැසුරුණෙමි.

කසළ ගොඩවල සොහොන් පිටිවල වීදිවල සාපිපාසාවෙන් මැඩී තුන්වසරක් පුරා ඇවිද්දෙමි. දිනෙක මිථිලා නුවරදී, නො දමුණු පුඟුලන් දමන්නාවූ, කිසිම බියක් නොමැති සුගත වූ බුදුන්වහන්සේ දිටිමි.

එකෙණෙහිම නැවත සිහිය ලැබූ මම උන්වහන්සේට වැඳ පසෙක හිඳගතිමි. ඒ ගෞතමයන්වහන්සේ මට අනුකම්පාවෙන් ධර්‍මයක් දේශනා කළ සේක.

උන්වහන්සේගේ බණ අසා මම අනගාරික ශාසනයෙහි පැවිදිවීමි. බුදුන්ගේ චචනය පිළිපැදීමෙන් ශාන්තිපදය ක්‍ෂාත්ක්‍ෂාත් කරගතිමි.

සියලු ශෝක නැතිවිය, කෙලෙස් දුරුවිය අවසාන අවස්ථාවට පැමිණියෙමි. ශෝකයේ තැන් අවබෝධ කරගතිමි.

පිරිනිවනින් සැනසී නිවුණු ඒ අරහත් වාසෙට්ඨ තෙරණින් වහන්සේට නමස්කාර වේවා.

වාසෙට්ඨි තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි

#රහත්_මෙහෙණින්_වහන්සේ #බුද්ධ_කාලයේ_භික්ෂුණින් #මාර්ගඵලලාභීන් #අර්හත් #උත්තම_තෙරණි_වන්දනා #වාසෙට්ඨි_තෙරණිය

භික්ෂූන් වහන්සේලාට වස්ත්‍ර දන් දුන් ධර්මා නම් දුප්පත් ස්ත්‍රියගේ කතා වස්තුව සිංහල දිවයිනෙහි ලජ්ජතිස්ස රජතුමා රාජ්‍ය කරන ...
08/06/2026

භික්ෂූන් වහන්සේලාට වස්ත්‍ර දන් දුන් ධර්මා නම් දුප්පත් ස්ත්‍රියගේ කතා වස්තුව

සිංහල දිවයිනෙහි ලජ්ජතිස්ස රජතුමා රාජ්‍ය කරන කාලයෙහි රුහුණු දනව්වෙහි ගිරිතිම්බිල තිස්ස පර්වත මහා විහාරවාසී භික්ෂූන් වහන්සේ භික්ෂාව පිණිස හැසිරෙන තැන සිව නම් ගමෙක් විය. ඒ ගමෙහි එක් දුගී ධර්මා නම් ස්ත්‍රියක් අනුන්ට දර, කොළ, දිය ආදිය ගෙනෙමින්, වී කොටමින් පිදුරු වනමින් ගොයම් පාගමින් අමාරුවෙන් ජීවිකාව කරමින් වසන්නීය. ඕ තොමෝ මෙහෙකාර කම් කොට දුක සේ වස්ත්‍ර‍යක් සපයාගෙන මෙසේ සිතී ය.

රාග නමැති ගින්නෙන් දැවී දෝෂ නමැති රකුසාගෙන් පෙළී, මෝහයෙන් මුලාවී බොහෝ කළක් සංසාරයෙහි හැසුරුණෙමි.

පෙර පිනක් නොකරන ලද්දේද, නැවත කිසිවක් කිරීමට ද, නොහැකි දුප්පත් වීමට ඒකාන්තයෙන් කවර නම් පාපයක් මා විසින් කරන ලද ද?

එනිසා මම අනුන්ගේ ගෙවල්වල අපහසුවෙන් මෙහෙකාරකම් කරමින් ජීවත් වෙමි. මට සැපයක් නම් අහසට පොළොව මෙන් දුරය.

දැන් බුද්ධොත්පාද කාලයයි. ලෝකයෙහි ධර්මය බබළයි. ගුණ සාගර වූ බුද්ධපුත්‍රයෝ ලෝකයෙහි පවතිත්.

මා විසින් ඒකාන්තයෙන් ක්‍ෂණ සම්පත්තිය ලබන ලදි. දැන් මගේ ආත්මය ගොඩනගා ගත නොහැකි වූයේ නම් සසර ගිලුනා වූ මම කවදා හිස ඔසවන්න ද?

දුකසේ උපදවා ගත් එක් සළුවක් මට ඇත. දැන් ඒ සළුවෙන් භව සාගරයෙහි පිහිට කරගන්නෙමි.

ධර්මාවෝ මෙසේ සිතා එකල්හි ඒ වස්ත්‍ර‍ය සංඝයා වහන්සේට මහත් ඵල ගැන විශ්වාසය තබමින් ශ්‍ර‍ද්ධාවෙන් දුන්නීය‍.

එකල්හි ගිරිතිම්බිල තිස්ස පර්වත විහාරයෙහි පන්සියයක් භික්‍ෂූහු වස් එළඹුනහ. එයින් භික්‍ෂූහු සිව ගමට පිඬු පිණිස බොහෝ සෙයින් එළඹෙන්නාහ. එක් දිනක ධර්මා තරුණිය උපන් ශ්‍ර‍ද්ධාව විනාශ නොකොට වස්ත්‍ර‍ය ගෙන ආසන ශාලාවට ගොස් එක භික්ෂුවකට මෙසේ කීවාය.

"ස්වාමීනි. මේ වස්ත්‍ර‍ය එක විහාරයක භික්ෂූන්ට වස්වාසික කොට දෙන්නෙමි. නුඹ වහන්සේලා එහි වැඩම කරවා මගේ දුප්පත්කමත් මේ සළුව දුකින් ලැබුණු බවත් භික්ෂූන්ට කියා දෙනු මැනව."

උන් වහන්සේට වස්ත්‍ර‍ය දී සොම්නසින් ගියාය. භික්ෂූන් වහන්සේ ඇයට අනුකම්පාවෙන් ඒ දළ වස්ත්‍රය පිලිගන්නා ලදී. අනතුරුව උන්වහන්සේ ඒ වස්ත්‍ර‍ය ගෙන විහාරයට ගොස් රැස් වූ භික්ෂූන් වහන්සේලාට ඇය කියූ වචන කියා

"ස්වාමීනි, මේ වස්ත්‍ර‍ය අඳින්නට සමත් කෙනෙකුට දෙනු මැනැවැයි" භික්ෂු සංඝයාට වස්ත්‍ර‍ය දුන්නේය.

ඒ අසා භික්‍ෂූන් අතර එක නමක්

"ස්වාමීනි, මට තුන් මසකට දෙන්න. එය මම පරිභෝග කරමි" යි කීයේය. එය අසා අනික් භික්ෂුවක්

"මට දෙමසකට දෙන්න", එක් භික්ෂුවක් ස්වාමීනි මට මසකට, සති දෙකකට, දස දිනකට යයි මෙසේ කාලය අඩු කරමින් ක්‍ර‍මයෙන් එක් භික්ෂුවක් මට එක දිනකට දෙන්න, මම එය පාවිච්චි කරමි.

ඒ ඇසූ අනෙකුත් ආයුෂ්මතුන් වහන්සේලා උන්වහන්සේට ඒ සළුව දුන්හ. භික්ෂුව ඒ වස්ත්‍ර‍ය ගෙන පඬු පොවා මසා සිවුරු පොරවා සක්මනට නැග පියවර සතක් ගෙවා අවසානයෙහි කෙලෙස් සතුරා දිනමින් රහත් බවට පැමිණ ඒ සිවුර සෝදා, දෙවෙනි දවසෙහි භික්ෂූන්ට දුන්නේය. මේ ක්‍ර‍මයෙන් එම සිවුර නිසා ඒ විහාරයේ විසූ පන්සියයක් භික්ෂූන් වහන්සේලා රහත් බවට පැමිණියහ.

දිනක් ලජ්ජිතිස්ස මහරජතුමා මහා වස් පාවාරණ දවසෙහි රජ ගෙදරින් නානා පාට වස්ත්‍ර‍යන් ගෙන්වාගෙන වියන් බඳිව්, තොරන් ඔසවව්, ධ්වජ හා පතාක බඳිව්, විහාර අලංකාර කරව් යයි මිනිසුන්ට අණ කලේය.

අනතුරුව ඔවුහු විහාරය අලංකාර කළහ. භික්ෂූහු ද විහාරය අලංකාර කරන කළ සිවුර ගෙන මේ සිවුර බොහෝ දෙනාගේ කෙලෙස් මළු නැති කිරීම සඳහා හේතු වී යයි විහාරයට ඇතුල්වෙන ද්වාරය ඉදිරිපස කොඩියක් කොට එසවූහ.

ලජ්ජතිස්ස රජතුමා විහාර මළුවේ දොර ඉදිරියේ ඔසවන ලද මේ අර්හත් ධජය දැක, අපි නොයෙක් පාට වස්ත්‍ර‍ එවීමු. කුමක් නිසා දිරාගිය සිවුරක් දොර ඉදිරිපිට එසවුයේ දැයි ආරමයේ උදව්වට සිටි පිරිසගෙන් ඇසූහ.

මහරජ, ආර්යයන් වහන්සේලා තමන්ට මෙය උපකාරී යයි ඉදිරිපස එසවූයේ යැයි කී විට රජු විසින් ඔවුන්ට මෙය විසින් කවර උපකාරයක් කෙළේ දැයි නැවත අසන ලද්දේය,

දේවයන් වහන්ස, අපි නොදනිමු. ආර්යයෝම දනිතියි කී බැවින් රජතුමා භික්ෂු සංඝයා වෙත එළඹ වැඳ එකත්පස්ව හිඳ

"ස්වාමීනි, මේ වස්ත්‍ර‍ය සංඝයාට බොහෝ උපකාර යයි කියති. ඊට හේතු කවරේද?" විමසද්දී
භික්ෂු සංඝයා වහන්සේ

"මහරජ, මේ වස්ත්‍ර‍ය නිසා මේ ඇතුල් විහාරයේ පන්සියයක් භික්ෂූහු රහත් බවට පැමිණියෝය. එනිසා භික්‍ෂූන්ට එය බොහෝ උපකාර යයි සිවුරෙහි ගුණ කියමින් මෙසේ කීයේය.

අපිරිසිදු පිලෝතික රහත් ධ්වජය දැක යම් තැනක අනාදර නො කළ යුතු වේ.

මිනිසුන් විසින් පිදිය යුතු ඒ අර්හත් ධජය ක්‍ෂේම භූමියට පමුණුවයි. එනිසා ආදර කළ යුතු වේ.

රජතුමාණෙනි, රහතන් වහන්සේලා විසින් පරිභෝග කරන ලද ඒ මේ දිරුණු ඔසවන ලද අරහත් ධ්වජය රහතුන් විසින් පරිභෝග කරන ලදි. එහෙයින් ඒ වස්ත්‍ර‍ය පූජාවට සුදුසුය.

මේ ආදී ක්‍ර‍මයෙන් ධර්මය දේශනා කරන ලදි. මේ ඇසූ රජතුමා සන්තෝෂව මේ වස්ත්‍ර‍ය දෙන ලද්දේ කවුරුන් විසින් දැයි විචාළේය. ඒ අසා භික්‍ෂූහු, මහරජ, සිව ගමෙහි දිළිඳු ධර්මා ස්ත්‍රියක් ඇත. ඈ විසින් මෙය දෙන ලදැයි කීවාහුය. රජතුමා එය අසා ඇය කැඳවා ඇයට බොහෝ වස්තු දී සිවගම ධර්මාවන්ට බත්ගම කොට දුන්නේය.

එතැන් පටන් ඒ ගම ධම්මසීව ගම යයි ප්‍ර‍සිද්ධ විය. රජතුමා ඇය තමන්ගේ දූ තනතුරෙහි තබා මහත්වූ සම්පත් දුන්නේය. ඕ තොමෝ එතැන් පටන් දන්දී සිල්රැක ආයු කෙළවර ගොස් දෙව්ලොව උපන්නීය.

දිළිඳු ගැහැණියක විසින් සුපේශල සංඝයා වහන්සේට දෙන ලද වස්ත්‍ර‍යාගේ ආනිශංස ආනුභාවය පුදුමයි. ධර්මා තොමෝ ද භවභෝග සම්පත් ලැබුවාය. භික්ෂූහු ද ක්‍ෂීණාශ්‍ර‍වයෝ වූහ.

ධර්මාවගේ කථා වස්තුව නිමි.

✍️ සංස්කරණය - උත්තම තෙරණි වන්දනා - Homage to the Noble Theris

#රහත්_මෙහෙණින්_වහන්සේ #උත්තම_තෙරණි_වන්දනා #ගෞතම_බුදු_සසුන #ලක්දිව_උපාසිකාවන්

Address

Puja Nagaraya
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when උත්තම තෙරණි වන්දනා - Homage to the Noble Theris posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share