11/06/2026
ගුත්තා මහරහත් තෙරණින් වහන්සේ: සිත ජයගෙන නිවන් දුටු අරහත් උත්තමාවිය
ඇය එකම ආත්මයකින් නිවන් මඟ සාක්ෂාත් කරගත් තැනැත්තියක් නොවේ. පෙර වැඩසිටි බුදුවරුන්ගේ කාලයන්හිදී උදාර වූ පින්කම් සිදුකරමින්, සසර පුරා පාරමිතා ධර්මයන් මුහුකුරා ගන්වන ලද පින්වත් ස්ත්‍රියකි. විමුක්තිය උදෙසාම පින් පුරන ලද ඇය, භවයෙන් භවයට සුගතිගාමීව සැරිසරා, මේ භද්‍ර කල්පයෙහි අප තිලෝගුරු ගෞතම බුදුරජණන් වහන්සේ වැඩසිටි සමයෙහි සැවැත් නුවර උසස් බ්‍රාහ්මණ කුලයක උපත ලැබුවාය. ඇයට දෙමාපියන් තැබූ නාමය වූයේ "ගුත්තා" යන්නයි.
ගුත්තා තොමෝ යොවුන් වියට පත්ව කුල සිරිත් අනුව සමකුල තරුණයෙක් හා විවාහ වූවාය. දරුවන් වදා දරුවන් පෝෂණය කරමින් ගෙවෙන අතරතුර සංඝයා වහන්සේලා කෙරෙහි දානාදී පිංකම් කිරීමට යොමු වූවාය. දැන උගත්කම් ලබා, තරුණ වියට පත් ගුත්තාවෝ තොමෝට පෙර සසර පුරුදු කරන ලද කුසල් මුල් (උපනිශ්‍රය සම්පත්) මතු වන්නට විය.
භික්ෂූන් වහන්සේලාගෙන් බණ අසා ලෞකික සැප සම්පත්, ධනය මෙන්ම දරුවන් කෙරෙහි ඇති බැඳීම් සියල්ල අනිත්‍ය බවත්, සසර දුකට හේතු වන බවත් ඇය නුවණින් වටහා ගත්තාය. ගිහිගෙය කෙරෙහි දැඩි කලකිරීමක් ඇති කරගත් ඇය, දෙමාපියන්ගේත් ස්වාමියාගේත් ආශිර්වාදය හා අනුමැතිය ලබාගෙන, මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණින් වහන්සේ වෙත ගොස් මහණ උපසම්පදාව ලැබුවාය.
පැවිදි වූ ගුත්තා මෙහෙණිය වීර්යවන්තව විදර්ශනා භාවනාවෙහි යෙදුණාය. එහෙත් සිත මෙල්ල කරගැනීම ඇයට දැඩි අභියෝගයක් විය. වසර ගණනාවක සිට පැවති සංසාරික පුරුදු නිසා, භාවනා කරන විට ඇගේ සිත එකඟ නොවී, ගිහිකල දරුවන්, නිවාස හා ධන වස්තූන් වැනි බාහිර අරමුණු (රූප, ශබ්ද, ගන්ධ ආදිය) කෙරෙහි නිතර දුවන්නට විය.
භික්ෂුණී ආරාමයේ සිට වීර්‍ය වඩන ගුත්තා මෙහෙණින් වහන්සේගේ සිතේ පවතින මෙම නොසන්සුන් බව සහ ඇය සතු රහත් වීමට ඇති පින (උපනිශ්‍රය) ලොව්තුරු බුදුරජණන් වහන්සේ තම දිවැසින් දුටු සේක. දෙව්රම් වෙහෙරේ ගඳකිළියෙහි වැඩසිටි තුන් ලෝකාග්‍ර බුදු සමිඳුන්, මහා කරුණාවෙන් ඇයට අනුග්‍රහය දක්වනු පිණිස ඍද්ධි ප්‍රාතිහාර්යයක් පෑ සේක. බුදුරජණන් වහන්සේ ඇය ඉදිරියේ බුද්ධ රශ්මි මාලාවක් විහිදුවා, ගුත්තා භික්ෂුණින් වහන්සේ අමතා මෙසේ ධර්මාවවාද දුන් සේක.
ගුත්තෙ යදත්‍ථං පබ්බජ්ජා හිත්‍වා පුත්තං වසුං පියං,
තමෙව අනුබ්‍රෑහෙහි මා චිත්තස්ස වසං ගමි.
"ගුත්තා, ඔබ යම් උත්තරීතර නිවන් අරමුණක් උදෙසා, තමන්ට අතිශයින්ම ප්‍රිය වූ දරුවන් සහ ධන සම්පත් අත්හැර දමා මහණ වූවාද, නිරන්තරයෙන්ම ඒ උතුම් අරමුණම සිහිපත් කරන්න. සිතට වසඟ වී සිත පිටුපස නොයන්න."
චිත්තෙන වඤ්චිතා සත්තා මාරස්ස විසයෙ රතා,
අනෙකජාතිසංසාරං සන්‍ධාවන්ති අවිද්දසු
"තම සිත විසින් රවටනු ලැබූ (අඥාන) සත්ත්වයෝ, මාරයාගේ විෂයයන් වූ පංචකාම සම්පත් කෙරෙහිම ඇලී වෙසෙති. සත්‍යය කුමක්දැයි නොදන්නා ඔවුහු කෙළවරක් නොමැති මේ බියකරු සංසාරයේ නැවත නැවතත් ඉපදෙමින් දුව ඇවිදිති."
කාමච්ඡන්‍දඤ්ච ව්‍යාපාදං සක්කාය දිට්ඨිමෙවච,
සීලබ්බතපරාමාසං විචිකිච්ඡඤ්ච පඤ්චමං.
සඤ්ඤොජනානි එතානි පජහිත්‍වාන භික්‍ඛුනී,
ඔරංභාගමනීයානි නයිදං පුනරෙහිසි.
"කාමච්ඡන්දය (කාම ආශාව), ව්‍යාපාදය (තරහව), සක්කායදිට්ඨිය (ආත්ම දෘෂ්ටිය), සීලබ්බතපරාමාසය (වැරදි වෘත සමාදන් වීම) සහ පස්වැන්න වූ විචිකිච්ඡාව (සැකය) යන සත්ත්වයා පහළ ලෝකවල (කාම ලෝකවල) රඳවා තබන මේ ඕරම්භාගීය සංයෝජන ධර්ම පහ සහමුලින්ම අත්හැර දමන්න. එවිට ඔබ නැවත කිසිදිනක මේ කාම ලෝකයට නොපැමිණෙන්නීය."
රාගං මනං අවිජ්ජඤ්ච උද්ධච්චං ච විවජ්ජිය,
සඤ්ඤොජනානි ජෙත්‍වාන දුක්‍ඛස්සන්තං කරිස්සසි.
"රූප-අරූප රාගය, මානය, අවිද්‍යාව සහ උද්ධච්චය (නොසන්සුන් බව) යන ඉතිරි සංයෝජන ධර්මයන් ද දුරු කර, සසර බැඳීම් සියල්ල ජයගෙන, සියලු දුක් කෙළවර කරන්න."
ඛෙපෙත්‍වා ජාතිසංසාරං පරිඤ්ඤාය පුනබ්භවං,
දිට්ඨෙවධම්මෙ නිච්ඡාතා උපසන්තා චරිස්සසී.
"මේ භයානක සංසාර ඉපදීම කෙළවර කොට, නැවත ඉපදීමක් ඇති වන ආකාරය නුවණින් අවබෝධ කරගෙන, මේ ජීවිතයේදීම තණ්හාව සහමුලින්ම ක්ෂය කර, පරම සන්සුන් වූ නිවන් සුවයෙන් යුතුව වාසය කරන්න."
භාග්‍යවත් බුදුරජණන් වහන්සේගේ මෙම මහා ප්‍රාතිහාර්ය සම්පන්න අවවාද ශ්‍රවණය කරද්දීම, ගුත්තා මෙහෙණියගේ සිත දැඩි එකඟතාවයකට පත් විය. ඇය ක්ෂණයකින් විදර්ශනා ඥානය උපදවා, සියලු ආශ්‍රවයන් ක්ෂය කරමින්, සිව්පිළිසිඹියා (පටිසම්භිදා) සහිත මහරහත්භාවයට පත් වූවාය!
ලොව්තුරු සුවය ලැබූ ගුත්තා මහරහත් තෙරණින් වහන්සේ, බුදුරජණන් වහන්සේ තමන්ට දේශනා කළ ඒ උතුම් ගාථා රත්නයන්ම තමන් වහන්සේගේ ජීවිත අත්දැකීම ලෙස, උදානයක් වශයෙන් නැවත වදාළ සේක.
සිතේ නොසන්සුන් බව මැඬගෙන, බුදු වදනෙහි පිහිටා අරහත්ත්වයට පත් වූ ගුත්තා මහරහත් තෙරණින් වහන්සේගේ චරිතය සදාතනික ධර්ම ආලෝකයකි. නිවනින් සැනසුන ඒ අරහත් ගුත්තා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
#ගුත්තා_තෙරණිය #උත්තම_තෙරණි_වන්දනා #බුදු_සසුන #බුද්ධ_කාලයේ_භික්ෂුණින් #රහත්_තෙරණින්_වහන්සේලා