17/09/2026
සානු සාමනේර වහන්සේගේ ඤාති ප්‍රේතයන්ගේ කථා වස්තුව
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාම මහා විහාරයේ වැඩ වසන සමයෙහි, ආයුෂ්මත් සානුවාසී ස්ථවිරයන් වහන්සේගේ ඥාති ප්‍රේතයන් පිරිසක් අරභයා මේ ධර්ම දේශනාව වදාරා වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර කිතවස්ස නම් රජ කෙනෙකු රාජ්‍යය කරවන සමයෙහි, ඒ රජුගේ පුත්‍රයා තරුණ මදයෙන් හා රාජ ඌෂ්ණයෙන් මත්ව කටයුතු කළේය. දිනක් මොහු උයන්කෙළි කෙළ අවසානයේ ආපසු නගරයට එන්නේ, සුනෙත්ත නම් වූ අතිපූජනීය පසේබුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ හැසිර නගරයෙන් නික්ම වඩිනු දුටුවේය. අඥානකමිනුත්, බලකාමයෙන් සහ රාජ ඌෂ්ණයෙනුත් මත්ව සිටි මේ රාජකුමාරයා, "මේ හිස මුඩු කරගත් තැනැත්තා මට ප්‍රණාමය නොකොට මා පසුකර යන්නේ ය" යි සිතා, අතිශය නපුරු වූත්, ද්වේෂසහගත වූත් සිතින් ඇතු පිටින් බැස්සේය.
"කිම? ඔබ විසින් පිණ්ඩපාතය ලබන ලදද?" යි මහත් අවඥාවෙන් කියමින්ම, උතුම් වූ පසේබුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තිබූ පාත්‍රය උදුරා ගෙන මහා පොළවේ ගසා බිඳ දැමුවේය. සකල ලෝකයේම ලාභ අලාභ, යස අයස හමුවේ නොසැලෙන අසංඛත සිතක් ඇති ඒ සුනෙත්ත පසේබුදුරජාණන් වහන්සේ, කිසිදු වෙනසක් හෝ කෝපයක් නොකොට, අසීමිත වූ මහා කරුණාවෙන් හා සෞම්‍ය වූ සොම්නස් සහගත නෙත් හෙළා, අතිශය පහන් සිතින් යුතුව ඒ අඥාන කුමාරයා දෙස බලන සේක.
එසේ බලද්දීත් තමන් කළ පාපයේ තරම නොදත් ඒ රාජකුමාරයා, නිකරුණේ උපදවා ගත් මහත් ක්‍රෝධයෙන් යුක්තව, "මා කිතවස්ස රජුගේ පුතා බව ඔබ නොදන්නේ ද? ඔබ මා දෙස මෙසේ බලා කුමක් කරන්නද?" යි කියමින් බලවත් ලෙස අවමන් කොට නික්ම ගියේය. නමුදු, පසේබුදුරජාණන් වහන්සේට කළ ඒ මහා අකුසල කර්මය එසැණින්ම විපාක දෙන්නට විය. හෙතෙම එතැනින් පිට වූ ඇසිල්ලේම, අවීචි මහා නරකයේ ගිනිදැල් ශරීරයේ වැදුනාක් මෙන් මුළු ශරීරය පුරාම දරාගත නොහැකි බලවත් දැවිල්ලක් හටගත්තේය. හෙතෙම ඒ මහා සන්තාපයෙන් මැඩුණු ශරීර ඇත්තේ, ඉතා දැඩි දුක් වේදනාවන්ගෙන් මිරිකී එතැනම කළුරිය කොට, මහත් වූ අවීචි මහා නරකයෙහි ගොස් උපන්නේය.
ඒ පාපකාරී කුමාරයා අවීචි මහා නරකයේ ඉපිද, දකුණු පසින් ද, වම් පසින් ද, උඩුකුරුව හා යටිකුරුව ද ගිනිදැල් මැද පෙරළෙමින්, අසූහාරදහසක් වර්ෂ මුළුල්ලෙහි අතිදරුණු නරක දුක් වින්දේය. එයින් චුතව, ප්‍රේතයෙකුව ඉපිද අසීමිත කාලයක් අතිශය දරුණු වූ සාපිපාසා ආදී ප්‍රේත දුක් අනුභව කළේය.
එයින් චුත වූ ඒ ජීවියා, අපගේ ගෞතම බුද්ධෝත්පාද කාලයෙහි කුණ්ඩිනගරය සමීපයේ පිහිටි ධීවර ගම්මානයක ධීවරයෙකුගේ පුතෙකුව උපන්නේය. පූර්ව ජාතීන්හි කළ අපරාධ හා විඳි අතිදරුණු දුක් සිහිවීමේ ජාතිස්මරණ ඥානය මොහුට පහළ විය. එහෙයින් හෙතෙම පෙර තමන් විසින් නරකයේ හා ප්‍රේත ලෝකයේදී විඳින ලද අතිදරුණු දුක් සිහි කරමින්, තරුණ වියට පැමිණියේ නමුත් පවට ඇති බලවත් බිය නිසාම නෑයන් සමඟ මසුන් ඇල්ලීමට නොගියේය. නෑයන් මසුන් මැරීමට යන කල්හි ඔහු සතුන් මරන්නට ඇති අකමැත්ත නිසා සැඟවී සිටියේය. මසුන් අල්ලන දැල් කපා දැමීය; අසු වූ ජීවත්වන මසුන් ගෙන ගොස් නැවත දියට දැමීය. ඔහුගේ මේ පපුව උණුකරන, නමුදු ධීවර නෑයන්ට නොරුස්නා ක්‍රියාවන් නිසා කෝපයට පත් නෑයෝ ඔහුව ගෙයින් එලවා දැමූහ. එහෙත් ඔහුගේ එක් සහෝදරයෙක් පමණක් මොහු කෙරෙහි ස්නේහයෙන් හා සතුටු සිතින් යුක්ත විය.
එසමයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කුණ්ඩි නුවර ඇසුරු කොට සානුවාසී පර්වතයෙහි වාසය කරති. නෑයන් විසින් අත්හරින ලදුව, අසරණව ඔබ මොබ සැරිසරන ඒ ධීවර පුත්‍රයා ඒ ප්‍රදේශයට පැමිණ, ආහාර වේලාවෙහි ආනන්ද තෙරුන් වහන්සේ සමීපයට ගියේය. තෙරුන් වහන්සේ ඔහුගෙන් තොරතුරු විචාරා, ආහාර අවශ්‍යව ඇතැයි දැන ඔහුට බත් දී, අනුභව කිරීමෙන් පසුව ඔහුගේ සියලු පූර්ව ප්‍රවෘත්තිය දැනගත් සේක. ධර්ම කථාවෙන් ඔහු පැහැදුන බව දැන "පැවිදිවන්නට කැමැත්තේ දැ?" යි ඇසූ සේක. "එසේය ස්වාමීනි, පැවිදි වන්නෙමි" යි කී කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඔහුව පැවිදි කොට, භාග්‍යවතුන් වහන්සේ සමීපයට කැඳවාගෙන ගියහ.
එවිට ශාස්තෲන් වහන්සේ ආනන්ද තෙරුන්ට මෙසේ වදාළහ: "ආනන්දය! මේ තෙරණට අනුකම්පා කරව! හේ පූර්වයේ නොකරන ලද කුසල් ඇත්තෙකු බැවින් අල්පලාභී වෙයි." ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට අනුග්‍රහ කරනු පිණිස, භික්ෂූන් වහන්සේලාගේ පරිභෝගය සඳහා පැන් කළ පිරවීමෙහි ඔහුව යෙදවූ සේක. එය දුටු සැදැහැවත් උපාසකවරු ඔහුට නිතිපතා බත් පූජා කළහ.
ඒ සාමණේරයන් වහන්සේ ඉන්පසු කලෙක උපසම්පදාව ලබා, නිරවුල් නුවණින් යුතුව වීර්යය වඩා, සකල ක්ලේෂයන් නසා අර්හත්භාවයට පැමිණ, භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් සමඟ සානුවාසී පර්වතයෙහි වැඩ විසූහ.
ඒ සානුවාසී තෙරුන්ගේ පෙර ඥාතීන් පන්සියයක් පමණ දෙනා ද, නොකළ කුසල් දහම් ඇත්තෝව, මසුන් මැරීමාදියෙන් රැස්කළ මහා පව් ඇත්තෝව, කළුරිය කොට ප්‍රේත ලෝකයෙහි උපන්නාහුය. උන්වහන්සේගේ දෙමව්පියෝ "අප විසින් මෙතෙම පෙර ගෙයින් නෙරපන ලද්දේය" යන්න සිතා ලජ්ජාවෙන් තෙරුන් වෙත නොඑළඹ, උන්වහන්සේ කෙරෙහි පෙර ස්නේහය දැක්වූ සහෝදර ප්‍රේතයාව යැවූහ.
හෙතෙම තෙරුන් වහන්සේ ගමට පිඬු පිණිස වැඩිය කල්හි, දකුණු දණමඩල පොළවේ තබා, ඇඳිලි බැඳ තමන් තෙරුන්ට දැක්වූයේය.
මේ පූර්වාපර සම්බන්ධතාවය දක්වනු පිණිස ධර්ම සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් මුලින්ම ගාථා පහක් මෙසේ දක්වන ලදී:
කුණ්ඩී නම් වූ නුවර ඇසුරු කොට, සානුවාසී පර්වතයෙහි වසන්නා වූ, පොට්ඨපාද නමින් හඳුන්වන, වඩනා ලද ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ඇති එක්තරා ස්ථවිර නමක් වූයේය.
ඒ තෙරුන්ගේ මව් ද, පියා ද, සහෝදරයා ද දුගතියට පත්ව ප්‍රේත ලෝකයෙහි උපන්නාහුය. මෙලොව දී අකුසල් පව්කම් කොට මෙයින් චුත වී ප්‍රේත ලෝකයට ගියාහුය.
දුප්පත් වූ, ඉදිකටු මූණ බඳු රූක්ෂ වස්ත්‍රාදිය ඇති, ක්ලාන්ත වූ ශරීරයෙන් හා සිතින් යුක්ත වූ, නග්නව සිටින, ඒ තෙරුන්ට ඇති බියෙන් තැතිගත්, නිතර මහත් බිය ඇති දරුණු පව්කම් කළා වූ ඒ ප්‍රේතයෝ තමන් තෙරුන්ට නොදක්වති.
ඒ තෙරුන්ගේ සහෝදරයා බියෙන් දුරුව, නිර්වස්ත්‍රව එක් පදික මාර්ගයක තනිව සතරගාතයෙන් යන්නෙක්ව, අත්දෙකින් හා දණහිස් දෙකින් පොළව ඇන තෙරුන් වහන්සේට තමන් දැක්වීය.
තෙරුන් වහන්සේ ද මෙනෙහි නොකොට නිශ්ශබ්දව වැඩියේය. එවිට ඒ ප්‍රේත තෙමේ "මම ඔබගේ සහෝදරයා වෙමි. ප්‍රේත ආත්මයට පැමිණියෙමි" යි තෙරුන්ට කීය.
ප්‍රේත තෙමේ තවදුරටත් මෙසේ කීය:
"ස්වාමීනි! ඔබගේ මව්පියෝ පෙර මිනිසත් බවේ දී පව්කම් කොට, දුගතිය වූ යමලෝකයයි වහරන ප්‍රේතලෝකයේ උත්පත්තියට ගියහ.
ඔව්හු ඉතා දුප්පත් වූහ. ඉදිකටු මෙන් රළු වස්ත්‍ර හඳිති. නග්න වූහ. බඩගින්න නිසා ක්ලාන්ත වූවෝය. ක්‍රෑර වූ කර්ම ඇත්තෝය. ඔබ කෙරෙහි මහත් බියක් ඇති හෙයින් ඔබ දක්නට නොඑන්නාහ.
කාරුණික වූ ඔබ වහන්සේ අපට අනුකම්පා කරනු මැනව. දන් දී අපට පින් අනුමෝදන් කළ මැනව. ඔබ විසින් දෙනු ලබන දානයෙන් ක්‍රෑර කර්ම ඇති අපි යැපෙන්නෙමු; දුකින් මිදෙන්නෙමු."
එය අසා ස්ථවිර තෙමේ යම්සේ පිළිපදින්නට සුදුසු ද ඒ පිළිවෙත දක්වමින්, කටයුතු කළ සේක:
ස්ථවිරයන් වහන්සේ ද අනෙක් භික්ෂූන් දොළොස් නම ද පිඬු පිණිස හැසිර, දන් වැළඳීම නිමිති කොට එකට රැස්වූහ.
ස්ථවිරයන් වහන්සේ "ඔබලාට යම් යම් ලද දානයක් වේ නම් එය මට දෙනු මැනැවි. නෑයින්ට අනුකම්පා පිණිස සංඝික බතක් කරන්නෙමි" යි අනෙක් සියලු භික්ෂූන්ට කීහ.
අනෙක් තෙරවරු ස්ථවිරයන්ට තමන් ලද භෝජන බාර කළහ. ස්ථවිර තෙමේ මහා සංඝයාට ආරාධනා කළේය. ස්ථවිර තෙමේ සංඝයාට දන් දී, "මවට ද, පියාට ද, සහෝදරයාට ද, මාගේ නෑයින්ට මේ පින අත්වේවා! නෑයෝ සුවපත් වෙත්වා!" යි පින් පැමිණවීය.
පින් පැමිණවීමට අනතුරුව පවිත්‍ර වූ, ප්‍රණීත වූ, මිහිරි වූ නොයෙක් රස මසවුලෙන් යුත් දිව්‍ය භෝජන ප්‍රේතයන්ට පහළ විය. ඉන්පසුව සහෝදරයා මනහර වර්ණවත් වූයේ, ශක්තිමත් වූයේ, සුවපත් වූයේ තමන් තෙරුන්ට දැක්වීය.
"ස්වාමීනි! පිටිපස බලනු මැනැවි. බොහෝ වූ දිව්‍ය භෝජන ලදී. එහෙත් අපි නග්නයෝ වෙමු. ස්වාමීනි, යම් කිසි අයුරකින් අපට වස්ත්‍ර ලැබෙන්නේ නම්, එසේ උත්සාහ වඩනු මැනැවි."
ස්ථවිර තෙමේ ඉවත දමන ලද රෙදි කැබලි කුණු ගොඩින් අහුලාගෙන විත්, වස්ත්‍රයක් කොට සකසා, සිව් දිගින් වඩින මහා සංඝයා උදෙසා සාංඝිකව පිරිනැමීය.
ස්ථවිර තෙමේ රෙදි දන් දී, මවට ද, පියාට ද, සහෝදරයාට ද "මේ පින් මගේ නෑයින්ට අත්වේවා! ඔව්හු සුවපත් බවට පැමිණේවා!" යි පින් දුන්නේය.
පින් පැමිණවීමට අනතුරුව දිව්‍යමය වස්ත්‍රයෝ ලැබුණහ. ඉන්පසුව යහපත් වස්ත්‍ර හැඳ තමන් තෙරුන් වහන්සේ ඉදිරිපිට දැක්වීය.
"නන්ද රාජයාගේ රටෙහි යම් පමණ වස්ත්‍රයෝ වේ ද, ස්වාමීනි, ඊට වඩා බොහෝ වස්ත්‍රයෝ අපට ඇත්තාහ.
කෝසෙය්‍ය වස්ත්‍ර, කම්බිලි ද, කොමු පිළි හා කපු පිළි ද, දිග පළලින් මහත් වූ වස්ත්‍රයෝ අහසෙහිම එල්බෙති.
අපි ඒවා පරිහරණය කරමින්, අපේ හිතට යම් වස්ත්‍රයක් ප්‍රිය මනාප වේ ද, අපි එය හැඳ පොරවන්නෙමු. ස්වාමීනි, අපට යම් අන්දමකින් ගෙයක් ලැබේ නම් ඒ සඳහා උත්සාහ කරනු මැනවි."
ස්ථවිර තෙමේ කොළවලින් ගෙයක් (පණ්ණකුටියක්) කොට, සිව් දිගින් වඩින මහා සංඝයාට පූජා කළේය. එසේ පූජා කොට මවට, පියාට හා සහෝදරයාට පින් අනුමෝදන් කළේය: "මා විසින් කරන ලද මේ පුණ්‍යකර්මය මගේ ඥාතීන්ට අනුමෝදන් කරමි. මගේ ඥාතීහු සුඛී සුවපත් වෙත්වා!"
පින් අනුමෝදන් කිරීමට අනතුරුවම මහා නිවාස ලැබිණි. බෙදන ලද කොටස් වශයෙන් (කාමර වශයෙන්) කුළු ගෙවල් සහිත අලංකාර ගෙවල් පහළ විය.
"මේ ප්‍රේත ලෝකයෙහි අපගේ ගෙවල් යම්බඳු වේ ද, එවැනි ගෙවල් මිනිසුන් අතර ද නොවෙති. දෙව්ලොව ප්‍රාසාදයෝ යම්බඳු වී ද, එමෙන්ම මේ ගෙවල් ඉතාමත් දිලිසෙමින් හාත්පස සිව් දිශා බබළවති. ස්වාමීනි! යම්කිසි විධියකින් අපට පැන් ලැබෙන්නේ ද, ඒ සඳහා උත්සාහ ගන්නා මෙන් අයැද සිටිමු."
ස්ථවිර තෙමේ ඩබරාව පැන් පුරවා, සිව්දිගින් වඩින මහා සංඝයාට පූජා කළේය. ස්ථවිර තෙමේ පැන් පූජා කොට මවට, පියාට හා සහෝදරයාට ඒ පින් අනුමෝදන් කළේය: "මගේ ඥාතීහු මේ පින් අනුමෝදන්ව සැපවත් බවට පැමිණේවා!"
පින් දීමෙන් අනතුරුව අතිශය සිහිල් වූ පැන් පොකුණු පහළ විය. ගැඹුරු වූ සතරැස් පොකුණු පහළ විය.
ඒ පොකුණු සුදු වැලිතලායෙන් හා සිහිල් ජලයෙන් යුක්ත විය. යහපත් තොටුපළවල් විය. එහි සිහිල් ජලය මනා සුවඳින් යුක්ත වූ අතර ජල මතුපිට හෙළ පියුම් ආදී මල් රේණු ඉසිරී පැවතුනි.
එහි නා පැන් බී තෙරුන්ට දැක්වූහ: "ස්වාමීනි! බොහෝ වූ පැන් පහළ විය. නමුදු අපගේ පාදයෝ දුකින් පැලෙති.
ගල් කැට ඇත්තා වූ ද, කටු ඇත්තා වූ ද ප්‍රදේශයන්හි ඇවිදින්නාහු කොරගසමින් යමු. ස්වාමීනි! යම්සේ වාහනයක් ලබමු ද, එයට උත්සාහ කරනු මැනවි."
ස්ථවිර තෙමේ එක්තට වහන් සඟලක් ලැබ, එය සිව් දිගින් වඩින මහා සංඝයාට පූජා කොට ඒ පින් අනුමෝදන් කළහ.
පින් අනුමෝදන් කිරීමෙන් පසුව එම ප්‍රේතයන්ට මනහර වූ දිව්‍ය රථයක් පැමිණියේය.
"ස්වාමීනි! ඔබ වහන්සේට යහපතක් වේවා! ආහාර දීමෙන් ද, වස්ත්‍ර දීමෙන් ද, පැන් දීමෙන් ද, ගෙවල් දීමෙන් ද, වාහන දීමෙන් ද අපට මහත් සේ අනුකම්පා කරන ලදී. ස්වාමීනි! ලෝකයෙහි පරම කරුණාසම්පන්න වූ භික්ෂූන් වහන්සේ නමක් වූ ඔබ වහන්සේ වැඳීමට පැමිණියෙමු" යි කියමින් ඒ ප්‍රේතයෝ ගාථාවන් පැවසූහ.
පසුව සානුවාසී ස්ථවිරයන් වහන්සේ රජගහනුවරට වැඩම කොට, මේ සකලවිධ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට සැළකළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන, "මහණෙනි, මේ සානුවාසී තෙරණුවෝ පෙර ඉතා ඈත අතීතයේ ආත්ම භාවයක දී ද ප්‍රේතයෙකු වී ඉපිද මහා දුක් අනුභව කළේ ය" යි වදාරා, තෙරුන් විසින් යාඥා කළ කල්හි, සානුවාසී ප්‍රේත වස්තුව උදෙසා මට්ටකුණ්ඩලී ප්‍රේත වස්තුව (සුත්ත ප්‍රේත වස්තුව) වදාරා, පැමිණ සිටි මහා පිරිසට ධර්මය දේශනා කර වදාළ සේක.
ඒ රමණීය මධුර ධර්ම දේශනාව ශ්‍රවණය කළ මහා ජනයා, පවට ඇති බියෙන් හදවත්හි මහා සංවේගයක් උපදවා ගෙන, අප්‍රමාදීව දාන, ශීල, භාවනා ආදී සකලවිධ පුණ්‍යකර්මයන්හි මහත් ශ්‍රද්ධාවෙන් නිරත වූහ.
ඛුද්දක නිකායේ පේතවත්ථු අට්ඨකතාවේ සඳහන් සානුවාසික ප්‍රේත වත්ථු වර්ණනාව නිමාවට පත් විය.
#අරහත්_අරණ #සිහලවත්ථු #අපදාන #ථේරගාථා #අට්ඨකතා #ථේරිගාථා #ගෞතම_බුදුසසුන #ධම්මපදකතා #අටුවා #පේතවත්ථු #උත්තම_තෙරණි_වන්දනා #විමානවත්ථු #රහතන්වහන්සේලා #බුද්ධකාලයේ_භික්ෂූන්