04/03/2024
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මහ රහතන් වහන්සේලා 500 නමකගේ ද සහභාගීත්වයෙන්
ශාසන ඉතිහාසයේ ප්‍රථම සංගායනාව රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයෙහි මෙම සප්තපර්ණී ගුහාද්වාරයහි දී අජාසත් රජුගේ රාජඅනුග්‍රහයෙන් සිදු විය. (මෙම සංගායනාවට පංචසතිකා සංගීති යැයි ද කියනු ලැබේ.)
සත් මසක් පුරා පැවති මෙම ධර්ම සංගායනාවේදි උපාලි හිමියන්ගෙන් පළමුව විනය ප්‍රශ්න විචාළහ. නිදාන, පුග්ගල, වස්තු, ප්‍රඥප්ති,අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති යනාදී විස්තර සහිතව භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ ශික්ෂා පද සියල්ලම පුච්ඡා-විසර්ජන ක්‍රමයෙන් විනය සංගායනා කළහ. අනතුරුව, ධර්මය සංගායනා කළහ. ප්‍රශ්නෝත්තර ක්‍රමය මේ සඳහා යොදා ගත්හ. ආනන්ද මහරහතන් වහන්සේ ලවා පංචනිකායම සංගායනා කළහ. සුත්‍ර පිටකය හා අභිධර්මය මෙහිදී සංගායනාවට භාජනය විය.
ඛුද්දානුඛුද්දක ශික්ෂාපද පිළිබඳව සාකච්ජා කළහ. සංගායනාවෙන් පසුව ඡන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩය පැනවීම ද සිදු විය.
ආනන්ද මහරහතන් වහන්සේට එරෙහිව චෝදනා 5ක් සංගීතිය අවසානයේ එල්ල විය.
1.ඛුද්දානුඛුද්දක ශික්ෂා පද බුදුන්ගෙන් නොවිචාරීම.
2.බුදුරදුන්ගේ වැසි සළුව පයින් මැඩ ගෙන මැසීම.
3.බුද්ධ ශරීරය පළමුව කාන්තාවන් ලවා වැන්ද වීම.
4. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන බව අඟවන විට ආයුෂ් කල්පයක් ජීවත් වන ලෙසට බුදුන් වහන්සේට ආරාධනා නොකිරීම.
5.තථාගත ශාසනයේ ස්ත්‍රීන්ට පැවිද්ද ලබා දීමට උත්සාහවත් වීම.
යන චෝදනා 5 උන්වහන්සේ වෙත පැන නැගූ නමුත් එක් එක් වශයෙන් ගෙන ආනන්ද මහරහතන් වහන්සේ නිදහසට කරුණු දැක්වූහ.
තවද මෙම සංගායනාවේ ප්‍රතිඵල ලෙස එක් එක් ධර්ම කොටස් භික්ෂු පරම්පරාවන්ට ආරක්ෂා කොට පවත්වා ගෙන යාම සඳහා පැනවීම ද සිදුවිය.
* දීඝ නිකාය- ආනන්ද හිමි ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට
* සංයුත්ත නිකාය- මහා කාශ්‍යප හිමි ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට
* අංගුත්තර නිකාය -අනුරුද්ධ හිමි ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට
* මජ්ඣිම නිකාය- සැරියුත් හිමි ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට (මේ වන විට සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් වදාරා ඇත)
* ඛුද්දක නිකාය -සියලුම භික්ෂූන් වහන්සේලා එක්ව මුඛ පරම්පරාගතව
* අභිධර්ම පිටකය - පෙර සේ සියලු භික්ෂුන් වහන්සේලා එක්ව ද
ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද වෙනස් නොකර සිටිමු යි සම්මුතියකටද එලඹිනි. මෙවැනි කරුණු කාරනා රාශියකින් ශාසන චිරස්ථිතියේ අත්තිවාරම වැටිණි.
අද වන විට "ඒවං මේ සුතං ඒකං සමයං භගවා" යනුවෙන් ආනන්ද මහරහතන් වහන්සේ ගේ අභීත සීහ නදින් වා තලයට මුදා හල උතුම් සඳහම් ස්පර්ශය ලත් මෙම සප්තපර්ණී ගුහා ගර්භය නෙත ගැටෙන්නට වුවද අප පුණ්‍යවන්තවන්ත වී ඇත.
✍️Thembuththegama Nigrodhawanshathero