නාකන්දේ අපේ පන්සල -''Sri Sudharmaramaya nakanda''

  • Home
  • Sri Lanka
  • Ahangama
  • නාකන්දේ අපේ පන්සල -''Sri Sudharmaramaya nakanda''

නාකන්දේ අපේ පන්සල -''Sri Sudharmaramaya nakanda'' ස්වාර්ථය පසෙකලා පරාර්ථය උදෙසා කැපවන්නන්ගේ කෙම්බිම

14/04/2023
කප්රුක් පූජාවේ අනුසස්කප්රුක් යනු සිතූ පැතූ සම්පත් ලබාදෙන කප්රුක යන අදහසයි. එබැවින් මෙම උතුම් කප්රුක් පූජාවේ ආනිශංස අනන්ත...
20/11/2022

කප්රුක් පූජාවේ අනුසස්

කප්රුක් යනු සිතූ පැතූ සම්පත් ලබාදෙන කප්රුක යන අදහසයි. එබැවින් මෙම උතුම් කප්රුක් පූජාවේ ආනිශංස අනන්තයි අප්‍රමාණයි.
අෂ්ඨපරිෂ්කාර පූජාව යනු අටමහා කුසල් ගණයට අයත් වන එවන් උතුම් පූජාවකි. මෙම උතුම් පූජාවන් පැවැත්වීමේ දී විශේෂයෙන් පූර්වාත්මයේ අකුසල් හා මේ ආත්මයේ අකුසල් දුරු කිරීමේ ආනුභාවයක් පවතී. එසේම බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන ආකාරයට එදා රාජරාජ මහාමාත්‍යාදීන් පවා මෙම උතුම් පූජා පවත්වා ශාසනයට උදාර මෙහෙවරක් ඉටුකළ බව ප්‍රකටව ඇත.
මෙම කප්රුක් පූජා පැවැත්වීමේ දී චෛත්‍යරාජ්‍යයාණන් වහන්සේගේ ගර්භය වටා දීර්ඝ චීවර කප්රුක් පළන්දා අෂ්ඨ පරිෂකාර ඇතුළු විවිධ පූජාවන් පවත්වා ඉතා උත්කර්ශවත් අන්දමින් චිරාගත සම්ප්‍රදායන් අනුව කටයුතු කළ බව සඳහන් වේ. ඒ අනුව වර්තමානයේ ද මෙම උතුම් පූජාවන් විශේෂයෙන් උඳුවප්, නිකිණි, බිනර මාසයන්හි උත්කර්ෂවත් අන්දමින් වෙහෙර විහාරස්ථානයන්හි පවත්වන බැව් පෙනී යන කරුණකි.
කප්රුක් පූජාව අර්ථවත් කරමු
කප්රුක යනු සිතූ පැතූ සම්පත් ලබාදෙන මහා කල්ප වෘක්ෂය ලෙසින් බොහෝ දෙනෙකු දන්නවා. ඒ කප්රුක දෙව්ලොව තිබෙන්නක් බවත් එය ආසන්නයට ගොස් තමන් සිතූ පැතූ දෑ ප්‍රාර්ථනා කල විට එම වෘක්ෂයෙන් ඒ ඒ දෑ ලැබෙන බව තමයි විශ්වාසය.
මෙය සංකේතවත් කරවන සුවිශේෂ කප්රුක් පූජාව නිර්මාණය කොට අදත් විහාරස්ථානවල කඨින පූජෝත්සව කාලයන්හිදී ඇට්ටේරියා ශාඛයක් හෝ අඹ අත්තක් හෝ තබා තිබෙනවා ඔබ දැක ඇති. එහිදී ඔබ පන්සලට අවශ්‍ය කරන ද්‍රව්‍ය බොහෝමයක් මේ කප්රුකෙහි එල්ලා හෝ ඒ අසලින් තබා ශාසනික පූජාවන් කරන්නට කටයුතු කරනවා... එහෙම නේද?
ඉතින් මේ කප්රුක් පූජාව අර්ථවත් අන්දමින් නිර්වාණ ශාන්තිය උදාකරගැනීම පිණිස කුසලයක් වැඩෙන ආකාරයෙන් කිරීම ප්‍රඥාව වැඩීමට හේතුවක් වන නිසා මේ සටහන ගොනු වෙන්නේ මේ පූජාව අර්ථවත්ව කරගැනීමට සිත පැවැත්විය යුත්තේ කෙසේද යන්න සරලව කෙටියෙන් විග්‍රහ කරගැනීමටයි.
කප්රුක යනු සිතූ පැතූ සම්පත් දෙන්නාවූ ශාකයක් බව මුලින්ම සිහිපත් කරගත්තානේ. ඉතින් මේ සිතූ පැතූ සම්පත් දෙන ඒ සුවිශේෂී කප්රුක නියෝජනය කරලා තමයි අප විසින් නොයෙක් ආකාරයේ ශාකයන් භාවිතා කරමින් කප්රුක් පූජාවන් කරන්නේ එහෙම නේද?
ඉතින් කප්රුක් පූජාවන් සිදුකරන විට ඔබට මේ ආකාරයට සිහිපත් කරගැනීමට හැකිනම්;
“මම මේ පූජාවන් කරන්නේ මට සිතූ පැතූ සම්පත් දෙන ශාකයකටයි, මම සිතන්නේ යමක්ද එය ලැබීමට මා කරන ප්‍රාර්ථනය හේතුවෙනවා. මේ පූජාව තුලින් ඒ තත්වයන් ලැබීමට තරම් ප්‍රබල පුණ්‍ය ශක්තියක් මට රැස්වෙනවා... මා හිසට වහලක් පැතුවොත් නිවසක් හිමිවේවි... වාහනයක් පැතුවොත් වාහනයක් ලැබේවි... බඩු භාණ්ඩ පැතුවොත් ඒවා ලැබේවි... ඒ ආකාරයට මා සිතන්නේ යමක්ද එය ලබාදීමට තමයි මේ ලෝකයේ කප්රුක පහල වෙලා තියෙන්නේ. මේ වගේ පැතුම් මම කොතෙක් නම් පතන්නට ඇතිද?
මේ ආකාරයට සිතූ පැතූ සම්පත් මට ලැබේවා යන පැතුම පතමින් මේ අනන්ත සසර පුරාවට හිඟන්නෙක් වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයන්ම පතමින් ඉල්ලමින් සිඟමින් මම කොතරම් නම් දීර්ඝ ගමනක් ආවද? මේ විදියට සැබෑම කල්ප වෘක්ෂය අභියසදීත් මම කොතරම් නම් මේ ආකාරයේ පැතුම් පතන්නට ඇතිද? ඒ පැතුම් ඉටුවෙලා ඒ සැපසම්පත් ලබන්නට ඇතිද? දැනුත් ඒ දේම කිරීම කොතරම් සුදුසුද?
අති දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන අතිදුර්ලභ ශාසනයක ඉපදෙන්නට තරම් වාසනාවන්තකමකුත් ලබාගෙන නිවීම පිණිස ධර්මයක් ශ්‍රවණය කරන්නට හෝ මේ ආකාරයට කියවන්නට තරම්වත් භාග්‍යවන්තභාවයකුත් තබාගෙන ඒවා මඟ හරිගනිමින් මේ ආකාරයට තව තවත් පැතුම් පතනවා නම් මාගේ ඇති ප්‍රඥාවන්තභාවය කුමක්ද? මා බුදු පියාණන්වහන්සේ සැබෑ ශ්‍රාවකයෙක් විය හැකිද? ශ්‍රාවකභාවයට පත්වන්නට උත්සාහකරන්නෙක්වත් විය හැකිද? නැත!
අද මා මෙසේ පූජා කරන්නේ කප්රුකයි. එනම් මේ සසරක් පුරාවට මට සිතූ පැතූ සම්පත් ලබාදෙමින් මා මොහොතක ආශ්වාද මුලාවකට රඳවන්නට සමත්වූ අවිද්‍යා සහගත පැතුම් පැතූ මමත්වයම අද මා මෙසේ තෙරුවණ ඉදිරියේ අතහැර දමනවා. ඒ කප්රුකම ශාසනය උදෙසා පූජා කරනවා. එතැන් පටන් මට තවත් නම් පැතුම් පතන්නට කප්රුකක් මේ ලොව තුල නැති බව වටහාගන්නවා. ශාසනික වස්තු පරිහරණය මට හිමි දෙයක් නොවන බැවින් ඒ කප්රුක කෙරෙහි අංශු මාත්‍ර හෝ ආශාවක් ඇලීමක් බැඳීමක් නොමැතිවම මේ මොහොතේ මා විසින් අතහැර දමනවා.
හිඟන්නෙක් වගේ මට මේවා ලැබේවා අරවා ලැබේවා යාන වාහන ගෙවල් දොරවල් ලැබේවායි පතමින් නොදැනුවත්වම ඇසට රූප පතමින්, කණට ශබ්ද පතමින්, නාසයට ගන්ධ පතමින්, දිවට රස පතමින්, කයට ස්පර්ශ පතමින්, මනට ධර්මයන් පතමින් රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන්නාවූ පංච ස්කන්ධයටම ඇලෙමින් එයම සිඟමින් ආ සසර ගමන මෙතෙකින් අවසන් කරගැනීමටම මේ අතහැරීම අවබෝධයෙන් යුතුව උපකාර කරගන්නවා!!!
පැතුවේ නැතත් ඔබට අවබෝධයෙන් යුතුව මේ අතහැරීම කල හැකි නම් එයින් සකස් වන කුසල ශක්තිය අනන්තයි අප්‍රමාණයි. ඒ වාගේම තමයි මේ කප්රුකට එල්ලා හෝ එහි අභියස හෝ ශාසනික වශයෙන් පරිහරණය කල හැකි යමක් තබා ශාසනික වශයෙන් ඵල ප්‍රයෝජනයට ගත හැකි යමක් පූජා කොට ලබන පුණ්‍ය ශක්තියත් ඒ තුල නැවතත් අතහැරීමේ ගුණය වඩමින් වැඩෙන කුසල ශක්තියත් නිවන් සුව ලැබීම පිණිස නොඅඩුවම හේතු උපකාර වෙනවා.
ඉතින් තවත් කෙනෙකුට ගැටලුවක් නැඟෙන්නට හැකියි චෛත්‍යයක් වටා පළඳවන්නට යෙදෙන වටතිර පූජාවට කප්රුක් පූජාව යැයි නම් කියන්නේ ඇයිදැයි... ඉතින් මට හැඟෙන ආකාරයට නම් චෛත්‍යයක ගර්භය තුලින් අදහස් කරන්නේ ධර්මස්කන්ධයයි.... එතැනින් ඉහළට ක්‍රමයෙන් නිර්වාණය කරා ගමන් මඟ තමයි අර්ථවත් කරන්නේ. ධර්මස්කන්ධය වට කොට කප්රුක ලෙසින් හඳුන්වන වටතිරය පැළඳවීම තුලින් නැවතත් ඉහත ආකාරයේ අතහැරීමක් කිරීමට සූදානම් වන මනසක් අර්ථවත් කරගැනීමට හැකියි. ඒ ආකාරයෙන් සිතූ පැතූ සම්පත් ලබාදෙන මහා කල්ප වෘක්ෂය අතහැරීමට හැකි මනසක් අපතුල වැඩෙන යම් මොහොතක ධර්මස්කන්ධයද අපට ලැබී නිවීම උදාකරගැනීමට හැකිවෙනවා. ඉතින් මේ සංකේතවත් වන්නේ එවන් වූ මානසික තත්වයක් බව තමයි මට හැඟෙන්නේ.
මේ සියල්ලට අමතරව යම් පුණ්‍ය කර්මයක් කිරීමෙන් ගැබ්වෙන අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් මේ දේවල් තුල තිබෙනවා. කප්රුක් පූජාව තුලින්ද අනෙකුත් පූජාවන් සේම ආර්ය මාර්ගය සුවසේ සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය කරන යම් සැප සම්පතක් අවශ්‍ය වේ නම් එය ලබාගැනීමට අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය ගැබ්වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඔබට නිදහසේ ධර්මයක්වත් අසාගන්නට නොහැකි පරිසරයක් තිබෙනවා නම් ඒ බාධක අවම කරගෙන කටයුතු කරගන්නට හැකි තත්වයක් මේ පුණ්‍ය ශක්තීන් තුලින් ලැබීමට හැකියි.
එහෙත් මෙය අදාල වන්නේ ඔබගේ ප්‍රඥාවන්තභාවය මතම තමයි. ඔබගේ ප්‍රඥා මට්ටම ඉහළ නම් ඕනෑම කරදර අවස්ථාවක් බාධක අවස්ථාවක් නිවන් මාර්ගය පූර්ණයට උපකාර වන ආශිර්වාදයක් ලෙසින්ම භාරගෙන බුද්ධිමත්ව විදර්ශනා වඩමින් නිවීම පිණිසම යොදාගැනීමට හැකියි. එමෙන්ම ඔබ අවශ්‍ය කරන කුසලය නොවැඩෙන ආකාරයෙන් සිතුවේ නැතිනම් අවබෝධ කරගත්තේ නැතිනම් කොතරම් පුණ්‍ය කර්ම සිදුකලද අවශ්‍ය කරන මහත් ඵලය මහා ආනිශංසය ලබාගැනීමට තවත් බොහෝ කාලයක් ගත වීමට හෝ මඟ හැරීමටද ඇති අවස්ථා වැඩිය.
එනිසා ප්‍රඥාවන්ත වන්න. කප්රුක් පූජාවකදී ඔබ වටතිර පළඳවන විටදී හෝ වේවා කල්ප වෘක්ෂය සංකේතවත් කරන කප්රුක අභියස හෝ වේවා ප්‍රඥාවන්තයාට සිහිවෙන්නේ මේවා කොතරම් නම් කාලයක් කරගෙන එන්නට ඇතිද? ඒ සෑම අවස්ථාවකම මා රැවටුනේ මේ පංචස්කන්ධයටමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම වලටමයි රැවටුනේ. මා පැතුවේම පංචස්කන්ධයයි. පතමින් යමක් ලැබූ “මම“ යැයි රැවටුනේද පංචස්කන්ධයටමයි. මේ රැවටීම තවදුරටත් සිදුනොවිය යුතුයි.
ආර්ය මාර්ගය පූර්ණය පිණිස මට දැන් ලැබී ඇති අවස්ථාව හොඳටම ඇති. අතිදුර්ලභ මනුශ්‍යත්වයක් ලබාගෙන අතිදුර්ලභ ශාසනයක් ලබාගෙන අතිදුර්ලභ සත්ධර්මය ශ්‍රවණය කරගෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන ඇති මට තවදුරටත් පැතිය යුත්තක් නොමැත. දැන් ඇත්තේ මා විසින් කරගත යුත්තයි. එය ප්‍රඥාවන්තව ඉටුකරගැනීමට අවබෝධයෙන් යුතුව සිහිය පවත්වමින් නුවණින් දකිමින් වීර්යයෙන් යුතුව කටයුතු කිරීම තම තම නැණ පමණින් තෝරාගෙන කරගත හැකි දෙයකි.
තෙරුවන් සරණින් මහා කල්ප වෘක්ෂය දන් දීමට අතහැරීමට පූජාකිරීමට සියලු පැතුම් අතහැරීමට මමත්වය අතහැරීමට ඒ තුලින් නිවන් අවබෝධ කිරීමට, මහත් ඵලය මහත් ආනිශංසය ලැබීමට සෑම සතට තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!!!
උපුටා ගැනීමකි.

Address

Nakanda
Ahangama
POSTALCODES PLACENAME COUNTY80650

Telephone

+94701117009

Website

Alerts

Be the first to know and let us send you an email when නාකන්දේ අපේ පන්සල -''Sri Sudharmaramaya nakanda'' posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to නාකන්දේ අපේ පන්සල -''Sri Sudharmaramaya nakanda'':

Share